ගල් බෝර පිපිරුම අවසන – තිළිණ හිරිපිටිය

No Comment 118 Views

ගල් බෝර පිපිරුම අවසන

කුඩු දුම ඇදෙයි අහසට

එක්කාසු කරගත් සක්කා තාච්චිය

ගිණි රස්නෙට දැනෙයි හිස මතට

 

කඨෝර අව්වෙන් මිදී

ගැටුවේ හනි හනික

තුන්කාල් කඩන්නට

හෙවණ යට දෙල් ගසක

 

පැතලි ගල උඩ තබාන

කුඩා මිටියෙන් දෙන වෑයමට

හෙමිහෙමිහිටම සක්කා කෑලි

තුන්කාල් වෙන අපූරුවටම

කාසි නම් ලැබුනේ නෑ එහෙමටම

 

මණින්නේ තුන්කාල්

පෙට්ටියෙන් සති අගට

සත තුනයි පෙට්ටියට

පාඩුත් නෑ වැගිරුවට

 

බොලෑ ආත්තම්මා

හරිම හයිකාරි වැඩට

ගල් කඩල විතරැක්යැ

වට්ටි පෙට්ටිත් වියල

නොදන්නා කෙනෙක් නැත

සති අග පොල මැදක . . .

 

මොකක්දෝ හොයන්නට

දෙක කරද්දී ගබඩාව

හමුවීය අත් ඔරලෝසුවක්

හද්ද පරණම මෙමට

 

කටුගෙට නොදා මේවා

මොන මගුලකටදැයි

ඇසූ කල

නැන්දණිය දුන්නා පිළිතුරක්

හිතට වැදුනා මෙමට . . .

 

කෙල්ල කාලේ මගේ

තිබුනෙ නෑ අත් ඔරලෝසුවක්

රන් රිදී ගැන ඉතින් තව මක්ක අහනවද

මයෙ අම්මා ගල් තලලා

ගෙන දුන්නා මේ වස්තුව

මගේ ඇහින් මිදිලා ගියා ලොකු කලකට

උඩ ඉස්සර . . .

 

දියන් පුතා ඕක මෙමට

මියැදෙන තෙක් සිහි කෙරුමට

අත්තම්මා උඹලැහෙගේ

යකඩ ගැහැණියෙක්ම වීය එදවස

අනේ හරිම සිරියාවයි

කෑම ඩිoග රහට උයයි

බඩ වියතට දරු කැළකගෙ

හැප්පෙන්නී ගහක ගලක උව . . .

 

උඹලාටත් ඒවා පිහිටියේම හරි පිනකට

බාලෙ ඉදන් හැප්පෙන්නේ ඕන දෙයක

හරි හරියට . . .

 

ඒ විතරයැ බලපල්ලා උඹලාගේ දෙපා දිහා

නිය පිහිටුම එපරිදිමයි අත්තම්මගෙ වගේ යසට  . . .

 

කාලය ඉක්මිලා යසට පරපුරවල් අළුත් වෙලා

දෙල්ගහ යට තුන්කාල් කැඩූ අත්තම්මා ගැනත් වගක්

නැති තරමට දුරස් වෙලා . . .

තරු පන්තියෙ සැලූනයක ඔප වැටනා පා නියපොතු

හිරි ඇරියා මුණුබුරෙකුගෙ අතීතයක්

ගල්කුඩු දුමාරයකින් වැසුනු.

 

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)