කරදරය – ජනනි මුදාගේ

No Comment 17 Views

 

“දවස් කීපයකට අම්මලාගේ ගෙදර නවතින්න ගිහින් එනවද?” පීයුෂ් තම බිරිඳට යෝජනා කළේ ඉතා පහත් මෘදු ස්වරයෙනි.

කේෂා ඔහු දෙස බලා සිටියේ කිසිවක් කරගියා ගත නොහැකිව ය. ඇය සිතා සිටියේ පීයුෂ් කෑ ගසනු ඇත කියා ය. ඇය ඔහු ගැන ඉතා හොඳින් හඳුනාගෙන සිටියා ය. විවාහයෙන් වසර දෙකක් යනු පිරිමියෙකු හඳුනා ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයකි. දරුවා ඉපදීමෙන් පසු රෝහලෙන් නික්ම ආ දා සිට පීයුස් කෝප ගැන්වෙන බව ඇය දුටුවා ය. ඔහු ඉමහත් ආයාශයෙන් තම හැඟුම් මැඩගන්නා අයුරු කේෂාට පෙනුණි.
පීයුස් ඕනෑම දිනයක පුපුරා යා හැකි ය. එහෙත් ඊට කේෂාගේ ඇති වරද කුමක්ද?
පළමු රාත්‍රියෙහි පාන්දර දෙකට අවදි වූ දරුවා කෑගසා හඬන්නට පටන් ගත්තේ ය. එවිට පීයුෂ්ගේ නින්ද කැඩුණි. එහෙත් එතැන දී ඔහු අමනාප වූයේ නැත. අමනාප වීමට ඇත්තේ කවර හේතුවක් ද? දරුවා අවදි වී හඬමින් සිටියේ ය. රාත්‍රී දෙකට අවදි වී දරුවා හඬන්නේ ඔහුට ඇති ආශාවකින් නම් නොවේ. ඔහුට කිසිවක් උවමනා වන්නට ඇත. නැතිනම් කිසිදු අපහසුතාවයක් දැනෙන්නට ඇත. කේෂාටද මේ සම්බන්ධයෙන් කිසිදු විශේෂ දැනුමක් නොතිබුණි. ඒ ඇගේ කු`ථඳුල් දරුවා බැවිනි. ඇගේ දැනුම සීමිතව තිබුණේ පොත්පත්වලට පමණක් නොවේද? කේෂා දරුවාට කිරි ටිකක් හා වතුර ස්වල්පයක් දුන්නා ය. තොටිල්ල පදවා දරුවා නිදිගැන්වීමට ඇය උත්සාහ කළත් ඔහු දිගට ම හඬමින් සිටියේ ය. ඇය දරුවාට ‘ග්‍රයිප් වොටර්’ ස්වල්පයක් පෙව්වා ය. එසේම නිවසේ වූ තවත් බෙහෙතක් දෙකක් ද දුන්නා ය. එහෙත් දරුවා නැළවුණේ නැත. එසේ වුවත් පීයුෂ් එම අවස්ථාවේ අමනාප වූයේ නැත. නමුදු සෑම රැයකම දරුවා දෙතුන් වර හඬන්නට පටන්ගත් විට පීයුෂ්ට දැනුණේ තමන්ට හරිහැටි නින්දක් නොලැබෙන බවකි. ඔහු දින කීපයක් ම නිදිවරා සිටියේ ය. ඒ නිසාම දවස පුරා ඔහුගේ ඇස්වල දැවිල්ලක් හටගෙන තිබුණි.
මේ සියල්ල ම ඉවසා ගැනීමට නොහැකි වූ විට අවසානයේ ඔහු කේෂාට කියා සිටියේ අම්මලාගේ නිවසට ගොස් පැමිණෙන ලෙස ය.
ඔහු එසේ කීම ඇය බලාපොරොත්තු නොවූවක් නොවී ය. මේ අදහස දක්ෂ පිනුම්කරුවෙකු මෙන් මතුවෙමින් තිබුණේ ය. එය විටෙක කෙලින් පිහිණුවේ ය. තවත් වරක නුහුරට පිහිනුවේ ය. විටෙක සෙමින් සෙමින් ද තවත් වරෙක වේගයෙන් ද තම අදහස ගලා ගියේ ය. විටෙක එය දිය මතුපිට තම මුහුණ පෙන්වූ අතර තවත් විටෙක සිත් පතුළේ කිමිද ගත්තේ ය. ඉන්පසු අවසානයේ දී කේෂා හට තම නිවසට යන ලෙස පැවසීමේ දී ඔහුට එතරම් උත්සාහයක් දැරීමට සිදුවූයේ නැත.

ෂා එකවර ම ඔහුගේ කතාව පිළිගත්තා ය. එහෙත් ඇයට තීරණය කරගත නොහැකි එක් දෙයක්ය විය. මෙය නිදිමැරීමෙන් නිදහස් වීමට ඔහු විසින් ගන්නා ලද පියවරක් වන්නේ ද? නැතහොත් පීයුෂ් නොමනාපයෙන් කෝපයට පත්ව මේ වචන පවසන්නේ ද? යන්න ය. කවර ස්වරූපයෙන් කීවද ඇයට අම්මාගේ නිවසට යෑමට කීම යහපත් දෙයක් විය. ඊට හේතුව වූයේ තම දරුවාත් රැගෙන මවගේ නිවසෙහි දින කිහිපයක් නැවතීමට නොපැමිණීම පිළබඳව අම්මා කීිප වරක් ම නෝක්කාඩු කියා තිබීම ය. කෙසේ නමුත් දරුවා තනියම බලා කියා ගැනීම ඇයට එක් අතකින් අපහසු කාර්යයක් ද විය. අම්මාගේ නිවසෙහි සිටන්නේ නම් අම්මාගේ උදව් පදවුද ලැබෙනු ඇත. එසේම පීයුෂ්ගෙ නින්දට බාධා ඇතිවන්නේ ද නැත.
ඊළග දිනයේ kaපීයුෂ් කාර්යාලයෙන් දින භාගයක නිවාඩු දුරකථනය මගින් කතාකොට ඉල්ලාගෙන තිබුණි. දරුවා ද ඔහුගේ බඩු භාණ්ඩ ද රැගෙන කේෂාට අම්මාගේ නිවසට තනිවම යා නොහැකි ය. පීයුෂගේ දැවෙන ඇස් කිසිදු විරෝධයකින් තොරව ඇය අම්මාගේ නිවසට ඇරලීමේ අදහස පිළිගෙන තිබුණි මෙදින රාත්‍රියෙහි තමන්ට සම්පූර්ණයෙන් ම සුව නින්දක් ලැබීමට හැකිවෙනු ඇතැයි ඔහු කල්පනා කළේ ය.
පීයුෂ් කේෂා අම්මාගේ නිවසෙහි දොරටුව අසල නතරකොට කෙලින් ම කාර්යාලයට ගියේ ය. ඇතුළට ගොස් ඔවුන්ගේ දොස් මැසිවිලි අසන්නේ කවුද? තමන් නිවස තුළට ගියහොත් ගෙතුළ ඇතිවෙන කතාබහ මොනවාදැයි ඔහු හොඳින් දැන සිටියේ ය. මුලින් ම නම් ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගනු ලබනු ඇත. සංග්‍රහ සත්කාර සිදුවනු ඇත. සැප දුක විමසා බලනු ඇත. දොස් නැගීම් ආරම්භ වනුයේ ඉන් අනතුරුව ය.
”එහෙම නම් එන්න කාල වේලාව ලැබුණා. හා දැන් ඉතින් ඔය ඇත්තෝ එන්නෙ මොකට ද. ඔය ඇත්තෝ ලොකු මිනිස්සු නොවැ. ඉතින් මෙහේ මොනවා තියෙනවට ද? හරි පිළිවෙලට මාමණ්ඩියෙකුගෙ නිවසක් වුණා නම් ඕනැ කෙනෙක් ඒවි.”
”මෙහේ ඉතින් ලොකු බංගලාවක් නැහැනේ. කාර් එකකුත් නැහැ නේ. අනෙක ඉතින් විවාහ නොවිච්ච නෑන පොඞ්ඩකුත් නැහැ නොවැ? එහෙම කොට එන කෙනෙක් එන්නෙ මොන කෙහෙල්මලකට ද? බැන්දම කෙල්ල පිට එකියක් වෙනව කියල දන්නව නම් කවදාවත් කෙල්ල දිල්ලියට දෙන්නෙ නෑ. හොඳයි හොඳයි ඇත්තම කියන්න පීයුෂ් උඹට උඹේ මාමණ්ඩියගෙ ගෙදර ඔය තරමටම පිළකුල් ද? ඔව් ඔව් වැරැද්ද නම් අපේම තමයි අපි මොකටද අපේ තත්වෙට වඩා ඉහළ මට්ටමේ බෑණ කෙනෙක් තෝර ගත්තෙ?”
පීයුෂ් තම මාමණ්ඩියගේ නිවසට පැමිණීමට සහ නිවස තුළට යාමට මේ ආකාරයෙන් බියපත් වේ.
තමන් බොහෝ සේ වෙහෙසට පත්ව සිටින බව කාර්යාලයේදී පීයුෂ්ට දැනුණි. ඔහුගේ දෙනෙත් නිදිමතින් බර වී ගියේ ය. ඔහුට නොසෑහෙන්නට නිදිමතක් දැනෙමින් තිබුණ මුත් සිත සැහැල්ලුව පැවතුණි. රාත්‍රිය පුරා හොඳ හැටි නිදා ගැනීමේ සැලැස්මක් ඔහු ඉදිරියේ විය. මු`ථ ජීවිතය පුරාම මීට වැඩි කිසි සැනසුමක් තමන්ට නොලැබුණු බව ඔහුට පසක් වෙමින් තිබුණි.
සවස ලියන මේසයෙන් නැගී සිටීමට කලබලයක් ඔහු තුළ නොවී ය. මේසයෙන් ඉක්මනින් නැගී සිට ඔහු කුමක් කරන්නද? ඉක්මනින් නිවසට ගොස් කුමක් කරන්නද?
හැකි තරම් වේලා ඔහු තම මේසය අබියස සිටගෙන සිටියේ ය. එසේම ඔහුගේ රාජපාක්ෂික භාවය පිළිබඳව ඇනුම්පද කියා සෑම දෙනම පිටව ගිය පසු ඔහුට ද කාර්යාලයෙන් නික්ම යන්නට සිදුවිය. බයිසිකල් රඳවා තබන ස්ථානයෙන් තම බයිසිකලය ගෙන ගේට්ටුවට අසලට ඔහු පැමිණෙන විට කොතනට යායුතුදැයි යන ප්‍රශ්නය සිතට නැගුණේ ය. ඔහුට නිවසට යෑමට සිතක් ඇතිවූයේ නැත. නිවසේ කේෂා හෝ පුතා නොසිටිනු ඇත. තමා ම ගොස් නිවසේ අගුල ඇරීම පිළිබඳ හැඟීම ඔහුට බොහෝ සේ පීඩා ගෙන දුන්නේ ය නිවසට නොයෑම ඊට වඩා හොඳ ය. එහෙත් නිවසට නොගොස් ඔහුට වෙන කොතැනකට යා හැකිද? කේෂා නොමැතිව තනිව ඔහුට නිවසකට යා හැකි මිතුරකු හෝ දැන හැඳුනුම් කමක් ඇත්තෙකු ද නොවී ය. ඔහු එසේ ගියහොත් මිනිසුන් ඔහු දෙස සැකයෙන් බලනු ඇත. නැතහොත් නෝක්කඩු ඇනුම් පද කියනු ඇත. ඔහු කිසිවකුගේ හෝ නිවසකට නොගොස් සිටීම සියල්ලටම වඩා යහපත් ය.
එසේම කිසියම් අවන්හලකට ගොස් තේ පානය කළ නොහැකි ද? එහෙත් ඔහු තම අදහස අත්හැර දැමුවේ ය. මෙතරම් මුදලක් වියදම් කරන්නේ කවුද? එසේම තනිව තේ පානය කිරීමෙන් කිරීමෙන් ලැබෙන තෘප්තිය කුමක් ද? තේ පානයට ලොල් බවක්ද ඔහු තුළ ඇත්තේ ම නැත. ඔහු තේ පානය කරන්නේ මිතුරු ඇසුර සඳහා පමණි. එහෙත් මෙහි දීි එවන් පිරිසක් ද නැත.
නොඑසේ නම් ඔහු තම නිවසට යා යුතු ය. එහි ඇත්තේ මොන ගැට`ථවක් ද? වරක් ඔහු සිතුවේ ය. එහි ගොස් විවේක ගත හැකි ය. ඔහුට හිත පුරා නිදාගැන්මට නොලැබුණු දින ගණන කෙතරම් ද? මේ හේතුව නිසා අඩුම ගණනේ විවේකයක් හෝ ලැබෙනු ඇත. එසේ ම නිදහසට කරුණු සෙවීමට කවර උවමනාවක් ද? දරුවා සහ කේෂා යවන ලද්දේ තමාගේ විවේකය සඳහා නොවේ ද? එහෙත් ඔහු කිසිදු තීරණයකට නොඑළැඹියේ ය. පීයූෂ්ට විවේකය වුවමනා බව ඔහුට හැඟුණේ ය. එහෙත් වනයක දී වුවද විවේකය ලැබිය හැකි නොවන්නේ ද? එසේ වුවද නිවසේ හුදකලා බව ඔහුට ප්‍රිය නොවනු ඇත. නිවසට ගිය වහාම දරුවා වඩා ගැනීම එක් අතකින් දැන් ඔහුට පුරුද්දක් බවට පත්වී තිබේ. ඔහු දරුවාට කෑම කවන්නේ ය. ඔහු සමග සුරතල් කතාවෙහි යෙදෙන්නේ ය. ඔහුගෙන් ප්‍රශ්න අසන්නේ ය. දරුවා කිසිවක් නොකියනු ඇත. ඒ වෙනුවට ඔහු පියා දෙස එක එල්ලේ නෙත් අයා බලා සිටිනු ඇත. එවිට ඔහු තමන් ම ඒවාට පිළිතුරු දෙයි. එහෙත් අද එවැනි කිසිවක් සිදුවන්නේ නැත.
හදිසියේම ඔහු නින්දකින් මෙන් අවදි විය. ඔහු කිසිවක් කල්පනා නොකර ම මේ වන විටත් තම මාමණ්ඩියගේ නිවස දෙසට බයිසිකලය පදවමින් සිටියේ ය. එහි යාමට ඇති බාධකය කුමක්ද? උදෑසන ඔහු කේෂා ඇරලන්නට ගිය විට නිවස තුළටවත් ගමන් ගත්තේ නැත. ඇය එළියෙන් ම බස්සවා පැමිණියේ ය. තමන්ගේ නැන්දම්මා හෝ මාමණ්ඩිය මුණගැසීමට ඔහු නොගියේ ය. ඔවුන් මෙය දැනගතහොත් අනිවාර්යයෙන්ම අමනාප වනු ඇත. ඇත්තෙන් ම එය අමනාප විමට කාරණාවකි. මේ වන විටත් කේෂා සියල්ල පවසා ඇත. ඇය එය නොකියූ බව පිළිගත නොහැකි ය. කිසියම් දෙයක් සඟවා තබා ගැනීමට ඇයට පුරුද්දක් නොමැත. ඒ වෙනුවට ඇය කරන්නේ සියලු දෙනා අතර එය ප්‍රචාරය කර හැරීම ය. කිසියම් කතාවක් දන්නා හඳුනන අය අතර පතුරුවා හැරීමට උවමනා නම් එමෙන් ම සියලු නෑයන් අතර පතුරුවා හැරීමට යමක් තිබේ නම් එය කේෂාට පැවසිය යුතු ය. කිසිම වියදමකින් සහ ප්‍රයත්නයකින් තොරව සියලු දෙනා අතට කාරණය ප්‍රචාරය වනු ඇත. ඔහු තමන් ඇරලන්නට පැමිණි බවත් කේෂා අනිවාර්යයෙන් පවසන්නට ඇත. සමහර විට හොඳහැටි ලුණු ඇඹුල් යොදා පැමිණිල්ලක් ලෙස පැවසුවාද විය හැකි ය.
දැන් යම් හෙයකින් ඔහු ඇය හමුවීමට ගියහොත් උදෑසන කාල වේලාවක් නොලැබුණු බව ඔහුට කියාගත හැකිවනු ඇත. සවස මේ පැත්තෙන් යෑමට – ඔවුන් හමුවීමට කලින් ම ඔහු සිතා සිටි බව පැවසුව හොත් උදෑසන මගහැර යාම එතරම් වැදගත් නොවන්නේ ය. එවිට ඔවුනට අමනාප වීමට ඉඩක් නැත.
ඔහු කේෂාගේ මහගෙදරට සමීපවත් ම එහි යාමේ වැදගත්කම ඔප්පුකරන බොහො තර්ක ඔහුගේ සිත තුළ ගොඩගැසෙමින් පැවතුණි. ඔහුට තේ පානය කිරීමට ද වුවමනා වී තිබුණි. ඒ සඳහා මීට වඩා සුදුසු වෙනත් තැනක් කුමක් විය හැකිද? මුදල් වියදම් වන්නේ ද නැත. එවිට ඉතාම හොඳ තේ බඳුනක් ඔහු ඉදිරියේ තිබෙණු ඇත. ඒ සමග ම කීප දෙනෙකුගේ ඇසුර ද ලැබෙනු ඇත. ඔහුට තනිකමද මගහැරෙන්නේ ය. ඔහු එතරම් වේලාවක් එහි රැදෙන්නේ නැත. තමාට නිවසට පැමිණ විවේක ගන්නට උවමනා ය. යම් හෙයකින් ඔහු තම මු`ථ කාලය ම මෙහි ගතකළහොත් කේෂා තම මවගේ නිවසට ඇරලීමේ ප්‍රයෝජනය කුමක් ද? ඔහු තේ පානය කොට සෑමදෙනා හමුවී ඒ මොහොතේ ම පිටව යන්නේ ය. නැතිනම් නැවත වරක් පුතාට කෑම කැවීමට සිදුවන්නේ ය. කේෂාට නම් මොකද “අනේ පොඞ්ඩක් මෙයා අල්ලගන්න “යැයි කියනු ඇත ඉන් පසු පුතා නැවත වරක් ඔහෑ ඔහෑ ගාන්නට පටන්ගනු ඇත. ඔහු මේ සියල්ලම සිදුවීමට ඉඩ නොතබන්නේ ය කේෂා ඔහු දැක පුදුමයට පත්වුවා ය.
“අපොයි ඔයා”
“මම හිතුවා ගෙදර යන ගමන් ඔයාව මුණගැහිලා යන්න.” ඔහු ආදරය දැක්වී ය.
“යමු” කේෂා පැවසි ය. “අපි දකින්න එන්න මේ තරම් උනන්දුවක් තිබුණා නම් අපිව පිටුවහල් කිරීමට තිබුණු උවමනාව මොකක් ද?”
“පිටුවහල් කළා” ඔහු කේෂාගේ මුහුණ බැලුවේ උනන්දුවෙනි. උදේ සිටි කේෂා සහ ඔහු ඉදිරියේ සිටින කේෂා අතර සැහෙන වෙනසක් විය.
නැන්දම්මා සහ මාමණ්ඩිය මුණගැසීමෙන් පසු ඔවුහු තේ පානයට සිටගත්හ. තේ පිළිගැන්වූයේ කේෂා ම ය. ඔහු පුතා වඩාගත්තේ ය. ඇය කෙතරම් උනන්දුවෙන් තේ සංග්‍රය කළේ ද යත් කලකට පසුව ඇගේ නිවසට ඇය ප්‍රිය කළ විශේෂ අමුත්තෙකු පැමිණියාක් මෙනි.
ඔහුගේ නැන්දම්මා දිගින් දිගටම නෝක්කාඩු කියමින් සිටියා ය. එහෙත් ඇගේ චෝදනාවලට පිළිතුරු ඔහු කලින් ම කල්පනා කොට තිබුණි. ඒ නිසා ඔහුට කිසි ගැට`ථවක් ඇති වුයේ හෝ ඒ ගැන විශේෂ උත්සාහයක් දැරීමට හෝ සිදුවූයේ නැත. පීයූෂ් කටපාඩම් කරගත් පිළිතුරු යාන්ත්‍රිකවම මෙන් කියාගෙන ගියේ ය.
තේ පානයෙන් පසුව ඔහු යෑමට සූදානම් වන විට ඔහුගේ මුවෙන් නොදැනුවත්ව ම එක් වැකියක් පිටවිය.
“දැන් කේෂා ඉන්නවද යනව ද?”
කේෂා ඉතා ආදරයෙන් ඔහු දෙස බලා කතා කළා ය. “යන්න එන්නම්- මොකටද ප්‍රමාද වෙන්නෙ මේ තරම් කාලෙකින් අම්මලාගෙ ගෙදර ආවම ප්‍රමාද වෙන්නම සිද්ද වෙනවනේ.”
කේෂා මෙහි නවතිනු ඇද්දැයි ඔහු කල්පනා කරමින් සිටියදී ඇය තම බඩු මුට්ටු එක්රැස් කිරීමට පටන් ගත්තා ය.
කේෂා දරුවා රැගෙන හරිබරි ගැසී සයිකලයේ කැරියරය මත හිඳගත් කල්හි ඔහු බයිසිකලය පදින්නට පටන් ගත්තේ ය. දෙතුන් වරක් පැඩලය කරකවන විට තම කටට තිත්ත රසයක් දැනෙන බව ඔහුට අවබෝධ විය. අද දිනයේ ද ඔහුට විවේකයක් ලැබෙනෙන්නේ නැත. අද නැවතත් ඔහුට නිදන්නට නොලැබෙනු ඇත. යලිත් ඔහු කරදරය තමන් විසින්ම රැගෙන පැමිණියේ ය.

 

(නරේන්ද්‍ර කෝහලීගේ කෙටිකතාවක් හින්දී බසින් සිංහල බසට නැඟිණි.)

ජනනි මුදාගේ

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)