සිදත් සඟරා ‘ඬ’ යන්න – මහාචාර්ය ජේ. බී. දිසානායක

No Comment 202 Views

සිදත් සඟරාවෙහි අඩුවෙන් ම හමු වන සඤ්ඤක අක්ෂරය ‘ඬ’ යන්නයි. සිදත් සඟරා සිද්ධාන්තය අනුව ‘සඤ්ඤක ඬ-යන්න’ උපදින්නේ මූර්ධජ අල් ණ-යන්නට පසුව අල්පප්‍රාණ ඩ-යන්න යෙදෙන කල්හි ඒ ශබ්ද සංයෝගය උනු මතින් උච්චාරණය කිරීමේ හේතුවෙනි.

ණ් – ඩ > ඬ

මේ සඤ්ඤක අකුර සහිත තද්භව ප්‍රකෘති සිදත් සඟරාවෙහි යෙදී ඇත්තේ විරල වශයෙනි. පහත දැක්වෙන්නේ එසේ උපන් තද්භව ප්‍රකෘති කීපයකි.

‘දඬුයෙන් මවන ලද දඬුමුවා’ ( 8.6) යන්නෙහි එන ‘දඬු’ යන්න සෑදෙන්නේ ‘දණ්ඩ’ යන තත්සම පදය ඇසු‍රිනි. එසේ ම ‘ගතදෙස් සඳට’ නිදසුන් වශයෙන් දුන් ‘දඬුවම්’ (2.6) යන්නෙහිත් එන ‘දඬු’ යන්නට මූලාශ්‍රය වන්නේ ‘දණ්ඩ’ යන තත්සම පදය යි.

‘පඬිහු අරුත් පළ කළෝ’ (7.10) යන්නෙහිත් ‘පඬුවෝ මැ මෙහි පමණෝ’ යන්නෙහිත් එන ‘පඬි’ යන්න ‘පණ්ඩිත’ යන්නෙන් සෑදෙන්නකි.

‘පඬු ඇඹුල්’ (1.26) යන්නෙහි එන ‘පඬු’ යන්න එන්නේ ‘පණ්ඩු කම්බල’ යන්නෙනි. මෙයින් අදහස් කරන්නේ සක් දෙවිඳුන්ගේ අසුන යි. මේ අසුන හැඳින්වීමට ‘පඬු ඇඹුල් සල අසුන්’ ‘පඬු ඇඹුල් සලහසුන්’ ‘පඬු කඹල් සලහසුන්’ ‘පඬුපුල් අසුන්’ යන පද ද යෙදේ.

‘යහ ප‍ඬෙරහු සුපුල්’ (12.20) යන්නෙහි එන ‘ප‍ඬෙර’ යන්න සෑදෙන්නේ ‘පූණ්ඩරික’ යන්නෙනි‍. එනම් හෙළ පියුම් ය.

‘පා පිඬු’ (10.4) යන්නෙහි ‘පිඬු’ යන්න සෑදෙන්නේ පිණ්ඩ’ යන්නෙනි. භික්ෂුන් වහන්සේ නමක් ‘පිණ්ඩ පාතය’ සඳහා යෑම ‘පිඬු සිඟා වැඩීම’ යි.

‘මහා බෝ මඬට’ (4.17) යන්නෙහි එන ‘මඬ’ යන්න ‘මණ්ඩ’ යන්නෙන් සෑදෙන්නකි.

‘දහම්හි සොඬ දහම් සොඬ’ (5.5) යන්නෙහි එන ‘සොඬ’ යන්න සෑදෙන්නේ ‘සොණ්ඩ’ යන තත්සම පදය ඇසුරිනි.

එහෙත් සඤ්ඤක ‘ඬ’ යන්නක් සහිත හැම පදයක් ම සෑදී ඇත්තේ යට දැක්වුණු ශබ්ද සංයෝග උනු මතින් උච්චාරණය කිරීමෙන් යැයි කිව නොහේ.

සිදත් සඟරාවෙහි එන ‘හ‍ඬෝනා’ හා ‘පඬුරු’ වැනි පදවලට සඤ්ඤක ‘ඬ’ යන්නක් ආ සැටි පැහැදිලි නැත‍. ‘හ‍ඬෝනා’ යන පදය ඉදිරිපත් කොට ඇත්තේ ‘පෙරසර ලොප් සඳ’ නමැති සන්ධි විධිය පැහැදිලි කරනු පිණිස ය. ‘‍හ‍ඬො‍්නා ඈ පෙරසර ලොප් සඳ නම්’ (2.2). මෙහි එන ‘‍හ‍ඬෝනා’ යන පදය සෑදෙන්නේ ‘හඬ’ හා ‘ඕනා’ යන පද දෙක සන්ධි වීමෙන් බව කියා ඇත.‍ එහෙත් ‘හඬ’ යන්නට සඤ්ඤක ‘ඬ’ යන්නක් ආවේ කෙසේ දැයි පැහැදිලි නැත.

‘සැරදෙ නුවන්මිණිපඬුරෙන්’ (4.10) යන්නෙහි ‘පඬුරු’ යන්න සෑදෙන්නේ ‘පණ්ණාකාර’ යන්නෙන් යැයි කියනු ලැබේ. එසේ නම් එහි ඇත්තේ ‘ණ්-ඩ’ යන ශබ්ද සංයෝගය නොවන බව පෙනේ.

සිදත් සඟරාවෙහි ම දක්නට ලැබෙන සඤ්ඤක අක්ෂර සහිත ප්‍රකෘතිවලින් කරුණු දෙකක් ඉස්මතු වේ.

පළමුවැන්න : සමහර සඤ්ඤක අක්ෂර උපදින්නේ සිදත් සඟරා කතුවරයාණන් කියන පරිදි නාසික්‍ය ශබ්ද සහිත ශබ්ද සංයෝගයක් ‘උනු මතින්’ හෝ ‘අඩු මාත්‍රාවෙන්’ හෝ උච්චාරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

දෙවැන්න : සමහර සඤ්ඤක අක්ෂර උප‍දින්නේ වෙනත් ශබ්ද ආශ්‍රයෙන් බව යි. ‘වෙසඟ’ ‘පඬුරු’ ‘වඳුරු’ හා ‘බඹ’ ආදී ප්‍රකෘතිවල එන සඤ්ඤක අක්ෂර මෙනි.

සඤ්ඤක ශබ්ද උපන්නේ මේ කවර විදියකින් වූවත් එසේ උපන් ‘සඤ්ඤක ශබ්ද’ හා ඒ ශබ්ද නිරූපණය කරන ‘සඤ්ඤක අක්ෂර’ සිංහල හෝඩියට අයත් ‘ස්වාධීන’ හෝ ‍’කේවල’ අක්ෂර සේ නොසැලකිණ.

‘අ-ග’ යන පදයෙහි මාත්‍රා දෙකකි. ‘අං-ග’ යන පදයෙහි මාත්‍රා තුනකි. ‘අංග’ යන පදය උනු මතින් උසුරුවනු ලැබීමෙන් උපදින ‘අඟ’ යන්නෙහි ද මාත්‍රා දෙකකි. ‘අග’ යන්නෙහි එන ග-යන්න ස්වාධීන අක්ෂරයක් සේ පිළිගත හැකි නම් ‘අඟ’ යන්නෙහි එන ‘ඟ’ යන්න ස්වාධීන අක්ෂරයක් නොවන්නේ කවර හෙයින් දැයි පැහැදිලි නැත.

‘ම-ඩ’ යන පදයෙහි මාත්‍රා දෙකකි. ‘මණ්-ඩ’ යන පදයෙහි මාත්‍රා තුනකි. ‘මණ්ඩ’ යන පදය උනු මතින් උසුරුවනු ලැබීමෙන් උපදින ‘ම-ඬ’ යන්නෙහි ද මාත්‍රා දෙකකි. ‘මඩ’ යන්නෙහි එන ඩ-යන්න ස්වාධීන අක්ෂරයක් සේ පිළිගත හැකි නම් ‘මඬ’ යන්නෙහි එන ‘ඬ’ යන්න ස්වාධීන අක්ෂරයක් නොවන්නේ කවර හෙයින් දැයි නොතේරේ.

‘අ-ද’ යන පදයෙහි මාත්‍රා දෙකකි. ‘අන්-ධ’ යන පදයෙහි මාත්‍රා තුනකි. ‘අන්ධ’ යන පදය උනු මතින් උසුරුවනු ලැබීමෙන් උපදින ‘අ-ඳ’ යන්නෙහි ද මාත්‍රා දෙකකි. ‘අද’ යන්නෙහි එන ද-යන්න ස්වාධීන අක්ෂරයක් සේ පිළිගත හැකි නම් ‘අඳ’ යන්නෙහි එන ‘ඳ’ යන්න ස්වාධීන අක්ෂරයක් නොවන්නේ කවර හෙයින් දැයි නොවැටහේ.

‘අ-බ’ යන පදයෙහි මාත්‍රා දෙකකි. ‘අම්-බ’ යන පදයෙහි මාත්‍රා තුනකි. ‘අම්බ’ යන පදය උනු මතින් උසුරුවනු ලැබීමෙන් උපදින ‘අ-ඹ’ යන්නෙහි ද මාත්‍රා දෙකකි. ‘අබ’ යන්නෙහි එන බ-යන්න ස්වාධීන අක්ෂරයක් සේ පිළිගත හැකි නම් ‘අඹ’ යන්නෙහි එන ‘ඹ’ යන්න ස්වාධීන අක්ෂරයක් නොවන්නේ කවර හෙයින් ද?

‘සඤ්ඤක අක්ෂර’ යනු ‘සඤ්ඤක ශබ්ද’ නම් ශබ්ද විශේෂය සංකේතවත් කරන අක්ෂර විශේෂයයි. එවැනි ශබ්ද විශේෂයක් ඇත්තේ සිංහල භාෂාවෙහි පමණකි. එසේ වුවත් මේ අකුරු සිංහල හෝඩියට එක් වුණේ ඒ අකුරු බිහි වී සිය වස් දෙකක් පමණ ගිය තැනේ දී ය. සිදත් සඟරා කතුවරයා‍ණන්ට පසුව ආ වියරණ ඇදුරන් ද සිංහල අපට ම සුවිශේෂ වුණු ‘සඤ්ඤක අක්ෂර’ සිංහල හෝඩියට එක් කිරීමට නොසිතීම අපේ අවාසනාවකි.

In : බස

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)