හරි වහර

No Comment 783 Views

1. කල – මේ බහ්වර්ථවත් (බොහෝ අරුත් ඇති) වචනයෙකි. කාලවාචී (කාලය යන්න කියැවෙන) ‘කල්’ යන නාම ප්‍රකෘතියට ඒක වචන ‘අ’ ප්‍රත්‍යය එක් වීමෙන් ‘කල’ යන පදය නිපැදේ. සංස්කෘතයෙහි ‘කල්‍ය’ යන්න හා අනුරූප වැද සිංහලයෙහි ‘කල්’ යනු යෙදේ (‘කලු’ යටතේ එහි විස්තර දැක්විණ). එයින් නිපන් කාන්තාවාචී කල් යන්නෙහි දු ඒක වචන පදය කල වෙයි. මෙ බඳු තන්හි (දන්තජ) ‘ල’ සහිතව ‘කල’ යනු ලිවීම නිවැරැදි වෙයි.

සිංහලයෙහි වනාහි ර කාරාන්ත ධාතුවලින් තැනෙන අතීත කාල පද බොහෝ විට (මූර්ධජ) ළ කාරය සහිත වැ යෙදේ. අතුර (ධාතුව) > අතුළ (අතීත කාල පදය), වගුර > වගුළ, හදාර > හදාළ ආදිය එහි ලා නිදසුන් වේ. එ නයින් ‘කර’ ධාතුවේ අතීත කාල පදය ‘කළ’ වේ. සංස්කෘතයෙහි ‘කෘත’ යනු ද පාලියෙහි ‘කත’ යනු ද මේ හා අනුරූප වෙයි. මේ කර ධාතුවේ අතීත කාල පදය (මූර්ධජ) ළ කාරය සහිත ව ම ලිවිය යුතු ය. එහි ලා (දන්තජ) ල ලිවීම වරදෙකි.

දිය පුරවනුව යොදාගැනෙන කුඩා කටක් ද වටකුරු මහත් බඳක් ද ඇති භාජන ද ‘කළ’ නමින් ගැනේ. එහි දු යෙදිය යුත්තේ (මූර්ධජ) ළ කාරය ම ය. ඒ හා අනුරූප වැ පාලියෙහි දු සංස්කෘතයෙහි දු ‘ඝට’ යනු යෙදේ. එහි (මූර්ධජ) ළ කාරය ම යෙදෙන බව ඉනුදු තහවුරු වේ.

2. කළඑළි – බොහෝ විට වියතුනුදු මෙ සේ යොදනු දක්නා ලැබෙන නමුදු මෙය නිවැරැදි යෙදුමක් සේ සැලැකිය හැකි නො වේ. මෙයින් ගත හැක්කේ ‘කරන ලද ආලෝකය’; නැතහොත් ‘ආලෝකවත් කරන ලද’ වැනි අරුතෙකි. ‘කලඑළි’ යි (දන්තජ) ල සහිත වැ මෙහි ‘කල’ යනු යෙදුවහොත් ආකර්ෂණීය ආලෝකය වැනි අරුතක් නඟාගත හැකි ය. මේ යෙදුමෙහි භාවිතාර්ථය සලකා බලන කල්හි එය ම වඩා ගැළැපෙන බව පෙනී යයි. කළ (කරන ලද) යනු උච්චාරණයේ දී මුඛ කුහරය විවෘත නො කැරෙන නමුදු ‘කලඑළි’ යන්නෙහි ‘කල’ උච්චාරණයෙහි දී මුඛ කුහරය විවෘත කැරෙන බැවිනුදු මෙහි ලා ‘කල’ යනු යෙදීම ම නිවැරැදි බව වඩාත් තහවුරු වේ.

3. කළහ – මේ පාලියෙහි දු සංස්කෘතයෙහි දු සමාන රූපයෙන් යෙදෙන්නෙකි. නිවැරැදි වනුයේ (දන්තජ) ල කාරවත් ‘කලහ’ යන්න ම ය. දබරය, අරගලය වැනි අරුත්හි යෙදේ.

4. කළඹ – නිතතුරු වැ වරදවා යොදන වදනෙකි. සමූහාර්ථයෙහි යෙදෙනුයේ ‘කලබ’ යනු යි. එහි (දන්තජ) ‘ල’ යෙදෙන සැටි ද (සඤ්ඤක) ‘ඹ’ නොයෙදෙන සැටි ද විශේෂයෙන් සැලැකිල්ලට යොමු කළ යුතු යි.

සංස්කෘතයෙහි දු පාලියෙහි දු මේ හා අනුරූප වැ යෙදෙනුයේ ‘කලාප’ යනු යි. සිංහලයෙහි දු ‘කලබ’ යන්නෙහි ප්‍රකෘතිය වැ, බහු වචනය වැ යෙදෙනුයේ ‘කලප්’ යනු ම ය. ‘ප්’ ‘ඕ’ වනුයේ ඝෝෂාදේශයෙනි. සිංහලයෙහි ඇතැම් තන්හි අඝෝෂයක් වෙනුවට ඝෝෂයක් ආදේශ වූ විට නාසික්‍යාගමය වීමෙන් ඒ ඝෝෂය සඤ්ඤකයක් බවට පත් වනු පෙනේ. ස්තූප (සංස්කෘත) ථූප (පාලි) හා අනුරූප තුබ යනු ම තුඹ වනුයේ ඒ නියරිනි. අප් > අබ > අඹ (දිය) වනුයේ ද එ සේ යි. මේ අනුව කලබ යනු ම කලඹ යැයි යෙදීම වරදෙකැ යි ඉඳුරා කිය හැකි ද?

http://silumina.lk/

In : බස

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)