අත් හළ යුත්තෝ ද අත් නොහරින ‘‘රන් කරඬුව’’ – ජයසිරි අලවත්ත

No Comment 203 Views

ප්‍රවේශය

තන්හා ආශා ඔලගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ

මඩවල එස්. රත්නායක ගේ පද රචනයක් වන, ලයනල් අල්ගම සංගීතවත් කළ, පණ්ඩිත් අමරදේව ගායනා කරන මෙම ගීතයෙන් අර්ථවත් වන්නේ තන්හා, ආශා නමැති ඔලගු කරේ ලා ගත් මිනිස් ජීවීන් සසර පුරා සක්මන් කරන්නේ සැපත සොයමින් බවයි. මෙකී සැපත සොයා යාම භික්ෂුවකට වුවද පොදු ය. බුද්ධ පුත්‍ර යන්ට ද තන්හාව, ආශාව, ලෝභය, මෝහය දුරුකළ නොහැකි බව වත්මන් බෞද්ධ භික්ෂූන් ගේ ක්‍රියා යා තුළින් මොනවට පැහැදිලි වන්නේ ය. බුදුන් වහන්සේ දෙසා වදාළේ ‘‘සියල්ල අත්හරින්න’’ යනුවෙනි. එහෙත් උන්වහන්සේගේ පුත්‍රයෝ මෙන් ම ශ්‍රාවකයෝ ද නොකරන්නේ ම එය යි. සියල්ල අත්හරින්නැයි දෙසා වදාළ ශාන්ති නායකයානෝ ගේ ශරීරයේ විවිධ කොටස් වන්දනාමාන කිරීම තුළින් ම එය ප්‍රත්‍යක්ෂ කර හමාරය.

මතුපිටින් අප දකිනා භික්ෂුව, භික්ෂුව තුළ නොමැත. වත්මන් සමාජයේ වෙසෙන බහුතරයක් භික්ෂූන් තුළ වෙසෙන්නේ ඉහත කී ආකාරයට සියල්ල අත්හළ අය නොව තව තවත් අයිති කරගැනීම සඳහා බුදුන් දෙසු දර්ශනය බුද්ධාගම ලෙස නාමකරණය කර අලෙවි කරන්නෝ ය. ආගමේ නාමයෙන් උන්වහන්සේගේ දර්ශනය අලෙවි කරන්නෝ ය.

‘භික්ෂුව යනු රාග සිතුවිලි නැසූ පිරිසකි’ ය යන්න බෞද්ධ සමාජයේ පිළිගැනීමට ලක්ව තිබුණ ද එකී භික්ෂූන් මේ වන විට ළමා අපයෝජනයේ සිට ස්ත්‍රී දූෂණයට වැරදිකරුවන් වීම දක්වා වර්ධනය වී ඇත. සියලූ මිනිසුන් සමානයන් ලෙස සලකන්නැයි බුදුන් වහන්සේ දෙසා වදාළ ද සිංහල බුද්ධ පුත්‍රයෝ තවත් ජනවර්ගයක ගේ ඇට, මස්, ලේ, නහර අනුභව කරන තරමට ඒ ඒ මිනිස් වර්ග කෙරෙහි වෛර කරති. පසෙක සිටින සාමාන්යන ජනතාවද ඒ වෙතට ම තල්ලූ කරන්ට වෙහෙසෙති. මේ සියල්ල අතර අනිත්යවය වටහාගත් භික්ෂූන් වහන්සේලා අතළොස්සක් ද නැතුවා නොවේ. ඒ ඇතැම් භික්ෂූහු ඍජුවම දේශපාලන කරළිය තුළ සිය මෙහෙය ඉටු කරමින් සිටින අතර තවත් භික්ෂු පිරිසක් සාහිත්‍යය කලා මාධ්‍යයෙන් සිය යුතුකම සහ වගකීම ඉෂ්ට කරමින් සිටිති.
රාාජ්‍යය සම්මානයෙන්, ස්වර්ණ පුස්තක සම්මානයෙන්, විද්‍යෝදය සම්මානයෙන් සහ ගොඩගේ ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ බටුවන්ගල රාහුල හිමියෝ ද ඉහත කී ආකාරයට බෞද්ධ දර්ශනයේ සැබෑ හැඩරුව සිය නිර්මාණ හරහා සමාජ ගතකිරිමට වෙර දරන භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ ගේ පළමු නවකතාව වන ‘‘ප්‍රභානි’’ අනතුරුව ප්‍රකාශයට පත් ‘‘නයිගලින් උපන් පුත්‍රෙයා්’’ ‘‘රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා’’ සහ ‘‘රන්කරඬුව’’ නමැති කෘති හරහා ද මෙකී කර්තවයේ යෙදෙන්නට උන්වහන්සේ යත්න දරා ඇත්තාහ. මේ සූදානම ‘‘රන්කර`ඩුව’’ කෘතිය පිළිබඳ මගේ කියැවීම පාඨක සහෘදයා සමග බෙදා හදාගැනීමට ය.

අත් හරින්නාගේ අත් නොහැරිම

භික්ෂුවකගේ වන්දනාගමනක් පරෙදාස්තුත කරගනිමින් රචිත මෙම සාහිත්‍යය ප්‍රබන්ධය පුරා ම දක්නට ලැබෙන්නේ: රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සහ ලෝභයෙන් දිවි ගෙවනා මිනිස් ජීවීන් ගේ ඛේදවාචකය යි. කතුවර හිමි සිය ප්‍රබන්ධය ආරම්භ කරන්නේ ම සියල්ල අත්හැරීමට තමන්ට තමන් ම ගිවිසගත් භික්ෂුව යම් වස්තුවක් ආරක්ෂා කිරීම සඳහා ඇලීමක් ඇතිකරගන්නා අවස්ථාවකිනි. එනම් කොණ්ඩඤ්ඤ හිමියන් විසින් භික්ෂුවට ලබා දෙන ලද රන්පතක් සහිත රන්කරඬුව ආරක්ෂා කරගනිමින් එය ලංකාවේ පිහිටි දළදා මැදුරේ තැන්පත් කරන්නැයි පොරොන්දු කර ගනිමිනි. භික්ෂුව ඇලීම් ගැලීම් සියල්ල අත්හැර සිටියේ නම් මෙම භාරධූර වගකීම තම හිස මත පටවා නොගත යුතු ය. එහෙත් සියල්ල අත්හැරියා යැයි ලොවට පවසන ඊනියා බුද්ධ පුතර තමයෝ තව දුරටත් අල්ලාගෙන සිටින බවත්, සිටින්නට තැත් කරන බවත් මෙම සිද්ධිය හරහා ප්‍රකට කෙරේ.

මෙම භික්ෂුව වන්දනාවේ රුගෙන යන කරත්තකරු වන ගුප්ත ද එම භික්ෂුවටත් වඩා ලොව පවත්නා සියල්ලෙහි අනිත්‍යය පිළිබඳ පසක් කරගෙන සිටින්නෙකි. ඇතැම් අවස්ථාවන්හිදි ඔහුගේ තර්ක හමුවේ භික්ෂුව නිරුත්තර වන්නේ සහ නිහඬ ව්‍රතය රකින්නේ තමන් නිවැරුදි නොවන බව මතු නොකරමිනි.

සංකේත භාවිතයේ සුවිශේෂත්වය

කතුවර හිමි නමගේ සුවිශේෂ දක්ෂතාවක් වන සංකේත භාවිතය මෙම නිර්මාණයේ ද බහුලව දක්නට ඇත. බහුලව යනුවෙන් පවසනවාට වඩා සමස්ත කෘතිය පුරාම විදාරණය වන්නේ සංකේතාර්ථ යැයි කීවද වරදක් නොවේ. භික්ෂුව තම ගමන් මල්ලේ බහා තිබෙන, නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටින පතුරම් කොපුවේ ගැසු පැන්සල් කොටය ද ප්‍රබල සංකේතාර්ථයකි. එකී පැන්සල් කොටය සහ පතුරම් විල්ල යනු ලිංගික සංකේතාර්ථයක් පිළිබිඹු කරන්නකි. එනම් ස්තරි්න පුරුෂ (Female – Mal) ලිංගික සංකේතය යි. භික්ෂුව භික්ෂුවක් ලෙස පෙනී සිටිය ද සිය මනස ක්‍රියාකරන්නේ එකි ඇලී ගැලීම් තුළ ය. කුඩා අවධියේ ලැබුණ එම සිහිවටනය වසර හතළිස් පහක් යන තුරු තමා සන්තකයේ තබාගන්නේ කෙලෙස් සහිත වූවකු මිස කෙලෙස් තැවූ පුද්ගලයකු නොවේ.

ගුප්ත ගේ බිරින්දෑවරු වෙනත් පුරුෂයන් සමග ලිංගික සංසර්ගයේ යෙදීම පිළිබඳව භික්ෂුව විමසන පැනයත් ඒ සඳහා ගුප්ත සපයන පිළිතුරත් භික්ෂුවගේ සහ ගුප්ත ගේ අත්හැරීම පිළිබඳ කදිම නිදර්ශනයකි. එහි දී අනෙකාගේ සැපත කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නන්ට ද සියුම් උපහාසයක් එල්ල කර ඇත. එමෙන් ම භික්ෂුවට නිරන්තරයෙන් ම ඇසෙනා ගස් දෙකක් එකට ඇතිල්ලීමේ හඬද මෙකී ඇලීම හැඳින්වෙන කදිම සංකේතාර්ථයකි. කතුවර හිමි මේ සියලූ ස්ථානයන් ස්පර්ෂ කරන්නේ අහඹු ලෙස නොව සිය මනස තුළ තැන්පත්ව ඇති, එහෙත් ඍජුව සමාජයට පැවසිය නොහැකි යථාර්ථය යි. උන්වහන්සේ ගේ බොහෝ කෘතිවල මෙම ලක්ෂණය දක්නට ඇත.

භික්ෂුවගේ සිතුවිලි හැසිරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ සංකේතවත් කිරීම සඳහා කතුවර හිමි නම උපස්තම්භක කරගන්නේ බෞද්ධ ඉතිහාසයේ ලියැවී ඇති සුවිශේෂිත චරිතයෝ ය. ඒ හැම චරිතයක් හරහා ම පර කරකට කෙරෙන්නේ ජිවිත කාලයේ දී ඒ එක් එක් චරිත තුළින් පෘතග්ජන මිනිසා උගත යුතු පාඩම් ය. ලබාගත යුතු ආදර්ශ ය.

සතු නොවන දෑ වෙත ආශක්ත වීම

අප බොහෝ විට යත්න දරන්නේ තමා සන්තකයේ නැති යමක් සෙවීමට ය; ලබාගැනීමට ය. විඳීමට ය. භික්ෂුව වෙත ලද කරඬුවේ සියුම් සිදුරකින් එහි ඇතුළත සොයා බලන්නට උන්වහන්සේ දරන වෙහෙස එය වඩාත් මැනවින් ප්‍රකට කරයි. භික්ෂුව නිරන්තරව ම යත්න දරන්නේ මතුපිටින් තමන් දකිනා කරඬුව වටහාගැනීමට, එහි හැඩරුව විඳීමට වඩා කොණ්ඩඤ්ඤ හිමි පැවසු පරිදි එහි සියුම් සිදුරෙන් දැකිය හැකි යැයි විශ්වාස කරන, අන් කිසිවකුටත් දකින්නට නොහැකි යැයි විශ්වාස කරන යමක් දැකීම සඳහා ය. එහෙත් අවසන හෙළිවන්නේ එවන් සිදුරක් එම කරඬුවේ නොමැති බවයි. එනම් අනෙකා නොදකින යමක් දකින්නට භික්ෂුව කළ උත්සාහය අසාර්ථක බවයි. අවසානයේ දෙව්දත් හිමි එහි යථාර්ථය පහදා දෙන තුරු භික්ෂුව එය වටහා නොගන්නේ නොමැති යමක් කෙරෙහි ආශක්ත වන්නන්ට සහ ඒ සඳහා වෙහෙසවන්නන්ට, ලොබ බඳින්නන්ට කදිම පාඩමක් උගන්වමිනි.

බුද්ධ වන්දනාවේ යෙදෙන භික්ෂුව එකී චාරිකාවෙන් අත්පත් කර ගතහැකි කිසිවක් හැර අන් සියල්ලම පාහේ (ජිවිත වන්දනාව තුළ පසක් කරගත හැකි) පසක් කරගනී. මන්ද එකී භික්ෂුව සමස්ත ගමන පුරාම යෙදී සිටින්නේ තමා අත පත් රන්කරඬුව පිළිබඳ සහ තමා සන්තකයේ පවත්නා අතීත සිහිවටනය වන පැන්සල් කොටය පිළිබඳ අවධානයෙනි. අනෙක් අවස්ථාවන්හිදි ඒ ඒ මොහොතේ තමා ඉදිරියේ ප්‍රාධුර්භූත වන චරිත සහ සිද්ධි පිළිබඳ මෙනෙහි කිරීම, එම සිද්ධි සහ චරිත තේරුම් ගැනීම භික්ෂුවගේ එකම කාර්ය යි. සැබැවින් ම මෙය අදාළ භික්ෂුවට පමණක් සීමා වූවක් ද? නැත… මේ සියල්ල පෘතග්ජන මිනිසාගේ ක්‍රියාදාමයෝ ය. අපි ජිවත්වන සැම තත්ත්පරයෙන් දහසක කොටසක පවා නියැළෙන්නේ ද මෙවන් කර්තවයක ය. එනම් එක් මොහොතක අතීතය සිහි කරමින් තැවෙන, සිනාසෙන, ආඩම්බර වන මිනිසා ම අනෙක් මොහොතේ අනාගතය පිළිබඳ සිතමින් තැවෙයි. සුබ අසුබ සිහින දකියි. එහෙත් අවසානයේ අපි සැවොම අත්පත් කරගන්නේ කුමක් ද? හතර රියනක් පමණි.

බෞද්ධ භික්ෂුවක ලෙස බටුවන්ගල රාහුල හිමි සිය නිර්මාණ හරහා විශද කරන්නට යත්න දරන්නේ මේ යථාර්ථය යි. ඒ සඳහා තම නිර්මාණ උපස්තම්භක කරගන්නා උන්වහන්සේ මිනිස් ජිවිතයේ ජාගර සිතුවිලි ශරීරාභ්‍ය න්තරයේ සැඟව පවත්නා අතුණුබහන් සේ එළියට ඇද දමයි. එය ජුගුප්සා ජනක ය. පිළිකුල් සහගත ය. එහෙත් යථාර්ථය එයයි. උන්වහන්සේ විසින් රචිත ‘‘රන් පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා’’ කෘතියේ ප්‍රධාන චරිතයේ කුසයේ පවත්නා තුවාලය ද එහි ප්‍රබල සංකේතාර්ථයකි. මෙම කෘතියේ භික්ෂුව රැගෙන යන ගමන් මල්ල, එහි තිබෙන පතුරම් විල්ල ගැසු පැන්සල් කොටය, රන්කරඬුව යනාදි සියල්ල ප්‍රබල සංකේතාර්ථ මතු කරයි. මෙවන් කුඩා ලියවිල්ලකින් ඒ සියල්ල පැහැදිලි කිරීමට නොහැකි වීම පිලිබඳ මසිත පවත්නේ සංකා සිතුවිල්ලකි.

දුබලතා

බටුවන්ගල රාහුල හිමිගේ බොහෝ කෘතිවල දක්නට ලැබෙන දුර්වලතා මෙම කෘතියේ ද ඒ ආකාරයෙන් ම ප්‍රදර්ශනය වන බව නොකිව මනා ය. කෘතියේ සාරවත් ගලායාම 7 වන පරිච්ඡේදයේ දී අඩාල වේ. ඒ අතීතාවර්ජනය කෘතියට අවැසි බව සැබවි. එහෙත් එහි දී කතුවර හිමි නම සිය ප්‍රබන්ධය වඩාත් ඉහළට රැගෙන යන්නට අසමත්ව ඇත. භික්ෂුවගේ අතීත ආදර සැමරුම සහ ගුණපාල භික්ෂුවක් වන්නේ කෙසේ ද යන්න පැහැදිලි කිරීම සඳහා ප්‍රබන්ධ කළ මෙම පරිච්ඡේදයේ දක්නට ලැබෙන්නේ වට්ටටෝරු ස්වරූපයකි. තම ආදර සැමරුම පිළිබඳ කෙරෙන විග්‍රහයේ හැඩය වෙනස් නොවුණ ද භීෂණ සමය එයට ඇඳා ගැනීමෙන් කතුවර හිමි එතෙක් සිය ප්‍රබන්ධය තුළ පවත්වාගෙන රසාස්වාදයට හානි පමුණුවා ඇත. එහෙත් අවසන් (8, 9) පරිච්ඡේදයේ දි නැවතත් එතෙක් පවත්වාගෙන ආ තානමය ස්වරූපයට ප්‍රවේශ වී ඇත. එහි දී භික්ෂුව මෙතෙක් පෙළූ සැබැ රෝගයට අදාළ පරඑත තිකාරය යම් තරමකට ලැබේ. නමුඳු එහි දී භික්ෂුවගේ භෞතික ශරිරය සුවපත් වුව ද අධ්‍යත්මික ශරීරය සුවපත් වූවා ද යන්න ගැටලූවකි. මන්ද භික්ෂුවක් උපැවිදි වීම සාමාන්‍ය තත්ත්වයේ පැවතිය ද භික්ෂුණීන් වහන්සේ නමක් උපැවිදි වීම සමාජය බාරගන්නා ක්‍රමවේදය බෙහෙවින් වෙනස් බැවිනි.

ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com

(‘‘පන්හිඳ දිනූ යති සඳ’’ ශාස්ත්‍රීය සංග්‍රහයට සැපයූ ලිපියකි)

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)