ගුණදාස අමරසේකර නූතන කවි කියවා නැහැ – තිඹිරියාගම බණ්ඩාර

No Comment 108 Views

ප‍්‍රවීණ මාධ්‍යවේදියකු, සාහිත්‍යවේදියකු වන තිඹිරියාගම බණ්ඩාරගේ පස්වන කාව්‍ය සංග‍්‍රහය වන ‘රිදී දිය රැළි බිඳී’ නමැති කෘතිය එළඹෙන 9 වන අඟහරුවාදා කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණඩලයේ දී ජනගත කිරීමට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිත්තෙන් තිඹිරියාගම බණ්ඩාර සමඟ කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයකි.

ඔබ සාහිත්‍යය මාන කිහිපයක් ම ස්පර්ෂ කළ පුද්ගලයෙක්. එනම්: කවිය, නවකතාව, තීරු ලිපිය, විචාරය, චරිත ගවේෂණය යනාදී බොහොමයක්. නමුත් ඔබ වැඩි ආශක්තභාවයක් දක්වන්නේ කවියට.

ඇත්තට ම මගේ සාහිත්‍යය ජීවිතයේ ආරම්භයත් කවිය. මගේ යම් සාහිත්‍යය නිර්මාණයක් පුවත්පතක පළ වුණා නම් ඒකත් කවියක්. ඒ ගැන මගේ පොතේ ඉතාමත් කෙටියෙන් සඳහන් කර තිබෙනවා. පුවත්පත් කලාවට පිවිසීමෙන් අනතුරුවත් මට බොහෝ සෙයින් ළං වුණේ කවිය. මකරන්ද කවි පිටුව සංස්කරණය කරන්න ලැබීම ඊට හොඳ ම උදාහරණයක්. ලේඛක පාඨක වැඩමුළුවකට ආරාධනා ලැබුණත් ඒකත් කවිය සම්බන්ධව යි. මගේ පුවත්පත් ජීවිතය පුරා ම කළ සියලූ‍ කාර්යයන්වල පැවති රළු ස්වභාවය මෘදු බවට පත් කරගන්නත් කවිය බලපෑ බව මම විශ්වාස කරනවා.
ඔබේ ජිවිතයේ වැඩි කාලයක් කවියත් සමඟ ගැවසුණ බව සහ ගැවසෙන බව දැන් පැහැදිලියි. එසේ නම් ඔබ කවිය අර්ථකථනය කරන්නේ කෙසේ ද?

අපේ ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන සිදුවීම් තිබෙනවා. ඒවා මානව කේන්ද්‍රීය දේවල් වෙන්න පුළුවන්. සොබාදහමේ දේවල් වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන ක‍්‍රමවේද තිබෙනවා. මගේ අතේ වේදනාවක් තිබෙනවා නම් ඒ වේදනාව ආවෙ කොහොමද කියල හොයනවා. කිසිවකු මට පහර දෙන්න සූදානම් වෙනවා නම් මමත් ඔහුට පහර දෙන්න සූදානම් වෙනවා. නමුත් කවියෙ දී වෙන්නෙ සහ විය යුත්තේ අපි දන්න දේ නොවෙයි; අපි හැම මොහොතෙම කරන දේ නොවෙයි; අලූ‍ත් දෙයක්. කවිය ඔස්සේ සමාජගත විය යුත්තේ වෙනස් දෙයක්.
කවිය සහ කවියා විවිධාකාරයේ වර්ග කිරීම්වලට ලක් වෙනවා. ඒ: ආධුනික, කුකවි, දුහුනා යනාදි වශයෙන්. මෙයෙ මෙසේ විය හැකිද? නොහැකිද? හැකි නම් ඒ ඇයි? නොහැකි නම් එසේ වන්නේ ඇයි?

පළමුවෙන් ම කියන්න අවශ්‍ය වන්නේ ඒ වර්ගීකරණය වැරදි බව යි. ඒ වර්ගීකරණය එන්නෙම ‘කවිය’ කියන්නෙ ම තමන් අතහැරීම යන්න පිළිබඳ අවබෝධය නොමැති නිසා. ‘මම’ කියන සංකල්පය ගනිමු. මා අතින් ලියැවෙන කවිය යනු මගේ නිෂ්පාදනයක්. නමුත් කවිය සහ කවියා යනුවෙන් අදහස් කරන්නේ ‘මම’ ම ‘මගෙන්’ දුරස් කරගැනීම. මේ ආකල්පයට යාමට නොහැකි වුණොත් ඒ කවිය කවියක් නොවෙනවා වගේ ම ඒ කවියාට ද කවියෙක් විය නොහැකියි. නමුත් සාමාන්‍යයෙන් කාව්‍ය ක්ෂේත‍්‍රයේ දී අපිට දකින්න ලැබෙන්නෙ මොනවද? ඇතැම් කවියො හිතනවා ‘‘මම අවුරුදු 50ක් කවි ලියා තිබෙනවා. මම අවුරුදු 60ක් කවි ලියා තිබෙනවා.’’ නමුත් තරුණ කවියෙක් හිතන්න පුළුවන් ‘‘මම අවුරුදු 10යි කවි ලියා තිබෙන්නේ. නමුත් මගේ කවි අරයගෙ කවිවලට වඩා හොඳයි’ යනුවෙන්. ඒ දෙන්නම ගැවසෙන්නෙ මම අර කියූ ප‍්‍රපංචයේ. ඔවුන් දෙදෙනා අතර ම මමංකාරය එහෙමත් නැත්නම් මමත්වය තුනී කරගත් බවක් දකින්න ලැබෙන්නෙ නැහැ. එබඳු පරිසරයක් ගොඩ නැගෙන්නේ විවිධ හේතු අනුව. අපි මේ විදියට හිතමු… පුද්ගලභාවය සහ සමාජභාවය යන කාරණා සලකා බලන විට පුද්ගලයා නිර්මාණය වෙන්නේ එක්තරා සංස්කෘතියක් ඇතුළෙ. ඒ සංස්කෘතිය ඇතුළෙ: පුද්ගලයකුගෙ අභිමානය, අර්ථය, අරමුණ ඒ සියල්ල තීන්දු වෙන්නෙ මෙන්න මේ මමංකාරය තුළින්. යම් පුද්ගලයෙක්: විශේෂයෙන් ම කලාකරුවෙක් හෝ කලාකාරියක් තමන්ගෙ පැත්තට ම බර වෙනවා නම් එතැන සිද්ධ වෙන්නෙ සංස්කෘතික අවපතනයක්. ඔබ සඳහන් කළ ආධුනික සහ දුහුන භේදය මතු වෙන්නෙත් ඒ නිසා.
මේ සඳහා උදාහරණයක් සපයන්න පුළුවන්ද?

ඔව්… පුළුවන්… මේ සඳහා හොඳම උදාහරණය ගුණදාස අමරසේකර. ඔහු මම කැමැති පැරණි සාහිත්‍යවේදීන්ගෙන් එක් සාහිත්‍යවේදියෙක්. නමුත් ඔහු මහගම සේකර කවියෙක් කියා කිසිම දවසක පිළි අරගෙන නැහැ. අනාගතයේ දී පිළිගන්න එකකුත් නැහැ. ඒ සමඟම ඔහු නූතන කවියක් තිබෙන බව පිළිගන්නෙත් නැහැ. ඒකට හේතුව වෙන්නෙ ඔහු ඒ කවි නොකියවා සිටීම. නමුත් ඔහුගේ අතීත සාහිත්‍යය නිර්මාණ විමසුවාම ඒවායේ ඉතාම විදග්ධ සාහිත්‍යවේදියෙක් හමු වෙනවා. නමුත් මම විශ්වාස කරනවා අමරසේකර සහ ඒ පරපුර බිහි වෙන්නෙ සංස්කෘතික අවපතනයක් පවතින සමයේ බව. ඊට වඩා හොඳ සංස්කෘතික අර්ථකථනයක් තිබුණා නම්, මේ කවියො මේ විදියට පිරිහෙන්නේ නැහැ. සිදු වෙන්නේ ඔවුන් තව තවත් ඉහළට යාම යි. ඒ විදයට අරගෙන බැලූ‍වාම ආධුනික, කුකවි සහ දුහුනන් යන සංකල්පය ඇවිත් තිබෙන්නේ මෙන්න මේ පසුබිම තුළ. නමුත් අද තරුණ කවි කිවිඳියො කවි ලියනවා. සම්මානත් ලබනවා. වයසින් අවුරුදු 25ක් හෝ 30ක තරුණ කවියෙක් හෝ කිවිඳියක් සම්මානයට පාත‍්‍ර වෙන්න පුළුවන්. ප‍්‍රවීණයි කියන, ඉහළයි කියන අයට මේක දරාගන්න බෑ. ඔවුන් නූතන කවිකිවිඳියන්ගේ නිර්මාණ කිය වන්නෙත් නැහැ. නමුත් ඔවුන් සිතා සිටින්නේ සමස්ත විශ්ව සාහිත්‍යය ම ඔවුන්ගේ අතේ පවතින බවයි. ඉස්සර ‘පංච මහා සාහිත්‍යකරුවෝ’ නමින් කොටසක් නම් කළා. නමුත් අද්‍යතනයේ ‘දස මහා සාහිත්‍යයකරුවෝ’ සිටිනවා. මගේ වයස දැනට 54 යි. මම පළමු කවි පොත පළ කළේ 1984 වසරෙදි. ‘රිදී දිය රැළි බිඳී’ මගේ පස්වන කවි පොත. මම වෙනත් පොත් 40ක් පමණ ලියා තිබෙනවා. නමුත්: මම ප‍්‍රවීණයෙක්, මම ජ්‍යෙෂ්ඨයෙක් කියා මම හිතුවොත් මම එතන ම ඉවරයි. ඒ නිසා මම තවමත් හිතන්නෙ මම ආධුනිකයෙක් බවයි.
මම දන්න තිඹිරියාගම බණ්ඩාර කියන්නෙ හුදු මාධ්‍යවේදියෙක්, හුදු කවියෙක්, හුදු තීරු ලිපි රචකයෙක් නොවෙයි. ඔහු දැවැන්ත ලෙස දේශපාලනිකරණය වූ දේශපාලන සත්වයෙක්. නමුත් ඔබේ මේ කෘතියේ නිර්මාණ තුනක් හැර අනෙක් සියල්ලම ඒ ඉම ස්පර්ශ නොකර යම් යම් රූපක හරහා වෙනත් මානයන් ප‍්‍රතිනිර්මාණය කළ වගක් පේනවා.

හරියට ම හරි… ඔබ හරියට ම හරි… ‘කවිය’ කියන්නෙ ‘කවිය…’ කවිය කියන්නෙ දේශපාලන මතවාද පතුරුවා හරින මහා මණ්ඩපයක් නොවෙයි. කවිය කියන්නෙ කවිය. කෙටිකතාව කියන්නෙ කෙටිකතාව. නවකතාව කියන්නෙ නවකතාව. සාහිත්‍යකරුවා යනු තමන්ගේ මතයක්, තමන්ගේ අදහසක් සමස්ත කෘතිය පුරාම කියන කෙනෙක් නෙවෙයි. නවකතාකරුවා, කවියා සහ කෙටිකතාකරුවා කළ යුත්තේ ඊටත් වඩා සියුම් කාර්යයක්. දේශපාලන මතයක්, සමාජ සංසිද්ධි, සමාජ අසාධාරණකම් මට මගේ කොලමක දි ලියන්න පුළුවන්. ඒක මගේ විශේෂාංග ලිපියක දි ලියන්න පුළුවන්. නමුත් සාහිත්‍යය කලාව කියන්නෙ පුවත්පත් වාර්තාකරණය හෝ ගවේෂණාත්මක සහ පර්යේෂණාත්මක ලිවීමක් නොවෙයි. කවියට, නවකතාවට සහ කෙටිකතාවට ඊට ම අනන්‍ය වූ හැඩයක් තිබෙනවා. දේශපාලන ලිපියේ, තීරු ලිපියේ සහ විශේෂාංග ලිපියේ ද ඊට ම අනන්‍ය වූ ලක්ෂණ තිබෙනවා. නමුත් කවියට ආවේණික වී තිබෙන්නේ වෙනස් ගතියක්. එහෙම නම් කවියෙන් කලා කෘතියකට හානි පැමිණෙන ආකාරයේ කිසියම් දේශපාලන මතයක් වේවා, කවියාගේ මතවාදය ඉස්මතු වී තිබේ නම් මම විශ්වාස කරන්නේ එහි දී කවිය යට ගොසින් දේශපාලන මතවාදය ඉහළට මතු වී ඇති බවයි.
නමුත් ඔබ ‘සංග‍්‍රාම ජය ඝෝෂාවෙන් පසු’ නමැති නිර්මාණයේ දී ඔය අදහස ඛණ්ඩනය කරනවා.

ඔබේ තර්කයට මම අඩක් එකඟයි. අඩක් එකඟ නැහැ. මොකද මම ඒ නිර්මාණයේ දී කිසියම් ජාතියක් ඉලක්ක කළේ නැහැ. එහි දී මම යොදන්නෙ ‘ජාතික කොඩි පයට පෑගී කානු පල්ලේ වැටී’ යනුවෙන්. මෙය ලෝකයේ සිටින ඕනෑම ජාතියකට වලංගුයි. එය ඉන්දියාවෙ, චීනයේ, ජපානයේ, ඇමරිකාවේ, එංගලන්තයේ සහ වෙනත් ඕන ම රටක ජාතික කොඩිය වෙන්න පුළුවන්. ඒ නිසා මෙම නිර්මාණය ජාත්‍යන්තර භාෂාවට පරිවර්තනය කළොත් ඔබ ඔය කියන දේශපාලන සන්දර්භය අබිබවා ගිය විශ්වීය නිර්මාණයක් වෙන්න පුළුවන්.
හරි… ඒ කවිය එහෙමයි කියමුකෝ… එහෙම නම් ‘හදිසි අනතුරක්’ නමැති නිර්මාණය?

ඔබ මගේ දුර්වලතා හොයනවද කියා මට වැටහෙන්නේ නැහැ. නමුත් ඔබට මතක ඇති ඊනියා යුද ජයග‍්‍රහණයෙන් අනතුරුව අපේ රටේ පාර පුරා ම ළිප ගිනි මොළවමින් කිරිබත් කාපු විදිය. මම එක්තරා ආයතනයක සේවය කරද්දි මේ අත්දැකීමට මුහුණ දුන්නා. මම ඒ කිරිබත නොකා මගහැරීම නිසා මට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එය දරා සිටීමේ හැකියාව මට තිබුණත් මෙය සමාජ ගතකළ යුතුයි කියා අදහස් කළා. මේ නිර්මාණයට නිමිත්ත වෙන්නේ එය යි. නමුත් ඒ නිර්මාණය හරහා ඔබ අදහස් කරන පරිදි කුමන හෝ දේශපාලන මතවාදයක් ඉස්මතු කරන්න මම බලාපොරොත්තු වුණේ නැහැ.
හොඳයි… මම ඔබට මෙබඳු යෝජනාවක් ගේනවා. ඔබ විසින් සංස්කරණය කරන ලද එක් මකරන්ද කාව්‍ය කෘතියක් මගේ විමංසනයට භාජනය වෙනවා. නමුත් එහි අන්තර්ගත කවි බොහොමයක් ඔබ දැන් ඔය විදියට අතහරින එහෙමත් නැත්නම් මගහැර යන දේශපාලන සංදර්භය තුළ ලියැවුණ කවි…? ඔවුන්ගේ කවි බොහොමයකට අනුභූතීන් වී තිබුණේ සමාජ අසාධාරණ, සමාජ දරිද්‍රතාව, සමාජ අකටයුතුකම්…?

ඒකට පිළිතුරු සපයන්නට පෙර මම මේ විදියට ප‍්‍රවේශ වෙන්නම්. පැබ්ලෝ නෙරූදට මම හුඟක් කැමතියි. ඔහු චිලියේ මර්දනකාරී ප‍්‍රවණතාවලට එරෙහිව, ඇමරිකාවේ හෙවණැල්ලට විරුද්ධව කවි ලියනවා. අනතුරුව වික්ටර් හාරා ඔහුගේ ගාමක ශක්තියක් බවට පත් වෙනවා. ඒ නිසා මම ඒ දේශපාලන සන්දර්භය ප‍්‍රතික්ෂේප කිරීමක් හෝ මගහැර යාමක් කරන්නේ නැහැ. මම විවෘත ආරාධනයක් කර විශාල කවි ප‍්‍රමාණයක් ගෙන්වා ගනිද්දි අර මම කලින් සඳහන් කළ ආකාරයේ ප‍්‍රවණතාත්මක කවි භූමියේ ගැවසුණ කවි බොහොමයක් තිබුණා. එසේ නොවන කවිත් තිබුණා. ඒ නිසා එතන දි ‘කලාව කලාව සඳහා ම ය’ කියන තැනක ඉඳගෙන කවි තේරුවෙ නැහැ. එතනදි මට ලැබුණ කවි අතරින් බහුතරයක් තිබුණේ ප‍්‍රවණතාත්මක කවි නම් මට සිද්ධ වුණා ඒ අතුරින් හොඳ ම නිර්මාණ තෝරා ගන්න. එතන දි මගේ දෘෂ්ටිවාදයට ප‍්‍රමුඛත්වය දුන්නේ නැහැ.
ඔබගේ නවතම කෘතියේ සෞන්දර්යාත්මක රූපක මවනවා. නමුත් ඒ රූපක ඉවත් කළ විට මතුවන හිස් අවකාශයේ වෙනත් මානයන් ප‍්‍රකට කරනවා. උදාහරණයක් විදියට ‘අරගලය’ නිර්මාණය සඳහන් කරන්න පුළුවන්. එහි දී ඔබ බැහැර කරනවා යැයි පැවසූ දේශපාලන සන්දර්භය ද ඇතුළත් නේද?

ඔව්… එතන දි මට වුවමනා වුණේ මේ දෙබිඩි ජීවිත පිළිබඳ යම් හෙළිදරව්වක් කරන්න. ඒ එක්ක ම අනුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න පවා යුහුසුළු වන අයගේ ජීවිතයේ ඇතුළුවත හෙළි කරන්න. එහි දී අර කියූ දේශපාලන සන්දර්භය අත්හැරීම හෝ මගහැර යාම කළ නොහැකියි. මොකද ඒ අනුභූතිය ම දේශපාලනික යි.
අපේ රටේ සිංහල බෞද්ධ සංකල්පය පැලපදියම්ව තිබෙන සන්දර්භය තුළ ඇතැම් පන්සල්වලට ලැබෙන පිරිකර ඒ ඒ භික්ෂූන්ගේ පරිහරණයෙන් අමතරව වෙනත් අරමුණු සඳහා යොදා ගන්නවා. ඒ සිංහල බෞද්ධ රටේ ම ඇතැම් පන්සල්වල භික්ෂූන් වහන්සේලා තමන්ගේ එදිනෙදා දාන වේල සරිකරගන්න බැරුව අපහසුතාවට පත් වෙනවා. ‘පන්සලේ අඳුරු ගල්පල්ල’ කාව්‍ය නිර්මාණය තුළින් මෙය මැනවින් ප‍්‍රකට වෙනවා. මෙය ඔබ අත්දුටුවක් ද? එසෙත් නැතිනම් ඇසූවක් ද?

ඇත්තට ම මේ තත්ත්වය හරිම ඛේද ජනකයි. මෙහි සඳහන් ආකාරයේ පන්සල් අනන්තවත් තිබෙනවා. මම මේ කවියෙන් දෙන පණිවිඩය ඔබට සන්නිවේදනය වුණා කියන්නෙ කවිය සාර්ථකයි කියන්න හොඳ සාක්ෂියක්. ඔබේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙනවා නම්, ඇත්තට ම මේක මගේ පුද්ගලික අත්දැකීමක්. ලංකාවේ එදා වේල සරිකරගන්න බැරි පුද්ගලයො වගේ ම දින, සති හෝ මාස ගණනාවක් වුනත් කොළඹ තරු පහේ හෝටලයක නවාතැන් ගන්න පුළුවන් අය මේ රටේ ඉන්නවා. ඊට වඩා භයානක දේ වෙන්නෙ මේ තරමට ම උඩුදුවපු සංඝ සමාජයකුත් පැවතීම. පලතුරුවලින් චෛත්‍යයක් ආවරණය කරන රටේ ඈත පිටිසර ගම්මානවල දානෙ වේල හොයාගන්න බැරි හාමුරුවරු වැඩසිටින පන්සල් තිබෙනවා. මේ සඳහා මට නිමිති වුණේ නොච්චියාගම ප‍්‍රදේශයේ ඈත පිටිසර ගමක විශේෂාංගයක් කරන්න ගිය වෙලාවෙ දැකපු දෙයක්. ඒ වන විට දැඩි නියඟයකින් ඒ ප‍්‍රදේශයේ වැව් පවා හිඳිල තිබුණා. මම දැක්කා ඈත ගල්තලාවක සාමණේර හිමිවරු කිහිප දෙනෙක් මිරිස් වගයක් වේළනවා. මම එතන නතර වෙලා පොඩි හාමුදුරුවො සමග කතා කළා. මම ඇහුවා ‘හාමුදුරුවනේ මිරිස් වැව්වද?’ කියල. හාමුදුරුවො කියනවා… ‘‘අනේ නෑ උපාසක මහත්තයෝ… මේ දවස්වල මේ පැත්තෙ මිනිස්සුන්ටත් අපිට දානෙ දෙන්න තියා ඒ මිනිස්සුන්ට කන්නත් නෑ. ඒ නිසා ගොවි උපාසක මහත්මයෙක් මිරිස් වගයක් ගෙනත් දුන්නා කාටහරි විකුණලා හරි මුදල් ටිකක් හොයාගෙන දානෙ වේලක් උයාගන්න කියල’’ මේ අත්දැකීම මම ප‍්‍රතිනිර්මාණය කළා.
අවසාන වශයෙන් ඔබේ පාඨක පිරිසට සහ සමස්ත කාව්‍ය රසික රසිකාවියන් වෙත කිව යුතු පොදු පණිවිඩයක් තිබෙනවාද?

මම මේ කවි පොතට තෝරා ගත්තේ වසර තුනක නිර්මාණ අතුරින් ස්වල්පයක් පමණයි. ඒ කවි ටික වුනත් දැන් මට අයිති නැහැ. මේ කවියේ අන්තර්ගත වචන, ජීවන අත්දැකීම් සමුදාය, පරිකල්පනයේ මිහිර, ඒ කිසිවක් මට පමණක් හිමි නැහැ. ඒ සමස්ත මානව ශිෂ්ටාචාරයේ ම පැතිකඩක්. ඒ නිසා ඒ සියල්ල අයිති සමස්ත මානව ශිෂ්ටාචාරයට ම යි.

ජයසිරි අලවත්ත
m.j.alawatta@gmail.com

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)