සේපාලි මායාදුන්නේගේ මහාසාමි හා අතීතකාමයෙන් මිදෙන්නට අතීතය කියවීම – අජිත් පැරකුම් ජයසිංහ

No Comment 42 Views

ලංකාවේ විවිධ සාහිත්‍ය කෘතිවලට විවිධාකාරයේ සම්මාන හිමි වේ. ඇතැම් සම්මාන උළෙලවල සම්මානයට පාත්‍ර වන කෘති තවත් උළෙලවලදී අවසාන පොත් අතරටවත් එක් වන්නේ නැත.

කෙසේ වෙතත්, මේ සම්මාන උළෙලවලට ස්තුති වන්නට දැන් අපට ප්‍රමාණාත්මකව විශාල නවකතා සාහිත්‍යයක් ඇත. අප කියවීමට නවකතා තෝරා ගන්නේ මේ සම්මාන බලලා ය. සම්මාන උළෙල කීපයක් තිබෙන එක හොඳ ය. එ්වායේදී විවිධ කෘතිවලට සම්මාන ලැබෙන එකත් හොඳ ය. මන්ද, කෘති ගණනාවක් අපගේ අවධානයට යොමු වන නිසා ය. මේ සියල්ලෙන් ම ගිලිහී මහජන අවධානයට පත් නො වන සාහිත්‍ය කෘති ද ඇති බව පෙනේ.

සාමාන්‍යයෙන් ගත්කල මෙම සම්මානයට පාත්‍ර වන කෘති ආධුනික මට්ටමෙන් යන්තම් පොඩ්ඩක් උඩට ආ ඒවා මිස එතනින් එහාට ගිය ඒවා නො වේ.

සිංහල සාහිත්‍ය කෘතියක් විශ්වීය ගුණයන්ගෙන් යුක්ත වන්නේ ඉතා කලාතුරකිනි. සේපාලි මායාදුන්නේගේ මහාසාමි එවැන්නකි. මහාසාමි කියවන දිනවල ම මම මාක් ට්වේන්ගේ The Prince and the Pauper කියවූයෙමි. ඒ දෙකෙහි ම විෂය පථයන් එක සමාන ය. එනම්, රාජාණ්ඩුව, එහි උරුම සාධකය, එහි තිබෙන කෘෘරත්වය, ම්ලේච්ඡත්වය, රාජාණ්ඩු ක්‍රමය විසින් නිර්මිත විෂමතා හා ජන ජීවිතයේ කාලකන්නිකම ආදියයි.

මේ දිනවල ම මා කියවූ තවත් සම්මානලාභී කෘතියක් වන නෝබට් අයගමගේ ලියූ කාල නදී ගලා බසී ගැන ද මෙහිදී සඳහන් කරන්නට කැමැත්තෙමි. නෝබට් අයගමගේ අතීතය විග්‍රහ කරන්නේ තනිකර ම වර්තමාන දෘෂ්ටි කෝණයකිනි. වර්තමාන සංකල්ප භාවිතා කරමිනි. එහි භාෂාව ද මුළුමනින් ම වර්තමාන ය. කතාව ද වර්තමාන හින්දි චිත්‍රපට කතාවල වැනි තණ්ඩලේ හා සාදිරිස් වැනි සුදු ම සුදු වීරයින් ගැන හා කළු ම කළු දුෂ්ටයන් ගැන ය. වරින් වර කතාව මැදට කඩා වදින ලේඛකයා වර්තමානය අමු අමුවේ ම එහි මුද්‍රා තබයි. ඔහුගේ නවකතාව ඓතිහාසික මූලාශ්‍ර මත වර්තමානය නිරූපණය කිරීමක් ලෙස සැලකිය හැකි ය. සරළ නිදසුනක් ලෙස පහත සඳහන් කොටස උපුටා දක්වමි.

‘ගමේ තොරතුරු මධ්‍යස්ථානය වූ කඩපිලේ රැස්වූවන් කතා කළේ ද අහඹු වෙඩි සද්දය ගැනය. යළිත් කැරැල්ලක් මතු වේදැයි යන සැකයෙන් සියල්ලෝම භීතියට පත්ව සිටියහ.
මොන කැරැලිද බං ආයේ ලණු කැරැලි තමයි. ඒරොප්පෙ සුදු මහත්තුරු ලෝකෙම අල්ලගෙන හමාරයි”, ගමේ දැනුවත්හාමි ලෙසින් ප්‍රකට අගෝනිස් කීවේ, බී හමාර කළ කෝපි කෝප්පයේ මණ්ඩි ටික මිදුලට වීසි කරමිනි.
…………………………………………
‘කොහොමත් සෙලෙස්තිනා උන්දෑ කතා කරන්නේ එහෙමය. ඇය ප්‍රස්තුතය කරා එන්නේ – ඉඩමේ හතරකොන් මැණ බැලීමෙන් අනතුරුවය.’ (පි. 61, කාල නදී ගලා බසී, නෝබට් අයගමගේ 2014 සැප්තැම්බර්)

ඉතිහාසය මත වර්තමානය නිරූපණය කිරීම දේශපාලනයේදී නම් දැවැන්ත විනාශයන් නිර්මානය කිරීමට හේතු වී තිබේ. ලංකාවේ ජනවාර්ගික යුද්ධය මේ සඳහා හොඳම උදාහරණයයි. සිංහල හා දෙමළ ජාතිවාදයන් බොහෝ දුරට පදනම් වූයේ වර්තමාන අවශ්‍යතාවන් මත ගොඩනගා ගත් ඉතිහාස කතිකාවන් මත ය. මහාවංශය හා සිංහල ජාතිවාදය අතර ඇති සම්බන්ධය එවැන්නකි.

මහාසාමි නවකතාවේ විශිෂ්ටත්වය ඉස්මතු වන්නේ මෙතැනදී ය. මාක් ට්වේන් රජු සහ සිඟන්නා ලියුවේ 19වන සියවසේ අග හරියේදී ය. එහෙත්, සේපාලි මායාදුන්නේ මහාසාමි ලියන්නේ 2010 දශකයේදී ය. එහෙත් ඇය අති දක්ෂ ලෙස අතීතය විනිවිදින්නී ය. ඇය සිය ඓතිහාසික අධ්‍යයනය නවකතාවක් බවට පත් කරමින් පාඨකයා ක්‍රම ක්‍රමයෙන් ඇය පාදක කර ගන්නා ඓතිහාසික අවධිය තුළ ස්ථාපිත කර ගනියි. එය එක්තරා අන්දමක මායාවකි. ඇය එම මායාව නිර්මානය කරන්නට මහනුවර යුගයේ භාෂාවේ හා නවීන භාෂාවේ සම්මිශ්‍රණයකින් අපූරු ප්‍රයෝගයක් නිර්මානය කරන්නී ය. කෙනෙකුට එය එම යුගයේ භාෂාව යයි සිතෙනු ඇත. එහෙත්, එය එසේ නො වේ. එය වර්තමානය ඉදිරියේ අතීතය ප්‍රතිනිර්මානය කරන්නට නිර්මානය කර ගන්නා කලාත්මක ව්‍යාජයකි.

සේපාලිගේ නවකතාවේ භාෂාව මුල් හරියේදී පාඨකයා වෙහෙසට පත් කරන මුත් පාඨකයා ඉතිහාසය තුළ ස්ථාපිත කර ගන්නේ ඒ භාෂාව වහල් කර ගැනීමෙනි. එසේම, ඇය වර්තමාන සංකල්ප, මතවාදවලින් හැකි තරම් මිදෙමින් ඉතිහාසය ඒ හැටියෙන් ම ග්‍රහණය කර ගන්නට දරන උත්සාහය අති විශිෂ්ට ය. එහි චින්තනයන්, හැසිරීම්, චලනයන් සියල්ල එම යුගය හා සමපාත කරන්නට ඇය දැඩි වෙහෙසක් දරන්නී ය. ඒ වෙනුවෙන් ඇය ඉතා ගැඹුරින් ඉතිහාසය හදාරන්නී ය. ඉතිහාස නවකතා නිර්මානය කෙතරම් වගකීමක් ඇති කාර්යයක් ද යන්න ගැන ඇයට ඉතා හොඳ වැටහීමක් තිබේ.

මහාසාමි නවකතාවේ ප්‍රධාන චරිතය හා කථක වන ඒකනායක සුමංගල ගනින්නාන්සේගේ චරිතය වනාහි ඉතා මනරම් චරිත ගොඩනැංවීමකි. ඔහු පැතලි වීරයකු හෝ දුෂ්ටයකු හෝ නො වේ. හොඳ, නරක දෙක ම මිටින් ගත් ඒ යුගයේ සාමාන්‍ය චරිතයකි. ඔහු සිය අදහස්, ආකල්ප, ප්‍රකාශන ආදියෙන් වර්තමානය පරාවර්තනය කරන්නේ නැත. වර්තමාන සිතුම්, පැතුම් ඔහුගෙන් පළ වන්නේ නැත. ඔහු පරාවර්තනය කරන්නේ ඔහු ජීවත් වූ ඓතිහාසික යුගයයි. සේපාලිගේ වියමන විශිෂ්ට කෘතියක් වන්නට එක් හේතුවක් වන්නේ එයයි.

එම යුගය වනාහි අවසන් සිංහල රජු වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගේ යුගයයි. එය වනාහි බුදු දහම පිරිහී සඟුන් ගනින්නාන්සේලා සේ පන්සල් රැක ගනිමින්, පවුල් කමින්, යකැදුරුකම් ආදී කූට ක්‍රියාවලින් මිනිසුන් රවටමින් හා සූරා කමින් ජීවත් වූ යුගයයි. එසේම, එය ශාස්ත්‍ර හා සාහිත්‍ය කලාදිය පිරිහුණු යුගයකි. යුද ගැටුම් හා වෙළඳ සම්බාධක ආදිය නිසා රට හා ජනතාව ආර්ථික වශයෙන් ද පිරිහුණු අවධියකි.

එහෙත්, රජු සහ හිඟන්නා කෘතියෙහි එංගලන්තයේ එඩ්වඩ් රජු සේ ම ලංකාවේ රජු ද අධික කාමසුඛල්ලිකානුයෝගයෙහි, සූරාකෑමෙහි, මර්දනයෙහි එල්බගෙන ජනතාව මත කාලකන්නිකම පතුරුවමින් සිටියි. ජනතාව තවමත් දන්නේ රාජ පාලනය ගැන පමණි. ඔවුන්ට කාල නදීහි සාදිරිස්ට මෙන් ඔවුන් ජීවත් වන වකවානුවට ඉදිරියෙන් ඇති අනාගතයේ බිහි වන්නට නියමිත නූතන රාජ්‍ය සංකල්ප අනුව සිතන්නට හා යථාර්ථය විග්‍රහ කරන්නට බැරි ය. එබැවින් එම චරිත හැසිරෙන්නේ එම යුගයේ තිබුණු චින්තන සීමාවන් තුළ ය.

එංගලන්තය මේ රාජ ශාපයෙන් මිදෙන්නේ විප්ලවයකිනි. එහෙත්, සංස්කෘතික සංකේතයක් ලෙස තව දුරටත් නාමික රාජත්වයක් පවත්වාගෙන යනු ලැබේ. ලංකාව රාජ ශාපයෙන් මුදා ගත්තේ ද එංගලන්තය විසින් ම ය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් එංගලන්තයටත් වඩා ඉදිරියට ලංකාව ගෙන යමින් රාජ ශාපය මුළුමනින් ම දුරු කර අප එක් ඓතිහාසික යුගයකින් සම්පූර්ණයෙන් ම මුදා ගත්තේ ය. රාජපක්ෂලාට හෝ අනියම් අන්දමින් හෝ රාජත්වය නැවත ස්ථාපිත කරන්නට බැරි වුණේ සුද්දන්ට ස්තුති වන්නට ය. නැතිනම් අපට සිදු වන්නේ රජුගේ වචනය වන රාජ නීතියට බියෙන් ජීවත් වන්නට ය. නැතිනම් අසාධාරණ නඩු තීන්දු හේතුවෙන් හම ගැසීම්, උල තැබීම්, හිස ගැසීම් වැනි වධයන්ට භාජනය වී මිය යන්නට ය. කුමාරයා හා සිඟන්නා කෘතියෙහි නම් මිනිසුන් තම්බා මැරීම වැනි වධයන් ද දක්නට ලැබේ.

රාජද්‍රෝහීන් ලෙස නම් කළ මිනිසුන් නීත්‍යානුකූලව පිටෙන් හම ගසා, ඒ හම මුහුණ මත දමා බල්ලන්, බළලුන්ට කන්නට දෙන හා ඒවා බලා ප්‍රීති වන සමාජයක සිට ඒවා තවම සිදු වුණත්, නීති විරෝධී වන, ඒවා කරන්නට තබා එල්ලා මරන්නටවත් නීතිමය වශයෙන් එකඟ වන වධකයන් සොයා ගැනීම දුෂ්කර යුගයක් කරා අපි පැමිණ සිටින්නෙමු. මහාසාමි කියවූ අයෙක් අපට කීවේ අප රජුගෙන් නිදහස් කර දුන්නාට සුද්දාට පිං දිය යුතු බවයි.

සුද්දා එන්න කලින් සිංහලයා සතුව තිබූ උරුමය ගැන උදම් අනන අතීතකාමී මිනිසුන් ඉදිරියේ සේපාලි මායාදුන්නේ මහාසාමි නවකතාව විවර කර තිබේ. අතීතකාමය නම් රෝගයෙන් මිදෙන්නට අතීතය හැදෑරීම කෙතරම් වැදගත් ද යන්නට මහාසාමි කදිම නිදසුනකි.

 

w3lanka.com

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)