හරි වහර

No Comment 61 Views

භාෂා භාවිතයේ දී හරි හෙවත් නිවැරැදි යෙදුම් ම යෙදිය යුතු කවර හෙයින් දැ යි අපි දනිමු. එ සේ දැන සිටියත් බොහෝ දෙනකු අතින් වැරැදි සිදු වේ. මෙ අතුරිනුදු වඩා බරපතළ වනුයේ ලේඛනයේ දී සිදු වන වැරැදි යි. එ හෙයින් සිංහල ලේඛනයේ දී බොහෝ දෙනකු බොහෝ විට වහරවන වැරැදි යෙදුම් කිහිපයක් මෙ තැන් සිට පිළිවෙළින් විමසා බලමු.

1. අකුලනවා – මේ භාව කෘදන්ත පදය නිපැදෙනුයේ ‘අකුළ’ යන ධාතුවෙනි (ක්‍රියා මූලයෙනි). එහි යෙදෙන්නේ දාන්ත්‍ය ‘ල’ නො ව මූර්ධන්‍ය ‘ළ’ වේ. එ හෙයින් එයින් නිපැදෙන සියලු ක්‍රියා රූපවල යෙදිය යුතු ‘ළ’ යනු ම ය (අකුළයි, අකුළති, ඇකිළී, ඇකුළූ ආදි වශයෙනි). ‘අකුළ’ යනු ඇති වන්නේ ‘හකුළ’ යන්නෙහි ‘හ්’ අකුර ලොප් වීමෙනි.

2. අක්‍රීය – මෙය, සංස්කෘත භාෂාවේ ‘අ’ (උපසර්ගය) පූර්ව වූ ‘කෘ’ ධාතුවෙන් නිපැදෙන (විශේෂණ) පදයෙකි. මෙහි යෙදෙන්නේ (දීර්ඝ) ‘ක්‍රී’ අකුර නො ව (හුස්ව) ‘ක්‍රි’ අකුර ය එ හෙයින් නිවැරැදි යෙදුම වනුයේ ‘අක්‍රිය’ යනු යි. ‘සක්‍රීය’ යන්න ද මෙ බඳු ම වැරැදි යෙදුමෙකි. එහි නිවැරැදි යෙදුම ‘සක්‍රිය’ වේ. ‘කෘ’ ධාතුවෙන් නිපදිත ‘ක්‍රියා’ යන (නාම) පදයේ (කෙටි) ‘ක්‍රි’ යෙදෙන සැටි දු විමැසීම මැනැවි. කිසිවෙක් ‘ක්‍රීයා’ යනු නො ලියති; නො කියති.

3. අග්ගලා – මෙහි හරි යෙදුම ‘අග්ගළා’ යනු යි. අතින් ඝටනය කොට සාදන හෙයින් අත් – ගළා (පර රූපය ගැනීමෙන්) අග්ගළා වේ. ගුළි නො කොට, කුඩු ලෙසින් ම භාවිත කිරීමේ දී ‘අත්සුනු’ යන වදන යෙදේ.

4. අහළ පහළ – මේ බොහෝ දෙනකු වරදවා යොදන යුගල පදයෙකි මෙයට බෙහෙවින් හේතු වී ඇත්තේ ‘හ’ අකුරට පසු වැ ‘ල’ ‘ළ’ දෙකින් එකක් යෙදේ නම් ඒ ‘ළ’ යනු ම විය යුතු යැ යි ඇතැමුන් වෙත පවත්නා වැරැදි අදහස යි ‘අහල’ යන්නෙහි මුල් රුව ‘අසල්’ යන්න වෙයි ‘අස’ යනු ළඟ යි. ල, ල් දෙක ම සිංහලයේ යෙදෙන ස්වාර්ථ (අර්ථය වෙනස් නො කොට ඒ අර්ථය ම දෙන) තද්ධිත ප්‍රත්‍යය වෙයි. ස – හ මාරුවෙන් අසල ම අහල වේ. පසල යන්න ද පස යන්නට ල ප්‍රත්‍යයය එක් වීමෙන් නිපැදෙන බව දැක්විය හැකි ය. මේ හා අනුරූප වැ සංස්කෘතයේ ‘ප්‍රත්‍යන්ත’ යනු ද පාලියේ ‘පච්චත’ යනු ද යෙදෙන බව ද දැක්වුව මනා වේ. මේ අනුව නිවැරැදි යෙදුම ‘අහල පහල වේ.

5. අගමැති – මෙ ද අවධානය යොමු විය යුතු යෙදුමෙකි. අග + ඇමැති යනු සන්ධි වී නම් ‘අගැමැති’ විය යුතු ය. අග (උග්‍ර) + මැති (මන්ත්‍රී) යනු සමාස වී නම් අගමැති විය හැකි ය. එහෙත් ‘අග්‍රාමාත්‍ය’ (අග්‍ර + අමාත්‍ය) යන්නට අනුරූප සිංහල වදන ලෙස අගමැති යන්න යෙදීම නිවැරැදි ද යනු විමැසුව මනා වේ. අගැමැති යන්නෙහි ‘ගැ’ යනු ‘ග’ වීමෙන් අගමැති යන රූපය නිපැදුණු බවට ද තර්ක කළ නො හැක්කේ නො වේ. තව ද දුරට විමැසිය යුතු තැනෙකි.

6. අදාල – මෙය ‘හදාර’ ධාතුවෙන් නිපැදුණු අතීත කෘදන්ත පදයෙකි. හදාර ධාතුව හැදෑරීම, කීම ආදි අරුත්හි යෙදේ. එහි මුල ‘හ්’ ලෝපයෙන් හදාර යනු අදාර වේ. කර – කළ, හර – හළ, පතර – පතළ වන අයුරින් අදාර යන්නෙන් අදාළ යන කෘදන්ත රූපය නිපැදේ. අද මෙය අර්ථ විපර්යාසයට පත් ව ‘හදාළ’ යනු එක් අරුතක් ද ‘අදාළ’ යනු වෙනත් අරුතක් ද දෙයි. එහෙත් යෙදිය යුතු ‘ළ’ ම ය.

In : බස

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)