හරි වහර – ආශිංසන ද ආශංසන ද

No Comment 52 Views

නිතර යෙදෙන වැරැදි යෙදුම් කිහිපයක් විමැසුම් ඇසට යොමු කැර අදත් එහි හරි වහර මතු කැර ගතිමු.

 

1. ආමිශ – මෙය ඉඳහිට නමුදු දක්නා ලැබෙන වැරැදි සකු (සංස්කෘත) වදනෙකි. නිවැරැදි වදන වනුයේ ආමිෂ යනු යි. එහි (මූර්ධජ) ‘ෂ’ යෙදෙන බව වෙසෙසින් සැලැකිය යුතු යි. මෙහි පාලි රූපය ‘ආමිස’ යනු යි. සිංහලයෙහි බෙහෙවින් යෙදෙනුයේ ද එය යි. හිතා මතා ම සංස්කෘතියට බර වන්නට තැත් දරන්නෝ ආමිෂ ‘ආමිෂ පූජා’ ආදි තන්හි) යනු යොදති.

 

2. ආර්්‍ය – මෙ ද පෙර වතාවෙක දැක්වුණු ‘ආචාර්්‍ය’ යන්න මෙන් ම වරදවා යොදන වදනෙකි. ආර්ය, ආර්‍ය, ආර්‍ය්‍ය යන කවර රූපයක් වුව ද භාවිත කළ හැකි යි. එහෙත් සිංහල වහරට වඩාත් හුරු වනුයේ ආර්ය යන්න බව කිය යුතු යි. මෙහි ස්ත්‍රී ලිංග රූපය ද මෙ සේ ම ආර්යා, ආර්‍යා, ආර්‍ය්‍යා යන කවර විධියෙකින් වුව ද ලිවීමේ වරදක් නැති. ‘ආර්යා’ යනු සිංහලයට වඩාත් ගැළ‍ැපෙයි. උත්තම යන අරුත් දනවන සකු වදනෙකි, ආර්ය යනු.

 

3. ආවර්ථ – මෙ ද සංස්කෘත තත්සමයෙකි. ‘ර්’ කාරයට පසු වැ යෙදෙන ‘ත’ අනිවාර්යයෙන් ම (මහාප්‍රාණ) ‘ථ’ විය යුතු ය සාවද්‍ය මතය නිසා දෝ බොහෝ දෙනා මේ ‘ආවර්ථ’ යන අපශබ්දය යොදති. නිවැරදි වන්නේ ‘ආවර්ත’ යන (අල්ප) ‘ත’ සහිත වදන යි. මෙනයින් ම, ආවර්ථිතා (වගුව) වැනි යෙදුම් ද සාවද්‍ය වේ. ආවර්තිතා යනු නිවැරැදි වහර යි.

 

4. ආශිංසන – අතිශයින් බහුල වැ යෙදෙන වැරැදි යෙදුමෙකි මේ. සුභාශිංසන යනුවෙන් තව ද වරදවා යොදනු ද දැකිය හැකි යි. පුවත්පත්, පොත් ආදියෙහි මතු නො ව, බොහෝ දෙනකු ගේ එදිනෙදා වහරෙහි ද මේ වැරැදි යෙදුම දක්නා ලැබෙයි. මෙහි වරද කිසි සේ අවබෝධ කැරගැන්මට නම් මේ වදන නිපැදී ඇත්තේ කෙසේ දැයි විමසා බැලිය යුතුයි.

 

මෙහි ‘ආ’ යනු උපසර්ගයෙකි. එය ඉවත් කළ කල්හි ‘ශිංසන’ යනු ඉතිරි වේ. එහි වර්තමාන කෘදන්ත ප්‍රත්‍යයය වන ‘අන’ ඉවත් කළ කල්හි ‘ශිංස්’ යනු ලැබේ. එ විට එය ධාතුව (ක්‍රියා මූලය) විය යුතු යි. එහෙත් සංස්කෘතයෙහි ඇත්තේ ‘ශංස්’ ධාතුව විනා ‘ශිංස්’ ධාතුවක් නො වේ. එයට මුලින් ‘ප්‍ර’ යන උපසර්ගය ද, පසු වැ ‘ආ’ ප්‍රත්‍යයය ද එක් කළ විට (වහරෙහි බෙහෙවින් යෙදෙන වදනක් වන) ප්‍රංශංසා යන්න නිපැදේ. සංස්කෘතයෙහි ‘ශිංස්’ ධාතුවක් වේ නම් එය ද ‘ප්‍රශිංසා’ විය යුතු යි. එහෙත් කිසිවෙක් එ සේ නො ලියති.

 

මේ සියලු කරුණු මැනැවින් පිඬු කොට සලකන කල්හි පෙනෙනුයේ ‘ආශිංසන’ යන්න ආශංසන යැ යි නිවැරැදි විය යුතු බව යි. එ නයින් ‘ශුභාශිංසන’ යන්නෙහි ද නිවැරැදි යෙදුම වනුයේ ‘ශුභාශංසන’ යන්න යි. මේ දක්වන ලදුයේ සකු වහරට – සංස්කෘත ව්‍යවහාරයට – අනුගත ව යි. එ වුව ද පාලියෙහි නම් ආසිංසන යන්නක් වේ. එහි (දන්තජ) ‘සි’ යෙදෙන සැටි වෙසෙසින් සැලැකිය යුතු යි. ‘ආශිංසන’ යන සාවද්‍ය රූපය තැනී ඇත්තේ මේ සංස්කෘත – පාලි පද දෙ මුහුන් කොට ගැන්මෙනැ යි සිතිය හැකි යි. එහෙයින් ‘ශුභාශංසන’ යන සංස්කෘත රූපය මෙන් ම ‘සුභාසිංසන’ යන පාලි රූපය ද නිවැරැදි වේ.

In : බස

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)

කැටපත්පවුරට ලියන්න