දුවට ලියුමක් – චිත්‍රා අයි. පෙරේරා

No Comment 127 Views

ට්‍රීං… ට්‍රීං… ට්‍රීං…

තැපැල්කරුවා ගේට්ටුව ළඟ සිට බයිසිකලයේ සීනුව ගසයි. මම කොස්ස බිත්තියට හේත්තු කර වටපිට බැලුවෙමි. දියණියගේ කාමරයෙන් බටහිර සංගීත නාදයක් ඇසේ. මයිකල් ජැක්සන්…?

“ඔය මියුසික් එකත් එක්ක එයාට කොහොමද බෙල් ඇහෙන්නේ” මම තොල් මතුරමින් ගේට්ටුව වෙතට ගියෙමි.

“නෝන මහත්තයා මේ සැරෙත් කුඹුර වපුරන්නේ නැද්ද?” තැපැල්කරු ප්‍රශ්නයක් අසයි. ඔහු අසල්වැසි හිතවතෙකි.

“අනේ මන්දා… වැස්සකුත් හරියට නැහැ” මම ලිපිය අතට ගනිමින් කීවෙමි.

“මේ දොරකඩ කුඹුර කොහොම කරන්න බැරි ද? නැත්නම් කුලියටවත් කරවන්නයි තියෙන්නෙ.”

“හ්ම්…” මම මදහසක් නඟා ආපසු හැරුණෙමි.

“මේකට වියදම් කරන සල්ලිවලට කඩෙන් හාල් ගෙනත් කන එක වාසියි. දැන් හාල් අතිරික්තයක් කියනවනේ…” මම තනිවම කීවෙමි.

“මේ මොන පිස්සුවක් ද? මම දැන් තනියෙම කතා කරන්න පුරුදු වෙලා… හැබෑටම මේ පුරුද්දෙන් මට අත්ඇරෙන්න බැරි හැටි.”

 

 

මම ආලින්දයේ පුටුවක වාඩිවී තැපෑලෙන් ආ ලියුම් දෙස බැලුවෙමි.

“එකක් දුවගේ ඉස්කෝලෙන්… බෝඩිං ගාස්තු ඉල්ලලා තමයි. නිවාඩු මාසේ කියලා ගාස්තුව අඩුවෙනවයැ” මම ලිපිය දිග හැරියෙමි.

“අධික බඩු මිල නිසා ලබන වාරයේ සිට තවත් රුපියල් දෙදහස් පන්සීයකින් නේවාසික ගාස්තු වැඩිකළ බව කනගාටුවෙන් දන්වා සිටිමු.”

“කනගාටුව ඇතිවෙන්නේ ඉස්කෝලෙට නෙවෙයි. සල්ලි ගෙවන අපිටයි. බඩු මිල අධික වුණාට අපේ ආදායම වැඩිවුණායැ.” මා නැවත වරක් තොල් මතුරා ඇත.

මම දෙවැනි ලිපිය දිග හැරියෙමි.

 

 

“අපගේ පුස්තකාලය සඳහා ඔබගේ අගනා කෘතීන් කීපයක් ලැබෙන්නට සලස්වන්නේ නම් අපගේ ප්‍රදේශයේ දූ දරුවනට බාහිර පත පොත පරිශීලනය කිරීමේ අවස්ථාව වර්ධනය වන බව දන්වන්නේ කෘතගුණ පූර්වකවය.”

“කාරණේ නම් ඇත්ත. ඒත් දෙයියනේ මං ගාව වැඩිපුර පොත් නැහැයි කීවට මේ මිනිස්සු විශ්වාස කරාවියැ. ඔක්කොම පොත් ප්‍රකාශකයෝ අතේ. රෝයල්ටිය තාම දුන්නෙත් නැහැ. අඩු තරමින් හය මාසෙකට සැරයක්වත් ගාණක් එවපන්…” මම ඒ ලියුම පසෙකින් තැබුවෙමි.

තෙවැනි ලිපියෙහි ඇත්තේ මගේ නම නොව දියණියගේ නමයි. සුදු පැහැති ලියුම් කවරයේ ලිපිනය ඉංග්‍රීසියෙන් ටයිප් කර ඇත. මේ නිවාඩු කාලයේදී ඇය වෙත ලැබුණු දෙවැනි ලිපිය මෙයයි. මගේ උගුරෙහි කටුවක් හිරවී ඇතිවාක් මෙන් දැනේ. හුස්ම ගැනීමට අමතක වීම නිසාදෝ දෙනෙතෙහි කඳුළු පිරී තිබේ.

“මගේ කෙල්ල කා එක්කවත් පැටලිලා ද?” මගේ පපුව මැද දැවිල්ලක් මතුවී ඇත.

“තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න හැම අම්මා කෙනෙක්ම පෙලඹෙනවා. මට හිතෙනවා මේ ලියුම කඩන්න. ඒත් කවදාවත් මම දුවගේ ලියුමක් කඩලා නැහැ. ඇයි අද විතරක් එහෙම කරන්නෙ?” මම කල්පනා කළෙමි.

“අම්මී මං ගැන තිබ්බ විශ්වාසේ මම කවදාවත් කඩන්නේ නැහැ. මම කා එක්ක හරි යාළුවෙන්න හිතුවොත් මම ඉස්සෙල්ලම අම්මිට කියලා ඉන්නම්.” දුව සිනාසෙමින් කියන අයුරු මට සිහිවෙයි. මෙතෙක් එවැනි සම්බන්ධයක් ඇතිවූ බවක් ඇය මා සමඟින් පවසා නැත. සතළොස් හැවිරිදි තරුණ දියණියකගේ බස විශ්වාස කළ හැකි ද?

 

 

“මේ කෙල්ල කුල ගෝත්‍රවලින් බැහැර සම්බන්ධයක් ඇතිකරගෙන නම්…?”

“අනේ අම්මගේ පිස්සු විකාර. ලංසි කියයි, දෙමළ කියයි, මුස්ලිම් කියයි. ඒ මදිවට තව කුල භේදයකුත් අරගෙන. නළලේ ගහලා තියෙනව ද අහවල් කුලේ කියලා. අපි හැමෝම මනුස්සයෝ අම්මී… සෝබිතාගේ දුව කියලා අනෝමාගේ මුකුත් අඩුපාඩුවක් තියෙනව ද?” දිනක් දියණිය පැවසූයේ මගේ වදනකට හරස් වෙමිනි.

වන්දනාවේ ගොස් අනෝමා හා එක බත් පතේ ඇය බත් කෑ අයුරු මම සිහි කළෙමි. සාංඝික දානය දිනයේ දී හේවිසි වාදනයට පැමිණි සෝබිතාට වාඩි ගනු සඳහා පැදුරක් එලා දුන්න ද අනෝමා පැමිණ දියණියගේ යහන මත වාඩි වෙනවාට විරුද්ධත්වය දැක්වීමට මට පුළුවන් කමක් නැත.

“හොඳයි ඒක පැත්තකින් තියමු. මේ ඉලන්දාරියා කොහොම මිනිහෙක් ද කවුද දන්නේ. කුඩුකාරයෙක් ද ඉගෙන ගන්න බැරි එකෙක් ද? අනේ දෙයියනේ… මම දෑතින් නළල පිරිමැද්දෙමි.

‘කැසට් ප්ලේයර් එක දාගෙන මේ ළමයා මොනවා කරනව ද දන්නේ නැහැ. ගිහින් බැලුවොත් ගණන් හදනවා කියයි.” මම නොරිස්සුම්ව සිතුවෙමි.

“ඒත් දුව ගණන් හදන්නෙත් කැසට් එකක් දාගෙන තමයි. ඕ ලෙවල් වලටත් ඒකනේ කළේ…”

“ඔන්න අම්මී මැත්ස්වලට ඒ එකක් නැත්නම් විතරක් මට බණින්න. මට ගණන් හදන්න සින්දුවක් ඇහෙන්න ඕනැ…” දුව ඇස් ලොකු කරමින් කී අයුරු මට සිහිවේ.

“ඒ හයයි බී දෙකයි” දුව විභාග ප්‍රතිඵල ගෙන ආවාය.

“මොනවට ද බී දෙක…?” මම ඇසුවෙමි.

“මට අඳින්න බැරි ආට්වලටයි, අම්මිගේ ප්‍රියතම විෂය සිංහල වලටයි.” දුව කට ඇද කළාය.

“අනේ… අනේ… අම්මී පොත් ලියනවා දුවට සිංහල වලට බී…” මම කීවෙමි.

“බී කියන්නෙත් සම්මානයක් අම්මී. අනික් අතට කොයි ලෝකේ ද කියලා තියෙන්නේ මාත් අම්මි වගේ වෙන්න ඕනැ කියලා. දැන් බලන්න අපේ රෙදි නැන්දා… වයස නිසා ඒ මනුස්සයා රස්සාව නැවැත්තුවා. දූලා දෙන්නා ඒ රස්සාව කරනව ද? එක දුවක් මැදපෙරදිග… අනික් දුව ගාමන්ට් එකක… අම්මගේ රස්සාව කර කර හිටියා නම් හරියයි.”

“හ්ම්…” මම කීවෙමි.

 

 

“අපේ දුවට මා කියන දේ සමහරවිට ඇදය. මට ද ඇතැම් විට දුවගේ කල්පනාවන් ඇදට පෙනේ.

“මටනම් බෑ අම්මී කැම්පස් යන්න” ඇය පාඩම් කරන අතරතුරදී දිනක් කීවාය.

“ඇයි දුව…?”

“ඒ කාලේ වගේ නෙමෙයි අම්මේ දැන් අවුරුදු දහයක් විතර යුනිවර්සිටි එකේ ඉන්න වෙනවා. ඒකෙම නාකිවෙන්න මට බැහැ.”

“එතකොට දුව මොකද කරන්න හදන්නේ…?”

“ඒ ලෙවෙල් කරලා රස්සාවකට යනවා. පස්සේ ඕනැනම් ලන්ඩන් ඩිග්‍රි එකක් කරන්නම්.”

“මෙයාට රස්සාවල් හම්බු වේවි. ඩිග්‍රි කාරයින්ටත් රස්සාව නැතිකොට…”

“අම්මී බයවෙන්න එපා. මට කඩු ශිල්පය පුළුවන්…”

“ආ තාත්තී, දුවට පොඩ්ඩක් අවවාදයක් දෙන්නෙ නැද්ද ඉහළට ඉගෙන ගන්න කියලා.” මම සැමියා දෙස බලමින් ඇසුවෙමි.

“ඒ ළමයට ඕනැ එකක් කරන්න අරින්න…” සැමියා ඉවත බලමින් කියයි. තාත්තා දියණියගේ මනාපය ගන්නේ එලෙසිනි. එහෙත් දුවත් මාත් අතර ඒ අවබෝධය පැද්දෙන තොටිල්ලක් මෙනි.

දුව ගෙදරට ගවුම අඳින්නේම නැත. ඇයගේ ඇඳුම තුන්කාලේ කලිසම හා ටී ෂර්ටයයි. එහෙත් ඇය හොට්පැන්ට්ස් අඳින දිනයට මගේ මුහුණ දෙහි ලෙල්ලක් සේ හැකිළෙන බව ඇය දන්නීය. තාත්තා නාසය පුම්බා ඔරවා බැලුව ද දුව සිටින්නේ සිනාසෙමිනි.

“ඇයි තාත්ති ඔරවන්නේ මගේ කකුල් කැත ද?” ඇය අසන්නීය.

“ගෑනු ළමයි ඔහොම අඳිනව ද?” තාත්තගේ නොමනාපය ඇයට විහිළුවකි.

“තාත්ති මට ස්විමින්ග් කරන්න කියනවා. පීනන්න ඇඳගෙන යන්නේ දිය රෙද්දද?” ඇය අසන්නේ අහිංසකවය.

තාත්තා දියණියට පිළිතුරු නොදී ආලින්දයට යයි.

“මේ දහ අටවෙනි ශතවර්ෂේ කියලා හිතාගෙන අම්මී මට බණ කියනවා. අපේ අත්තම්මා ඇන්දේ ඔසරිය. අම්මා ගෙදරට අඳින්නේ කොට ගවුම. ඉතින් මම හොට්පෑන්ට්ස් ඇන්දම මොකද? මොනවා හරි හිතිලා කවුරුහරි පස්සෙන් එලෙව්වොත් මේ වගේ එකක් ඇන්දාම මට දුවන්න ලේසියි.” මා කෝප ගන්වමින් දුව තව තවත් සිනාසෙන්නීය.

ඇයගේ තර්කය මට බිඳ හෙළිය නොහැක.

“පරම්පරා පරතරය…” මම සිතන්නෙමි.

 

 

“ඉතින් මේ ලියුමට මොකද කරන්නෙ? මම සිතුවෙමි.

“අදත් කාමරේට වෙලා මැත්ස් කරනවා ඇති. ඒත් මම කොහොමහරි මේ ලියුම ගැන අහන්න ඕනෑ.” මම සිතා ගත්තෙමි.

“තාත්තට කීවොත් කියාවි මම මුල ඉඳලම දුවට නිදහස දුන්නා වැඩියි කියලා. එතැනදිත් බැණුම් අහන්න වෙන්නෙ මටයි.

කෙළින්ම දුවගෙන් අහනවා කාගෙන් ද මේ ලියමන මොකක්ද ඔයාගේ සම්බන්ධේ කියලා.” මම සිතට ධෛර්යය රැගෙන අසුනින් නැගිට්ටෙමි.

දුව කාමරයේ පාඩම් කරමින් නැහැ ගණනක් සදමින් සිටින්නීය. ඇය මා එනු දැක හිස ඔසවා සිනාසුණාය.

“බලන්නකෝ අම්මී මට පැය දෙකක් ගියා මේ ගණන හදා ගන්න. කැසට් තුනක් ඉවරයි.” ඇය ලියමින් සිටි කොළ කීපය මා වෙත දක්වමින් කීවාය.

ජ්‍යාමතික කෝණ මට ග්‍රීක් මෙනි.

 

 

“අම්මෝ… යන්තම් ඇති උත්තරේ ආවා.” ඇය ඇඟමැලි හැර පුටුවෙන් නැගිට්ටාය.

“අම්මී… මහන්සිනම් මම ගේ අතුගාලා අස්කරලා දාන්නම්.” මගේ විඩාපත් මුහුණ දෙස බැලු ඇය මගේ දෙවුර වටා අත යවමින් කීවාය.

මම හිත තද කර ගත්තෙමි. ආදරය පසෙක තබා මේ ලිපිය පිළිබඳව දියණියගෙන් විමසිය යුතුය.

මම ලිපිය ඇයගේ මේසය මත තැබුවෙමි.

“ආ… අදත් ලියුමක් ඇවිල්ලා.” ඇය හිස ඇල කරමින් කීවාය. ඇයගේ හ‍ඬෙහි ඇත්තේ තද කරගත් සිනාවක් පමණකි.

“කාගෙන් ද දුව මේ ලියමන…?” මගේ ස්වරය නොපහන්ය.

“ආ…? දියණිය මගේ ඉඟටියෙන් අල්ලා මා කරකැවුවාය.

“නිකම් ඉන්න දුවේ… මාව වැටේවි…”

“අපේ අම්මා හිතුවේ මාව වැටිලා කියලා නේද?” ඇය හඬ නඟා සිනාසුණාය.

මම ඇයගේ මුහුණ දෙස බලා සිටියෙමි.

 

“අපෝ… මේ මූණේ තියෙන වැහි වලාකුළු. අද උදෙන්ම ගොරවලා වහීවි… මෙහේ එන්න…” ඇය මගේ එක අතකින් අල්ලාගෙන මේසයේ ලාච්චුව විවෘත කළාය.

“මෙන්න… එදා ආපු ලියමන…” නොකැඩු එවැනිම ලිපියක් ලාච්චුවේ විය. අලුතින් පැමිණි ලිපිය ඒ මත තැබිණි.

“මගේ නම තිබුණට මේවා මට නෙවෙයි අම්මී…. සුනාරිට එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එවන ලියුම් ගෙදරට ගෙන්න ගන්න විදියක් නැහැ. මමී හරි නපුරුයිලු. ඉතින් එයා මගෙන් උදව් ඉල්ලුවා. සුනාරි අඬනකොට දුක හිතිලා මම හා කීවා. සුදු ලියුම් කවරේ ටයිප් කරලා එවන්නේ වෙනස දැනගන්න. බෝඩිමට ගියාම මම මේවා එයාට දෙනවා. දියණිය සැහැල්ලුවෙන් කීවාය.

“දුව මොනවට ද ඕවට උදව් කරන්නේ…” මා ඇසුවේ අසන්නට දෙයක් නැති කමිනි. මගේ හදවත පුළුන් පොදක් සේ පාවෙන බවක් දැනේ.

“පව්නේ අම්මී ආදරයක්නේ…”

“දුව කිරි ටික බීලා තව ටිකක් පාඩම් කරන්න. මම ගේ අතුගාන්නම්…” මම කාමරයෙන් පිටතට එමින් කීවෙමි.

 

silumina.lk

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)