අයුක්තිය අසාධාරණය දුටු තැන මම වචනයක් හෝ කතා නොකර ඉඳලා නෑ. දීපිකා ප‍්‍රියදර්ශණී පීරිස්

No Comment 555 Views

කාලයක් තිබුණා ඔබේ නව ගී නිර්මාණ නිතර නිතර රසිකයන් අතරට එන. ඒ නිසාම ඒ කාලයේ ඔබ ඉතාම කාර්ය බහුල ශිල්පිනියක්. මේ වෙනකොට කොහොමද ඔබේ දින චර්යාව සැකසී තිබෙන්නේ?
ඒ කාර්ය බහුලත්වය තවමත් ඒ විදිහටම තියනවා. නමුත් මේ විදිහේ වෙනසක් සිදුවුණා. මම රාජ්‍ය සේවයේ ගුරුවරියක් විදිහට කටයුතු කළා පාසල් තුනක. පළවෙනි වසර හය ගොරකාන කනිෂ්ඨ විද්‍යාලයේ. ඊට පස්සේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ අවුරුදු දහයක් සේවය කළා. ඊට පස්සේ කොළඹ විශාඛා විද්‍යාලයේ අවුරුදු හයක් කටයුතු කළා. ඉන් පසුව ගුරු වෘත්තියෙන් ඉවත්වෙලා මිනි සුන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ සම`ග මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ උපදේශිකාවක් හැටියට සම්බන්ධ වුණා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා ජීවිත අවුල් කරගත් අයගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් සෞන්දර්යාත්මක කටයුතු එහිදී සිදු කළා. දැන් ටික දවසක් වෙනවා ඒ ක්ෂේත‍්‍රයෙනුත් මම සමුඅරගෙන. විශ‍්‍රාම ගත්තා. මම දන්නේ නෑ කොතෙක් දුරට මට විශ‍්‍රාම ලැබෙයිද කියලා. මගේ සෞන්දර්ය ශාලිකාවේ කටයුතු වෙනුවෙන් තමයි දැන් මම වැඩිම වෙලාවක් කැප කරන්නේ.

රජයේ පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වෙලා තමන්ගේම පාසලක් නිර්මාණය කරගැනීමට හේතු පැහැදිලි කිරීමක් කළොත්?
වසර 20ක් පාසල් පන්ති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධවෙලා සිටි කාලයේ මගේ ජීවිතයට පාඩම් රාශියක් එක් වුණා. අද අධ්‍යාපනය දෙසට තමයි හැමෝගෙම ඇගිල්ල දික්වෙලා තිබෙන්නේ. රටේ භෞතික සංවර්ධනයක් සිදුකෙරුණට මොකක්ද අද මිනිසුන්ට වෙලා තිබෙන්නේ කියන ප‍්‍රශ්ණය මතුවෙලා තිබෙනවා. කලාව, සෞන්දර්යය මිනිසුන්ගෙන් දුරස් වීම එයට එක් හේතුවක්. පන්ති කාමර අධ්‍යාපනයෙන් හෙම්බත්වෙලා ඉන්න දරුවන් වෙනුවෙන් මම මගේම පුංචි ඉස්කෝලයක් හදනවා කියලා මම හිතුවා. කළුබෝවිල රෝහල ඉස්සරහා තියන මගේ ගෙදර ළමයෙකුගෙන් දෙදෙනෙකුගෙන් ආරම්භ කළ ඒ පාසල තමයි සෞන්දර්ය ශාලිකාව කියන්නේ. දැන් එහි දවස් හතේම පන්ති පැවැත්වෙනවා. මම ඉගෙන ගත්ත දේ දරුවන්ට කියලා දෙන්න නිර්භයව වැඩ කරන්න පුළුවන් තැන මගේ තැන නිසා මම මේක හැදුවා. දැන් මේ වෙනුවෙන් විශාල වශයෙන් වෙහෙස වෙනවා. ඕනේ නම් මට තිබුණා කළුබෝවිල රෝහල ඉස්සරහා තියන මේ ගොඩනැගිල්ල ලක්ෂ කෝටි ගාණකට කාට හරි කුලියට දීලා කිසිම මහන්සියක් නැතිව කකුල් දෙක හොලව හොලව පුටුවක් උඩට වෙලා ඉන්න. කීප දෙනෙක්ම එහෙම ඉල්ලූවා. ඒත් මම ඒ විදිහට හිතන කෙනෙක් නෙවෙයි. අද කලාව කියන එක ෂෝ එකක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ ෂෝ එකෙන් බැහැරව ළමයින්ගේ අධ්‍යාත්මය සෞන්දර්යෙන් නිවාලන්න කටයුතු කරන එක තමයි මගේ භූමිකාව විදිහට මම සළකන්නේ.

රැුයකින් දෙකකින් සුපර් ස්ටාර්ස්ල බිහිවෙන යුගයක ඔබගේ ප‍්‍රයත්නය අරමුණ?
මම වැඩකරන්නේ ස්ටාර්ස්ල බිහිකරන්න නෙවෙයි. මම කරන්නේ සංගීතයෙන් දරුවන්ගේ අධ්‍යාත්මය නිවාලන එක. ඒක කරන කොට ඉබේම ස්ටාර්ස්ල බිහි වෙනවා. එහෙම නැතිව ඕපපාතිකව ස්ටාර්ස්ල හදනවා කියලා නිර්මාණයක් කරන්න බැහැ. 2003 වසරේදි පළමු වතාවට ”දරු තරු වරණ” කියලා සංදර්ශනයක් කළා. එතකොට හිටියා ළමයින් 200ක්. අද ඉන්නේ ඊට වඩා අඩු ළමයින් සංඛ්‍යාවක්. අපිට පේනවා එන්න එන්න මේ සෞන්දර්යය විෂය ඉගෙන ගැනීමට තියන මැලියාව. අද රූපවාහිනී නාලිකා තරු බිහිකරන්න දක්වන කැමැත්ත අලූත් ඔළු ගෙඩි හදන්න දක්වන්නේ නැහැ. ඒ නිසා සමහර කලාකරුවෝ ගොඩක් අකර්මන්‍ය වෙලා ඉන්නවා. විශාල මුදලක් වියදම් කරලා නිර්මාණ කරලාත් බලං ඉන්නවා.

රාජ්‍ය සේවයේ ගුරුවරියක් ලෙස සිටින විට ඔබට දරුවන් වෙනුවෙන් වඩා වැඩි යමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැත්ද?
මම විශාඛා විද්‍යාලයට යනකොට පාසල තුළ උසස් පෙළ සංගීත විෂයය තිබුණේ නෑ. වසර අවුරුදු පනහකටත් වැඩි කාලයක් ගතවෙලත් විශාඛා විද්‍යාලයෙන් සෞන්දර්යය විෂයෙන් විශ්වවිද්‍යාලයට ගිය ළමයෙක් හිටියේ නෑ. ඒක මොන තරම් ලැජ්ජාවට කාරණාවක්ද කියලා මට හිතුණා. ඒ නිසා ළමයින් තුන්දෙනෙකුගෙන් මම විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සංගීතය විෂය පටන් ගත්තා. ඒ තුන් දෙනාම විශ්වවිද්‍යාලයට තේරුණා. එවකට හිටපු විදුහල්පතිනියත් එක්ක කතා කරලා මම ඊට පස්සේ පටන් ගත්තා ”මියැසි විශාඛා” ෂෝ එක. ඒක ටිකෙන් ටික බිල්ඞ් අප් වෙලා ඔකෙස්ට‍්‍රා එකක් පටන් අරගෙන හතර වෙනි ෂෝ එකත් කළාට පස්සේ තමයි මම පාසලෙන් ඉවත් වුණේ. නමුත් ගුරු වෘත්තිය කියන්නේ සල්ලි කොළවලට ඔලූව නමන එකක් විදිහට මම සළකන්නේ නැහැ. මගේ ගුරු භූමිකාව එහෙම එකක් නෙවෙයි. සසර ගමන හා බැදුන එකක්. අනෙක පාසලේ ගුරු වෘත්තියේ යෙදෙන අතරේ බාහිර කටයුතු කරගැනීමට බොහෝම දුෂ්කරතා තිබෙනවා. නිතරම පාසලේ සිටිය යුතුයි. සමහරු කැමති නෑ වෘත්තීන් දෙකක් තුළ නියැළෙනවට. ඒක දිහා බලාගෙන ඉන්න බෑ. ඒ කුහකකම් මම දැක්කා. එවැනි සීමාකම් තිබුණා. අද පාසල් කියන්නේ වෙළඳපොළවල්. මානුෂික නැහැ. ෆේවරේෂන් ගොඩයි. ගුරුවරු හදුනන්නේ ළමයා නොවෙයි. ළමයින්ගේ අම්මා තාත්තා සහ ඔවුනගේ තරාතිරමයි. මම මෙපමණ කාලයක් ගුරු වෘත්තියේ යෙදෙනවා අදටත් ළමයින්ගේ අම්මලා තාත්තලා කරන රස්සාවල් මොනවද කියලා දන්නේ නැහැ. ඒවා දැනගන්න මට අවශ්‍යත් නැහැ. මම ළමයි එක්ක මිසක් අම්මලා තාත්තලා එක්ක ගනුදෙනු කළේ නෑ. තෑගි භෝග අනවශ්‍යයයි. මම කිසිම දවසක පාසලේදිවත් කිසිම තෑග්ගක් අරගෙන නැහැ. හැකියාව තිබෙන ළමයා හොයාගෙන ඇදගෙන විත් තැන දුන්නා. පාසල් වෙළඳපොළවල් වුණාම ඒ දේවල් ඒ විදිහට කරන්න අමාරුයි.

බොහෝ කලා ශිල්පීන් ක්ෂේත‍්‍රයේ නමක් හිමිකරගත්තට පසු ඒ විෂය උගන්වන පන්ති ආරම්භ කර ගුරුවරුන් බවට පත්වීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. ඔබ මෙය දකින්නේ මොන විදිහටද? ශිල්පීය දක්ෂතාව සහ ගුරු භූමිකාව කියන්නේ දෙකක් නේද?
මම, මම කරන කාර්යයට වගකියන කෙනෙක්. දීපිකත්, සින්දුත්, ජීවිතයත් කියන තුනම එකයි මගේ. ගුරුවරු වෙන්න ඇත්තටම නිකන් මිනිස්සුන්ට බැහැ. ගුරුවරයා ගවේෂකයෙක් විය යුතුයි. ගුරුවරයා කුහකයෙක් නොවිය යුතුයි. මම සල්ලි කොළවලට වැඩ කරන කෙනෙක් නෙවෙයි. ගොරකාන විද්‍යාලයේ සමහර ළමයි හිටියා සංගීතය විෂයය විතරයි පාස්. නුවර අත්දෙක පණ නැති ළමයෙක් හිටියා සංගීතය විතරයි පාස්. සයිකොලොජි, එඩියුකේෂන් මැතර්ඞ්ස් විෂයයන් විදිහට අද උපාධි දක්වා උගන්නනවා. ඒ වගේ විෂයන් තියෙන්නේ ඉගැන්වීමේ ක‍්‍රමවේදයක් තිබෙන නිසා. සෑම ශිල්පියෙක්ම ඒවා දන්නේ නැහැ. හිතුණු හිතුණු විදිහට පන්ති දාගෙන හිතුණු හිතුණු විදිහට උගන්වන්න පුලූවන්කමක් නැහැ. මේක ලේසි පහසු වැඩක් නොවෙයි.

ඔබ වඩාත් තෘප්තිමත් ගායන ශිල්පිනියක් විදිහටද? ගුරුවරියක් විදිහටද?
ඇත්තවශයෙන්ම දෙකෙන්ම. හැබැයි මගේ ගුරු වෘත්තිය මගේ ගායන ජීවිතයට විශාල හානි ගණනාවක් ගෙනාවා. මම හිතන්නේ ලෝකයේ කිසිම ගායිකාවක් උගන්වන්න සුදුසු නැහැ. නමුත් අවුරුදු 26ක් මම ඒක කළා. ඒ නිසා මම අවස්ථා ගණනාවක් අසනීප වුණා. මගේ කටහඬ නැතිව ගියා. නමුත් මම ගුරු වෘත්තිය අත නොහැර කරගෙන ආවා. රුපියල් පහළොස්දාහක දොළොස්දහක පඩියකටයි මම වැඩ කළේ. මොකද මට හිතුණා මම ඊළ`ග ආත්මභවයකට ගෙනියන්නේ කලාව නොවෙයි දරුවන් වෙනුවෙන් කරන මේ කැපවීම කියලා.

අපිට මුණගැහෙන දහස් ගණනක් ගුරුවරුන්ට නොමැති ජීවන දර්ශනයක් ඔබට තියෙන බවයි පෙනෙන්නේ. කොහොමද එවැන්නක් ඔබට හිමි වුණේ?
මම හිතන්නේ කලාව තුළම තිබෙන පෙර ආත්මභාවයෙන් ගෙනෙන දේවල්, සතතාභ්‍යාෂය සහ යහපත් ඇසුර. මට මේ තුනම තිබෙනවා. දහම, මගේ පවුල, කලාව විදිහට තමයි මගේ ජීවිතේ ප‍්‍රමුඛතාවන් පෙළ ගස්වාගෙන තිබෙන්නේ. මම අකුරු කියවන්නවත් බැරි තරම් කුඩා කාලයේ සිට දහම් පාසල් ගියා. ධර්මාචාර්ය දක්වා ඉගෙන ගත්තා. මගේ හැම දෙයකදීම මම දෙවරක් කල්පනා කරනවා. ප‍්‍රශ්ණ විසඳාගන්න දහම අනුව විමසා බලනවා. අයුක්තිය, අසාදාරණය ඉදිරියේ කිපුණත් එහෙම බලන කොට හිතෙනවා ඒ අයට එහෙම යන්න දිය යුතුයි කියලා.

අයුක්තිය අසාදාරණය ඉදිරියේ කිපුණත් කියා ඔබ සඳහන් කළා. අපි රූපවාහිනී තිරයේ, ප‍්‍රසංග වේදිකාවේ දකින දීපිකා ප‍්‍රියදර්ශණී නම් බොහොම නිවුණු තැන්පත් චරිතයක්?
ඒ චරිතයම තමයි තියෙන්නේ. හැබැයි අයුක්තිය අසාදාරණය දුටු තැන මම වචනයක් හෝ කතා නොකර ඉදලා නෑ. මම එහෙම කතා කරලා තියෙන්නේ මා වෙනුවෙන් මට යමක් ලබාගැනීම වෙනුවෙන් නොවෙයි. අනුන්ගේ දේවල් වෙනුවෙන්.

ඔබගේ දර්ශනයත් සම`ග ඔබ අද රටේ දේශපාලන තත්ත්වය දකින්නේ මොන විදිහටද කියන ප‍්‍රශ්ණය අහන්න මට හිතෙනවා?
මගේ දෙමව්පියන්ගෙන් ආපු ගතිගුණ නිසාම මම වමට බර චරිතයක්. නමුත් මම දේශපාලන පක්ෂ පාට කණ්ණාඩි දාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. සුදුසු දේට, සුදුස්සාට ගරු කරනවා. අවැසි තැනදි ඒවාට උදව් කරනවා. 2010න් පස්සේ මොනම පැත්තක දේශපාලන වේදිකාවකටවත් මම මගේ කටහඬ එක් කළේ නෑ. බොහොම කෙටි කාලයක් තුළ මම දැකපු දේවල් එක්ක මම ගත්ත තීරණයක් ඒක. මිනිස්සුන්ගේ පිරිහුණ ගතිගුණ පෙනෙන්න පටන් ගත්තට පස්සේ කලාකාරියක් හැටියට මට දැණුනා තවදුරටත් මම එතනට අවශ්‍ය කෙනෙක් නොවෙයි කියලා. අපි වෙනුවෙන් අපි දේශපාලනයක් තමයි කලාකරුවන් හැටියට අපට අවශ්‍ය වෙන්නේ.

එහෙම දේශපාලනයකින් විසඳගන්න තියන ප‍්‍රශ්ණ මොනවද?
කලාකරුවන්ට බලපාන ප‍්‍රශ්ණ කොයි තරම් තියනවාද? ඊයේ පෙරේදා හරූන් ලන්ත‍්‍රා මහතා මැරුණා. දැක්කා නේද අවසන් කාලයේ ඔහුගේ තත්ත්වය. අද මගේ කටහඬ නැති වුණොත් හෙට ඉදලා මට මගේ අම්මව බලාගන්නේ කොහොමද කියන ප‍්‍රශ්ණයක් තිබෙනවා. චැනල් විශාල සංඛාවක් තිබෙනවා. අඩුම තරමින් ගීයක් වෙනුවෙන් රෝයල්ටිය ගෙවන්නේ නැහැ. කලාකරුවන් ආරක්ෂා වෙන ක‍්‍රමයක් නැහැ. වෙනත් රටවල එහෙම නෙවෙයි. කලාකරුවන් එකම වේදිකාවකට එන්නේ කවදාද එදාට එතන මමත් ඉන්නවා. නමුත් එහෙම වෙයිද කියන එක මට කියන්න බෑ. ප‍්‍රශ්ණ ගොඩක් තිබෙනවා. මම ප‍්‍රාර්ථනා කරනවා අනාගතයේදී රටට ආදරේ කරන ශීලාචාර හැදිච්ච ගුණගරුක ප‍්‍රතිපත්තිගරුක මිනිසුන් මේ රටේ දේශපාලනයට එක්වේවා කියලා.

මෑත කාලයේ ඔබේ නව ගී නිර්මාණ, රසික මනසේ රැුදෙන ගී නිර්මාණවල යම් අඩුවක් තිබෙන බවක් පේනවා.
කිසිම අඩුවක් නැහැ. රටේ මිනිස්සු සින්දු අහන්නේ නැහැ. රටේ චැනල් සින්දු දාන්නේ නැහැ. 2010 මම සුදු හංසිණී සීඞී එක නිකුත් කළා. මම කළ දෙයක් නිසා කියනවා නොවෙයි. මෙහි තිබුණේ විඳින්න පුලූවන් නිර්මාණ. මිනිස්සුන්ගේ කන් කුණු කරන නිර්මාණ නොවෙයි. ඒ තැටියේ ගීත පහක් අද ඉතාම ජනප‍්‍රිය වෙලා තිබෙනවා. රන් සමනළියක ඇගේ මුහුණේ, මේ දුකම මිහිරියි, රාත‍්‍රිය, මාගේ දේශය. මෙතන වෙලා තියෙන්නේ නාලිකාවල ප‍්‍රශ්ණය මිස කලාකරුවන්ගේ ප‍්‍රශ්ණයක් නොවෙයි. දැන් ෂති දෙකක් වෙනවා මම අලූත්ම ගී දෙකක රූප රචනා දෙකක් සෑම මාධ්‍යයකටම ලබාදුන්නා. අද වෙනකම් එකක්වත් ප‍්‍රචාරය වුණේ නෑ. හැමදේකටම යම් කිසි ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ ක‍්‍රියාත්මක වෙන්න. රසිකයන් හිතන්න පුලූවන් අපි නිර්මාණ බංකොලොත්භාවයට පත්වෙලා කියලා. එහෙම එකක් නෙවෙයි. කරන නිර්මාණ රසිකයන් අතරට ගෙනයන්නට ක‍්‍රමවේදයක් නැහැ. සල්ලිවලට තමයි යන්නේ. සල්ලි වියදම් කරන්න පුලූවන් නම් ඔයාටත් පුලූවන් සින්දුවක් කරලා ඒක ටොප් චාර්ට් එකේ එකට දාගන්න.

මේ ප‍්‍රශ්ණයට විසදුමක් ඔබ දකිනවාද?
නීතියෙන් තමයි විසදුමක් ලැබෙන්න ඕනේ.
ඔබ ක්ෂේත‍්‍රයට පිවිසි මුල් කාලයේ රංගනයට එක්වුණා. ඇයි රංගන ශිල්පිණියක් විදිහට ඉදිරියට ආවේ නැත්තේ?
ඒකට මට අවස්ථා දෙකක් ලැබුණා. කේරළයේ කෙටි චිත‍්‍රපටියක ගුරුවරියකගේ චරිතයකට ආරාධනයක් ලැබුණා. මම ඒක බාරගත්තේ නැහැ. පුළුවන් දේ කරගෙන ඉන්නවා කියලා හිතුවා.

සංගීතය කියන විෂය පිළිබඳ විවිධ නිර්වචන තිබෙනවා. දිගු කාලයක් සංගීත ක්ෂේත‍්‍රයේ නියැළි සිටින ඔබ සංගීතය විග‍්‍රහකරන්නේ කොහොමද?
සංගීතය කියන්නේ යහපත් සිතිවිලිවල ගලායාමක්.

සංගීතය උගන්වන්න බැහැ කියලා මතයකුත් සමහරු දරනවා?
සංගීත විෂයය උගන්වන්න පුලූවන්. නමුත් එතනින් එහාට යන්න පුලූවන් වෙන්නේ කලාකරුවෙකුට විතරයි. හදලා හදලා හදලා සංගීත තරු ගේන්න බැරි ඒකයි. කොතනක හරි ඒවගේ තරු කඩන් වැටෙනවා.

කලාව, සුරාව සහ නුරාව අතර සමීප සම්බන්ධතාවක් තියන බවට මතයකුත් ජනතාව අතර තිබෙනවා?
ඒ මතය තුළ මම නැහැ.

අපි පෞද්ගලික ජීවිතය පිළිබඳ කතා කළොත්
දැනට මම අම්මව බලාගෙන පවුලේ අනෙක් අයටත් විය යුතු යුතුකම් ඉටු කරගෙන ජීවත්වෙනවා. ඇත්තටම මට හොඳම හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබුණොත් මම අනිවාර්යෙන් විවාහ වෙනවා. මගේ අප්පච්චිගේ හැසිරීම දැක්ක ආදරණීය දුවෙක් මම. ඍජු ගතිය, සෞම්‍ය ගතිය වගේම අම්මට දක්වපු ආදරය…. ඇත්තටම ඒවා දැකපු දුවෙක් විදිහට මට නොහැකි වුණා මට සුදුසු ඉතාම හොඳ කෙනෙකු සොයාගන්න.

ශිල්පිනියක් විදිහට ඔබගේ ඉදිරි වැඩ කටයුතු කොහොමද සැළසුම් වෙලා තිබෙන්නේ?
පසුගිය කාලයේ ලැබුණු ඇරයුම් කිසිවක් හරියට කරන්න බැරිවුණා. මගේ වසර විසිපහක මතක එක්කළ ප‍්‍රසංගය තමයි සුදු හංසිනී. කීප වතාවක්ම නෙළුම් පොකුණ, මහරගම සහ තවත් තැනෙක ශාලා වෙන්කිරීමට සංවිධායකයන් මුදල් බැදලා තිබෙනවා. මම සූදානම් නැති නිසා කෙරුණේ නැහැ. මේ මාසේ ඕස්ටේ‍්‍රලියාවෙදි නන්දා මාලිනී මහත්මිය සම`ග කරන ප‍්‍රසංගය මට සුවිශේෂී එකක්. මේ වෙනකොට එහි ටිකට් සියල්ලම විකිණිලා කියලා මට දැනගන්න ලැබුණා. ලබන අවුරුද්දේ නැවතත් මගේ ඒක පුද්ගල ප‍්‍රසංගයකින් ඕස්ටේ‍්‍රලියාවට මම එන්න පුලූවන්. ඉදිරියේදී ලංකාවෙදිත් මෙවැනි ප‍්‍රසංගයක් තියන්න ඉල්ලීම් ලැබෙනවා. අපි බලමු.
කතා බහ
ශ‍්‍රීලාල් සෙනෙවිරත්න.

!!” (1974)

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)