වාක්කෝශය පෝෂණය කිරීමෙහි කුමරතුඟු දායකත්වය

No Comment 91 Views

2015 මාර්තු 02 වැනි දාට යෙදෙන කුමාරතුංග මුනිදාසයන්ගේ 71 වැනි සමරුව නිමිත්තෙනි.

“…කුමාරතුංග මුනිදාස මහතා මෑත භාගයේ අප රට තුළ වූ ශාබ්දිකයන් අතර අග්‍රගණ්‍ය පුරුෂයාණන් ලෙස සැලකිය හැකි බවට සැකයක් නැත. හැට වසරකට පසුවත් ඔවුන් ලියූ ව්‍යාකරණ කෘති ඉක්මවා යන කෘතියක් කිරීමට අන් කිසිවකු හෝ සමත් නොවීමෙන් ඒ බව හෙළි වේ…”

- මහාචාර්ය අශෝක ප්‍රේමරත්න
විසි වැනි සියවසේ සිංහල භාෂා විෂයක ප්‍රවණතා පිළිබඳ වැ විමැසිලිමත් වන කවරකුට වුව කුමාරතුංග මුනිදාස නාමය අමතක කොට ඒ කාරිය හරි හැටි ඉටු කරන්නට ඉඩක් නො ලැබේ. 1887 ජුලි මස 25 වැනි දා උපත ලද කුමාරතුංගයන් 1944 මාර්තු 02 වැනි දා හෙළය හැරැ-පියා නික්මෙන තුරු සත් පනස් වසක් පුරා නන් විද ඉසවුහි ඉටු කළ මෙහෙය සුවිසල් ය; සුවිපුල් ය. භාෂා විශාරදයකු, සාහිත්‍යඥයකු, කවියකු, නිර්මාණාත්ක ලේඛකයකු, විචාරකයකු, ග්‍රන්ථ ශෝධකයකු, පරිවර්තකයකු, ගුරුවරයකු, ජාතික චින්තකයකු, මාධ්‍යවේදියකු, වාදයෙහි රුසියකු, මෙන් ම ව්‍යක්ත දේශකයකු ද වූ ඔවුන් ගෙන් මහත් ම සේවාවක් ඉටු වූයේ ව්‍යාකරණඥයකු ලෙස යි. සාර්ව වාග්විද්‍යාත්මක මිනුම් දඬු පදනම් කැරැ-ගෙන කුමාරතුංගයන් ගේ භාෂා ශාස්ත්‍රීය සේවාව ඇගැයුමට ලක් කරන අශෝක ප්‍රේමරත්නයන් (2005: 309) ගේ පහත සඳහන කුමාරතුංගයන් ගේ අග්‍රේසර සේවාව පිළිබඳ අපක්ෂපාත හා මැදහත් තක්සේරුවක් ලෙස සැලැකිය හැකි ය:

“…කුමාරතුංග මුනිදාස මහතා මෑත භාගයේ අප රට තුළ වූ ශාබ්දිකයන් අතර අග්‍රගණ්‍ය පුරුෂයාණන් ලෙස සැලකිය හැකි බවට සැකයක් නැත. හැට වසරකට පසුවත් ඔවුන් ලියූ ව්‍යාකරණ කෘති ඉක්මවා යන කෘතියක් කිරීමට අන් කිසිවකු හෝ සමත් නොවීමෙන් ඒ බව හෙළි වේ…”

සංස්ථිතික වාග්විද්‍යා මූලධර්ම (Structural Linguistics) අනුව ව්‍යවහාර භාෂාවක පෘෂ්ඨීය සංස්ථිතියෙහි (Surface Structure) ප්‍රධාන ප්‍රස්තර තුන ශබ්ද, පද, වාක්‍ය යනු යි. කුමාරතුංගයන් ගේ භාෂා විෂයක අධ්‍යයනයන්හි මෙකී ප්‍රස්තර සියල්ල ම සමවධානයට ගෙන ඇති බව පැහැදිලි ය. ලිඛිත භාෂාව මුල් කොට-ගෙන අධ්‍යයනයෙහි නිරත වූ ඔවුන් සෙසු සාම්ප්‍රදායික ව්‍යාකරණඥයන් සේ ම ශබ්ද වෙනුවට හදාළේ අකුරු ය. ඒ අනුවැ කුමාරතුංගයන් (1938අ: 03) භාෂා සංස්ථිතිය විග්‍රහ කෙළේ අක්ෂර, පද, වාක්‍ය යනුවෙනි. භාෂා ශබ්ද නොහෙත් අක්ෂර පිළිබඳ ඔවුන් කළ පිරියෙසුම් පල දැරුවේ ඉහළ ලාඝවතාවකින් (Economy) යුතු ‘තරු අකුරු වැළ’ නම් ශබ්දිම හෝඩිය නිමැවීමෙනි.

සම්භාව්‍ය සිංහලයේ වාක්‍ය යෝජනය හෙවත් ව්‍යාකරණය පිළිබඳ වැ ඔවුන් කළ පිරියෙසුම් පල දැරුවේ ‘ව්‍යාකරණ විවරණය’ හා ‘ක්‍රියා විවරණය’ දෙපොතෙනි. සාම්ප්‍රදායික භාෂා නීතියෙහි පිහිටා පද සාධනය කිරීම (Word Formation) පිළිබඳ තතු ඒ දෙපොතෙහි එතත්, නූතන සිංහල වාක්කෝශය පෝෂණය කිරීමෙහි ලා නව වදන් තනා-ලීමෙන් ඔවුන් ගෙන් ඉටු වූ සේවාව පිළිබඳ වැඩි යමක් ඒවායින් හෙළි නො වේ. එබැවින් මේ සමරු ලිපියෙහි අවධානය යොමු කැරෙන්නේ නූතන සිංහල වාක්කෝශය (Modern Sinhalese Lexicon) පෝෂණය කිරීමෙහි ලා නව වදන් තනා-ලීමෙන් කුමාරතුංගයන් ඉටු කළ මෙහෙය වෙත යි.

කවර හෝ ක්‍රමවේදයකින් භාෂාවක වාක්කෝශයට එක් කැරෙන නව වදනක් වේ නම් එය ‘Neologism’ ලෙස හැඳින්වෙන බව පී. එච්. මැතිව්ස්හු (Matthews, 1997: 241) දක්වති. ඩබ්. එස්. කරුණාතිලකයන් (2005: 125) ‘නෙය පද’ යනුවෙන් හඳුන්වන්නේ ද මේ සංකල්පය ම යි. දෛනික ව්‍යවහාරයේ පවත්නා භාෂාවක යම් යම් අවශ්‍යතා සඳහා නිපදවනු ලබන පද ‘නෙය පද’ නම් වන බවත්, ඒවාහි සම්භවයට හේතු වන්නේ ප්‍රස්තුත භාෂාවක් කෙරෙහි ඇති වන විභාෂා බලපෑම් බවත් කරුණාතිලකයන් දක්වා තිබේ. මේ අයුරින් ‘නෙය පද’ තනා ව්‍යවහාරයට හැරැ-ලන්නේ ‘Neologist’ ලෙස හැඳින්වේ. කරුණාතිලකයන් ගේ ඉහත වහර අනුයමින් ‘Neologist’ යනු ‘නෙය පද කාරක’ යනුවෙන් සිංහලයට නැඟිය හැකි යි. ඒ අනුව කුමාරතුංගයෝ ‘නෙය පද කාරකයෙකි.’

කරුණාතිලකයන් (2005: 125) දන්වන පරිදි යම් බසකට ‘නෙය පද’ ඇවැසි වනුයේ තද්භාෂා සමාජය විභාෂා සමාජයක් හා සම්පර්කයට පත් වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ප්‍රස්තුත භාෂා සමාජයට ආගන්තුක වූ භෞතික හා අභෞතික සංස්කෘතිකාංග විභාෂා සංස්කෘතියේ බලපෑමෙන් තද් භාෂා සමාජයට පිවිසේ. නව වදන් ඇවැසි වනුයේ එසේ පිවිසි නව සංස්කෘතිකාංග හැඳින්වීම පිණිස යි. මේ අවශ්‍යතාව පූරණය කැරෙනුයේ විභාෂාවේ පද සෘණිත පද (Borrowings) හෝ සෘණ පරිවර්තන (Calques) ලෙස වහරට ගැනීමෙනි.

සිංහල භාෂා ව්‍යවහාරයෙහි නෙය පද අවශ්‍යතාව උද්ගත වූයේ වෙසෙසින් ම ඉංගිරිසිය හා සම්පර්කයට පත් වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. පොදු සිංහල පාඨක ජනයා වෙනුවෙන් ලියූ මාධ්‍යවේදියකු වූ කුමාරතුංගයෝ (1940: 255) “අවර දිගින් එන අලුත් හැඟුම් හෙළ බසින් පවසන ඉතා මැ සුදුසු මං පෑදීමේ” අවශ්‍යතාවට මුහුණ පෑ හ. ඒ අනුව ඔවුන් නෙය පද තනන්නට පෙලැඹුණේ කරුණු තුනක් මුල් කැරැ-ගෙන බව සමන්ලතා මැණිකේ (2004: 252) පෙන්වා – දෙන්නී ය. පළමු වැන්න සිය කෘතිවල භාවිතය සඳහා නව වදන් අවශ්‍ය වීම යි; දෙ වැන්න රජයේ අධ්‍යාපන මණ්ඩලය තැනූ ‘පාරිභාෂික ශබ්දවලට’ ප්‍රතිචාර දිය යුතු වීම යි; තෙ වැන්න ‘සුබස සඟරාව’ ඇරැඹූ පසු පාඨකයන් කළ විමැසුම්වලට පිළිතුරු දිය යුතු වීම යි. සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත යන ප්‍රාචීන භාෂාවන්හි මෙන් ම ඉංගිරිසි, ලතින, ග්‍රීක ඈ ප්‍රතිචීන භාෂාවන්හි ද හසළයකු වූ කුමාරතුංගයන් මේ සියලු අවශ්‍යතා සපුරනු පිණිස නෙය පද වහරට ගැනීමෙහි ලා අනුගමනය කළ පිළිවෙත් කිහිපයක් දැක්ක හැකි ය:

1. ඉංගිරිසි සෘණිත පද අනුවර්තනය

සිංහලයේ වර්ණ සංස්ථිති රටා (Syllabic Structures) හා සීහෙන පරිදි ඇතැම් ඉංගිරිසි සෘණිත පද අනුවර්තනය කැරැ-ගැනීමට කුමාරතුංගයන් පෙලැඹී තිබේ. පාදාන්තයෙහි ව්‍යංජන ද්වික සංයුක්තක යෙදුණු සෘණිත පද රැසක් ඔවුන් ගේ පබ‍ඳෙහි ස්වරාන්ත භාවයට පමුණුවා ඇත්තේ ඒ නයිනි. මෙය සිංහලීකරණයක් ලෙස හැඳින්විය හැකි යි. එහෙත් නාම පද මුත් ක්‍රියා පද එලෙස සිංහලීකරණය නොකිරීමට කුමාරතුංගයන් සැලැකිලිමත් වී ඇති බව දැක්ක හැකි ය. “ක්‍රියා ශබ්ද අන්‍ය භාෂාවෙකින් ගැනීම නො යෙදේ” යි කුමාරතුංගයන් (1938ආ: 50) කීයේ උපකාරක ක්‍රියාවක වහලින් තොර වැ සෘණීකෘත ක්‍රියා පද සිංහලයේ වර-නැඟීමට නොහැකි තත්ත්වයකට පත් වන නිසා ය. (සිල්වා, 1966)

කුමාරතුංගයන් අනුවර්තනය කළ ඉංගිරිසි වදන් බෙහෙවින් දක්නට හැක්කේ ‘ශික්ෂා මාර්ගය’, ‘ප්‍රබන්ධෝපදේශය’ වැනි පොත්වල ය.

නිදසුන් : බසය (bus), කාරය (car), ලොරිය (lorry), ටයරය (tyre), ඇංජිම (engine), සැකැණ්ඩුව (second), ජල්ලි (jelly), ඩැස්කුව (desk), බෝට්ටුව (boat), ගේට්ටුව (gate), සිගැරැට්ටුව (cigarette)

2. සංස්කෘත සෘණිත පද ආදේශනය

ඇතැම් ඉංගිරිසි සෘණිත පද පරිවර්තනය කිරීමේ දී සංස්කෘත ප්‍රකෘති ඇසුරින් නව වදන් තනා-ලීමට කුමාරතුංගයන් පෙලැඹී තිබේ. මෙබඳු වදන් ඉඳුරා ම සෘණ පරිවර්තන (Calques) ලෙස හැඳින්විය නොහැක්කේ ඒවා ඉංගිරිසි සෘණිත පද වෙනුවට ආදේශ කැරුණු සංස්කෘත සෘණිත පද බැවිනි. සංස්කෘතය හා සිංහලය අතර පවත්නා සමීප ඤාතිත්වය හෙයින් ද, ඉංගිරිසි සෘණිත පදවලට වඩා සංස්කෘත සෘණිත පදවල වර්ණ සංස්ථිති ලක්ෂණ සිංහලයට සමීප වන හෙයින් ද කුමාරතුංගයන් සකු වදන් ආදේශ කිරීමට පෙලැඹුණා විය හැකි යි. සෘණීකෘත සංස්කෘත ප්‍රකෘති මුල් කොට ඔවුන් විසින් නිපැදැවුණු ඇතැම් නව වදන් සංස්කෘත භාෂා ව්‍යවහාරයේ හමු නො වන නවතම නිපැදුම් ය.

‘ව්‍යාකරණ විවරණය’ සහ ‘ක්‍රියා විවරණය’ යන වියරණ පොත් දෙකෙහි මෙන් ම ‘ලක් මිණි පහන’ සහ ‘ස්වදේශ මිත්‍රයා’ වැනි පුවත්පත්වලට කුමාරතුංගයන් සැපැයූ ලිපිවල ද මෙබඳු වදන් දක්නා ලැබේ.

නිදසුන් : විස්තාරය (expansion), ප්‍රමාණ පත්‍රය (certification), ප්‍රේරණාව (motion), අභිනියොජනය (commission), පෞර සේවා (civil service), නියුක්තයා (volunteer), කර්ණචක්‍රය (steering wheel), සංහතිය (meeting), පුස්තක කූටාව (book case), ප්‍රාවාරකය (coat), වරණය (election)

3. ව්‍යවහෘත පදවල අර්ථ විස්තරණය

අර්ථ විස්තරණය (Semantic Expansion) යනු එක් විෂය පරිසරයක (Domain) ව්‍යවහාර කැරුණු වදනක් වෙනත් විෂය පරිසරයක ව්‍යවහාරයට ගැනීම නිසා ඊට නව අර්ථයක් ආරෝපණය වීම බව ඩේවිඩ් ක්‍රිස්ටල්හු (Crystal, 2008: 179) දක්වති. වහරෙහි පැවැති ඇතැම් වදන් නව විෂය පරිසරයන්හි යෙදීමෙන් කුමාරතුංගයන් ඒවා මත නව පාරිභාෂික අර්ථ පැටැවූ සැටි ඉතා ප්‍රකට කාරියකි.

නිදසුන් : සරසවිය (university), රැහැන (wire), පිරික්සුම (test), කලබ (bundle), වෙළුම (volume), හෙදිය (nurse), රැස (race), බුබුළ (bulb), ඉසවුව (subject), පෙදෙස (place), ඔසුදවටු (apothecary), පලිපළ (police), මහැදුරු (professor), අයකැමි (cashier)

අනාදිමත් කාලයක සිට මේ වදන් කෙරෙන් ප්‍රකාශිත නිරුක්ත්‍යර්ථයනට (Etymological Meaning) වඩා වෙනස් නවාර්ථ ඒවාට ආරෝපණය කැරැ ඇති සැටි නිදසුන් කිහිපයක් විමැසීමෙන් පැහැදිලි වේ. ‘සරසවිය’ යන්නෙහි මුල් අරුත ‘සරස්වතී දිව්‍යාංගනාව’ යන්න යි; කුමාරතුංගයන් එය යෙදුවේ ‘university’ යන අරුතිනි. ‘රැහැන’ යන්නෙහි මුල් අරුත ‘ලණු පොට’ යන්න යි; කුමාරතුංගයන් එය යෙදුවේ ‘wire’ යන අරුතිනි. ‘පිරික්සුම’ යන්නෙහි මුල් අරුත ‘හැමතින් සොයා බැලීම යි. කුමාරතුංගයන් එය යෙදුවේ ‘test’ යන අරුතිනි. ‘කලබ’ යන්නෙහි මුල් අරුත ‘මිටිය, පොකුර’ යන්න යි; කුමාරතුංගයන් එය යෙදුවේ ‘bundle’ යන අරුතිනි. ඉහත දැක්වෙන අනෙක් වදන් පිළිබඳ තතුත් මෙසේ ම යි.

4. හෙළ වඩු වදන් නිපැදීම

පාලි, සංස්කෘත, ඉංගිරිසි සෘණිත පද වහර ඉවැසූ කුමාරතුංගයෝ 1941 දී තදීය භාෂා සම්පර්කය ඉඳුරා මැ ප්‍රතික්ෂේප කොට නුමුසු හෙළ බස ව්‍යවහාර කිරීමේ පරිශුද්ධවාදී ප්‍රතිපත්තියට (Puristic Policy) පිළිපන්හ. එතැන් පටන් හෙළ බසින් නව වදන් නිපැයීමෙහි ලා ඔවුන් ව්‍යාවෘත වූයේ ස්වකීය භාෂා ප්‍රතිපත්තියෙහි සිදු වූ උක්ත පෙරැළිය අනුව යි. කුමාරතුංගයන් (1941: 338) විභාෂා සංස්පර්ශය පිටුදැක්කේ මෙසේ කියමිනි:

“…අපට කුමට යැ ඉංගිරිසි? අපට කුමට යැ සකු? අපට කුමට යැ පාලි? අපි අපේ නො ඉඳුල් හැඟුම් අපේ සුහුරු මිහිරි බසින් මෙ සේ පවසමු. හෙළ බසත්, දැයත්, හෙළ රටත්, නඟී දැ යි බැලියැ හැකි…”

කෙසේ වතුදු කුමාරතුංගයන් ගේ කැපී-පෙනෙන සමත්කම් පෙනෙන්නේ මේ ඉසවුයෙහි වදන් තැනීමෙහි ලා බව කරුණාතිලකයෝ (1939: 29) පවසති. නව හෙළ වදන් රැසක් තනා-ලූ කුමාරතුංගයෝ (1939: 125) “සංස්කෘතයෙන්, පාලියෙන්, දෙමළයෙන්, ඉංගිරිසියෙන් නො ගත හොත් සිංහල අදහසක් නො පැවැසියැ හැකි යැ යන දිළිඳු මතයට” තදින් පහර දුන්හ. කුමාරතුංගයන් තමන් නිර්මාණය කළ නව හෙළ වදන් හැඳින්වූයේ ‘වඩු වදන්’ යනුවෙනි.

කුමාරතුංගයන් ගේ හෙළ වඩු වදන් සියල්ල ද නිපැත්ම අනුවැ දෙ ගොල්ලකට අයත් වන බව කරුණාතිලකයෝ (2005: 125) දක්වති.

4.1. සංස්කෘත ප්‍රකෘති ඇසුරින් තද්භව කැරුණු පද

සංස්කෘත සෘණිත පද හෙවත් තත්සම පද ව්‍යවහාර කිරීමෙන් වැළැකුණු කුමාරතුංගයන් එබඳු පද හෙළ ආර අනුව බිඳ-ගැනීමෙන් සිද්ධ තද්භව පද ව්‍යවහාරයට අනුබල දුන් බව ඔවුන් තැනූ ඇතැම් හෙළ වඩු වදන් කෙරෙන් ප්‍රතීත වෙයි. තත්සම පද මෙන් නො වැ සිංහලයේ වර්ණ සංස්ථිති රටා හා ඉඳුරා සීහෙනුයේ තද්භව පද බව ඔවුන් සැලැකිල්ලට ගෙන ඇති සේ ය.

නිදසුන්: පාසල (පාඨශාලා), විදුහල (විද්‍යා ශාලා), ඇදුරු (ආචාර්ය), විනිසුරු (විනිශ්චයකාර), සිසු (ශිෂ්‍ය), සැකැසුම (සංස්කරණය), හැකියාව (ශක්‍යතාව), දෙසුම (දේශනය), පැවැසුම (ප්‍රකාශනය), පමණ (ප්‍රමාණ), ඇබෑසිය (අභ්‍යාසය), ලකුණු (ලක්ෂණ), කොසුව (කෝශය), ලකිසුරු (ලංකේශ්වර)

4.2 හෙළ බස් පියෙවි ඇසුරින් තැනුණු නව පද

තත් කාලීන ව්‍යවහාරයට ආගමනය වෙමින් පැවැති ඉංගිරිසි සෘණිත පද වෙනුවට ආදේශක වසයෙන් කුමාරතුංගයන් තැනූ බොහෝ වඩු වදන් මේ වගට අයත් වේ. පසු කලෙක ඊලියන් ද සිල්වාණන් ගේ ‘සිංහළ සිප්යුරු වදන්’ (Sinhala Technical Terms) වහරට ගුරු වූයේ ද හෙළ බස් පියෙවි ඇසුරින් කුමාරතුංගයන් තැනූ පහත දැක්වෙන ආකාරයේ වදන් බව අරීසෙන් අහුබුදුවෝ (2002: XVI) පවසති:

නිදසුන්: කමිටුව (committee), පාපැදිය (bicycle), යතුරු-පැදිය (motor-cycle), දුරබණුව (telephone), දුරදක්නය (telescope), අණුදක්නය (microscope), මීයැසි (music), ඇණැවුම (order), හෙදිය (nurse), රෙදෙවුව (radio), පිරික්සු (inspector), පසුබිම (background), පසුපුරුව (supplement), හුවමාරුව (exchange), එකතුව (union), ගිලන්හල (hospital), හිමකිරම (icecream), වහසිය (challenge), කුමුදුව (submarine), කමිසුරු (commissioner), හැඬැවියාව (phonetics)

මේ පද සියල්ල ම දුටු පමණින් හුදු පරිවර්තන සේ පෙනේ. එහෙත් සියුම් විශ්ලේෂණයකට ලක් කළ කල්හි ප්‍රත්‍යක්ෂ වනුයේ මේ අතරෙහි ද ප්‍රභේද දෙකකට අයත් වදන් දැකිය හැකි බව යි. මේ වෙසෙස පූර්ව විමර්ශකයන් නුදුටුවෙකි:

4.2.1. සෘණ පරිවර්තන

සෘණ පරිවර්තන (Calques/Loan Translation) යනු ප්‍රදායක භාෂාවක පද ඒ හා පැහැසෙන ප්‍රතිග්‍රාහක භාෂාවෙහි සමානාර්ථ පදවලට නඟා-ගැනිමෙන් සිද්ධ වන පද යි (Crystal, 2008: 64)‍. ඉහත දැක්වෙන හෙළ වඩු වදන් බොහෝවක් මෙසේ ඉංගිරිසි වදන් එක හෙළා ම හෙළ බසට පරිවර්තනය කිරීමෙන් තැනුණු ඒවා බව පෙනේ.

නිදසුන් ලෙස ‘පසුබිම’ යනු ඉංගිරිසියේ ‘background’ යන සමාසයෙහි එන ප්‍රකෘති දෙක ඉඳුරා මැ හෙළ බසට නඟා-ලීමකි. ‘අර+දෙවු > අරදෙවු > රදෙවු > රෙදෙවු’ යනු ‘radio’ යන මුල් ඉංගිරිසි වදනින් පැවැසෙන ‘අරයෙන් (radius) දෙවෙනුයේ’ යන අරුත ම හෙළ බසින් පෑමකි. ‘ඇණැවුම’ යනු ඉංගිරිසියේ අණ කිරීම් අරුත දෙන ‘order’ යන්න හෙළ බසට නඟා-ලීමකි. ‘බුබුළ’ යනු ද ඉංගිරිසියේ ‘bulb’ යන්නට පර්යාය හෙළ වදන යි. ‘එකතුව’ යනු එකමුතු වී සිටුම යන අරත දෙන ‘union’ යන්නෙහි හෙළ පෙරැළිය යි. මෙපරිද්දෙන් කුමාරතුංගයන් විසින් ‘පිරික්සු’ (inspector), ‘පසුපුරුව’ (supplement), ‘හැඬැවියාව’ (phonetics), වැනි වදන් තනා ඇත්තේ ඒ එකිනෙකෙහි නිරුක්ත්‍යර්ථයට අනුරූප හෙළ බස් පියෙවි ආදේශ කිරීමෙනි.

කුමාරතුංගයන් සෘණ පරිවර්තන ලෙස තැනූ වදන් අතරෙහි ගැමි වහරින් ගැනුණු වදන් කිහිපයක් ම ඇති බව එස්. ජී. එම්. වීරසිංහයෝ (2010: 100) පවසති. ඔවුන් දක්වන පරිදි කුමාරතුංගයන් ‘හෙදුවා / හෙදිය’ (nurse) යන වදන් නිර්මාණය කොට ඇත්තේ ගැමි වහරෙහි පැනෙන ‘වෙද-හෙදකම්’ යන යෙදුම අනුසෙරෙනි. තව ද ‘auto’ යන අරුත් දනවන ‘ඉබේ’ යනු ද ගැමි වදනකි; ‘random’ යන අරුත් දනවන ‘අහඹු’ යනු ද ගැමි වදනකි. එසේ ම ‘race’ යන අරුතින් ඔවුන් යොදන ‘රැස (රැහැ)’ යනු ද, ‘appeal’ යන අරුතින් යොදන ‘කන්නලවුව’ යනු ද ‘wire’ යන අරුතින් යොදන ‘රැහැන’ යනු ද ගැමි වදන් ලෙස සැලැකීම යුක්ති සහගත යැ යි තර්ක කළ හැකි ය.

4.2.2. අන්‍යාර්ථ සමාස

අන්‍යාර්ථ සමාස හෙවත් පරිකේන්ද්‍රීය සමාස (Possessive Compounds / Exocentric Compounds) යනු සමාසිත ප්‍රකෘති එකෙකිනුදු නො පැවැසෙන, බැහැරි අරුතක් හඟවන සමාස යි (Crystal, 2008: 49)‍. එනම් සකු-පෙළ වියරණෙහි ‘බහුව්‍රීහි සමාස’ හෙවත් ‘බහුබ්බීහි සමාස’ යනු යි. ඉහත දැක්වෙන හෙළ වඩු වදන් ඇතැමක් මුල් ඉංගිරිසි වදන් එක හෙළා ම සිංහලයට පරිවර්තනය කිරීමෙන් තැනුණු ඒවා නො වේ. ඒ වදන් නිර්මාණය කොට ඇත්තේ මුල් ඉංගිරිසි වදන්වලින් හැඳින්වෙන වස්තූන්හි තුබූ වෙනත් ඉරියවු උද්දීපනය වන පරිදි අන්‍යාර්ථ සමාස ලෙසිනි.

නිදසුන් ලෙස ඉංගිරිසියේ ‘bi+cycle > bicycle’ යන්න ‘රෝද දෙකක් ඇති වස්තුව’ යන අරුත දෙතත්, කුමාරතුංගයන් ඊට සමානාර්ථයෙන් යෙදූ ‘ප+පද+ඉ+අ > පාපැදිය’ යන පදයෙන් ඇඟැවෙනුයේ ‘පයෙන් පැදෙන දැය’ යනු යි. තව ද ඉංගිරිසියේ ‘music’ යන්න ‘මියුස් දෙවඟන (Muse) ගේ කලාව’ යන අරුත දෙතත් කුමාරතුංගයන් ඊට සමානාර්ථයෙන් යෙදූ ‘මී+ඇසි > මීයැසි’ යන්නෙන් ඇඟැවෙනුයේ ‘ඇසීමට මී බඳු වූ දැය’ යන අරුත යි. ඉංගිරිසියේ ‘commissioner’ යන්න ‘වගකීම් දරන්නා’ යන අරුත දෙතත් කුමාරතුංගයන් ඊට සමානාර්ථයෙන් යෙදූ ‘කම්+ඉසුරු > කමිසුරු’ යන්නෙන් ඇඟැවෙනුයේ ‘කමට (වැඩට) ඉසුරකු වූ තැනැත්තා’ යන අරුත යි. සෙසු වදන් බොහෝවක නිපැදියාවත් මෙසේ ම යි.

කරුණාතිලකයන් (2005: 128) හුදෙක් ම ‘කවි කල්පිත’ ලෙස අගයන මෙබඳු පද ‘අන්‍යාර්ථ සමාස’ හෙවත් ‘පරිකේන්ද්‍රීය සමාස’ ලෙස සැලැකීම වඩාත් විදුහුරු බව මේ විමර්ශනයෙන් පැහැදිලි වේ. නූතන සිංහල ව්‍යවහාරයෙහි ‘අන්‍යාර්ථ සමාස නැතැ’ යි කියන ඇතැම් සිය බස් වෙසරදයන් මේ වදන් කිහිපයක වත් නිෂ්පත්තිය විමසා බැලීම වටී.

හෙළ බස් පියෙවි ඇසුරින් කුමාරතුංගයන් තැනූ නව වදන් සමුදායය අගයමින් ඩබ්ලිව්. එස්. කරුණාතිලකයන් (2005: 128) කියනුයේ “ප්‍රසාද ගුණය, ස්වන සෞන්දර්යය හෙවත් ශ්‍රැති මාධුර්යය හා අර්ථවත් භාවය” යන ගුණාංගයන් ගෙන් ඒවා අනූන බව යි. ‘කුමරතුඟු වදන් වැල’ යන මැයින් පබඳක් සපයන ‘ගම්හේවා ගුණවර්ධනයන් (1962: 154-144) හෙළ වඩු වදන් තැනීමෙහි ලා කුමාරතුංගයන් අනුදත් ‘වදන් නිපදූ නය’ අටත් සනිදර්ශක වැ පෙන්වා දී තිබේ. එකී වදන් නිපදූ නය මත පිහිටා කුමාරතුංගයන් තැනූ නව හෙළ වදන් පළ වූයේ ‘සුබස’ හා ‘The Helio’ සඟරාවලත් ‘හෙළ මීයැසිය’ හා විරිත් වැකිය’ යන පොත්වලත් ය.

මෙතෙක් දැක්වුණු වර්ගීකරණය කුමාරතුංගයන් තැනූ නව වදන්හි නිරුක්ති හා අර්ථ (Etymology & Meaning) පදනම් කැරැ-ගත්තකි. වඩු වදන්හි රූපීය විශේෂතා (Formal Properties) වෙසෙසින් පදනම් කැරැ-ගන්නා වො. දො. පින්තු ජයවද්දනයන් ඒ සියල්ල තුන් ගුණයකට පිඬු කොට දක්වන බව අහුබුදුවෝ (2001: XV/XVI) පෙන්වා දෙති:

“මේ යැ උන් (කුමරතුඟු මුනිදසුන්) පෑ නියර වඩු වදන් තැනීමෙහි ලා:

1. රුවින් හුරු කිරීම

නිදසුන්: සබ්මැරීනය (Submarine), ටැලස්කෝපය (Telescope), බසය (Bus), ඩැස්කුව (Desk), බයිසිකලය (dicycle), ලංඩනය (London), ජවහරලාල නේරු (Jawaharlal Nehru)

2. අරුතින් හුරු කිරීම

නිදසුන්: කුමුදුව (Submarine), දුර දක්නය (Telescope), හසුන් යහළුවා (Pen friend), කුමරි මරියා (Virgin mary), දසුන් මඬුල්ල (Horizon), පසුබිමBackground), පා පැදිය (Bicycle), විදුහුරු (Scientific), උණ මනුව (Thermometer), සරසවිය (University)

3. අරුතින් හා හඬින් හුරු කිරීම

නිදසුන්: රෙදෙවුව (Radio), තලික්සුව (Telescope), වෙළුම (Volume), ගොවුනුරු (Governer), මාදිලිය (Model), හැකියාව (ශක්තිය), මිහිරියාව (මාධූර්යය), පිරික්සු (පරීක්ෂක), විබෙදුව (විභාගය)

කුමරතුඟුවෝ මේ තුන් මඟින් මුලින් කී රුවින් හුරු කිරීමේ මඟට වඩා දෙවෙනි තෙවෙනි මං, එනම් අරුතින් හුරු කිරීමේ මං මැ පැසැසූහ…”

‘බස වැවීම’ යන මැයින් දෙස්මක් පැවැත්වූ වරකාගොඩ සිල්රුවන් හිමියන් (1949) ද මීට බොහෝ සෙයින් සමාන විග්‍රහයක් ඉදිරි පත් කොට තිබේ. එහි ලා බසෙහි වදන් වැළ තර කැරුම පිණිස ‘සැඟැවුණු වදන් වහරට ගැනිම’ යනුවෙන් උන් වහන්සේ දක්වනුයේ නූතන සිංහල වාක්කෝශය පෝෂණය කිරීමෙහි ලා කුමාරතුංගයන් ගෙන් ඉටු වූ තවත් සේවාවකි. එසේ වහරට ගැනුණු සැඟැවුණු වදන් ලෙස එහිමියන් දක්වා ඇත්තේ ‘පහිණය’ (letter), ‘රජය’ (government), හා ‘හවුල’ (association) යනු යි. මේ වදන් හුදෙක් ම සැඟැවුණු වදන් නො වැ එවක වහරින් වියැකී තුබුණු ‘පුරාණ පද’ (Archaisms) බව පැහැදිලි ය. කුමාරතුංගයන් යළි බහුතර ව්‍යවහාරයට ගෙන ආ ‘ඇජර’ (teacher), ‘ඌරුව’ (nature) වැනි වදන් ද මේ ‘පුරාණ පද’ ගණයට ඇතුළත් කළ හැකි ය.

මේ සියල් තතු ගොනු කැරැ-ගත් විට පැහැදිලි වනුයේ නූතන සිංහල වාක්කෝශය පෝෂණය කිරීමෙහි ලා කුමාරතුංග මුනිදාසයන් ගෙන් ඉතා ප්‍රශංසනීය මෙහෙයක් ටු වැ ඇති බව යි. “…විදු වදන් සැපැයීමෙන් හා නිපැයීමෙන් විද්‍යා අධ්‍යාපනයට හා සාහිත්‍යයට කුමාරතුංගයන් ගෙන් ඉටු වූ මෙහෙය ඉතා පළ යැ…” යි අලවත්තාගොඩ පේමදාසයන් (1991: 34) කරන ප්‍රකාශය ඒ පිළිබඳ වැ යථාරූපී තක්සේරුවකි.

ඉංගිරිසි සෘණිත පද සිංහලයේ ශබ්ද විද්‍යාත්මක ඌරුවට හැඩ-ගැස්වීම, සෘණීකෘත සංස්කෘත ප්‍රකෘති කෙරෙන් නව වදන් තනා-ලීම, ආදි ඉසවු ගණනාවක් ඔස්සේ ‘නෙය පද කාරකයකු’ ලෙස කුමාරතුංගයන් කළ මෙහෙය වාග් විද්‍යාත්මක දෘෂ්ටියෙහි පිහිටා ඇගැයුමට ලක් කළ යුතු ය. පොරණ වදන් නැවැතැ ව්‍යවහාරයට හඳුන්වා දෙමින් ද ගැමි වහරින් සුදුසු පරිදි ආභාසය ලබමින් ද ඔවුන් නිර්මාණය කළ නව වදන් බොහෝවක් වර්තමාන ව්‍යවහාරයේ ‘නෙය පද’ ලෙස ස්ථාපනය වී තිබේ. මෙයින් විශද වනුයේ කවර නූතන විද්‍යා-තාක්ෂණික සංකල්පයක් වුව ද අඩු වැඩි නැති වැ පැවැසිය හැකි ප්‍රකාශන ශක්තියකින් සිය බස පොහොනා බව යි. ඒ ප්‍රකාශන ශක්තියෙන් නිසිතර මෙහෙයක් සැලැසෙනුයේ කුමාරතුංග මුනිදාසයන් ගේ ක්‍රමවේද මත පිහිටා නව වදන් නිර්මාණය කොට ව්‍යවහාරගත කිරිමෙන් බව මේ අධ්‍යයනයෙන් මොනොවට පැහැදිලි වේ.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)