සමු නොදිය යුතු සාහිත්‍යකරුවෝ තිදෙනෙක්

Comment Off 36 Views

 

සාහිත්‍ය අටුවාව

ඩී. බී. කුරුප්පු, සෝමරත්න දිසානායක සහ ඇස්. පියසේන යන තිදෙනාගේ වියොව පසුගිය දිනවල සිංහල පාඨකයන්ගේ සංවේගයට හේතු වූ කරුණක් යැයි සිතමි.

ඩී.බී. කුරුප්පු ජීවත්වූයේ ඕස්ට්‍රේලියාවේ ය. අප හිතවත් ලේඛකයකු වන ජගත් එදිරිසිංහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වයෙන් සම්පාදනය කළ මුල් ම සිංහල වාරික සඟරාවේ ලේඛකයකු වශයෙන් ඩී.බී. කුරුප්පුට ද අවස්ථාවක් ලබා දුන්නේ ය. ඩී.බී‍. හොඳ ශාස්ත්‍රීය දැනුමැත්තෙකි. දක්ෂ පරිවර්තකයෙකි; සාහිත්‍යකරුවෙකි. 1970 දශකයෙහි කලා සඟරාව සඳහා ඔහු ලිපියක සංස්කෘතිය පිළිබඳ අගනා අදහස් සමුදායක් ඇතුළත් විය. බණ මඩුවේ සංස්කෘතිය අනුව තරුණ පරපුර හික්මවන්නට නොයා නවීන අවශ්‍යතා හඳුනාගත යුතු යැයි ඔහු ලීවේ ය. ඕස්ට්‍රේලියාවේ සිට වරක් දුරකතනයෙන් මා ඇමතූ ඔහු පුනරුත්පත්තිය විෂයය කරගනිමින් තමා පළ කළ පොතක් පිළිබඳ මගේ අදහස් දැනගනු අටියෙන් එය මට තැපෑලෙන් එවී ය. ඩී.බී. පිළිබඳ අනුස්මරණීය අත්දැකීම් සමුදායක් ඒ.ඩී. රංජිත් කුමාරගේ ලේඛන කිහිපයක ඇතුළත් වෙයි. කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නවකතාවෙහි පරාජිත පෙම්වතාගේ චරිතය ඔහු ය. ඩී.බී. කුරුප්පු සමාජය වෙනස් වන බව පිළිගත්තේ ය. ඒ නිසා ම සංස්කෘතිය බරවා කකුලක් බවට පත් කර ගැනීමේ චින්තනයක් ඔහුට නොවී ය. ගතානුගතිකත්වය වෙනුවට නවීන චින්තනය ඔහුගේ ලේඛනයට ඉන්ධන සැපයූ බව පෙනේ.

ඇස්. පියසේන හොඳ දේශපාලන විචාරකයෙකි. දේශපාලන සාහිත්‍යය පෝෂණය කිරීම සඳහා ඔහු අනගි දායකත්වයක් සැපයී ය. අනූ විය ඉක්මවා සිටියදීත් හොඳ සිහියෙන් පත පොත කියවූ ඔහු කාලීන සමාජ දේශපාලන සංසිද්ධි පිළිබඳ තම නිරීක්ෂණ පුවත්පත් ලේඛන ඔස්සේ ඉදිරිපත් කළේ ය. මා ඇත්ත පුවත්පතෙහි සේවය කළ කෙටි කාලයෙහි දී ඔහුගේ ඇතැම් ලේඛන පළ කිරීමට උනන්දු වූයෙමි. මාගේ ඇතැම් ලිපි සම්බන්ධයෙන් ඔහු තම නිර්දය විචාරය ඉදිරිපත් කළේ දුරකතනයෙනි.

 

‘ඡන්ද කොල්ලය’ ඔහු ලියූ අභියෝගාත්මක කෘතියකි‍. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රශ්මි කදම්භයෙන් බියට පත් නොවූ ඔහු ඡන්ද මංකොල්ලයක් මඟින් ජනතා පරමාධිපත්‍යය සුනුවිසුනු වී ගිය අයුරු ඉදිරිපත් කළේ සාක්ෂි සහිත ව ය. ඡන්ද මංකොල්ලයෙන් කලකට පසු ව එවක මැතිවරණ කොමසාරිස් චන්දානන්ද ද සිල්වා මැතිවරණ දූෂණ වාර්තාව ඉදිරිපත් කළ ආකාරය ඔහුගේ සරදමට ලක් විය.

 

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා සමාජ යුක්තිය වෙනුවෙන් පෑන මෙහෙයවූ ඇස්. පියසේන අපට අහිමි වූ දුර්ලභ ගණයේ විද්වතෙකි. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය විෂයෙහි පුළුල් ම දැනුමක් තිබූ ලේඛකයා ඔහු යැයි මම සිතමි.

 

සෝමරත්න දිසානායක නම කියැවෙන කල මුලින් ම සිහියට එන්නේ දක්ෂ සිනමාකරුවෙකි. එහෙත් චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සහ නීතිඥ සෝමරත්න දිසානායක යනු දෙදෙනෙකි. නීතිඥ සෝමරත්න දිසානායක මහජන එක්සත් පෙරමුණේ ප්‍රබල චරිතයකි.

 

60 දශකයේ විශ්වවිද්‍යාල හා පිරිවෙන් ආශ්‍රිතව බිහිවූ සාහිත්‍ය සඟරා පෝෂණය කළ ගිහි පැවිදි පරම්පරා දෙකක් හඳුනාගත හැකිය. එකල ලහුහේන්ගොඩ චන්ද්‍රරතන හිමි සහ බලගල්ලේ විමලබුද්ධි හිමි මෙකල මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ සහ මහාචාර්ය විමල් බලගල්ලේ හැටියට පාඨක ලෝකයෙහි ගැඹුරු මතකයක් ඉතිරි කර සිටිති.

 

එකල කළුන්දෑවේ සෝමරතන හිමි මැයෙන් සාහිත්‍යයේ සභ්‍ය අසභ්‍යවාදය, සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය අතර සම්බන්ධය පිළිබඳ ලියූ ලේඛකයා පසු කලෙක සෝමරත්න දිසානායක හැටියට පාඨකයන් අතරට පැමිණියේ ය. දේශපාලන ක්‍රියාකාරිකයන් අතරටත් පැමිණියේ ය. 90 දශකයේ දිනක පිලිප් ගුණවර්ධන අනුස්මරණ දෙසුම පැවැත්වූයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසිනි. ඒ වෙනුවෙන් ඔහු ‘පිලිප් සොයා යෑම’ නම් අගනා නිබන්ධයක් සම්පාදනය කළේ ය.

 

දේශන පිටපත පුවත්පතේ කටයුත්තක් සඳහා පාවිච්චි කිරීමේ වුවමනාව මට විය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ දැනුම් දීම අනුව නීතිඥ සෝමරත්න දිසානායක හමුවීමට ගියෙමි. ‘පිලිප් සොයා යෑම’ පොත් පිංච ලබාදීමෙන් අනතුරුව වංහුං විමසීමක් සිදු විය. තමා උපන්ගම මාතලේ කළුන්දෑව යයි කී විට කළුන්දෑවේ සෝමරතන හිමි යන නමින් ලීවේ ඔබ දැයි මම ඇසීමි. ඔහු එය පිළිගත්තේ ය. දේශපාලනය කරන අතර සාහිත්‍යකරණය සඳහා මීට වඩා කාලය යෙදුවේ නම් ඔහු අතින් අගනා කෘති සමුදායක් නිර්මාණය වන්නට ඉඩ තිබූ බව මගේ හැඟීම ‍යි.

 

එසේ වුව ද ඔහු යොවුන් පරපුරට උචිත නාට්‍ය පිටපතක් ඇතුළු ව පොත් කිහිපයක් ලියා පළ කළේ ය. යොවුන් පරපුරේ සංවේදනා රිද්මය ඔහු මනාව හඳුනාගත් බවට එම නාට්‍ය පිටපත සාක්ෂි දරයි. එමෙන් ම සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය ඔස්සේ සකස් වූ ගීතවත් බස් වහරක් සාහිත්‍යකරණය සඳහා ඔහු යොදා ගෙන තිබිණ.

 

ප්‍රධාන සාහිත්‍ය දහරාවේ සංකථනවලින් මඟ හැරීයන ලේඛක ලේඛිකාවෝ කොතෙකුත් වෙත්. අංකුර ලේඛක ලේඛිකාවන්ගෙන් නැ‍ඟෙන චෝදනාවක් වන්නේ ද එයයි. මෙය අතීතයේත් සිදු විය.

 

ඩී.බී. කුරුප්පු, ඇස්. පියසේන සහ සෝමරත්න දිසානායක තිදෙනා පිළිබඳ ප්‍රමාද වී හෝ කෙටි සටහනක් ලියැවුණේ ද එහි ප්‍රතිඵල ලෙසයි. මේ තිදෙනාගේ ලිපි ලේඛන සහ පතපොත සොයා බලා කියවීම පාඨක මනස පුබුදු කිරීමට බලපානු ඇතැයි සිතමි. එහෙයින් ඔවුන්ගේ රූපකායට සමුදී නාමකාය හදවත්හි තබා ගනිමු.

 

silumina.lk

About the author

කැටපත්පවුරට ලියන්න