ඇක්සයිස් පොතකින් ඉරා ගත් කවියක් – අනුරසිරි හෙට්ටිගේ

No Comment 90 Views

කිරිබත් සුවදයි සිංහල අවුරුද්දේ

කන්දිරි* බෙදනවා හජිදුන් මංගල්ලේ
බුරියානි යස සුවද- රාමලාන් සද පහන
ගතු කියයි පුරවරට- නොඉදුල් ය මතක පොත

මොහොමඩ්ගෙ අසනීපෙ- සිරිසේන උරමත ය
සිත්ති උම්මගෙ කොන්දෙ- තෙල් ගාන මැගිලින් ය‍
දෙමළ කලබල කාලෙ- කනකාගේ වැලපිල්ල
පොඩි නෝනා තුරුලේ ම- නාදන්ට සුව නින්ද

බෝ ගසේ සිලි සිලි ය- ගෙනෙන දිවි සුවි සැරිය
පල්ලියේ පීකරේ- ‘අල්ලාහු අක්බර්’* ය
කෝවිලේ මිණි සීනු- දෙවියන්ගෙ යාදිල්ල
බිදෙන ඉදහිට සාමේ- පෑස්සෙන අරුම ය ද?

නිමල් මල් හී විද්දෙ- ජෙස්මින්ගෙ හදවතට
ෆරීඩගේ පැදුරෙ ඉඩ- සෝමෙයට සුව යහන
නිර්මලා පැන ගියේ- උවයිස්ට පෙම් කර ය
ගාමිණී එළාරලා- එක පොදියෙ ගුටි කෙළි ය

රෑ පානේ වතු මැද්දෙ එළි මිදෙන සද පහන
බෙදනවා කිරි බදුන සැමට අඩු වැඩි නැතිව
දවසෙ පිරිපත සොයන හෙට දිනක සුබ සිහින
ජාතියක් කුමකට ද?
සිල්ලරයි ජීවිත ය..

* (කන්දිරි- එළුමස් මිශ්‍ර දුන්තෙල් බත්…. අල්ලාහු අක්බර්- දෙවියන් උතුම් වේ– මුස්ලිම් යාදිල්ලේ ආරම්භක වැකිය)

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)