ගොළු හදවත ප්‍රේම ත්‍රිකෝණයේ මමත් එක් චරිතයක් – ඩී. බී. කුරුප්පු

No Comment 884 Views

සිංහල හා ඉංග්‍රීසි පොත් 55ක් පමණ රචනා කළ, කීර්තිමත් ගුරුවරයකු, පරිවර්තකයකු, කලා විචාරකයකු වූ දොන් බෝල්ඩ්වින් කුරුප්පු හෙවත් ඩී. බී. කුරුප්පු, 87 වැනි වියේ පසු වූවත්, තවමත් තම පන්හි‍ඳෙන් වැඩ ගනී. තවමත් ඩී. බී.ගේ දෑත ශක්තිමත්ය. මතකය සුවිශේෂය. විචාරක්ෂිය තියුණුය. සමාජයේ හැම අහුමුල්ලක් කරාම ඔහුගේ අවධානය යොමු වෙයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිව සිටින ඔහු කෙටි නිවාඩුවකට පැමිණි අවස්ථාවේ පසුගිය දා අපට හමු විය.

ඔහුගේ හිසකෙස් සුදෝ සුදු ය. තම බාල දියණිය වූ සුභාෂිණි සමඟ පැමිණි ඔහු තම මතක ගබඩාව අලුත් කරමින් නොනවත්වා කතා කළේය.

ඔහු යකටාවත් බය ඇති මිනිසෙක් නොවේ. කිව යුතු දේ මූණටම කියයි. එහි රළු පරළු ස්වභාවයක් ඇතත්, ඒවා මතකයේ තිබුණත්, උපේක්ෂාවෙන් ජීවිතය දෙස බැලීමට උත්සාහ ගන්නා මිනිසෙකි ඔහු. මට ඔහු මීට වසර 10කට පමණ පෙර හමු වූ විට ඔහුගේ ජීවිත කතාවේ මුල් කොටස වූ “හැන්දෑවට පායන හිරු නොහොත් යුගයක අත්දැකීම්” කෘතිය නිකුත් වී තිබිණි.

“ඔබ මෙහි දෙවැනි කෘතිය ලිවීමට අදහස් කරනව ද?” මම ඇසුවෙමි.

“තව අවුරුදු දෙක තුනක් අල්ලලා හිටියොත් (ජීවත් වුණොත්) ලියනවා” ඔහු සිනාසෙමින් කීවේය.

සිය ජීවිත කතාවේ දෙවැනි කොටස වූ “මඟ හොඳට නොතිබුණත්” (2011) හා තෙවැනි කොටස වූ “සැදැ තරු එළියේ කිමිදෙන හිරු” (2013) පළ කොට නවතම කෘතිය වූ “සන්නිවේදන සංක්‍රාන්තිය” (2015) නිකුත් කර ඇත.

“මගේ කතාව කියන්නට යාම හරියට සමුද්‍රදේවි දුම්රියේ ගමන විස්තර කිරීම වාගේයි. එකාකාර කතාවක්. පිටත් වෙනවා. නවත්වනවා. මගීන් නඟිනවා. බහිනවා. ආයෙත් පිටත් වෙනවා. අමුත්තක් වූයේ සුනාමියට අසුවීම නිසායි. මා හසු වූ සුනාමිය දැන් පුංචි සුළං රැල්ලක් තරම්වත් ගණන් ගත යුතු නොවේ.” ඔහු කීවේය.

ඩී. බී. කුරුප්පුගේ සාහිත්‍ය දිවියට වසර 50ක් සපිරී ඇත. ආර්. ඊ. රාස්ප් සහ තවත් අය විසින් රචිත The Singular Adventures of Baron Muchausen නමැති ග්‍රන්ථය “මැංචෝසන් චාරිකා” නමින් සිංහලානුවාදය 1966 වසරේ සමන් ප්‍රකාශනයක් ලෙස නිකුත් කළ ඩී. බී., ඉන් පසු දැත්තගෙයි යාළුවන්ගෙයි හපන්කම්, හෝ චි මිංගේ සිරගෙයි දිනපොත – අර්ධනාරි ඇතුළු පරිවර්තන කෘති කිහිපයක් ද අසහනය, ගෝවින්දන් – කන්දසාමි දඹරාවේ, විප්ලවය ආවොත් ඇතුළු කෙටිකතා සංග්‍රහ කිහිපයක් ද ඉංග්‍රීසි හා සිංහල කෘති කිහිපයක් ද ලියා සිය අලුත් ම කෘතිය “ඉර හඳ තරු බිහිවුණ සුපින සමය” නම් ඕස්ට්‍රේලියානු ජනකතා සංග්‍රහය මුද්‍රණයට භාර දී ඇත.

මීට වසර 54කට පමණ පෙර කරුණාසේන ජයලත්ගේ සිංහල නවකතා වංශයේ අමරණීය පෙම් පුවතක් පසුබිම් කරගත් ‘ගොළු හදවත’ නවකතාවට වස්තු බීජය සැපයූ ත්‍රිකෝණ ප්‍රේමයේ එක් චරිතයකි ඩී. බී. කුරුප්පු.

“මම ගොළු හදවතට මුල් වූ සැබෑ කතාවේ එක චරිතයක්” ඔහු කීවේය.

1927 දෙසැම්බර් 26 වැනිදා කුරුප්පු ආරච්චිගේ දොන් පොඩි අප්පු හා ගීකියනගේ දොන් ඇලිස් නෝනා දෙමහල්ලන්ගේ තුන්වැනි පුතා ලෙස හොරණ උපන් කුරුප්පු ආච්චිගේ දොන් බොල්ඩ්වින් නම් ඔහුගේ නම සඳහා මවුපියන් අල්ලාගෙන ඇත්තේ දෙවැනි වතාවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් ස්ටැන්ලි බෝල්ඩ්වින්ගේ නමය.

ඩී. බී. අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා විද්‍යාලයේය.

“පාසල් පුස්තකාලයක් මුලින්ම දකින්ට මට ලැබුණේ තක්ෂිලාවේදී. ඉතා කුඩා එකක් වුවද මට එය නව අත්දැකීමක් වුණා. සතිපතා “සිංහල බලය” හා “සිංහල බෞද්ධයා” පුවත්පත් කතුවරුන් දෙදෙනා වූ හේමපාල මුනිදාස සහ ඩේවිඩ් කරුණාරත්නගේ කතුවැකි නොවරදවාම කියෙව්වා. ඔවුන්ගේ අභාසය මගේ රචනාවල කලක් ගතවනතුරුම බෙහෙවින් තිබුණ බව මට සිතෙනවා. විද්‍යාලයේ රචනා තරගයෙන් මුල් තැන දිනා හේවාවිතාරණ ත්‍යාගයට ලැබුණු මුදල් දෙවරක්ම මා වියදම් කළේ ගුණසේන සාප්පුවෙන් පොත් ගෙන්වා ගන්නට.

තක්ෂිලාවේ විදුහල්පති ටාසි විට්ටච්චි (පසුව ඔහු ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ හා ජාත්‍යන්තර පත්‍ර කලාවේදියකු ලෙස ප්‍රකට විය.) මගේ සිතේ පැහැදිලි චිත්‍රයක් ලෙස මැවී ඇත්තේ ඉංග්‍රීසි සාහිත්‍යය ඉගැන්වීමෙහි ඉමහත් අභිරුචියක් ඔහු තුළ වූ බව මට සිහිපත් වීමෙනි. කනිෂ්ඨ පන්තියේ සිටි අපට ශේක්ස්පියර්ගේ ‘දොළොස්වැනි රාත්‍රිය’ ඉගැන්වූයේ ඔහුයි. එය හුදු වාචික ඉගැන්වීමක් නොව නාට්‍ය රඟපා පෙන්වීමකි. මැල්වොලියෝගේ වචන උච්චාරණය කරමින් පන්තිය මැදින් ඔහු ඔබ මොබ සක්මන් කළ විලාසය අදත් මට සිතින් මාවා ගත හැකියි.” ඩී. බී. අතීත කතාවක් මතක් කළේය.

ඔහු කියන ආකාරයට ටාසි විට්ටච්චි විදුහල්පතිවරයා අද වුවද විදුහල්පතිවරයකු නොකරන දෙයක් කර ඇත. කාල් මාක්ස්, ලෙනින්, ට්‍රොස්කි ආදි වාමාංශිකයන්ගේ කෙටි චරිත ඇතුළත් පොත් කිහිපයක් ඔහු තක්ෂිලාවේ පුස්තකාලයට ඇතුළත් කර ඇත. මේ පොත් වැඩිපුරම කියවා ඇත්තේ ඩී. බී. හා කරුණාසේනය. ඔවුන්ගේ සිත් ඇදී ගොස් ඇත්තේ ඇන්. ඇම්., පිලිප් නායකත්වය දැරූ සමසමාජයටය.

“මගේ පන්තියට අල්ලපු පන්තියේ සිටි ඩී. කේ. ජයලත් (කරුණාසේන ජයලත්) මට සමීප වුණේ සමසමාජ නැඹුරුවත් සමඟයි. අප දෙදෙනා සමසමාජ නැඹුරුව කවුරුත් දැන හිටියා. එයින් අපේ ඉගෙනීමේ කටයුතුවලට බාධාවක් වුණේ නෑ. විදුහල්පති විට්ටච්චි මහතා වෙතින් පළ වූ හිතකර ආකල්පය ද අපට එරෙහිව ක්‍රියාත්මක වන්නට කිසිවෙකු ඉදිරිපත් නොවීමට හේතුවක් වුණා. අපේ පන්තියේ ම ගුරුවරියක වූ විජේමාන්න මිස්ගේ සොහොයුරු ගුණපාල විසින් අප දෙදෙනා – “මහාචාර්ය බෝල්ඩ්වින් සහ අතවැසි ජයලත්” නමින් හැඳින් වූයේ මා කරුණාසේනට වඩා ගිරිය පුප්පා බෙරිහං ‍දීම නිසාය.

“තක්ෂිලා විද්‍යාලයේ උගනිද්දී කරුණාසේන සහ මමත් දෙවසරක් පමණ සතියේ වැඩි දවසක් ගත කළේ දෙදෙනාගෙන් එක් කෙනෙකුගේ නි‍ෙවසේයි. එක්කෝ අප දෙන්නා ම අපේ ගෙදරයි. නැත්නම් කරුණාසේනගේ මහ ගෙදරයි. පාසලේ කැපී පෙනුණ කථිකයා කරුණාසේන. පාසලේ විවාද කණ්ඩායමේ හොඳින් කැපී පෙනුණේත් ඔහු. අපේ පන්තියේ සිටි පොඩි ළමයා හේමපාල විජේවර්ධන (පසුව මහාචාර්ය) දක්ෂ බුද්ධිමත් ශිෂ්‍යයෙකු හැටියට කැපී පෙනුණා. වඩාත් කැපී පෙනුණ ශිෂ්‍යයා පුෂ්ප කුමාර ප්‍රේමරත්න. (පසුව ඉංග්‍රීසි මහාචාර්ය)” ඩී. බී. පාසල් සමය මතක් කළේය.

තක්ෂිලාවේ ඩී. බී. ඇතුළු වුණු පන්තියේම දැරියක් ඔහු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඇත. එය පැහැදිලිවම අන්‍යොන්‍ය ප්‍රේමයක් බවට පරිවර්තනය විය. පන්තියේ දී හැරෙන්නට ඔවුන් දෙදෙනාට මුණ ගැසෙන්නට අවසරයක් නොලැබිණි. පන්තියේ දී වුවද පෙම් බස් දෙඩීමට ඉඩක් නැති බැවින් අවම වාචික සන්නිවේදනයක් සහිතව ඔවුන්ගේ බැඳීම අනුක්‍රමයෙන් තහවුරු වී ඇත. පන්තියේ ළමයින් ද දැන සිටිය ද එය ආන්දෝලනයකට තුඩු නොවී නිහඬව ක්‍රියාත්මක වූ ප්‍රේමයක් බව ඩී. බී. කියයි.

“කොතෙක් හිත ගිය ද මෙය ඉටු වන්නට ඉඩක් නැත යන සැකයක් හා බියක් මට තිබුණා. ඇය නැවතී සිටියේ ඇගේ පුංචි අම්මාගේ නිවසේ. එය අම්මාගේ මහ ගෙදර. තක්ෂිලාවෙන් වැඩි දුරක නොවේ. සිකුරාදා හවස් වරුවේ ඇගේ පියාගේ කාරය විදුහල ළඟටම එනවා. ඇයත්, ඇගේ නැගණියත් පාසල ඇරී කෙළින්ම ගියේ සිය නිවෙසට. ප්‍රසිද්ධ වෙද මහතකු වූ ඇගේ පියා ධනවතකු බවත්, දියණියන් ගැන දැඩි විමසිල්ලෙන් සිටින බවත් මම දැන ගත්තා. ඔවුන්ගේ නිවෙස පසු කොට මා කිහිප වතාවක් බසයෙන් ගොස් ඇතත්, එබඳු නිවෙසකට ගොඩ වදින්නට පවා බියක් මට ඇති වුණා.

මගේ නිවෙස ගැන ඇය විමසූ බව වරක් කරුණාසේන මට කිව්වා. අප වාසය කළේ සෑහෙන තරම් ලොකු නිවෙසක යැයි තමා කී බව ද ඔහු මට කිව්වා. ඔහු ඇය ඉදිරියේ ලස්සන ගෙයක් මවා පෙන්වන්නට ඇති බව මට විශ්වාසයි. ඔහුගේ ප්‍රතිචාරය මට එක්තරා සැනසීමක්. අපේ පන්තියට අල්ලපු පන්තියේ සිටි කරුණාසේනට ඇය සමඟ කතාබහ කරන්නට ඉඩකඩ තිබුණා. අ‍පේ පන්තියේ දැරියන් ඔහුගේ පන්තියේ දැරියන් සමඟ එකතු වී කරන කතාබහවලට ඔහුත් බොහෝ විට හවුල් වුණා. කොටින්ම ඔහු දැරියන් අතර ජනප්‍රිය ශිෂ්‍යයෙක්. ඒ අතින් මම පසුබාන්නෙක්.”

“දැරියන් අතර මෙසේ නිදැල්ලේ කතාබහ කරන වාරේ කරුණාසේනගේ සිත එක් දැරියක් කෙරේ ඇදී ගියා. ඒ මා සිත් බැඳ ගත් දැරියම බව තබා ඔහු දැරියකට පෙම් බඳින බවක්වත් මම දැන හිටියේ නැහැ. ඒ පෙම පටන් ගත්තේ කෙදිනක ද යන්නත් මා නොදන්නා රහසක් ලෙසට තබා ගන්නට කරුණාසේන සමත් වුණා. මා මේ සියල්ල දැනගත්තේ ගහෙන් ගෙඩි එන්නා වගේ.” ඩී. බී. කුරුප්පු තම ප්‍රථම ප්‍රේමය විස්තර කළේය.

ඩී. බී. ගේ හා කරුණාසේනගේ ආදරයට ලක්වූ පද්මා ගුණරත්න දැන් පදිංචිව සිටින්නේ කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි පාරේ නි‍ෙවසකය. මීට වසර 10කට පමණ පෙර එම නිවෙසේදී ඩී. බී. කුරුප්පුත්, ප්‍රවීණ සම්මානනීය චිත්‍රපට නිළි අනුලා කරුණාතිලකත් දිවා භෝජනයක දී මට හමු වූහ. අනුලාගේ මියගිය සැමියා වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පි දයා රණවීර කුරුප්පුගේ ආනන්දයේ ගෝලයෙකි. චිත්‍රපටයේ දම්මි හා ඇත්ත දම්මි හමුවීම කෙතරම් පුදුමයක් ද? එතැන නොසිටියේ කරුණාසේන ජයලත් පමණි. ඒ ඔහු ජීවතුන් අතර නොසිටි නිසාය.

“ගොළු හදවත පුවත රහසක් වශයෙන් රැකගත්තේ මන්දැ”යි මම කුරුප්පු මහතාගෙන් විමසීමි.

“එසේ රැක ගැනීමේ චේතනාවක් මට තිබුණේ නැහැ. කරුණාසේන ජයලත් එම ජනප්‍රිය නවකතාව නොලියන්නට කිසිවකු එය ගණන් ගන්නේත් නැහැ. කොතැනත් සිදුවන එදිනෙදා සිදුවීමක් හැටියට අතීතයට යන්න තිබුණ පුවතක් ඒ. ඇත්ත වශයෙන් ම ඒ ගැන මට කියන්න දෙයක් තිබුණේ නැහැ. වුවමනාවක් ද තිබුණේ නැහැ. මා සමඟ තක්ෂිලාවේ සිටිය අයගෙන් මහාචාර්ය හේමපාල විජේවර්ධන සහ ඔහුගේ බිරිය ද මේ රහස දැන සිටියා. හේමපාල පද්මාගේ ඥාතිවරයෙක්.

පද්මා හා කුරුප්පු ප්‍රේමය අත් මිදුණේ මේ දෙදෙනාම වැඩිදුර අධ්‍යාපනයට වෙනත් පාසල්වලට යාම නිසාය. කුරුප්පු කොළඹ නාලන්දාවටත්, පද්මා කොළඹ විශාඛාවටත්, කරුණාසේන නුගේගොඩ නාලන්දා ඇකඩමියටත් ගියහ.

“1956 වසරේ කරුණාසේන තක්ෂිලාවේම ඉගෙන ගත් රූපා අමරසිංහ හා විවාහ වුණා. විවාහයට කලින් දිනක කරුණාසේන මා හමුවීමට කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා. එතකොට මම ආනන්දයේ ගුරුවරයෙක්. ඒ විශේෂ ආරාධනයක් කරන්න. තමාගේ විවාහ උලෙළෙහි දී මනමාලයාගේ යහළුවා වශයෙන් පෙනී සිටින්නට මට කියන්නට. ඒ මගේ ජීවිතයේ අතිශය චිත්ත සන්තාපයකින් පසු වූ අවස්ථාවක්.

මගේ චූටි නංගී ගොඩ ගන්නට අසාර්ථක ප්‍රයත්නයක් දරමින් පවුලේ සියලු දෙනාම කොයි මොහොතේ වුව බලාපොරොත්තු විය හැකි ඛේදජනක සිද්ධියක් සිදු නොවේවායි පතමින් සිටි අවදියයි. මා තත්ත්වය පැහැදිලි කර දී ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මනමාලිය කැන්දාගෙන එන දා මම ඔවුන්ගේ වැලිගම්පිටිය නි‍ෙවසට ගියා. මසකට පසු මගේ නංගීගේ ආදාහනය දා කරුණාසේන මව, රූපා සමඟ අපේ ගෙදර ආවත් ඔහු පැමිණියේ නැහැ. අවුරුදු අටකට පසු මා විවාහ වුණු දා (පද්මා සමඟ නොවේ) අප නිවෙසට පැමිණියේ ද කරුණාසේනගේ මව සහ රූපා පමණයි.” කුරුප්පු, තම ත්‍රිකෝණ ප්‍රේමයේ අවසන් පරිච්ඡේදය නිම කරමින් පැවැසීය.

ප්‍රේමයට වඩා ඉගෙනීමට මුල් තැන දුන් කුරුප්පු නාලන්දා විද්‍යාලයේ දී ලේඛන හැකියාව දියුණු කර ගත්තේය.

“නාලන්දයේ අපේ ගුරුවරයකු වූ යූ. ඒ. ඇස්. පෙරේරා මහතා (සිරි අයියා) අනුව යමින් කවි ලියන්නට පුරුදු වූ කිහිප දෙනෙක් මගේ පන්තියේ සිටියා. චිත්‍රානන්ද අබේසේකර (ප්‍රකට කිවියෙකි. ගුවන් විදුලියේ අධ්‍යක්ෂව සිටි) හා (පණ්ඩිත) ප්‍රේමදාස (පසුව යක්කල ලෝහ භාණ්ඩ සංස්ථාවේ ලේකම්) දක්ෂ සිවිල් නිලධාරියකු සිටි රිජ්වේ තිලකරත්න සාහිත්‍යයට, කලා විචාරයට ලැදි ශිෂ්‍යයෙක්. ඩබ්ලිව්. කේ. රවීන්ද්‍ර පසුව රවීන්ද්‍ර රූපසේන නමින් ගායනයටත්, චිත්‍රපට රඟපෑමටත් එක් වුණා. මා සමඟ කලා විෂයන්ගෙන් ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිටි සුවිශේෂ පුද්ගලයෙක් සිටියා. ලඝු ලේඛනයට, යතුරුලියනයට, ඡායාරුප ශිල්පයට දස්කම් පෑ ඔහු හඩ්සන් සිල්වාය. පසුව ආනන්දයට ගොස් විද්‍යා විෂයන්ගෙන් යළිත් ජ්‍යෙෂ්ඨය කොට වෛද්‍ය විද්‍යාලය ඇතුළත් වුණා. නාලන්දයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ කිහිප දෙනෙක් මා සමඟ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිටියා. ස්ටැන්ලි ජයසිංහ, වැලන්ටයින් හා කාල් ඔබේසේකර නිවුන් සොහොයුරන් එච්. විජේසිරි, එච්. බී. දයාපාල මොවුන්ය. අංකුර කවියන් දෙදෙනෙකු වූ කරුණාරත්න අබේසේකර හා සුමන අක්මීමන, සාහිත්‍ය හා නාට්‍ය ක්ෂේත්‍රයන්හි වැජඹුණු ගුණදාස අමරසේකර හා හෙන්රි ජයසේන, සුගතමුනි ඥානසිරි මගේ සමකාලීන සිසුන්.” කුරුප්පු නාලන්දේ තම මිත්‍රයන් මතක් කළේය.

1949 වසරේ ඔහු ලංකා විශ්වවිද්‍යාලයට පිවිසෙයි. මහාචාර්ය හේමචන්ද්‍ර රායි, ආචාර්ය ජී. සී. මෙන්ඩිස්, කේ. ජිනදාස පෙරේරා, ජේ. ඩී. ධීරසේකර, ආචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, ආචාර්ය ඇම්. බී. ආරියපාල, ආචාර්ය පී. ඊ. ඊ. ප්‍රනාන්දු, මහාචාර්ය එම්. ඩී. රත්නසූරිය ආදින් වියතුන්ගෙන් අධ්‍ය­ාපනය ලැබු ඔහුගේ සමකාලීන සිසුන් වී ඇත්තේ, ස්ටැන්ලි තිලකරත්න (හිටපු කථානායක), දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, මාගම් තෙන්නකෝන්, සිඩ්නි වනසිංහ, ලාල් සල්ගාදු (හිටපු නාගරික මන්ත්‍රී), හර්බට් කුරේ (චිත්‍රපට නිෂ්පාදක – දඬු මොණර), ඇල්. ගුණදාස පෙරේරා (පසුව බත්තරමුල්ල සුළු නගරාධිපති) ඩැනියෙල් මුතුමාල, හීස්සැල්ලේ ධම්මරතන හිමි ආදීහුය.

“ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අපට පාලි ඉගැන්නුවා. පාලි ඉගැන්වීමෙහිලා වුවද ඔහුගෙන් ප්‍රකට වූයේ කට පාඩමෙන් යමක් කියනවාට වඩා ගුරුවරයා සහ ශිෂ්‍යයා යන දෙදෙනාටම විෂය දෙස විමසුම් ඇසින් බලන්නට යොමු කිරීමේ ප්‍රවේශයක්.

මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කියන විට අනිවාර්යයෙන්ම සිතට එන සුවිශේෂ පුද්ගලයා ඩබ්ලිව්. එස්. කරුණාරත්න. (පසුව මහාචාර්ය) පුස්තකාලය තුළ පාඩම් කරමින් සිටි මා රාත්‍රී අටට පමණ පිටතට ආවේ සිගරැට්ටුවක් උරන්නටයි. ළඟම වූ අඹ ගහ යට සක්මන් කරමින් සිටි ඩබ්ලිව්. එස්. දෙස මගේ නෙත් යොමු වූ විට ඔහු තමා කරන දේ මට පැහැදිලි කළා.

“මම මේ ඇතුළෙදී කියවපු දේ මෙනෙහි කරනවා.”

ඔහු කියවූ දෙයින් සටහන් ගත්තේ නැතැයි මගේ විශ්වාසයයි. ඔහුට පුදුම ස්මරණ ශක්තියක් තිබුණේ.” කුරුප්පු කීය.

ඩී. බී. කුරුප්පු උපාධිය ලැබීමෙන් පසු තෝරා ගත්තේ ගුරු වෘත්තියයි. කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ඔහු බැ‍ඳෙන විට විදුහල්පති එල්. එච්. මෙත්තානන්ද මහතාය. කොටගම වාචීස්සර හිමි, හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි හිමි, ජී. ඩී. වීරසිංහ, ඒ. වී. සුරවීර, ඇස්. ඇල්. කැකුළාවල, කනබාල සුන්දරම්, සෙක්ටස් අල්විස්, පනික්කාර්, එස්. කේ. කේ. සූරියආරච්චි (හිටපු ඇමැති) ආර්. පල්ලේවෙල, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, කේ. එෆ්. එල්. විජේදාස කුරුප්පු සිටි ගුරු මණ්ඩලයේ සිටියහ. සිංහල ගුරුවරයා ලෙස කටයුතු කරද්දී සිසුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ ගුරුවරයෙකි ඔහු.

“මගේ කීර්තිමත් ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගේ නම් මතකයට එනවා. පසුව මහාචාර්යවරුන් වූ ජේ. බී. දිසානායක, සුනන්ද මහේන්ද්‍ර, සු. හැ. ජ. සුගුණසිරි, බණ්ඩාර කේ. විජේතුංග, කරු ජයසූරිය (කථානායක), වික්‍රමබාහු කරුණාරත්න (ආචාර්ය), බුද්ධදාස බෝධිනායක (වෛද්‍ය) උපුල් රන්ජන් විජයවර්ධන (වෛද්‍ය), ගාමිණි විජේසේකර (වෛද්‍ය), ඩී. බී. නිහාල්සිංහ (ආචාර්ය), හේමරත්න ලියනාරච්චි (ලේඛක), ඩී. ජී. සුමනසේකර (විදුර විදුහල්පති), විජේරත්න වරකාගොඩ, අසෝක පොන්නම්පෙරුම (චිත්‍රපට නළු), පී. ජී. පුංචිහේවා (හිටපු දිසාපති), ධම්මික අමරසිංහ, සාන්තන රාජපක්ෂ (මධ්‍යම පළාත් සභාවේ හිටපු ලේකම්) රොනී ගුණසිංහ (හිටපු නියෝජ්‍ය පොලිස්පති) ලකී අල්ගම මේ පිරිසයි. මගේ ආදරණීය ශිෂ්‍යයන් නම් ලේඛනය දිගු එකක්. විවිධ ක්ෂේත්‍රවල එතෙර මෙතෙර සිටින ඉංජිනේරුවන්, වෛද්‍යවරු, ව්‍යාපාරිකයන් හා වෙනත් වෘත්තිකයන් රාශියක් සිටිනවා.

ආනන්දයේ හිටපු විදුහල්පතිවරයකු වූ ෆ්‍රිට්ස් කුන්ස් මහතා නමින් අනුස්මරණ කුසලානයක් ප්‍රදානය කිරීම පටන් ගත්තේ මා විදුහලේ සිටියදී. “විශිෂ්ට අනාගත පුරවැසියාට” හිමි කරගත්තේ (මහාචාර්ය) ජේ. බී. දිසානායකය.” කුරුප්පු ගුරුවරයා තම හොඳම ශිෂ්‍යයා ගැන උදම් ඇනීය.

මහාචාර්ය ජේ. බී. දිසානායක, තම ගුරුවරයා ගැන ගෞරවාදරයෙන් කතා කළේය.

“කුරුප්පු මහත්තයා වගේ ගුරුවරයෙක් අපට ලැබුණේ වාසනාවට. හොඳ පොත් කියවීමට, උසස් වේදිකා නාට්‍ය නැරැඹීමට ඔහු අපව උනන්දු කළා. එවැනි නාට්‍ය බලන්න එක්ක ගියේ ඔහුගේ වියදමින්. සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා ගත වූයේ 1956 වසරේයි. දෙවැනි දින එය නැරැඹීමට මා ඇතුළු සිසුන් කිහිප දෙනෙකු කැඳවාගෙන ගියේ කුරුප්පු සර්. මා එවකට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් වෙමින් සිටියේ. ලයනල් වෙන්ඩ්ට් වැනි සුඛෝපභෝගී රංග ශාලාවක මීට පෙර කවදාවත් මා වාඩි වී සිටියේ නැත. පසුදා සිංහල ඉගැන්වූ කුරුප්පු සර් සහ එස්. එල්. කැකුළාවල (පසුව මහාචාර්ය) සර්, හා ඉතිහාසය ඉගැන්වූ ලක්ෂ්මන් දිසානායක සර් මා සමඟ පිළිසඳරේ යෙදී සිට, “දැන් නිකං ඉන්න එකේ නරක ද ජේ. බී.ත් මනමේ වගේ නාට්‍යයක් ලිව්වොත්” කියලා කුරුප්පු සර් ඇහැව්වා. මට මේක අභියෝගයක්.

“මනමේ ලියන්න උදවු වුණේ අම්බලන්ගොඩ චාර්ල්ස් සිල්වා ගුරුන්නාන්සේ. අපිත් හොයලා දෙන්නං ඒ වගේම දස්ස නාඩගං ගුරුන්නාන්සේ කෙනෙක් අම්බලන්ගොඩින්ම. ජේ. බී.ට තියෙන්නේ එයා එක්ක කතාබහ කරලා නාඩගං සින්දු අහගෙන ඉඳලා අලුත් සින්දු ටිකක් හදන එක විතරයි. ජේ. බී.ම කතාවක් තෝරගෙන සින්දු ටික හදලා දුන්න. අනික් ටික අපි බලා ගන්නම් කුරුප්පු සර් කිව්වා. මම ‘රාවණා’ කියලා නාට්‍යයක් ලිව්වා. 1957 අගෝස්තු 10 වැනිදා ආනන්දයේ කුලරත්න ශාලාවේ වේදිකා ගත වුණා. රාවණා නාට්‍යයේ පිරිමි චරිත රඟපෑවේ ආනන්දයේ ගුරුවරුන් දෙදෙනෙකුත් මගේ පන්තියේ සිටි සාන්තන රාජපක්ෂ ඇතුළු කීප දෙනෙක්, ආනන්ද බාලිකාවේත්, නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් මෙහි රඟපෑවා. ගුරු මණ්ඩලයේ ලක්ෂ්මන් දිසානායක හා දයාරත්න පෙරේරා මෙය නිෂ්පාදනය කළා.” මහාචාර්ය දිසානායක පැවැසීය.

ඉංග්‍රීසි අකුරකුදු නොදත් හද්දා පිටිසරයකුගේ පුතකු වුවද ඩී. බී. කුරුප්පු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගද්වයෙන් ම දිවයිනේ පළමුවැනියා ලෙස සමත් විය. හොරණ තක්ෂිලාව, කොළඹ ආනන්දය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය, සිමෙන්ති සංස්ථාව, මහජන බැංකුව, ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය ආදියෙහි විධායක තනතුරු දැරූ ඔහු ‘දිනමිණ’ පුවත්පතේ දිගු කලක් නාට්‍ය හා කලා විචාරයෙහි යෙදුණේය.

කුරුප්පුගේ දිවිසැරිය ශ්‍රී ලාංකේය අධ්‍යාපනික, දේශපාලන, සංස්කෘතික හා සමාජ ඉතිහාසයෙන් ද කොටසකි.

කුරුප්පු ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නේ අවිවාහක බාල දියණිය වූ සුභාෂිණි සමඟය. සිය පියාට අසීමිත ආදරයක් දක්වන ඇය, “තාත්තා කිව යුතු දේ මුහුණටම කියන, එහෙත් තරහ හිතේ තබා නොගන්නා මානව හිතවාදියකු බව” පවසන්නීය. පිටරට දීත් සිංහල කෑමට කැමැති තම පියා පරිගණකයෙන් ලිවීම්, කියවීම් කටයුතු කරන සක්‍රීය ලේඛකයකු බව පැවසුවාය. කුරුප්පු ලියන පොත පත ලංකාවේ මුද්‍රණය කිරීමේ සම්බන්ධිකාරක වන්නේ නිමල් දිසානායකය. මුද්‍රණ ශිල්පය ගැන මනා පරිචයක් ඇති ඔහුගෙන් ලැබෙන සහාය කුරුප්පු අගයයි.

ඕස්ට්‍රේලියාවේ ජීවිතය ගැන කුරුප්පු කියන්නේ වේදනාවකින් දැයි මම නොදනිමි. මේ ඔහු කියන කතාවෙන් මේ ලිපිය සමාප්ත වෙයි.

“මා ඕස්ට්‍රේලියාව බලා එන විට හිතා සිටියේ පහසුවෙන් හොඳ රැකියාවක් ලබාගැනීම සුළු දෙයක් කියායි. මම කලක් යන තෙක්ම අගනා රැකියාවක් ගැන බලාපොරොත්තු අත්හැරියේ නෑ. මා ඕස්ට්‍රේලියා රජයෙන් පින් පඩි කන නාකි පරාණයක් වූයේ එහෙමයි. දැන් මම අසරණ ජීවිතයට පුරුදු ව ඇතත් එහි ඇති අසාධාරණ ස්වභාවය ගැන නිතර කල්පනා කරනවා. වෛද්‍යවරයා ළඟට යන විට ගෙවන්නන් දරන වියදම ගැනයි. ඒ පිළිබඳ මගේ කෘතඥතාව නිහඬ ව ම සමස්ත ඕස්ට්‍රේලියානු ජනතාවට පිරිනමනවා.

මා මේ නවාතැනට 2/30, Brunswick Rom, Mitcham. 3132 Victoria, Australia. ආවේ අන්න ඒ වගේ පින් පඩි කන මහල්ලකු හැටියටයි. මා කිසිවකුගේ පිහිටක් පතන්නේ නැහැ. මට දෙන දුරකථන ඇමතුම් බඳු දෙයක් නම් ඉතා අනර්ඝ බව කියමි. (0431 001 531 6103 9874 7001) එසේ කතා කරන්නන් දෙතුන් දෙනෙක් සිටිනවා. යන වියදම බර නැත. සමහර විට එහි මට ඇති වටිනාකම එහෙම කතා කරන අයට නොතේරෙනවා ද විය හැකියි. ඒත් මට එය මසුරන් වටිනවා. මට තව ඉදිරියට ගමනක් නැහැ. මට ඇත්තේ ජනේලයෙන් පෙනෙන දර්ශනය හා අතීතාවර්ජනය පමණි. දෙක ම මට මිහිරිය.”

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)