වැකි-රූප­රා­මු­වක අරුත්-නාභි­දුර වෙනස: කර්ම­භේ­දය

No Comment 15 Views

බසෙහි නිරවුල් බව රැකගැනීම සඳහාම සකස් කරගැනුණු ‘වියරණය’ අද ‘වියවුලක්’ වී ඇත්තේ උදේ-හවා නිතැතින් වහරනු ලබන භාෂාව හුදු ‘විෂයයක්’ සේ ලඝු කර ගෙන, නිරස පිළිවෙළකට ගොනු කොට ඉගැන්වීමට යෑමේ පලයක් වශයෙනි. හඳුනාගැනීමේ පහසුව සඳහාම සකසාගත් ‘වර්ගීකරණ පද’ ඒවායේ නිතැත් වහර මිහිර නොවිඳ කටපාඩම් කරගැන්මට යෑමෙනි මේ අවුල වෙසෙසින් සිදුව ඇත්තේ. කර්තෘකාරක, කර්මකාරක භේදය ගැන කිව යුත්තේද මෙයමය.

අපි මෙය සරල භාවිතයක් ඇසුරෙන් වටහාගෙන ධාරණය කරගැන්මට වෑයම් කරමු.

කිසියම් සිදුවීමක් රූපගත කරනු ලබන දර්ශනතලයකි; සිදුවීම දෙදෙනකු අතර කතා-බහකැයි මොහොතකට සිතමු. අධ්‍යක්ෂවරයා හට දෙබස් ඛණ්ඩයක් අතරතුරදී, කතා කරමින් සිටින්නා වෙත ප්‍රේක්ෂක අවධානය යොමු කරවීමට අවැසි වෙයි. කැමරාකරු එකල්හිදී කැමරා කාචය කතා කරන්නා මත නාභිගත කරයි. මේ මොහොතේ සවන් දී සිටින්නාද රූපරාමුව තුළ පෙනුණත් ඔහු දිස් වනුයේ මඳක් බොඳ වූ ස්වරූපයකිනි. ඊළඟ මොහොතේ අධ්‍යක්ෂවරයාට වුවමනා කරන්නේ අසා සිටින්නාගේ මුහුණේ ඉරියවු කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමු කරවීමටයි. එකල්හි ශ්‍රාවක මුහුණ මත කැමරා කදාව යුමුහු (සූzම්) වෙයි; කථක රුව බොඳ වෙයි.

බලන්න: එකම දර්ශනතලයයි. එකම ක්‍රියාවලියයි. කෙනෙක් කියයි. අනෙකා අසා-සිටියි. අඩු තරමින් කථකයන් මාරු වූයේ වත් නැත. එහෙත් අධ්‍යක්ෂවරයා මේ එකම ක්‍රියාවලිය තුළ අපගේ අවධානය දෙතැනකට යොමු කරයි; නැත හොත් එකම ක්‍රියාවලියේ දෙතැනක් අවධාරණය කරයි.

දැන් අපි මේ එකම ක්‍රියාවලියේ ද්විත්ව අවධාරණය වාක්‍ය දෙකක් මඟින් පැහැදිලිව දැක්විය හැකිදැයි උත්සාහයක යෙදී බලමු.

පළමුවන අවධාරණය කියන්නා මත: ‘කියන්නා අසන්නාට මෙසේ පවසයි.’

දෙවන අවධාරණය කියනු ලබන දෙය මත: ‘කියන්නා විසින් අසන්නාට මෙසේ පවසනු ලැබේ.’

පළමුුවන වැකියේදී ප්‍රකාශය කරන්නා කෙරෙහි ප්‍රමුඛත්වය පැවරිණි නම්, දෙවැන්නේදී ඔහු දෙවන තැනට වැටී, කියවෙන දෙය ඉහළට ගනු ලැබ ඇති බව පැහැදිලිය. පළමුවැන්නේදී අවසාන ක්‍රියාව (ආඛ්‍යාතය) කෙළින්ම කරන්නා (කර්තෘ) හා බැඳී පැවතීම ස්වභාවයයි: ‘කියන්නා – පවසයි’. දෙවැන්නේදී කරනු ලබන දෙය (කර්මය) හා ‘ලබ’ මූලයෙන් සැදි පදයක් ඈඳෙයි. මෙහිදී කරන්නාද වාක්‍යය තුළ දැක්වේ නම්, පැහැදිලිවම ඔහු / ඇය ‘විසින් / අතින් / මඟින්’ යන පදයක් සමඟම වැකියට සම්බන්ධ කරගැනීම අනිවාර්ය වන්නේ, නැත හොත් අර්ථය ව්‍යාකුල වන හෙයිනි. බලන්න:

සදොස් වැකිය: ‘කියන්නා අසන්නාට මෙසේ පවසනු ලැබේ.’

මෙය නිසි ලෙස කොතැන වත් නාභිගත නොවූ කැමරා කාචයක සටහන් වූ රූපරාමුවක් සේ බොඳ වූ අර්ථයක් දක්වා-ලන සැටි නොපෙනේද?

ව්‍යාකරණානුකූල නාමකරණය අනුව පළමුවන වැකිය ‘කර්තෘකාරක’ වාක්‍යයක් ලෙසත්, දෙවැන්න ‘කර්මකාරක’ වාක්‍යයක් ලෙසත් දැන් අපට මතක තබාගන්නට පිළිවන.

ඉතින් ඇයි මේ ලෙස එකම අදහසක් කියා-පෑමට ස්වරූප දෙකක වැකි රටා දෙකක්? යන පැනය දැන් කෙනකුට හැඟී-යනවා විය හැකිය. සැබවින්ම ඊට පිළිතුර මෙ-ලිපියෙහි අපගේ ප්‍රවේශයේම ගැබ් වී තිබිණි. එනම්: ලේඛකයාගේ දැක්ම මත එහි අවශ්‍යතාව තීරණය වන බවයි. එනම්: ඔබට අවශ්‍ය, යමක් කළ කෙනා ඔසවා තැබීමට නම් ඔබ වහලට ගත යුත්තේ කර්තෘකාරක වැකි රටාවයි. සිද්ධිය කෙරෙහිම පාඨක / ශ්‍රාවක අවධානය රැඳවීම ඔබේ අභිප්‍රාය නම් කර්මකාරක වැකි රටාවට යොමු වනු යෙහෙකි.

එහෙත් වෘත්තීය භාෂා සංස්කාරකයකු හැටියට මාගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම නම් සිසුන‍්, ආධුනිකයන් මතු නොව පාසල් ඇදුරන්, මහැදුරන්, මහසඟුන් පවා මේ අරුත් වෙනස නිසි ලෙස වටහාගැන්මෙන් තොරවම ‘ලැබේ / ලබනවා’ යන වදන් සක්ක පද සේ යොදන්නට නැමී සිටින බවයි.

සදොස් වැකිය: ‘මා ප්‍රකාශ කරනු ලබනවා’

වැනි ප්‍රකාශ අපට ජනපති මුවින් පවා නිරතුරු අසන්න ලැබෙන්නේ එහෙයිනි. මේ වැකිය එක්කෝ-

නිදොස් වැකිය: ‘මා විසින් ප්‍රකාශ කරනු ලබනවා’ ලෙස කර්මකාරකයෙන්ම හෝ ‘මා ප්‍රකාශ කරනවා’ ලෙස කර්තෘකාරකයට හරවා හෝ නිවැරදි විය යුතු බව ඔබටම දැන් වැටහෙනු ඇත.

මෙහිදී සුලබව වරදින තවත් තැනකි. එනම්: කර්මකාරකයේ කර්මය බහුවචන රූපයක් ගන්නා අවස්ථාවේදීය. මෙබඳු තන්හිදී වාක්‍යයේ නිමාව ‘ලැබේ’ යැයි ඒකවචනයෙන් තබන අතරේ, කර්මය උක්ත බවට හරවන්නට බොහෝ අයට අතපසු වෙයි. එහෙයිනි අපට ඉකුත් සතියේ හමු වූ-

සදොස් වැකි: ‘සිසුන් බඳවාගැනේ’, ‘රැඳවියන් ඝාතනය කෙරේ’

ස්වරූපයේ වැරදි නිබඳ දක්නට ලැබෙනුයේ. මේවා-

නිදොස් වැකි: ‘සිසුහු බඳවාගැනෙති’, ‘රැඳවියෝ ඝාතනය කෙරෙති’

යනුවෙන් දැන් ඔබටම නිවැරදි කරගත හැකිවාට සැකයක් නැත.

මීළඟට ඔබ සිත පැනනැඟෙන පැනය මම කලින්ම පුරෝකථනය කරමි. එනම්: දැන්වීම්කරණය, ප්‍රචාරණය බඳු වාණිජ කර්තව්‍යයන්හිදී මෙබඳු ව්‍යාකරණානුකූල වැකි කොතෙක් දුරට පෑහේද? යන්නයි.

ඔව්. විමසිය යුත්තක්මය. අපි එය ඉදිරි සතියට තබමු!

silumina.lk
In : බස

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)