ශ්‍රේෂ්ඨතම සිංහල නවකතාකරුවා වික්‍රමසිංහ නො වෙයි; ජී. බී. සේනානායක යි – කැත්ලින් ජයවර්ධන

No Comment 866 Views

සංලාපය – සුනිල් මිහිඳුකුල

 

කැත්ලීන් ජයවර්ධන ප්‍රතිභාසම්පන්න ලේඛිකාවකි. කෙටිකතා, ගුවන්විදුලි නාට්‍ය, චරිත කතා හා ළමා පොත් ගණනාවක් ලියා ඇත ද ඇය වඩාත් කීර්තිමත් නවකතා කතුවරියක ලෙස ය. ‘අකාල යාත්‍රා’ කැත්ලීන්ගේ අලුත් ම නවකතා නිර්මාණය යි.

‘අකාල යාත්‍රා’ ඔබේ 17 වැනි නවකතාව. ඔබ අවුරුදු හතළිහකට නුදුරු කාලයක් ලේඛන කලාවේ නිරත ව සිටිනවා. ඔබේ පළමු නවකතාව පළවුණේ 1977 දී. ඒ: ‘බලන් කඩතුරා හැර දෑසේ’.

මම ඒ නවකතාව ලිව්වේ සාමාන්‍යපෙළ ලියලා, උසස් පෙළට සූදානම් වන වාරයේ. මෙහි අත්පිටපත මා කරුණාසේන ජයලත්ට කියවන්න දුන්නා. ඔහු එත‍කොට වැඩ කළේ ජනවසමේ. ජයලත් මගේ ප්‍රියතම ලේඛකයන්ගෙන් කෙනෙක්. ඔහු කිව්වා, සුමාන දෙකකින් විතර එන්න, පොත කියවලා තමන්ගේ අදහස් දක්වන්නම් කියල. ඔහු පොත ගැන අගනා සහතිකයක් මට ලිඛිතව ම ලබා දුන්නා. එහි තිබුණේ මෙයයි: “ජීවිතය විනිවිද දැකිය හැකි ඇසක් මේ කතුවරිය සතුව ඇත. ඇගේ අනාගතය සාර්ථක වන බව මට සහතික වශයෙන් ම කිව හැකි ය.” මේ ප්‍රකාශය මට විශාල දිරියක් වුණා. මම පොත පළ කළා. පාඨකයනුත් විචාරකයනුත් සාධනීය ප්‍රතිචාර දැක්වුවා. මං කිසිම විචාරකයකුට පොතක් දෙන්න ගියේ නැහැ. ඔවුන් සල්ලිවලට පොත අරන් විචාර ලියා තිබුණා. ඇත්තට ම පාඨකයන් තමයි මාව ඉස්සරහට තල්ලු කළේ. මගේ අලුත් නවකතා පොතක් පිට වෙන කල් බලා ඉන්න පාඨක පිරිසක් මට ඉන්නවා. මම පාඨකයන්ට ඕනැ දේ ලියනවා කියන එකක් මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. මං ලියන්නේ මට ඕනැ දේ. ඒත් පාඨකයෝ මගේ පොත්වලට දැඩිව ආකර්ෂණය වෙනවා.

 

ඔබේ නවකතා සමස්තය අතර හැරවුම් ලක්ෂ්‍යය ‘තඹරවිල’ යැයි මා සිතනවා.

හුඟ දෙනෙක් එහෙම කියනවා. මගේ නවකතාවල අන්තර්ගතයන් එකිනෙකට වෙනස්; විවිධාකාරයි. ‘සත්‍යකාම’ බුද්ධකාලීන සමාජයේ කතාවක්. ‘ධවල නිම්නය’ බයිබලයට අදාළ යි. ක්‍රිස්තුන් වහන්සේගේ ස්මරණය තමයි මෙහිදි අවදි වෙන්නේ. ‘මහසෙන්’ ප්‍රතිනිර්මිත ඓතිහාසික කතාවක්.

 

ඔබේ පසුකාලීන නවකතාවල මෙන්ම ‘අකාල යාත්‍රා’ හිද මා අපූර්ව පරිකල්පනයක් දකිනවා. එහි ආකෘතිය ද හරිම අලුත්. මේ නවකතාවෙන් ඔබ මොකක්ද කියන්න උත්සාහ කරන්නේ?

ජීවිතය පිළිබඳ, සමාජය පිළිබඳ, පරිසරය පිළිබඳ මගේ අත්දැකීම්වලට අනුව, මගේ නිරීක්ෂණයට අනුව මට පේන්න තියෙන්නේ මිනිසා මඟ වරද්දාගෙන ඇති බව යි. දැඩි ආත්මාර්ථය, දැඩි මමායතය නිසා මිනිසා වංක සත්ත්වයෙක් බවට පත් වෙලා තියෙනවා. ම්ලේච්ඡ යුගය, දඩයම් යුගය පසු කරලා, මිනිසා දියුණු යුගයකට ඇවිත් තියෙනවා කියල කිව්වට අපේ චේෂ්ටාවන් දිහා බලද්දි අපි තවමත් ඉන්නේ ම්ලේච්ඡ යුගයේ. ‘බාබකියු’ කියලා අද මිනිසුන් කරන්නේ මොනව ද? එදා ම්ලේච්ඡ යුගයේ සත්තු පුලුස්සගෙන කාපු දේම නේ. කුකුළෙකුගේ බෙල්ල කපන මිනිහෙකුට තවත් මිනිහකුගේ බෙල්ල කපන එක ලොකු දෙයක් නෙමේ. ඇත්තට ම මිනිහාට වඩා සත්තු දියුණුයි. මිනිසා බොරු කියනවා. අනුන්ට කියන බොරුවලින් කරන්නේ තමන්ම රවටා ගැනීමක්. ඒ එක්කම ඈදුණු මමායතනය, දුෂ්ටකම, ක්‍රෑරකම මිනිසා ඉතාම දරුණු සත්ත්වයකු බවට පත් කරලා තියෙනවා. සර්පයන් දෂ්ට කරනවා කියලා කිව්වට උන්ගේ විෂ තියෙන්නේ එක තැනක විතර යි. ඒත් මිනිසාගේ විෂ හැම තැන ම තියෙනවා. කොටියෙක් එනකොට අපි දන්නවා, ඌ එන්නේ ඇඟට පනින්න කියලා. බල්ලෙක් වලිගය වන වනා එනකොට අපි දන්නවා ඌ එන්නේ ආදරේට කියලා. ඒත් මිනිහෙක් අපි ළඟට හිනාවෙවි ආවත් අපිට දැනගන්ට ලැබෙන්නෙ නැහැ ඔහුගේ චරිත ස්වභාවය මොකක්ද කියන එක.

 

ඕක ශාස්ත්‍රීය ලියැවිල්ලක ඡේදයක් වගෙයි නේ…. ඕකෙන් කොහොම ද නවකතාවක් ලියන්නේ? ඔබේ අලුත් නවකතාවේ ‘අකලයාත්‍රා’ පොතේ මුල සිට අග දක්වා දිවෙන කිසියම් වෘත්තාන්තයක් නැද්ද?

තියෙනවා. මෙහි චරිත කීපයක් ඉන්නවා: නායකතුමා, රාජ පුරුෂ, ඔහුගේ බිරිය – යශෝදරා, ඔහුගේ දියණිය – නයනතාරා වගේ. රාජපුරුෂ හරියට නායකතුමාගේ කෝඩිනේටින් සෙකට්රි වගේ කෙනෙක්. ඔහු බුදුහාමුදුරුවොත් විකුණගෙන කන මිනිහෙක්. නායකතුමයි තමන්ගේ සැමියයි කරන බොරුව රැවටිල්ල යශෝදරා දකිනවා. මේ තුන්දෙනාගේ ම අවසානය ඛේදවාචකයක්. මේ චරිත වටා තමයි මගේ චින්තනය මතු කරන්නේ.

 

එයට අමතර ව ලෝක නිර්මාතෘ හෙවත් ‘අකාලික’ නම් වූ චරිතයකුත් මේ නවකතාවේ ඉන්නවා. ඔහු හැම පරිච්ඡේද තුනකට වරක් ම පාඨකයා හමුවේ පෙනී සිටිනවා. මේ චරිතය මොකක්ද?

අපිට යක්ෂයෝ, භූතයෝ පරිකල්පනය කරන්න පුළුවන්නේ. සාහිත්‍යකරුවකුට ඒ ලයිසන් එක තියෙනවා. මේ චරිතයත් ඒ වගේ. හැබැයි ඔහු ප්‍රජාපතිවත් මහ­ාබ්‍රහ්මයාවත් දෙවියන් වහන්සේ වත් නෙමෙයි. ඔහුට දේවාලයක් නැහැ; අත් දොළසක් නැහැ. ඔහු කවුදැයි දැනගන්න මෘදුකාංගයක් සොයා ගන්න කල් අපිට ඔහුව මුණ ගැහෙන්නේ නැහැ.

 

මේ වගේ ‍නවකතාවල තියෙන උපයෝගිතා වටිනාකම මොකක් කියල ද ඔබ හිතන්නේ?

මං හිතන්නේ නවකතාවකට පුළුවන් ජීවිතය වෙනස් කරන්න. ‘ජීවිතය වෙනස් කරන සාහිත්‍යය’ කියලා මං පොතකුත් ලියලා තියෙනවා. ඉසබෙල් අයියන්දේගේ ‘මායාවාස’ නවකතාව කියවන්න පෙර හිටපු මම ෙනාෙවයි ඒ පොත කියෙව්වට පස්සේ ඉන්න මම. මම හරියට සෝවාන් වුණා වගේ හැඟීමක් දැනෙන්න පටන්ගත්තා. ආගමකට කළ නොහැකි කාර්යභාරයක් සාහිත්‍යයට කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

 

‘අකාල යාත්‍රා’ ලියද්දි ඔබට පශ්චාත් නූතනවාදි නවකතාවල බලපෑමක් තිබුණ ද?

මම නම් ඔය වගේ සාහිත්‍ය ධාරා විශ්වාස කරන්නේ නැහැ. ගර්සියා මාකේස් වුණත් ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට අනුව නවකතා ලියනවා කියල මං හිතන්නේ නැහැ. ඔහුගේ මිත්තණිය කියපු කතන්දර ඔස්සේ තමයි ඔහුගේ පරිකල්පනය අවදි වුණේ. විචාරකයෝ තමයි අර වාදය, මේ වාදය කියලා සාහිත්‍යයට ලේබල් අලවන්නේ.

 

ඔබේ පොත පිළිගන්වා ඇත්තේ මහාචාර්ය සුචරිත ගම්ලත්ට….

මහාචාර්ය ගම්ලත්ගේ දේශපාලනයත් එක්ක මගේ එකඟකත්වයක් තිබුණේ නැහැ. මොකද, ඒ දේශපාලනයේ ප්‍රායෝගික නොවන දේවල් තියෙනවා. මහාචාර්ය ගම්ලත් ලියූ ‘බුද්ධ චරිතය’ කියවනකොට මට හිතුණා එතුමා මොන තරම් ගැඹුරට බෞද්ධ ධර්මය දන්නවද කියන එක. මගේ ‘සත්‍යකාම’ බුද්ධ කාලීන සමාජයේ කතාවක් නේ… මම මෙහි අත්පිටපත මහාචාර්ය ගම්ලත්ට කියවන්න දුන්නා. ඔහු මෙය කියවලා තමන් මෙහි භාෂාවට කැමැති බව ප්‍රකාශ කළා. පද බෙදීම් කීපයක් ද ඔහු අත්පිටපතේ ලකුණු කර තිබුණා. මට හිතුණා පොතේ දොරට වැඩී‍ෙම් උත්සවයෙදි මහාචාර්ය ගම්ලත්ට දේශනයක් දෙන්න. ඔහු තම දේශනයෙන් මගේ පොත අගය කළා; විශේෂයෙන් එහි භාෂාවේ සුන්දරත්වය ගැන කතා කළා. ඔහු එක්තරා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලියපු නවකතාවක් අරන් එහි පිටු ටිකක් කියවලා, මොකක්ද මේ හඩු භාෂාව කියලා අවලාද නැඟුවා. මගේ පොත වර්ණනා කිරීමත් එක්ක සාහිත්‍ය ලෝකය කැලඹුණා. එදා රෑම කීපදෙනෙක් මහාචාර්ය ගම්ලත්ට දුරකථනයෙන් බැණ වැදිලා තිබෙනවා. ඊට පස්සේ මගේ ‘ධාරා’ නවකතාවේ අත්පිටපතත් ඔහුට කියවන්න දුන්නා. ඔහු කිව්වා මං මේ පොත හතර සැරයක් කියෙව්වා කියලා. ඔහු ඒ පිටපතෙත් පද බෙදීම් ලකුණු කරලා තිබුණා. මං මේ ගැන එක්තරා ලේඛකයකුට කිව්වම ඔහු කිව්වේ මහාචාර්ය ගම්ලත් සාමාන්‍යයෙන් පොත් නොකියවා අදහස් දක්වන බවයි. මම ඔහුට මහාචාර්ය ගම්ලත් අත්පිටපතේ ලකුණු කරලා තියෙන පද බෙදීම් ටික පෙන්නුවා. ඊට පස්සේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ කතාවක් පැතිරිලා ගියා, මහාචාර්ය ගම්ලත්, කැත්ලින් ජයවර්ධනගේ පොත්වල ප්රූෆ් කියවන මට්ටමට ඇද වැටිලා කියලා. අපි සාමාන්‍යයෙන් හිතනවා අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව ලේඛකයන් ළඟ, කලාකරුවන් ළඟ වෛරය, ක්‍රෝධය අඩුයි කියලා. ඒත් ඒක මිථ්‍යාවක් බව මේ සිදුවීම්වලින් මා තේරුම් ගත්තා. මහාචාර්ය ගම්ලත් මගේ ලේඛන කලාව තේරුම් ගත්තා. ඔහු එය අගය කළා. ඒ නිසා තමයි ‘අකාල යාත්‍රා’ මා ඔහුට පිළිගැන්වූයේ.

 

මහාචාර්ය ගම්ලත් වැනි දෙතුන් දෙනෙකු හැරුණුකොට ඔබේ නවකතා ගැන ප්‍රමාණවත් විචාරයක් සෙසු විචාරකයන්ගෙන් කෙරිලා තියෙනවයි කියල කියන්න පුළුවන් ද?

ඇත්තට ම නැහැ. අපේ විචාරකයන්ට වඩා පාඨකයන් ඉදිරියෙන් ඉන්නව කියන එක යි මගේ හැඟීම. මට වරක් පිටු 12ක ලියුමක් ලැබුණා දේශපාලන සිරකරුවෙකුගෙන්. ඔහු ‘සත්‍යකාම’ පොත කියවලා ඔහුගේ අදහස් බොහෝම ගැඹුරින් දක්වලා තිබුණා. ඔහු කියනවා තමන්ට නොමිලේ ආහාර ලැබෙනවා, මදි නොකියන්න කාලය තියෙනවා, ඒ නිසා මේ පොත කීප වාරයක්ම කියෙව්වා කියලා. මට පුදුම හිතුණා ඔහු දක්වලා තිබුණු අදහස් ගැන. විචාරකයන් ඒ තරම් ගැඹුරට පොතක් විග්‍රහ කරන්නේ නැහැ. දැන් මට හිතිලා තියෙනවා, මගේ පොත් විචාරකයන්ට දෙනවට වඩා දේශපාලන හිරකරුවන් ටික දෙනකුට බෙදලා දුන්න නම් හොඳයි කියලා.

 

‘ධාරා’ නවකතාවේ සිට ඔබ ඔබේ පොත්වල මෙය සම්මාන ප්‍රදානයන් සඳහා සමීක්ෂණයට භාවිත නොකරන ලෙස ඉතා පැහැදිලිවම ලියා කියා තිබෙනවා. ඒත් ඒ වගන්තිය ඔබේ මේ ‘අකාල යාත්‍රා’ පොතේ නැහැ. ඒ ඇයි?

අපේ රටේ සාහිත්‍ය සම්මාන දෙන්නේ පුද්ගලයන්ගේ නම් දිහා බලලා. ඔවුන්ගේ සිවිල් බලය ඉදිරියේ විනිශ්චය නවතිනවා. ඉතාම සාධාරණ විනිශ්චයක් ලැබුණේ ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සාහිත්‍ය සම්මානවලදි පමණයි. මොක ද, ඒවා අත්පිටපත්. ලියපු ලේඛකයා කවුද කියා විනිශ්චය මණ්ඩලය දන්නේ නැහැ. අනික ඔබ හිතනවද ඔය විනිශ්චය මණ්ඩලවල ඉන්න අයට පොත් 150ක් – 200ක් කියවන්න වෙලාවක් තියෙනවයි කියලා? බොරුනේ… මම අවුරුදු 7ක් සම්මාන ප්‍රතික්ෂේප කළා. ඒත් මගේ සමීපතමයන් කියපු දේ තමයි ‘මෝඩවැඩ කරන්න එපා. මේකෙන් පාඨකයනුයි අසරණ වෙන්නේ. මොකද, ඔවුන් සම්මාන වගෙ දේවල් නිර්ණායක ලෙස සලකන නිසා’ යන අදහස. මෙවර මා සියල්ල කාලයට භාර දෙනවා. ඉන් එහාට දෙයක් මං මේ වෙලාවේ කියන්නේ නැහැ.

 

කාන්තාවක් වීම නිසා ම කිසියම් අගතියක් ඔබට සාහිත්‍ය ලෝකයේ සිදු වෙනවද?

අපේ මුල් ම නවකතාකරුවා කවුද කියන එක ගැන විද්වතුන් අතර විවාද තියෙනවා. ඒත් මුල්ම නවකතා කතුවරිය කවුද කියල කිසිවෙක් හොයන්නේ නැහැ. ඒකෙන් ම පේනවනේ අගතිය. කාන්තාව නොතකා හැරීමක් තියෙනවා. අපිට යුග පුරුෂයෝ ඉන්නවා. ඒත් යුග කාන්තාවන් ඉන්නව ද? අපිට මහා පුරුෂයන් ඉන්නවා. ඒත් මහා ස්ත්‍රීන් ඉන්නව ද? විසිඑක් වැනි සියවසේ නෙමෙයි තව සියවස් සීයක් ඉස්සරහට ගියත් මේවා වෙනස් වෙන්නේ නැහැ.

 

ෙල්ඛන කලාවේ දීර්ඝ කාලයක් නිරත ව සිටින ලේඛිකාවක වශයෙන් ඔබ නූතන සාහිත්‍යයේ දියුණුවක් දකිනවද?

අපේ සාහිත්‍ය ඉතිහාසය ලියැවිලා තියෙන්නේ වැරදි විදියට. අපිට හිටපු ශ්‍රේෂ්ඨතම ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහ නෙමෙයි, ජී.බී. සේනානායකයි. ඔහු තමයි සාහිත්‍යයෙන් මනෝ විශ්ලේෂණාත්මකව ජීවිත විවරණයක් කළේ. ඔහු ජාත්‍යන්තරයට ගියා නම් තවත් දොස්තෙයෙවුස්කි කෙනෙක් වෙනවා. වික්‍රමසිංහගේ නිර්මාණ සාහිත්‍යයට වඩා ඉදිරියෙන් තියෙන්නේ ‘සත්ව සන්තතිය’ වගේ පොත් හා සමාජ විචාර ලිපි. මාර්ටින් වික්‍රමසිංහ හරි, ජී.බී. සේනානායක හරි අද හිටිය නම් ඔවුන් එදා ලියපු පොත් ලියන එකක් නැහැ. ලෝක සාහිත්‍ය අද ඉතාම දියුණු යි. හරුකි මුරකාමි ගේ එක් නවකතාවක චරිතයක් කේ.එෆ්.සී. දැන්වීමේ ඉන්න සුද්දත් එක්ක කතා කරකර පාරේ යනවා. ඒක මාර පරිකල්පනයක්. අපේ විචාරකයෝ කියයි මුරකාමිට පිස්සු කියලා. ලෝක සාහිත්‍යය ඉස්සරහට යනකොට අපි යන්නේ අතීතයට; පනහේ දශකයට. අපි අලුත් පරිකල්පනයකට යන්නේ නැහැ. මේක තමයි අපේ ඛේදවාචකය.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)