ආත්මඝාතකයා සංස්කෘතික පරතරය වටහාගෙන කළ පරිවර්තනයක් – මහාචාර්ය කමනි ජයසේකර

Comment Off 62 Views

තමාට කිසිසේත් අදාළ නොවන අධ්‍යාපන හෝ සමාජ තත්ත්වයක් මවා පෙන්වමින් වංචාව ඔස්සේ සමාජයේ හිනිපෙත්තට නැඟ ආවාහ විවාහ සහ තනතුරු ලාබ ලබා ගන්නෝ බොහෝ ය. මෑත ලංකාවේ විටින් විට නීතියේ රැහැනට කොටුවන හොර සහතික කඩ මෙයට සාක්ෂි දරයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම සඳහා ලකුණක් මදි වුයේ යැයි කියන අය කොතරම් ද? ව්‍යාජ සුදුසුකම් ජනමාධ්‍ය ඔස්සේ පවා ප්‍රචාරය කරලීමට සමහරෙක් මැළි නොවෙති. අප අතර මෙවැනි වංචනිකයන් අපහාසයට ලක්වන්නේ ඉතා කෙටි කලකට පමණි. ඔවුන් ලත් වරප්‍රසාද අහිමි වන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත් එම වංචාව ජීවිතයත් මරණයත් අතර තීරණ ගැනීමට තරම් බරපතළ වන්නේ නැත. විවාහ සහකරුවකුට මෙවැන්නක් හෙළිදරව් වූ විට ඉච්චාභංගත්වයට හා දුකට පත් වුණත් අප වෙසෙන සංස්කෘතිකමය රාමුව ඇතුළත ඔවුන් බොහෝ විට උත්සාහ කරන්නේ තම කුටුම්භය ආරක්ෂා කර ගැනීමටයි.
එමැනුවෙල් කරෑර් ඔහුගේ නවකතාව වන ආත්මඝාතකයා මඟින් අප හමුවෙහි තබන්නේ මෙවැනි කතාවකි. වෙනසකට ඇත්තේ එය සිදුවන්නේ විසි එක්වන සියවසෙහි වීමත් සංස්කෘතික වශයෙන් අතිශයෙන් වෙනස් වූ ප්‍රංශ සමාජයේ වීමත් ය. කතා නායකයා අද පවා ජීවත් වෙයි. එහෙත් ඒ සිරගතව ය. මේ සැකකරුගේ නම ජෝන් ක්ලෝද් රොමාන් ය. රොමොන් 1993 හිදී තම දරුවන් දෙදෙනා, බිරිය දෙමාපියන් සහ ගෙදර සුරතලයට ඇතිකෙරෙන සුනඛයා මරා දමයි. දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔහු වසර විසි දෙකකට සිර ගෙදරට නියම විය. ඔහු නිදහස ලබන්නේ 2015 හිදීය. ඔහු මේ අපරාධ කිරීමට පොලඹවන ලද්දේ කුමන කරුණු මත ද? ඔහුගේ මනස එම අවස්ථාවෙහි කුමන තත්ත්වයක පවතින්නට ඇද්ද?

එමැනුවෙල් කරෑර් ඉතා ජනප්‍රිය වූ සම්මානලාභී ප්‍රංශ නවකතා කරුවෙකි. ඔහු රොමොන්ගේ කතාව මුල් කොට ගෙන නවකතාවක් කිරීමට පෙලඹී ඇත්තේ අපරාධකරුවාගේ මනස එහි ව්‍යාකූලත්වය ස්වරූපය හා අසාමාන්‍ය ක්‍රියාකාරකම් කුමන හේතුවක් පාදක කරගෙන සිදුවූයේදැයි තේරුම් ගැනීම සඳහා ය. රචනාවට පෙර රොමොන් සිටි ස්ථාන ඔහුගේ ළමා කාලය මිතුරන් ආදිය පිළිබඳ ව පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට ඔහු පරීක්ෂණ මඟින් උත්සාහ දරා ඇත. එපමණකින් නොනැවතී ඔහු සිරගත ව සිටි රොමොන් සමඟ ද ලිපි හුවමාරු කරගෙන තිබේ. මේ නිසා කතුවරයා අප හමුවේ තබන්නේ හුදු හිතලුවක් පමණක් නොවේ. (නඩුවාරවලට සහභාගි වී චූදිතයාගේ පමණක් නොව වාර්තාකරුවන්ගේ සහ අනෙකුත් අයගේ පවා ඉරියවු සහ ප්‍රතික්‍රියා ඉතා සැලකිල්ලෙන් සටහන් කරගන්නා ඔහු ඒ සමඟ ම තමා තුළ ඒ අවස්ථාවලදී ඇතිවූ සිතිවිලි හා හැඟීම් විග්‍රහයට ලක් කරයි. තමා තුළ ද එම අවස්ථාවෙහි ජනිත වූ සිතිවිලි හා හැඟීම් ද ඔහු ප්‍රයෝජනයට ගනී.)

එමැනුවෙල් කරෑර් මෙවැනි සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් රොමොන්ගේ මනස හා ක්‍රියාකාරකම් තේරුම් ගැනීමට උත්සාහ දැරුවේ ය. එමෙන් ම පොතෙහි පරිවර්තිකාව වන මහාචාර්ය නිරෝෂිණී ගුණසේකරට ද ප්‍රංශයට ගොස් ක්රෑර් සමඟ කතාබහ කර ඔහුගේ අදහස් ආදිය විමසීම සඳහා ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය අවස්ථාව සලසා දුන්නේ ය. පරිවර්තිකාවකට ලැබෙන විරල අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය. නිරෝෂිණී ගුණසේකර මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ ප්‍රංශ භාෂාව හා සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරිය වන අතර ඇය ඍජු ව ප්‍රංශ බසින් සිංහල භාෂාවට ග්‍රන්ථ හයක් මීට පෙර පරිවර්තනය කර ඇත.

මේ ඇගේ හත්වන පරිවර්තනයයි. පරිවර්තනය සඳහා ඇය විසින් තෝරාගන්නා නවකතා ඇය විසින් ඉතා සැලකිල්ලෙන් තෝරාගෙන ඇති බව පෙනේ. මේ තේරීම මත ඇය උත්සාහ කරන්නේ සිංහල පාඨකයාට නුහුරු විෂය ක්ෂේත්‍ර ඔස්සේ කතා වස්තුවක් සැපයීම පමණක් නොවේ. ඇය පරිවර්තනය කරන සමාජ හා සංස්කෘතිය පිළිබඳ ව ඇය සතු දැනීම හා අත්දැකීම් ඔස්සේ ඇය පාඨකයාට ද යම් නුහුරු අත්දැකීමක් ලබා දීමට සමත් වෙයි. මීට අමතර ව ඇය පරිවර්තනය සඳහා තෝරාගෙන ඇති ග්‍රන්ථවල රචනා ශෛලිය ආදිය පිළිබඳව ද ඇය මහත් සැලකිල්ලක් දක්වයි. ඒ මඟින් ඇය කරන්නේ අපට විවිධ සාහිත්‍ය රචනා ශෛලිය හඳුන්වා දීමයි.

ආත්මඝාතකයා නම් වූ නවකතාවෙහි කතා නායකයා වන රොමොන් “මිතෝමේනියාව” නම් රෝගයෙන් පෙළෙන්නෙකි. මිතෝමේනියාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ තමා පිළිබඳ ව තමා විසින් ම සිතින් මවාගත් බොරු රාශියක් ඔස්සේ ජීවිතය ගත කිරීමට උත්සාහ කිරීමයි. මේ වංචාවට තමා ම රැවටෙන අතර අනුන්ව ද රවටනු ලබයි. මෙවැනි පුද්ගලයකුගේ මනස කෙතරම් ව්‍යාකූල විය හැකි ද? කාගේත් කුතුහලය උද්දීපනය වන්නේ මෙවැනි කරුණු ඔස්සේය.

මේ කතාව කියවන තැනැත්තාගේ මනසෙහි ද මෙවැනි ප්‍රශ්න පැන නැ‍ඟෙන්නේ ය. රොමොන්ගේ හැසිරීම කෙනකුට විශ්වාස කිරීමට නොහැකි වන තරම් භයානක ය. ඔහු තම සමීපයන් මරා දැමීමෙන් අනතුරුව තම නිවසට ද ගිනි තබා සිය දිවි හානි කර ගැනීමට ද තැත් කරයි. මේ හේතුවෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්වුවත් තවත් ජීවත් වීමට වරම් ලබයි.

ඔහුගේ ජීවන රටාව ගති පැවතුම් මත තක්සේරුවකට එළඹෙන්නට මෙය කිසිසේත් ඇදහිය නොහැක්කකි. ඔහු සමාජයේ උසස් තත්ත්වයක් දැරු තම පවුලට ඉතා ආදරයෙන් සැලකූ පුද්ගලයකු වූයේ ය. ඔවුහු ඔහු පිළිබඳ ව ආඩම්බර වූහ. සතුටු වූහ. රොමොන්ගේ සමීපතම මිතුරකු පවසන්නේ ඔහු වරෙක මේ සිදුවීම් මාලාව නරක සිහිනයක් සේ සැලකූ බව ය. එය සැබැවින් ම නරක සිහිනයක් වූයේනම් එවැනි සිහිනයක් ගැන සිය මිතුරා සමඟ කීම පවා නුපුළුවන් තත්ත්වයක් බව මිතුරා කියා තිබිණි. මිතුරන් රොමොන්ට දැක්වූ ගෞරවය එතරම් ම විය.

අපරාධයක් පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය අබිබවා සමාජය වෙත ද බලපෑමක් කරන ආකාරය කතුවරයා මැනවින් උකහා දක්වයි. දරුවන් බොහෝ දෙනෙක් නින්දට ගිය පසු දුටු භයානකම සිහිනය වූයේ තමන්ගේ පියවරුන් ද ඔත්තුවාන්ගේ සහ කැරලියන්ගේ පියා මෙන් තමා මරා තම නිවසට ද ගිනි තබන බව ය. තව දුරටත් තනියෙන් නිදා ගැනීමට ඔවුහු බිය වූහ. දරුවන්ගේ ළමා කාලය උදුරාගනු ලැබ තිබේ. දරුවන් තම දෙමාපියන් ගැන තැබූ විශ්වාසය ද සොරා ගනු ලැබ තිබේ. (පිටුව 19) මෙම ඛේදවාචකය සිදුකර ඇති සමාජයට ම මිනී මරුවා සාතන්ගේ සංකේතයක් බඳු වූයේ ය. රොමොන්ගේ මාපියන්ගේ අන්තිම මොහොත පිළිබඳව කතුවරයා සඳහන් කරන්නේ මෙසේ යි.

මරණය සමඟ මිනිසුන්ට දෙවියන් හමුවට යා හැකි ය, යන පොදු මතය කරෑර් විග්‍රහ කරයි. දෙවියන් වෙනුවට මහලු දෙමවුපියන් දක්නට ඇත්තේ “තම ආදරණීය පුත්‍රයාගේ මුහුණ කට සහිත සාතන්ගේ රූපය වන්නට ඇත. සාතන් හෙවත් දෙවියන්ගේ සතුරාගේ රූපය වන්නට ඇත.” (27 පිටුව)

නැවත ජීවත් වීමට ඔහුට වරම් තිබුණ බව ඔහුගේ මිතුරා දැනගත් මුල් අවස්ථාවේ ඔහුගේ ප්‍රාර්ථනාව වූයේ තම මිතුරා මියයන්නේ නම් යෙහෙකියි යන්න ය. ඒ ඔහුගේ ම හොඳට ය. හේතුව සිය පවුල ම අහිමි ව ඔහු කෙසේ ජීවිතයට මුහුණ දෙන්නේ දැයි සිතා ය. “දැන් ඔවුන් ඔහුගේ මරණය ප්‍රාර්ථනා කළේ ‍තමන් වෙනුවෙන් ම ය. තම දරුවන් වෙනුවෙන් ම ය. තව දුරටත් ජීවත්ව සිටින අය වෙනුවෙන් ය. මෙවිට ඔහු ව හඳුන්වනු ලැබුවේ මරණය නියෝජනය කරන්නා වූ මිනිසා වශයෙනි, (27 පිටුව) ඔහු සමාජය තුළ ඇතිකර තිබුණේ එවන් භීතියකි.

එමැනුවෙල් කරෑර් කථාවට පාදක වූ සිද්ධිය හා එහි භයානකකම හඟවන්නේ රොමාන්ගේ මිතුරා ලයුකේ ගේ සිතිවිලි හා හැසිරීම් ඔස්සේ ය. එය ග්‍රන්ථයකට පෙරවදනක ස්වරූපයක් ගනියි. භයානක සිදුවීම් දාමය ඔහු මුලින් ම පාඨකයාට ඉදිරිපත් කරයි. ඔහුගේ අරමුණ වන්නේ කතාව තුළින් ත්‍රාසය හෝ භීතිය ගොඩනැඟීම නොවේ. කතාවේ නිධානය අවබෝධ කරගන්නා පාඨකයාට අන් සුවිශේෂී කරුණු වෙත අවධානය යොමු කිරීමට නිදහස ලබා දීම ය.

විශේෂයෙන් ම මිනිස් මනස පිළිබඳ ව විග්‍රහවල යෙදෙන කතුවරුන් අතර ජනප්‍රිය උපක්‍රමයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. සම්භාව්‍ය ග්‍රීක නාට්‍යකරුවන් අතරින් මිනිස් මනස පිළිබඳව සුවිශේෂී උනන්දුවක් දක්වා ඇත්තේ යුරිපිඩීස් නමැති නාට්‍යකරුවා ය. ඔහුගේ නාට්‍ය මඟින් මනසෙහි ඇතිවන ගැටුම් ආදිය විග්‍රහ කිරීමක යෙදේ. මේ නිසා ය ඔහු සම්භාව්‍ය නාට්‍ය කලාවට පෙරවදන් එක් කිරීමට මුල් වූයේ. මෙවිට පාඨකයාට නාට්‍යයෙන් ඉදිරිපත් කෙරෙන ගැටලු හා සංකීර්ණත්වය වෙත අවධානය යෙදීමට හැකි වේ.

තව ද පාඨකයාගේ මනසට ඇතිවන තවත් කුහුලක් වන්නේ ඔහු කළ අපරාධය සත්‍ය වශයෙන්ම ව්‍යාධියක ප්‍රතිඵලයක් ද යන්නයි. ඔහුගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නකුට හැ‍ඟෙන්නේ බොහෝ විට ඔහු වංචාව සහ රැවටීම තම පහසුව සඳහා යොදාගන්නා ආකාරයයි. ඔහු කරන ක්‍රියා කිසිසේත් හසු නොවන ආකාරයට ඉතා සූක්ෂම ආකාරයෙන් සැලසුම් කිරීම මීට උදාහරණ වේ. ඔහුගේ බොරුව අවස්ථාවට උචිත ලෙස පුද්ගලයන්ට අනුකූල වන සේ සැලසුම් සහගතව ය ක්‍රියාත්මක කරනු ලබන්නේ. මුදල් වංචා කරන ඔහු අනුන්ගේ මුදල් තමන්ගේ මෙන් තබා ගැනීමට මැලි නොවන්නේ ය. ඒ වැඩි පොලී අපේක්ෂාවෙන් එම මුදල් තමාගේ ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමෙනි. ඔහුගේ මාමණ්ඩිය තමාගේ මුදල් ආපසු ඉල්ලූ විට ඔහුට අත්වන්නේ අවාසනාවන්ත ඉරණමකි.

සියලු බාධකවලින් පෙනී යන්නේ මෙවැනි ව්‍යාකූලත්වයක් හා සංකීර්ණත්වයක් පූර්ව නිගමන හෝ න්‍යාය මඟින් විසඳීමට තැත් කිරීමට නොහැකි බවයි. ඔහු රඟන බොරුව ඔහු සමාන කරන්නේ පිළිකාවටයි. එහෙත් ඔහු පිළිකාවක් ඇතැයි ඔහු පවසන්නේ අනුන්ගේ අවධානය හා අනුකම්පාව දිනා ගැනීමටයි.

“බොරුවකින් පීඩා විඳිනවාට වඩා පිළිකාවකින් පීඩා විඳීමට ඔහු වුවත් වඩා කැමැත්තෙන් සිටින්නට ඇත. හේතුව බොරුව ද අසනීපයක් වීමය. බොරුව ද පිළිකාවක් වැනි ම වේ. ඒ වාගේම ඔඩු දුවන්නේ ය. අවසානය ද ඒ තරම්ම භයානක ය. එහෙත් දෛවය ඔහුට වෙන් කර දුන්නේ බොරුව මිසක් පිළිකාවක් නොවේ.” (පිටුව 68)

අපරාධය කිරීමට ආසන්න වූ සිද්ධි මාලාව, චූදිතයාගේ මනස ක්‍රියා කළ ආකාරය පමණක් නොව ඔහු එය කළ ආකාරය පවා කතුවරයා පාඨකයා හමුවේ තබයි. ඉන් ත්‍රාසය භීතිය හා ශෝකය පාඨකයාට ගෙන දෙන අතර ඔහු පාඨකයා ව අභ්‍යන්තර වශයෙන් ද කම්පනයට ලක් කරයි. පාඨකයාට හැ‍ඟෙන හැඟීම් නැ‍ඟෙන තර්ක ඇතැම් අවස්ථාවල පරස්පර විරෝධී වන්නේ මේ නිසා ම ය. රචනා ශෛලිය මඟින් රචකයකුට කළ හැකි හාස්කම් බොහෝ ය. මේ ශක්තිය හා බලය සම්පූර්ණයෙන් ම වටහාගෙන, ඉදිරිපත් කෙරෙන සංස්කෘතියෙහි හා භාෂාවෙහි ද වෙනස ද තේරුම්ගෙන පරිවර්තිකාව කර ඇති මෙහෙය පැසසිය යුත්තකි.

About the author

කැටපත්පවුරට ලියන්න