ලොවක් වසඟ කළ ලේඛකයා මැක්සිම් ගෝර්කි – දිනිති දීපිකා

No Comment 26 Views

“මෝඩයාට නුවණ ලබාගන්න ඕනෙ නම් සුදුසු පොත් කියවන්න ඕනෙ. සියලු පොත් කියවන්න ඕනේ. නුඹ පොත් කියවාපන්. තේරුම් ගන්න බැරිනම් හත්පාරක් කියවාපන්. ඒත් තේරුම් ගන්න බැරිනම් දොළොස් පාරක් කියවාපන්. පොත්වල ගත යුතු දේ තියෙනවා. පොත් කියන්නේ බොරු පුහු දේට නෙවෙයි.”

දස හැවිරිදි වියේදී මිහිපිට තමන්ට ඇති එක ම සම්පත් වන මවත් පියාත් අහිමි වීම තරම් දුක්ඛදායක දෙයක් දරුවකුට තවත් ඇති ද? ඒ අහිමි වීම තුළ හුරතල් ළමාවිය උදුරාගත් ඒ සිතට මොනවා නම් සිතෙන්නට ඇද්ද?

නෑයකුගේ ගෙදර බෝයි කොලුවකු වශයෙන් ද, නැවක පිඟන් කෝප්ප සෝදන්නකු වශයෙන් ද, කඩයක ආවතේවකරුවකු ලෙසින් ද, දේව රූප සුරුවම් පාට කරන තැනක අත් උදවුකාරයකු ලෙස ද, බේකරියක පාන් පුලුස්සන්නකු ලෙස ද විවිධ දුක්ඛ පීඩාවන්ට මුහුණ දෙමින් දරුවකු ජීවිතය රැක ගැනීමට කළ යුද වැදීමක අවසානයේ නිර්මාණය වී තිබුණේ ලොවක් වසඟ කළ, ලොවක් ආදරය කරන සදානුස්මරණීය මහා ගත්කතුවරයෙකි.

සමාජයේ යථාර්ථය සාහිත්‍යයෙන් ඇට ලේ මස් නහරවලට දැනෙන්නට පෑන හැසිරවූ මොහු ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් නම් වේ. 1868 මාර්තු 28 වැනි දින රුසියාවේ වොල්ගා ගඟ අසල පිහිටි නිෂ්නි නොව්ගොරොද් නමැති ප්‍රදේශයේදී මේ දරුවා උපන්නේ ය. ඔහුට වයස අවුරුදු හතරේදී කොලරා වසංගතයට හසුවූ තම පියාගේ සැමරුම් පමණක් තම ජීවිත කතා පොතේ ඉතිරි කරන්නට තරම් දෛවය කුරිරු වීම මොන තරම් අසාධාරණ ද කියා අසන්නට සිතෙන තරම් ය. එතකින් නොනැවතුණු පෙෂ්කොව් පොඩි දරුවාගේ දෛවය ඔහුට යන්තම් වයස අවුරුදු 10 ‍සපිරෙද්දී සිය මව ද ඔහුගෙන් උදුරා ගත්තේ ය.

එතැන් පටන් කුරිරු ගති ඇති තම සීයාගේ ග්‍රහණයෙන් මිදෙන්නට බැරි වූ පෙෂ්කොව් දරුවාට අහිමි ආදරයත් සෙනෙහසත් පෑවේ තම ආච්චි අම්මා ය. එහෙත් නොසිතූ අයුරින් තම සීයාගේ ආදායම් මාර්ගය ද අඩාළ වීමෙන් තුන්වැනි පන්තියට පමණක් තම පාසල් අධ්‍යාපනය සීමා කරන්නට ඔහුට සිදු විය.

එතැන් පටන් පෙර පැවසූ අන්දමේ විවිධ රැකියා කරමින් ජීවිත නෞකා සුක්කානම එක එක අතට හැරවූ මේ දරුවාට ස්මුරි නම් කෝකියා (නැවක පිඟන් සෝදන්නකු ලෙස පෙෂ්කොව් සේවය කරද්දී හමු වූ) පොත් කෙරෙහි ආකර්ෂණය ඇති කරන්නට ප්‍රබල සාධකයක් විය. එදා ඔහුගේ අවවාදය අනුව ක්‍රියා කළ පෙෂ්කොව්ට අවසානයේ අත් හරින්නට බැරි ඇබ්බැහි වීමක් තරමටම කියවීම පත් විය.

වයස අවුරුදු 14 වෙද්දී ඔහු හරවත් පොත් පත් කියවීමටත් සමාජ සිරිත් විරිත් කෙරෙහි අවධානයෙන් සිට ඒ සඳහා හැඩ ගැසීමටත් පුරුදු පුහුණු විය. ඉන්පසු එතෙක් කරගෙන ආ රැකියාවලට සමු දී 1884 දී පෙෂ්කොව් කසාන් නගරයට ගියේය. ඒ ස්ථාන මාරුවත් සමඟ ඔහු විප්ලවවාදී සංවිධානයකට ද බැඳුණේ ය. එවකට රුසියාව පාලනය කළ සාර් රජු තහනම් කර තිබූ දුර්ලභ පොත පත කියවන්නට ඔහුට අවස්ථාව ලැබුණේ නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිටි ඩැරන් කෝප් හිතවතා නිසා ම ය.

ඉතා දුෂ්කර ව ආ ගමන් මඟක අනේක අත්දැකීම් ඇති නිසාම ඔහු තම අසිපත කරගත් පෑන ඔසවනු ලැබුවේ නිර්දන පන්ති විප්ලවය උදෙසාමය. කසාන් නගරයේ දී විප්ලවවාදී සංවිධානයකට බැඳී කටයුතු කරමින් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස 1889 දී ඔහු සිර බාරයට ගනු ලැබුවේ ය.

වැහි ලිහිණියා, ඉසෙර්ගීල් මැහැල්ල, රාජාලි ගීතය, එමිල්යාන් පිල්යායි, චිල්කාෂ් ආදි ප්‍රකට කතා රැසක් ලියූ මොහු 1892 දී ලමකාර් වුද්රාල නම් කෘතිය ලිවීමෙන් පසු රුසියාවේ ම ප්‍රචලිත අයකු බවට පත් විය.

“අම්මා අතීතයට වැදෙමින්, තම අඳුරු තරුණ කාලය ගිලී ගිය වද හිංසා වලින් පිරී ඒ පින්තූරය වඩාත් ගැඹුරු ලෙස ඇද පෙන්වූවාය.”

කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් තම ජීවිතයේ මහලු කාලය ගෙවන අම්මා කෙනකු ගැන සමාජ උත්තේජනය ඇති කරවමින්, මුළු ලොවක් අදත් මහ ඉහළින් අගය කරන අම්මා නම් ඒ කෘතිය ලියූ මේ මහා ගත්කතුවරයා අනෙකකු නොව මක්සීම් ගෝර්කි ය.

මක්සිම් ගෝර්කි යන අන්වර්ථ නාමයෙන් එදත් අදත් හෙටත් මුළු මහත් ලෝකය ම කතා කරන මේ ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව්ගේ පළමුවැනි සම්භාවනීය නවකතාව 1889 දී පළ විය. එය “පොමා ගර්දේයව්” නම් විය.

විසිවන සියවසේදී ගෝර්කි නාට්‍ය කිහිපයක් ම ලිවූයේ ය. ඒවා නම්, පතුළ, ගිම්හානයේ මිනිස්සු, හිරුගේ ළමයි, හතුරෝ, ආදි ලෙස ය. එදා රුසියාාවේ පැවැති සමාජ පැලැන්තිය ගැන මේ කතුවරයා අවබෝධාත්මක ව ක්‍රියාශීලී ලෙස තම මතය සමාජගත කරන විට එදා පැවැති පාලන තන්ත්‍රයට එය බාධාවක් එල්ල වෙතැයි සිතූ පාලන පන්තිය බාරව සිටි සාර් ආණ්ඩුව 1898 සිට කිහිප අවස්ථාවක් ම මේ ගත් කතුවරයා සිර අඩස්සියට පත් කරන ලදී.

එහෙත් මේ කිසිවකින් ඔහුගේ දේශපාලන හා නිර්මාණාත්මක දිවියට වැටකඩුලු බඳින්නට කිසිවෙක් සමත් නොවූහ. රුසියාවේ පළමුවන විප්ලව සමය වූ 1905 දී ගෝර්කි හට “වී අයි ලෙනින්” මුණ ගැසිණ. එතැන් පටන් මොවුන් දෙදෙනා සුහද මිතුරන් විය. එය ගෝර්කිගේ නිර්දන පන්ති පිළිබඳ ලිවීමේ හැකියාවට මහත් සවියක් වන්නට ඇතැයි සිතේ.

එදා එනම් 1905 විප්ලවයෙන් පසු විදේශගත වන ගෝර්කි තම නිර්මාණ දිවිය ද දේශපාලන දිවිය ද සමබරව දිවිය පුරා කරගෙන යෑමට සමත් විය.

මැරෙන මොහොත තෙක් එනම් වර්ෂ 1936 වන තෙක් සෝවියට් ලේඛක සංගමයේ ප්‍රධාන ලේකම් තනතුර හෙබවූ මේ මහා ගත් කතුවරයා සදා නොමැරෙන අයකු ලෙස අදටත් හදවත් සොරාගෙන ඇත.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)

කැටපත්පවුරට ලියන්න