උපාසක – විමලසේන මුදාගේ

No Comment 31 Views

ගල උඩ විහාරයේ පඩි පෙළ නගින අප්පුසිඤ්ඤෝ මුදලාලිට මුහුදෙහි ඝෝෂාව හොඳින් ඇසුණි.

ඉදිරියට බර ව හිස බිමට නමාගෙන පඩි පෙළේ ඉහළට ගමන් කළ ඔහු සරම කකුලට පෑගේදෝ යන සැකයෙන් පඩි පෙළ නැග්ගේ සරොම් පට වමතින් ඔසවා ගෙන ය. මුදලාලි ජාතික බැනියම ද, සුදු සරම ද ඇන්දේ කාලයකට පසුව ය. ඔහුගේ මතකයේ හැටියට ලොකු දුව දීග දෙන දා ජාතික බැනියම ඇන්දාට පසු නැවත එය ඇන්දේ අද ය.

වෙහෙර මළුව හරහා වැඩම කළ ලොකු හාමුදුරුවෝ මුදලාලි වෙත මඳ සිනාවක් පෑවෝ ය.
“මුදලාලි අද සිල් ගන්න වගෙයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. පරලොවටත් යමක් කර ගන්න එපායැ. ජීවිතේ අවබෝධ වෙන කොට ඔහොම තමයි.”

තමා සිල් ගන්නට පැමිණියේ ජීවිතය අවබෝධ වීමෙන්වත්, අවබෝධ කර ගැනීමටවත් නොවන බැව් මුදලාලි දනී. ඒ නිසා ම ඔහුගේ යටි සිතට සිනහවක් නැගුණි. අද සිල් ගැනීමට සූදානම් වූයේ ලොකු දුවගේ උවමනාවට මිස තමාගේ උවමනාවට නොවන බව මුදලාලිට සිහිපත් විය. ධර්ම ශාලාවේ එක් තැනක හෝරා කීපයක් එකම ඉරියව්වෙන් වාඩි වී සිටීම ඔහුගේ හිතට රුස්සන්නක් නොවී ය.

එරමිණිය ගොතාගෙන සිටි මුදලාලිගේ දෙපා ඇදුම් දෙන්නට විය. අනෙක් සිල් ඇත්තන් වසරකට කීප වරක් සිල් ගැනීමට පැමිණ ඇති කර ගත් හික්මීමත්, සන්සුන්කමත් අප්පුසිඤ්ඤෝ මුදලාලි තුළ තිබුණේ ම නැත. කකුල් කකියන්නටත් සෘජුව තබාගත් කොන්ද ඇදුම් දෙන්නටත් වූ විට ඔහුගේ සිත තුළ ලොකු දූ කෙරෙහි කෝපයක් ද හට ගත්තේ ය.
දවල් දානය සඳහා තම නිවසට ම යා යුතු යැයි මුදලාලි කල්පනා කළේ ය. එසේ ගියහොත් මඳ වේලාවක් නිවී සැනහිල්ලේ දිග ඇදී ඉන්නට ද හැකි බැව් ඔහුට සිහිවිය.
සෑම දිනක ම උම්බලකඩ යහමින් යෙදූ ලුණු මිරිසක් මුදලාලිගේ කෑම පිඟානට අනිවාර්යයෙන් ම එක් විය. පන්සලේ සිට ආපසු නිවසට එන මුදලාලිට උකුවට සෑදූ කිරි හොද්දේ සුවඳ සහ ලුණු මිරිසේ රසය ද දැනෙන්නට විය.
සියලුම සිල් ඇත්තන් පාර දිගේ ගොස් තම නිවෙස්වලට යන්නට ගිය නමුත්, අප්පුසිඤ්ඤෝ මුදලාලි ගාළු පාර පැන වෙරළ දිගේ නිවස බලා යන්නට ගියේ ය. වෙරළට පැමිණි ඔහුට සුව පහසුවක් සහ නිදහසක් දැනුණි. ලුණු රස මුසු වුණු සුළඟ ඔහුගේ සිතට ගෙන දුන්නේ ප්රවබෝධයකි.
කැරෑව පසු කළ මුදලාලිට රේගුවේ පැරණි ගොඩනැගිල්ලත් ඒ සමඟ ම මුහුදට විහිදෙන මැද්දේ ගලත් හොඳින් පෙනුණි. ඇහි බැමි වලට ඉහළින් නළල මත වම් අත තැබූ ඔහු මැද්දේ ගල දෙස බැලුවේ ය. අවුරුදු විස්සකට තිහකට පෙර මැද්දේ ගලට ළං ළං ව වරායේ නවතා තිබූ රුවල් නැව් මුදලාලිගේ හිතට නැගුණි. ඉන්දියාවේ සිට ඒවායින් ගෙනා ජාඩි පීප්ප සහ රට උළු ගබඩා කොට තැබුවේ පැරණි රේගු ගොඩනැගිල්ලේ ය. දැන් ඒ දිනවල මෙන් කටට රහට ජාඩි ටිකක් කන්නට කොයින්දැ යි මුදලාලි කල්පනා කළේ ය.
ඔහු ගමන් කළේ පන්සලේ දී අත් දණ්ඬේ දමාගෙන තිබූ පත්කඩයත්, උතුරු සළුවත් දෙක ම කරේ දමාගෙන ය. කැරෑව පසු කළ මුදලාලි කටේ තිබූ බුලත් හපය වම් අල්ලට ගෙන මුහුදට විසි කළේ ය. ඉන් පසු සරම මඳක් අත් කරගෙන පහතට නැමී අතට ගත් මුහුදු වතුරෙන් කට සේදුවේ ය. මුහුදු වතුරෙන් කට සේදූ ඔහුට ප්රෙණීත බවක් දැනුණි. ලුණු ගතිය පහ වෙන්නට කාරා කෙළ ගැසූ මුදලාලි වෙරළෙන් ගොඩ වී ගමන් කළේ නිවස දෙසට ය.
“අපි හිතා හිටියෙ උපාසක ඇත්තොත් එක්ක පාරෙන් ම ඒවි කියල.”මුදලාලිගේ බිරිඳ නෝනබබා කුස්සිය පැත්තෙන් එබිකම් කොට පැවසුවා ය.
“ඉස්සරහ පැත්තෙන්ම ආවනං තාත්තේ.”
එසේ කීවේ ලොකු දුව සැලී ය.
සැලී දීග දුන්නේ ගන්දර මාළු මුදලාලි කෙනෙකුට ය. ඔහු කළේ මාළු අයිස් දමා පිට පළාත් වලට රේල්ලුවෙන් සහ ලොරිවලින් යැවීම ය. කලක සිට සැලීගේ නැන්දම්මාත් මාමණ්ඩීත් සෑම පෝයකට ම සිල් ගැනීම සිරිතක් කරගෙන තිබුණි. අප්පුසිඤ්ඤෝ මුදලාලිත්, නෝනබබාත් සිල් නොගැනීම පිළිබඳ ව ගන්දර ගෙදර දී සාකච්ඡාවට භාජනය විය. එය සැලීට තරමක මදිකමක් වී තිබුණි. ඒ නිසා ම පෝයට දින දෙකකට කලින් කුමාරකන්දේ මහ ගෙදරට පැමිණි සැලී තාත්තාත් අම්මාත් සිල් සමාදන් වීමට යැවීම සඳහා කටයුතු සම්පාදනය කළා ය.
සතියකට කලින් සිල්වා දොස්තර මහතාගෙන කැරකිල්ලට බෙහෙත් ගැනීමට සැලීගේ මව ගිය විට දොස්තර මහතා ඇයට උපදෙස් දී තිබුණේ වෙහෙස මහන්සි නොවී විවේකීව කාලය ගතකරන ලෙස ය. එබැවින් මව සිල් සමාදන් වීමට යැවීමේ අදහස තාවකාලිකව නතර වුණි. තාත්තා සිල් ගැනීමට අකමැත්ත පළ කළ ද සැලීගේ බලවත් ඉල්ලීම නිසා අකමැත්තෙන් වුව ද ඊට එකඟ වීමට ඔහුට සිදු විය. මේ පිළිබඳ ව පන්සලේ ලොකු හාමුදුරුවන් සැලීට මුව නොසෑහෙන සේ ප්රිශංසා කොට තිබුණි.
දවල් දානය ගත් අප්පුසිඤ්ඤෝ මුදලාලි බිම එළුෑ පැදුරක් මත දිග ඇදී සිටියේ ය. කාමරය තුළ වූ අධික රස්නය නිසා වෙරළ දිහාවට යා යුතු යයි මුදලාලිට සිතුණි. හාන්සි වී සිටීමෙන් ලිහුණු කුඩා කොණ්ඩ ගැටයේ කෙස් පිළිවෙලකට සැකසූ ඔහු නැවතත් කොණ්ඩ ගැටය බැඳගත්තේ ය. උතුරු සළුව සකසා ගත්තේ ය. පත්කඩය වමතෙහි දමා ගත්තේ ය. නෝනබබා කොටා දුන් බුලත් විට කටට හලා ගත් මුදලාලි ටික වේලාවකින් ආපසු එන අදහස ඇතිව වෙරළ දෙසට ගමන් කරන්නට විය.
ඇඟේ දහඩිය ගතිය වෙරළට ගිය සැනින් වියැළුණි. ඔහු කැරෑවේ බැලුම්ගලට ඉහළින් මුහුද දෙස බැලුවේ ය. මධ්ය හ්නය හෙයින් ඒ දෙස බැලූ ඔහුගේ දෑස් නිලංකාර විය. දිය කඳට වැටී සලිත වන සැඩ හිරු රැස් වලින් දෙඇසට ගෙන දුන්නේ පීඩාවකි. දෙබැමට ඉහළින් නළල මත අත තබා විපරමින් මුහුද දෙස බැලුවේ එහෙයිනි.

අප්පුසිඤ්ඤෝ මුදලාලිට තමා සිල් ගත් බැව් මොහොතකට අමතක විය. සියල්ල අමතක වූ ඔහු දැන් සිටින්නේ කැරෑවේ බැලුම්ගල මත ය. අද සිල් නොගත්තේ නම් කොතරම් අපූරුදැයි ඔහුට සිතුණි. හොඳ විමසිල්ලෙන් බැලූ මුදලාලිට මැද්දේගලටත්, බැලුම්ගලටත් අතර දියඹට වන්නට විශාල පදාසයක් වසාගත් තද නිල් පැහැයක් පෙනුණි.
නිසැකව ම ඒ මාලු අයිනක් බව මුදලාලි දනී. නමුත් මේ සිල් රෙද්දක් පටලවාගෙන කටක් ඇර වෙන කෙනෙකුට මෙය දැනුම් දෙන්නේ කෙසේදැ යි මුදලාලි ලතැවුණේ ය. බිමට හැරුණු හිසින් යුතුව බැලුම්ගලින් බිමට බට ඔහු වෙරළට ගොඩ වුණේ කලකිරීමකට ළං වුණු හැඟීමෙන් යුතුව ය.
“වාරකන් කාලෙට කරන්න දෙයක් නැතුව ලතැවෙනව. ඒ කාලෙට සිල් ගන්න කියන්න ආව නම් මක් වෙනව ද?”

ලොකු දුව සැලී පිළිබඳ නොරිස්සුම් ස්වභාවයක් අප්පුසිඤ්ඤෝ මුදලාලිගේ හිතේ නලියන්නට විය. තව මොහොතකින් මාළු අයින වෙන දිහාවකට යන්නට බැරි නැත. වෙරළේ පේන තෙක් මානයක කිසිවෙකු ද නොවී ය.

මුදලාලි උතුරු සළුව වැටකෙයියා ගසක රැඳෙව්වේ ය. කිසිවක් නොදන්නාක් මෙන් නිවසට ගොඩ වැදී පන්සලට යාමට සූදානම් වුණි. මද්දුම පුතාට කතා කළ හේ වැටකෙයියාවේ දමා ආ උතුරු සළුව ගෙන එන්නට කීවේ ය.

පුතා ගොස් මඳ වේලාවකින් වෙරළ දෙසින් හූ හඬ නැගෙන්නට විය. උතුරු සළුව රැගෙන ඒමට ගිය මද්දුම පුතා හූ හඬ තැබූවේ අනෙක් හවුල්කාරයින් ද වෙරළට කැඳවීමේ අදහසිනි. උතුරු සළුව කොලුවකු අතේ තාත්තාට යැවූ මද්දුම පුතා මාදැල් ඔරුවේ නැගී දැල වටකරන්නට ගියේ ය. මුදලාලි ආපසු පන්සලට ගියේ ගාලු පාර දිගේ ය.
“හුරුල්ලෝ විසි තිස් දාහක් මාළු ඉන්න ඇති. මද්දුමය දක්සය. සේරම ටික කොටු කර ගනීවි.”
ගල් පඩි නැග වෙහෙර මලුවට පිවිසෙත් ම මුදලාලිගේ සිතේ සියුම් සතුටක් මෝදු වෙමින් තිබුණි.
මුදාගේ

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)