ජනේරුව හෙවත් ඇරඹුම හෝ අවසන – මංජුල වෙඩිවර්ධන

No Comment 44 Views

ළමැද්දට අත තියා හිත සොයන

වැරැද්දට ස්නේහය ම විසිකරන
පුරුද්දට අත් අකුරු වැසි වසින
දුරුත්තට කවි ලියා තනි රකින

කඳුළු විළිලන සොඳුරු මඳහසක
පතුළ විනිවිද දකින හදවතක
අතුළ හැඟුමන් ගෙනෙන පියපතක
විසිර ඇත කඳුළුබිඳු සියවසක

ගිරවියක ගොළු වුණොත් පව් නැද්ද
කෙතරම්ද දුක මිදුණ නිස්සද්ද
පිනි බිඳිති හිමිදිරියෙ ඇහැරෙද්ද
කළුපැහැති වුණෝතින් කිරි ඉද්ද

මෙය මගෙ හදයි එයට පිවිසෙන්න
බය නැතුව පය තියා ඇවිදින්න
පය රිදෙයි නම් පසෙක ඉඳගන්න
නිය තුඩින් කවියකට ඇහැරන්න

ජනේරුව ඇරඹුමද අවසනද
පෙනේ නොපෙනෙන ඇසක නිදිවැරුම
දැනේ නම් සසලබව පද අතර
සෙනේහය ඇද හැලෙයි ඇස පිපිර

කව් සිළුමිණෙන් ඇසෙන කවියකට
කවුළු දොර අරින්නට ඉඩ නොදෙන
කවුරුවත් නොවෙයි මේ මඳ පවන
කවුළු දොර පියන් මත ඇණ ගසන

සදාදර අනන්තය අත ගාව
පියාඹන සිතුම් තටු අතගෑව
මලානික කවියකට අත පෑව
සිනාසෙන කඳුළුබිඳු දුටුවාද

(ඇහැළ ඇමතුමකට ඇහැරෙමි – 2011)

පින්තූරය © මංජුල වෙඩිවර්ධන
Photo © Manjula Wediwardena

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)