පූර්ණ මිනිසෙක් – සුමුදු චතුරාණි

No Comment 61 Views

සියල්ල පෙනෙතැයි අප සිතන කිසි ම දෙයක් පිළිබඳ සියල්ල අපට නො පෙනේ. සියල්ල විනිවිද පෙනෙතැයි අප සිතන වීදුරුවේ ලූ දිය බි‍ඳෙහිවත් සියල්ල අපට නො පෙනේ. සියල්ල දනිතැයි අප සිතන, අප පිළිබඳවත් අප කොතෙක් දේ නොදනිමු ද?

මේ ස්වභාසිද්ධි යථාර්ථය පැනයක් ව මම ඉදිරියේ රඟදෙත් ම එහි පවතින ඉසියුම් දාර්ශනික චින්තාව සෙවීමට මම තවමත් වෙහෙසෙමි. සිය ‘කුදුගොත් රචනා’ හි ඒ සදාකාලික දර්ශනය රඳවමින් ඒ මහා ලේඛකයාගේ ජීවමාන කය මීට වසර 4 කට පෙර පොෙළාවට මිහිදන් කෙරිණි. මෙරට පොෙළාවේ පය ගසා ජීවත්වෙන, සිය ආහාරය සරිකර ගැනීමට පොළොව හා නිරන්තර සහයෝගී අරගලයක නිරත වන මිනිසුන්ගේ සැබෑ කතාන්දරය මේ ජනතාවාදී මහා ගත්කරුවා සැබෑ මානව දයාවෙන් යුතු ව සටහන් කර තැබුවේ ය. මේ මහා පොළොවේ හේනක භවභෝග හටගන්නා තාක් කල්, වී අස්වනු කපා ගෙට ගන්නා තාක් කල් ජයතිලකයෝ ද අප අතර ම සැරිසරන්නාහ. එතුමාගේ එකොළොස් වන සංවත්සරෝත්සවය පසුගිය ජූලි 26 වැනිදා කන්තිමහර රදාවානේ කේ. ජයතිලක පදනමේ නිදහස් කියැවීම් ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

නිර්මාණකරුවන් අතර ජයතිලකයන් වෙසෙසින් ම සුවිසෙස් බව මා හඟින්නේ බහුජන නියෝජනය නිරූපිත යථාරථවාදී කතාකලාවේ ඔහු නිමග්න වූ බැවිනි. මිනිසකුගේ ජීවිතයක් වෙනස් කිරීමේ ලා යම් පොතක් ඉවහල් වන්නේ ද එය ඒ කෘතියේ ලේඛකයාගේ නිසඟ ප්‍රතිභාවේ පූර්ණයයි. යථාවාදී කතා කලාවේ මුදුන් මල්කඩක් සේ සැලැකෙන ‘චරිත තුනක්’ නම් සම්භාවිත නවකතාව වැටෙන්නේ මේ ගණයට ය.

Charithathunak1963 වසරේ ජප‍ානයේ දී ‘චරිත තුනක්’ කියැවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ ඒ කෘතිය හේතුවෙන් තමාට මෙතෙක් දැඩි ආකර්ෂණීය රටක් වූ ජපානය අතහැර ලංකාවට පැමිණීමේ ආශාව දැල්වූ බව නොසඟවා හෙළි කළහ. එසේ නම් ‘චරිත තුනක්’ නවකතාව සරච්චන්ද්‍රයන්ගේ ජීවන මඟ වෙනස් කොට ඇත. ‘චරිත තුනක්’ සැබෑ යථාවාදී නවකතාව වන්නේ කෙලෙසද?, ජයතිලක‍යන් එමඟින් නිරූපණය කරන්නේ, මෙරට එකල ජීවත්වූ ජනයාගෙන් සියයට අසූවක් පමණ දිවි සරිකොටගත් හේන් ගොවිතැන පිළිබඳ කතාව බැවිනි. එනම් මහ‍ෙපාළොව හා මිනිසුන් අතර පවතින අව්‍යාජ බැඳීමයි. එය ජයතිලකයන්ගේ ජීවන රටාවේ පැවැති නිකැළැල් ග්‍රාමීයත්වයයි. ‘චරිත තුනක්’ නවකතාව නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබිය යුතු කෘතියක් යැයි මහැදුරු සරච්චන්ද්‍රයන් නොපැකිළ ව පවසන්නේ 1972-10-26 දින නවයුගය පුවත්පතට යොමු කරන ලද කාව්‍ය පන්තියක් මඟිනි. දැඩි ග්‍රාම්‍යත්වය මෙන්ම දෘඪ නාගරිකත්වය ද එක සේ නිරූපණය කිරීමට ජයතිලකයෝ සිය නිර්මාණ චාරිකාවේ දී පසුබට නොවූහ.

මෙකල යම් යම් මතවාද කරපින්නාගත් දේශීය අක්මුල් හිඳුණු මාර්කේස්ලා, කුන්දේරලා වන්දනාමාන කරන ස්වීය මතවාදයක් දැරීමට ශක්තියක් නොමැති චන්දිභට්ටයන් මෙන් නොව ජයතිලකයො, චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය, අපේ සම්ප්‍රදාය හා උරුමය පිළිබඳ ගැඹුරු හැදීරීම් කළහ. එය ඔහුගේ ලේඛනයට එක් කළ දාර්ශනික පරිඥානය ලේඛකයකු වශයෙන් ඔහුගේ පෞරුෂය ගොඩනංවා ගැනීමේලා බෙහෙවින් ඉවහල් විණි. සිය කෘති රැගෙන ප්‍රකාශකයන් වෙත යාම ඔහු අත්හළේ ‘පරාජිතයෝ’ නවකතාව ලියා එය පළ කරගැනීමට වසර පහක කාලයක් බලා සීටීමට සිදුවීමෙන් අනතුරුව ය. ප්‍රදීප ප්‍රකාශන ආයතනය පිහිටුවන්නට ජයතිලකයන් උත්සුක වන්නේ ඒ නිසා ය. ලේඛකයකු වශයෙන් අදීනත්වය ගොඩනඟා ගැනීමේ ලා එය ඉවහල් වූ බව අවිවාදිත ය. මුලදී එහි වික්‍රමසිංහයන්ගේ ජී.බී. සේනානායකයන්ගේ, ඒ.වී. සුරවීරයන්ගේ කෘති ද ප්‍රකාශනයට පත් වූ අතර පසුව එහි ප්‍රකාශනය කෙරුණේ ජයතිලකයන්ගේ කෘති පමණකි.

ජයතිලකයන් සතු වූ පුස්තකාලය ද ලේඛකයකු වශයෙන් ඔහුගේ සමාජ වගකීම, අනාගතය පිළිබඳ දැක්ම ආදිය සටහන් කරන්නකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යනාදී විද්වතුන්ට පෞද්ගලික පුස්තකාල තිබුණේ නැත. සරච්චන්ද්‍රයන් භාවිත කළේ පේරාදෙණි විශ්වවිද්‍යාලයීය පුස්තකාලයයි. පරණවිතානයෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුස්තකාලය භාවිත කළහ. මීට අමතර ව විශිෂ්ට ගණයේ පෞද්ගලික පුස්තකාල තමා සතුව පවතින කිහිපදෙනෙක් මා මතකයට නැ‍ඟේ. වික්‍රමසිංහයන් සතු ව විශිෂ්ට ගණයේ පුස්තකාලයක් තිබිණි. සිරිල් සී. පෙරේරාණන්ට, මහාචාර්ය. ඒ.වී. සුරවීරයන්ට විශිෂ්ට ගණයේ පෞද්ගලික පුස්තකාල ඇති බව මා මතකයට නැ‍ඟේ. ඊට අමතර ව ගුණසේන විතානයන් සතු ව දේශපාලන නැඹුරුවකින් යුතු ග්‍රන්ථ රාශියකින් සමන්විත වටිනා පුස්තාකලයක් ඇතැයි මම අසා ඇත්තෙමි.

ඒ සියල්ලන් අතර ජයතිලකයෝ ද සිය ජීවිතය වන් ව එකතුකොට රැස්කර ගන්නා ලද සුවිසල් ග්‍රන්ථ ප්‍රමාණයක් අනාගත පරම්පරාව සඳහා දායාද කොට ඇත්තාහ. කන්නිමහර පිහිටි තම පුස්තකාලයේ ජගත් සාහිත්‍ය කෘති සහ දුර්ලභ පොත් ඇතුළත් ‘ප්‍රඥා පුෂ්කරණී’ නමින් හඳුන්වන කොටසට අයත් ග්‍රන්ථ පරිශීලනය කිරීමට ශාස්ත්‍රාභිලාෂීන් නොමැතිවීම සම්බන්ධ ව ජයතිලකයන් සිටියේ දැඩි කනස්සල්ලෙනි. අවසන් වරට මීට වසර හතරකට පෙර දුරකථනයෙන් මා ඇමැතූ අවස්ථාවේ ජයතිලකයන් පැවසුවේ සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ එකතුවක් වශයෙන් පවතින කාණ්ඩ තුනට රුපියල් පනස්දහසක ඉල්ලුමක් ඒ වන විටත් පවතින බවයි. කෙසේ වුවද ජයතිලකයන් මේ කෘති ඉදිරි පරම්රාව පරිශීලනය නොකරන බව දැනගැන්මෙන් ඇතිවුණු කම්පනයෙන් යුතු ව සිටි බව අපට නොරහසකි.

ජයතිලකයන් පහළ වූයේ මේ දැයේ වාසනාවට යැයි කීම අතිශෝක්තියක් නොවේ. ඔහුගේ පුළුල් චින්තන ධාරාව පිළිබඳ අබැටක් තරම්වත් ‍‍තේරුම් නොගත් පුද්ගලයන් ද විය. කපා ඔපමට්ටම් කළ මැණිකක් දසත සිය රශ්මි ප්‍රභාව විහිදුවන්නේ යම් සේ ද එවැනි වටිනාකමකින් යුත් පුද්ගල රත්නයක් වශයෙන් ද බොහෝදෙනා ජයතිලක‍යෝ හඳුනාගෙන සිටියහ. මා දන්නා අන්දමට ජයතිලකයෝ ඉතා භාග්‍යසම්පන්න ලේඛකයෙකි. ඔහු සිය දිවිය පුරා පුළුල් දැක්මකින්, දාර්ශනික චින්තනයකින් යුතු ව සැබෑ මිනිසුන්ගේ ජීවන අන්දර සමාජයට දායාද කොට පෙරළා ඒ සඳහා සමාජයෙන් ද ගෞරව බුහුමනට පාත්‍ර වූවෙකි. මේ ලැබීම් ද්විත්වය ම එක් පුද්ගලයකුට දිවමන් අවධියේ ලැබෙන්නේ අහම්බෙනි.

මිනිසකු පූර්ණ මිනිසකු බවට පත්වීම සඳහා කරුණු 3ක් බලපෑම් කරන බව මා අසා තිබේ. එකක් නම් තම පරපුර ඉදිරියට ගෙනයාම සඳහා බුද්ධිමත් දරුවන් දායාද කිරීමයි. ජයතිලකයන් ඒ යුතුකම මැනැවින් ඉටුකර තිබේ. ඔහුගේ දරුවෝ සිව්දෙනා ම විද්‍යා විෂයයන්හි හසළ දැනුමත්තෝ ය. අනෙක නම් සමාජයට සේවය කළ හැකි පොතක් ලිවීමයි. ඔහු ඒ සඳහා එක් පොතක් නොව කෘති සම්භාරයක් තිළිණ කොට දී තිබේ. ඒවා නවකතා, කෙටිකතා, ළමා කතා, ශාස්ත්‍රීය, කාව්‍ය ඈ නන්විධ ක්ෂේත්‍රයන් කරා විහිදෙන ග්‍රන්ථ රත්නයෝ ය. අනෙක් කරුණ වන්නේ තමා අතින් රෝපණය කළ ගසක ඵල හටගනු දැකීමයි. ඔහුගේ ස්වයං ලිඛිත අපදාන කෘතිය වන ‘පුංචි පැළේ ගස වෙනා’ හි සඳහන් පරිදි ඔහු කුඹුරු වපුරා තිබේ. සරු අස්වැන්නක් ලබා දැයේ සාගිනි නිවන්නට ඔහු දායක වී තිබේ. කරුණු එසේ නම් ඒ කියමනට අනුව ද ජයතිලකයෝ පූර්ණ මිනිසෙකි. සැබැවින් ම ඔහු අපේ කතාව ලියා තැබූ, අපේ දර්ශනය වටහාගත්, ජන විඥානයේ ඉසියුම් සංස්පර්ශයන් හඳුනාගත් අපේ වීරයා ය. ඔහුගේ පොත් ගැන මට ඇත්තේ මෙවන් අදහසකි. එය ජයතිලකයන් ම සිය ‘සංකල්පන’ කෘතියේ මෙසේ දක්වා තිබීම අරුමයක් නොවේද?

ඇතැම් පොතක්
කෙළින්ම හදවතට ඇතුළු වී
නටයි, ගයයි, පෙරළිකරයි.
ඇතැම් පොතක්
හදවතටත් මොළයටත්
ඇතුළු වෙයි.
තවත් පොතක්
මොළයට ඇතුළු වී
තෝන් ලණුව අතට ගනී.

සුමුදු චතුරාණි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)

කැටපත්පවුරට ලියන්න