කවිය වෙන ම කුලකයක් විදියට ගන්න බැහැ… උපුල් සේනාධිරිගේ

No Comment 670 Views

සාහිත්‍ය කලාව, සිනමාව, සංගීතය සහ නාට්‍යය, චිත්‍ර යනාදි ‍ක්ෂේත්‍රයන්හි ගැඹුරු කියවීමක් සහ විඳීමක් ඇති සහෘදයකු වන උපුල් සේනාධිරිගේ ප්‍රකට ව ඇත්තේ කවියකු හැටියට ය. ‘මතක නිම්නාද’ ඔහුගේ සිව්වැනි කවි එකතුව යි. මේ කෘතිය ජනගත වීම නිමිති කරගනිමින් ඔහුගේ සාහිත්‍ය කලා දිවිසැරිය සහ සමකාලීන සාහිත්‍ය කලා පිළිබඳ කළ සාකච්ඡාවකි මේ.

 

සංලාපය – තිඹිරියාගම බණ්ඩාර

 

ඔබ කොළඹ උපන් මිනිහෙක්…

ඔව්. තිඹිරිගස්යාය මා උපන් ගම. අපූරු ජනවාර්ගික එකතුවක් සහිත පරිසරයක්. එක් පැත්තකින් බංගලා සංස්කෘතිය. අනෙක් පැත්තෙන් කම්කරුවන් ප්‍රමුඛ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස. ශ්‍යාම් සෙල්වදොරෙයිගේ නිවෙස තිබුණෙත් අපේ ගෙවල් කිට්ටුව.

ඔබ වෙනස් කරන්න ඒ පරිසරය බලපෑවෙ කොහොම ද?

මගේ පියා වමේ ක්‍රියාකාරිකයෙක්. සමසමාජෙ වතු රැස්වීම් අපට හොඳට පුරුදුයි. ඒ කාලෙ තාත්තත් එක්ක වැඩ කරපු ජෝර්ජ් පෙරේරා අංකල් තවම ජීවතුන් අතර ඉන්නවා. අපේ තාත්තා ලයනල් එදිරිසිංහගේ ගෝලයෙක්. හවසට සංගීත භාණ්ඩයක් වාදනය කිරීම ඔහුගේ පුරුද්දක්. වමේ ක්‍රියාකාරිකයෙක් වුණු විමල් අයියාගේ ඇසුර පතපොත කියවීමේ අභිරුචිය මා තුළ ඇති කෙරුවා. ‘සංස්කෘතික ජීවියෙක්’ නිර්මාණය වීමේ පසුබිමක් එහි තිබුණා.

ඔබ ඇතුළු හදට බර කවියකු හැටියට අපට දැනෙනවා. මේ අමුත්ත කොහොම ද ආවේ?

මගේ අයියා අවුරුදු නවයෙදි ලියුකේමියා රෝගයෙන් මිය ගියා. තාත්තගෙ ජීවිතයෙන් බාගයක් ම කඩාවැටුණා වගේ. මගේ කාලය වැඩිපුර ගත වුණේ ගෙවල් කිට්ටුව ආච්චි කෙනෙක් ළඟ. ඇය මට ඇගේ ම මුනුපුරකුට වගේ සැලකුවා. ඒ අවදියේ සිට ම මගේ හිතේ කිසියම් ශෝකාකුල බවක් තිබුණා. ඒ පාළුව නිසා ම බොහෝ විට පැත්තකට වෙලා ඉන්න ගතියක් තිබුණා. මගේ ඥාති සහෝදරයෙක් මට කියවන්න පොත් දෙකක් දුන්නා ටී.බී. ඉලංගරත්නගෙ ‘විමලාගේ උපන්දිනය’ සහ තවත් පොතක්. ඊට පස්සේ ‘තිලක’, ‘විලම්බීත’ පොත් කියෙව්වා. ඥාතියා ළඟ තිබුණු ‘බිම්ගෙයි සිරකරුවා’, ‘වැලිකතරක අතරමංව’ වැනි පරිවර්තන පොත් ආසාවෙන් කියෙව්වා. තනි වීම, කියවීම යන දෙක ම එකට ගමන් කළා. මගේ කවිවලටත් ඒ ගතිය බලපාන්න ඇති.

තිඹිරිගස්යායෙන් ඇරැව්වල පදිංචියට ආවේ කොහොම ද?

1969 දී මගේ පියාගෙ රැකියාව නිසා ඇරැව්වලට ආවේ. එහෙම පිටින් ම ගහකොළින් පිරුණු පරිසරයක්. ගොවිතැන, ශාන්තිකර්ම, ගැමි ඇදහිලි, මට අලුත් අත්දැකීමක් වුණා. ඒ කාලෙ අඩි පාරවලින් පැනගෙන හැතැප්ම එකහමාරක් විතර දුර ගිහින් ඇරැව්වල නන්දිමිත්‍ර මහත්තය මුණගැහිලා පොත් ඉල්ලගෙන කියෙව්වා.

1971 දී නන්දිමිත්‍ර මහත්තයා ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙනැල්ලා ඇරැව්වල පිට්ටනියෙ පෙන්නුවා. ඒකත් අලුත් අත්දැකීමක්. මේ විදියට අලුත් පරිසරයට අනුගත වෙමින් කියැවීම දිගට ම කරගෙන ආවා.

කෙසෙල් පඳුරෙන් කපාගත් කෙහෙල් කැන් දෙක, කිකිළි දාපු බිත්තර ටික, පරණ යකඩ ටික ගෙනිහිං විකුණලා ගත්තු සල්ලිවලින් ‘මහජන ප්‍රකාශන ආයතනයට’ ගිහිං පොත් අරං ආවා. රුසියානු සාහිත්‍යය ගැන උමතුවක් වගේ ආසාවක් අපට තිබුණේ. විමල් ගාමිණී රුද්‍රිගු ළඟ තිබුණු නිකොලොයි ඔස්ට්‍රොව්ස්කිගේ කෘති සියල්ල කියවන්න ලැබුණා.

තරුණ අවධියේ දී ගමේ තරුණ ප්‍රජාවෙන් දැන-උගත් ප්‍රජාවක ඇසුරට වැටුණෙ කොහොම ද?

ඒ කාලෙ ගමේ තරුණයොත් එක්ක ක්‍රීඩා කළා; සමාජ වැඩවලට හවුල් වුණා. හැබැයි මට ඒ වන විට ‘ගොළුහදවතින්’, ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ වැනි නිර්මාණවලින් මිදෙන්න තදබල ඕනෑකමක් ඇති වුණා.

අවුරුදු 19 දී ITVT දෙවැනි කණ්ඩායමේ ශිෂ්‍යයෙක් වුණා. චිත්‍රපට තිරනාටක රචනය ඉගෙනගන්න ලැබුණා. ලෙස්ලි බොතේජු, තිස්ස අබේසේකර වගේ විද්වතුන් හම්බ වුණේ එතනදි.

ඊට පස්සේ OCIC එකට සම්බන්ධ වුණා. අනෝමා රාජකරුණා, තනුජා ධර්මපාල, මනුබන්දු විද්‍යාපති, කේ.කේ. සමන් කුමාර, දීප්ති කුමාර ගුණරත්න එහි හිටියා. ප්‍රන්සුවා ද ට්රූපෝගේ චිත්‍රපට, චෙකොස්ලොවැකියානු චිත්‍රපට බලන්න ලැබුණේ එතනදි. මේ විදියට ලෝක සිනමාව හඳුනාගන්න ලැබුණා.

‘නිර්මාණ සංවාද කුලකය’ ආරම්භ වුණේ කොහොම ද?

ඒ වන කොට ජනතා කලා කේන්ද්‍රය ක්‍රියාත්මක වුණා. සමන් වගාරච්චි සහ විලේගොඩ අරියදේව හිමි එහි ප්‍රබලයෝ. ‘නිර්මාණ සංවාද කුලකය’ ආරම්භ කරන්න සමන් වගාරච්චි සහ කමල් පෙරේරා මුල් වුණා. දෙවැනි අදියරේදී තමයි මම සම්බන්ධ වුණේ. එහි සිනමා කුලකයේ ලේකම් වුණේ මම. ජගත් ජයසුන්දර, ජගත් රණතුංග, හබරකඩ සුමනරතන හාමුදුරුවෝ, නවරත්න ගමගේ අපිත් එක්ක හිටියා.

ලිවීමේ උත්තේජනය ඇති වුණේ කොහොම ද?

OCIC එකේ සිනමාව හදාරද්දී මම ගාමිණී විජේතුංගගෙන් ප්‍රශ්නයක් ඇහුවා සබ්ජෙක්ටිව් සහ ඔබ්ජෙක්ටිව් කැමරා භාවිතය ගැන. ඊට පස්සේ දවසක ගාමිණී අයියා සඳරුවන් සේනාධීර අතේ මට පණිවිඩයක් එව්වා ඇවිත් හමු වෙන්න කියලා. මම ගියා දෙසතියට. එතනත් අපූරු තැනක්. වැඩ ඉවර වුණාම ගාමිණි අයියා, කොටුවේ YWC එකට තේ එකක් බොන්න මාත් එක්ක යද්දි අලුත් දේවල් කතා කරනවා. ග්‍රාම්ස්වි ගැන ෆුකෝ ගැන. අලුත් දැනුම් ලෝකයක් විවෘත කෙරුණා. ලිවීමේ උත්තේජනයක් ඇති වුණා.

අසෝක ඩයස්, ජයලාල් රෝහණ, ජගත් විජේසිරි පෙරේරා, අරුණ ගුණරත්න ඒ අවධියේ හමු වූ අපූරු චරිත. අප බොහෝ දේවල් සාකච්ඡා කරනවා. සාමූහික ව යම් යම් දේවල් ලියනවා. මොන තරම් එකඟ නොවන තැන් තිබුණත් සාමූහික ව හිතන්න පුළුවන් මිතුරු පිරිවරක් අපට හිටියා.

‘ජනහඬ’ පත්තරේ, ‘මාවත’ සඟරාව, ‘විමසුම’ ඉතා වැදගත් සමාජ දේශපාලන සංවාදයක් දියත් කෙරුවා. ලිවීමට අවශ්‍ය මූලබීජ මේ සංවාදාත්මක පරිසරයේ වර්ධනය වුණා. වරක් මම සර්ජි අයින්ස්ටයින් ගැන ලියවුණු ලිපියක් අමාරුවෙන් පරිවර්තනය කළා. එහෙම උනන්දුවක් ඇති වීම තමයි වැදගත්. ඊට පස්සෙ ‘විභවි’ පටන් ගන්න කොට ටික කාලයක් ඒකෙ වැඩවලටත් සම්බන්ධ වුණා. හිච්කොක්ගේ චිත්‍රපට ගැන ගාමිණී හත්තොට්ටුවාගම රඟපාමින් කළ විග්‍රහය තව මත් මතක යි.

මිතුරු ඇසුර සංවාදවලට පමණ ද සීමා වුණේ?

නෑ. අපි හමු වන්නෙත් බස් එකට අමතර ව ප්ලේන්ටියකට පොඩි ගානක් තියාගෙන. හැබැයි ගොඩක් වැඩ කිරීමේ උනන්දුවක් තිබුණා. අප සංවිධානය කළ ධර්මසේන පතිරාජ චිත්‍රපට උලෙළ දින හතක් තිබුණා. එක විශ්වවිද්‍යාල ළමයෙක් වත් ආවෙ නෑ. හැබැයි, හොඳ රසිකයො පිරිසක් ආවා. මා මුලින් ම ප්‍රසිද්ධ වේදිකාවක කතා කළෙත් ඒ උලෙළේ දී. මේ විදියට චිත්‍රපට, නාට්‍ය දර්ශන සංවිධානය කිරීම සංවාදගත කිරීම ආසාවෙන් කළේ. සමාජ බද්ධ ව කලාව යන්නේ කොහොම ද කියන එක ගැන යි උනන්දු වුණේ. සයිමන් නවගත්තේගමගේ සාහිත්‍යය සමාජවාදය හා කලා විචාරය වගේ පොත් යම් පෙලඹවීමක් ඇති කළා.

කවි ලිවීම ඇරැඹුණේ කොහොම ද?

මම ඉගෙනගත්තෙ රෝයල් එකේ. කොල්ලො දියතලාව යද්දි කෙල්ලන්ට දෙන්න කවි ලියවගත්තෙ මං ලවා. හැබැයි උන් දැනගත්තා මම ලියපු බව. ළමා සමාජයෙ වැඩ කරද්දි කවි 30ක විතර අතින් ලියූ පොතක් හැදුවා. 80 දශකයේ දී මම දිවයින ‘අට වැනි පිටවේ යාවජීව සාමාජිකයෙක්. ඒ කාලෙ සාංදෘෂ්ටිකවාදය ගැන මට පොඩි උනන්දුවක් තිබුණා. මම ලියාපු ලිපියකට චන්ද්‍ර කුමාර වික්‍රමරත්න පිළිතුරක් ලිව්වා. සාංදෘෂ්ටික පණුවා කියල යි ඔහු මට ලීවේ. 88, 89 කැරැල්ල කාලේ මගේ අදහස් කැරැල්ලට බාධාවක් බව යි ඒ අය හිතුවේ.

කොග්ගල රැකියාවක් ලැබුණට පස්සෙ, මම එහෙ පදිංචිකරුවෙක් වුණා. සති අන්තේ කොළඹ එන්නේ. ඒ කාලෙ මම රත්න ශ්‍රී අඳුනගෙන හිටියෙ නෑ. රාවය පද්ම තටාකෙට යැවූ කවි දෙකක් ම රන් පියුමට තෝරගෙන තිබුණා. පසු කාලෙ ඔහු අඳුනාගැනීම ඔස්සේ ඥාති සම්බන්ධයකටත් වඩා බැඳීමක් ඒ පවුල සමඟ ඇති වුණා. ඒත් කවි පළ වීම කෙරෙහි ඒ බැඳීම බලපෑවෙ නෑ. ඒ කවි ලියන අප කාගෙත් අත්දැකීම.

ඒ අවධියෙ ලිවීම කෙරෙහි බලපෑ අනෙක් ප්‍රධාන චරිත මොනවා ද?

සුනිල් මාධව, කම්මැල්ලවීර, කපිල කුමාර කාලිංග විශේෂයෙන් මතක් වෙනවා. පොඩි කොල්ලෙක් කියලා මාව පැත්තකට නොදා මට අවස්ථාව ලබා දුන්නා. ඇතැම් මිතුරන්ගේ ඇසුර දයලෙක්තික භෞතිකවාදය පිළිබඳ මගේ උනන්දුව ඇවිස්සීමට බලපෑවා. එමෙන් ම පියසීලි විජේගුනසිංහ ඇතුළු භෞතිකවාදීන්ගේ පොත් සෑහෙන ප්‍රමාණයක් කියෙව්වා. මේ සියලු උත්තේජන ලිවීම කෙරෙහි බලපෑවා.

ඔබේ නිර්මාණ චින්තනය හැඩගැසුණේ සංවාදාත්මක පරිසරයක බව පෙනෙනවා. වර්තමාන කවීන්ට එබඳු සමාජ ස්පර්ශයක් ලැබෙනවා ද?

බොහෝ දුරට අඩු යි. ඒ දවස්වල අද තරම් ගැටුම් තිබ්බෙ නෑ. වාද-විවාද තිබුණත් අපට යම් අරමුණක් තිබුණා. ඒ ගතිය අලුත් පරම්පරාවෙ දකින්න අමාරු යි කියල වෙලාවකට මට හිතෙනවා. අපි ඒ දවස්වල එකතු වෙන්නෙ අඩියක් ගහන්න ම ‍නො වේ; ප්ලේන්ටියක් බිබී බොහෝ දේවල් කතා කරන්න. ඒක හරි සුන්දර මතකයක්. ඒ කාලේ හරිහැටි රස්සාවක් නෑ. හැබැයි පෞද්ගලික ව්‍යාපෘතිවලට වැඩ කළෙත් නෑ. ඊට වඩා වෙනස් ඉලක්ක අපට තිබුණා.

ඔබේ කවිවල අත්දැකීමේ සේයාවක් ඉතිරි කොට පරිකල්පනීය පැත්ත විශාලනය කර තිබෙනවා. ‘කඳුකර පුතණුව’ කවිය ඇසුරෙන් එය පැහැදිලි කළ හැකි ද?

කඳුකර ප්‍රදේශයේ චාරිකාවක දී හුදෙකලා නිම්නයක වට්ටක්කා පැළ අතින් ගත් ළමයෙක් මට හමු වුණා. ඒ අසල හෙල්මළු කුඹුරු. තරමක් දුරින් දුමක් නැ‍ඟෙන වහලක්. අවට කඳු පන්ති. මෙයින් නිර්මාණය වුණේ පියකු තම දරුවා අමතා කියන දෙයක්. ජිම් රීව්ස් ගායකයාගේ ගීයක ඡායානුවාදයකුත් කවිය ගොඩනැඟීමට බලපෑවා. ඔබ, ප්‍රාඥාලෝකය හොයාගෙන ගොස් දිනෙක මහලු මා වෙත පැමිණ රුක් ගොමුව අස්වද්දා මා සොයාගත් විට මතක නින්නාදය කඳු අතර සරනු ඇත. ඒ තමයි කවියෙ හරය.

ඔබේ නිර්මාණවල සාංදෘෂ්ටිකවාදී ලක්ෂණ තිබෙන බව පෙනෙනවා. ඔබ ඒ අදහසට එකඟ ද?

මම එහෙම දෙයක් හිතා-මතා කරන්නේ නෑ. ඒක කියවන්නාගේ කාරියක්. සාංදෘෂ්ටිකවාදය තේරුම් ගැනීමේ සීමාකම් සමහරුන්ගෙන් පේනවා. කැමූ සහ සාත්‍රෙ කියන්නෙ මාක්ස්වාදය සහ බොහෝ විෂයයන් ගැඹුරට දැනගත් අය. ආර්ථික නිෂ්පාදනවල සම්පත් අසමාන ව බෙදී යෑම තම ජීවිතේට දැනෙන කොට සමහරු ඊට එරෙහි ව නැඟී සිටිනවා. ඒ තත්ත්වය ජීවිත ස්වභාවය හැටියට පිළිගෙන තව කෙනෙක් ගුලි ගැහෙනවා. එහෙත් සාංදෘෂ්ටිකවාදය කිසි සේත් ම පසුගාමී නෑ. ග්‍රීක දාර්ශනිකයකු වන ලියුකිපස්ට අනුව පදාර්ථ, අනෙකුත් පදාර්ථ සමඟ සම්බන්ධ වෙනවා. භෞතික ඇදවැටීම් මැද්දේ මිනිසා ජීවත් වීමේ උපාය හොයනවා. රටේ ආර්ථික උපායවල් ජීවිතයට බලපානවා. සමාජ සංවාදයෙන් වියුක්ත වන්න අපට බැහැ. උපත සහ මරණය අතර සුබවාදී ව ඉදිරියට යන ක්‍රියාවලියක් අපට අවශ්‍ය වෙනවා.

සුබවාදී වීමත් සාධාරණත්වය ගැන සිතීමත් අවශ්‍ය වෙනවා. ‘මහල්ලා සහ මුහුද’ නවකතාවේ සන්තියාගෝ මහල්ලාගෙන් කියැවෙන පරිදි ජීවිතේ විනාශ කරන්න පුළුවන්. ඒත් පරද්දන්න බැහැ. මහා පරමාණුව පුපුරන ඩෙටනේටරය ගැන හිතමු. මේ ගැන තිබෙන ධර්ම කතිකාව ඉතා වැදගත්.

‘ධර්ම කතිකාව’ යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

ඒක ජනප්‍රිය බුද්ධාගම හෝ වෙනත් ආගමක් නො වේ. එහෙත් නාරද හිමි, වැලිගම ඤාණරතන හිමි, කෝදාගොඩ පඤ්ඤාලෝක හිමි යනාදි හිමිවරුන් මේ ගැන ගැඹුරු අදහස් පළ කර තිබෙනවා. ශ්‍රද්ධාව, ප්‍රඥාව, උට්ඨානවීර්යය, නිරාලම්බනය යනුවෙන් කෙරෙන විග්‍රහය සාහිත්‍ය කතිකාවට සම්බන්ධ යි. උපනිෂද්වල අර්ථ, කාම සහ සූත්‍ර යනුවෙන් කියැවෙන්නෙත් ගැඹුරු දර්ශනයක්. ජීවන ශික්ෂාවට අතිශයින් වැදගත් වන කරුණු එයින් කියැවෙනවා.

ඔබ කිසියම් ආගමික නැඹුරුවක් ඇති කරගනිමින් සිටිනවා ද?

එහෙම නො වෙයි. ඒක සියුම් ව අල්ලගන්න ඕනැ. මම පුනරුත්පත්තිය ගැන වුණත් හිතන මිනිහෙක් නොවෙයි; විඥානවාදියකුත් නො වෙයි. විශේෂයෙන් ම බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු හේතුවාදීන්ගේ අදහස්, එමෙන් ම විද්‍යාවේ හා තාක්ෂණයේ ජයග්‍රහණ මිනිස් ජීවිතයේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය යි. ඒ කුමක් වුවත් මනුෂ්‍යත්වය සොයා යෑමේ දී, සදාචාරවත් මිනිසා ගොඩනැඟීමේ දී සාහිත්‍ය කතිකාව වගේ ම ධර්ම කතිකාවත් වැදගත්. පැරැණි ධර්ම කතිකාවෙහි සදාචාරවත් මිනිසා තමයි හරය වුණේ. ටොල්ස්ටෝයිගේ පොතකට පෙරවදන ලියන ගෝර්කි ටොල්ස්ටෝයිගේ ආකල්ප විවේචනයට ලක් කරනවා. දෙන්නාගේ අදහස් දෙපැත්තට යන්නේ. එහෙත් මේ කියවීම් දෙක ම වැදගත් වෙනවා.

ඔබ කවියකු හැටියට නූතන නිර්මාණකරුවන්ගේ සමාජ කියවාගැනීම දකින්නේ කොහොම ද?

කවිය වෙන ම ගන්න බැහැ. මෑතක පළ වූ කෘති අතරින් මොහාන් රාජ් මඩවලගේ ‘ලොවීනා’, කෞශල්‍ය කුමාරසිංහගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’, අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’, චිත්‍රාල් සෝමපාලගේ ‘සංගීත ප්‍රවේශය’, නදී වාසලමුදලි සහ පියල් කාරියවසම්ගේ කෘති නව සමාජ කියවීමක් සඳහා අප පොලඹනසුලු යි. ධනවාදයේ තුන් වැනි කාර්තුව තුළ සමාජ කියවීම පුළුල් කිරීමක් මේ කලා කෘතිවලින් කෙරෙනවා.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)