කැටපත්පවුර – අන්තර්ජාලයට බට පළමු සිංහල සාහිත්‍ය සංග‍්‍රහය

No Comment 500 Views

කැටපත්පවුර වෙබ් අඩවිය මං ආරම්භ කරන්නෙ 2001 නොවැම්බර් මාසයෙ. 2000 අවුරුද්දේ තොරතුරු තාක්ෂණය පිළිබඳ මගේ MSc උපාධිය පටන්ගත්ත ගමන් මට ඕනෙ වුණේ මං ඉගෙනගත් දේ සිංහල සාහිත්‍යය වෙනුවෙන් යොදවන්න ඕනෙ කියන කාරණය. (1997 අවුරුද්දේ එවකට තිබුණ හොඳම සිංහල වර්ණාවලි මෘදුකාංගය වුණ තිබස් වැඩ සටහන මිලට ගත්තෙත් ඒ අරමුණෙන්මයි. ඒ කාලයේ ඒ වැඩසටහනේ මිල රුපියල් 25000 ක්බව මගේ මතකයයි)

 

 

සිංහල සාහිත්‍යය වෙනුවෙන්ම කැපවුණ පළමු සිංහල වෙබ් අඩවිය කැටපත් පවුරයි. 2009 ජනවාරි 9 වනදා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයෙදි පැවැත්වුණ මගේ පොත් තුනක් එළිදැක්වීමේ උළෙලෙදී කේ කේ සමන් කුමාර සොයුරා කළ කතාවෙන් ඔහු ඒ බව තහවුරු කිරීම මට විශාල සතුටක්. පුළුල් අර්ථයෙන් ලොව පුරා විසිරිලා ඉන්න කවි කිවිඳියනට ලේඛක ලේඛිකාවනට සිය නිර්මාණ සයිබර් අවකාශයෙ පළකරන්නට හැකි වන ආකාරයෙන් සාහිත්‍ය සංග‍්‍රහක් හැටියට බිහිවෙන්නෙ කැටපත් පවුරයි.

 
කැටපත්පවුර වෙඞ් අඩවිය ආරම්භ කළේ ඒ වන විට හඳුන්වා දී තිබුණ කපුටා අකුර පාවිච්චි කරමිනුයි. මගේ අවශ්‍යතාව සඳහන් කරමින් ඔවුන්ට ඊමේලයක් යැවූ විට ඔවුන් තමන්ගේ අකුර පාවිච්චි කරන්න මට අවසර දී එවා තිබුණා. පසුකාලයක අපි යුනිකෝඩ් වලට මාරුවෙනතෙක් පාවිච්චි කලේ කපුටා අකුර

 
එදා සිට අද දක්වා මම කැටපත්පවුර පවත්වාගෙන එන්නෙ සත පහක ආර්ථික ලාභයක් ලබාගෙන නෙවෙයි. මාස්පතා වෙබ් සර්වරයටත් අවුරුදු පතා ඩොමේන් නමටත් නිවසේ අන්තර්ජාල සබඳතාවටත් ගෙවමින් දැනට මම අවුරුදු 16 ක් කැටපත්පවුර පවත්වාගෙන ගිහින් තිබෙනවා. “අපි සයිබරයට අපේ නිර්මාණ ගෙනාවෙ කැටපත් පවුර හරහා” කියන කවියන් කිවිඳියන් මට හමුවෙනවා. එය විශාල සතුටක්.

 

 

අපි මේ ගමන ඉතා නිහඬව ආ ගමනක්. අපට පබ්ලිසිටි දෙන්න කෙනෙක් හිටියෙ නැහැ. පත්තර තිබුණෙත් නැහැ. ෆේස්බුක් තිබ්බෙත් නැහැ. ඒත් අපට ලිව්ව ලේඛක ලේඛිකාවන්ගේ කට වචනයෙන් අප ගැන අනිත් අය දැන ගත්තා.

 
කැටපත්පවුර ගෙනයන්න වරින් වර මට උදව් කළ අය අතර තුෂාරි ප‍්‍රියංගිකාත් ජගත් වෙත්තසිංහත් ඉන්නවා. කැටපත්පවුරට ලිව්ව හා ලියමින් සිටින කවියන් කිවිඳියන් ගණන මට මතක නැති තරම්. ඒ අය මට ලබාදුන්නෙ විශාල ශක්තියක්.

 
මට හැකි තරම් කාලයක් කැුටපත්පවුර පවත්වාගෙන යනවා. ඔබේ සහයෝගය දිගින් දිගටම මට ලැබේ යයි මම විශ්වාස කරනවා.

 

 

ජගත් ජේ එදිරිසිංහ
2017 අපේ‍්‍රල් 20

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)