” මද්දුමයා” – ටිකක් දිග ‘කෙටි කතාවක්’ – ශ‍්‍රී නිමල් පද්මකුමාර

No Comment 654 Views

” මට නං දැන් ඇතිවෙලා තියෙන්නෙ ජයන්ත… මං කවද්ද මේ ගේ පිරිසිදුවට තියාගන්නෙ.. ගිය සතියෙ මයුරි ලා ආව වෙලාවෙ අප්පිරියාවෙන් තේ ටිකත් බිව්වෙ.. මේක ගෙයක්ද.. අපායක්නෙ ජයන්ත..”

 

” මටත් කරගන්න දෙයක් නැතුව ඉන්නෙ නිපුනි.. රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන්න බැරි හින්දා විඳවගෙන ඉන්නවා .. ෂිහ් .. තාත්තා තමා.. එහෙමය කියලා කරුම ගෙවන්න සිද්ද වුනේ මටනෙ.. ”
තම මද්දුම පුතාගේත් ලේලියගේත් උස් හඬින් කළ කතා බහ සිරිසුමන අසා සිටියේ කම්පාවෙනි. තමා විසින්ම ඉදි කළ නිවසේ කෙළවර කාමරයක සිරිසුමන තනිවී ඇඳත වැතිර සිටින්නේ මාස හයක පමණ කාලයක සිටය. වෘත්තියෙන් ගුරුවරයෙකු වූ සිරිසුමන විවාහ වූයේ ද තම පාසැලේ දී හඳුනාගත් ගුරුවරියක වූ ජයවතී සමගය. දරුවනට වැරදි ආදර්ශයක් වනු පිණිස දෙදෙනාගේ හිතවත් කම ආදරයකට පෙරැළෙන විටම ජයවතී ව වෙනත් පාසැලකට මාරු කර යවන්නේ සිරිසුමන විසින්මය. විදුහල්පති කරුණාදාස මහතා දැන සිටිය ද ඇතැම් ගුරුවරුන් පවා ජයවතී ටීචර් මාරු වී ගිය හේතුව දැන සිටියේ නැත. විවාහ උත්සවයට ආරාධනා ලැබුවාට පසුව ඔවුන් දෙදෙනා අතර විවිධ වූ සම්බන්ධතා දෑස් ඉදිරිපිට දුටුවාක් මෙන් විවිධ කතා පතුරුවන්නට පවා ඇතැම් අය උත්සාහ කර තිබුනි. ජයවතී විශ`ාම ගන්නවාත් සමගම හදිසි රෝග තත්වයකින් මිය ගියෙන් සිරිසුමන තනි විය. දුවණියන් දෙපල තරුණ වයසේදීම විවාහ කර දුන් අතර තමා වෙහෙස මහන්සියෙන් තනා ගත් නිවස මද්දුව පුතාට හිමි විය.
නිවසේ මුළුතැන්ගෙය ට ආසන්නව මෙම කාමරය තනන්නට අදහස ඇති වූයේ නිවසේ සැළැස්ම සකස් කරන දවසේදීමය.
” ඇයි සුමනෙ .. කුස්සිය ළඟින් නිදන කාමරයක් හදන්නෙ.. ඒ මදිවට නාන කාමරේකුත් එක්ක.. ”
” ඔයාට අද තේරෙන්නෙ නෑ… මං ඒක හදන්නෙ අපි දෙන්නට නාකි උනාම ඉන්න .. ඔයා කුස්සියෙ තනියම වැඩ කරනකොට කාමරේ මං ඉන්න හින්දා පාළුවක් නෑනෙ… මටත් ඉතිං තේ එකක් ඕනෙ උනාම … ජයවතී.. තේ එකක්.. කියන සුනංගුව විතරයිනෙ… ”
” විකාර … මං මොකටද කුස්සියෙ තනියෙම වැඩ කරන්නෙ.. ළමයි අපිට මහන්සි වෙන්න දෙන එකක් නෑ.. අනික කවද හරි මේ ගේ පුතාටනෙ .. ලේලි ඔයාට තේ හදලා දෙන්නෙ නැතෑ.. ”
ජයවතී ට ලේලිය ගේ සැළකිලි ලබන්නට හැකි වූයේ අවුරුදු කිහිපයක් පමණකි . කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක ජයවතී සිරිසුමන ත්, දරුවනු ත් අතැර දමා නොඑන ගමන් ගියාය . එදා සිටම සිරිසුමන ජීවිතේ තනි වුනාය කිවුවොත් එය නිවැරදිය .
මරණය කාටත් පොදුයැයි කියා සිතූවත් අවශ්‍ය කලෙක නොලැඛෙන මරණය කොතරම් භයංකාරදැයි සිරිසුමන ට දැනෙන්නට පටන් ගත්තේ ජයවතී මියගොස් තවත් වසර දහයක් ගිය තැනදී ය. අධි රුධිර පීඩනය සිරිසුමන එකතැන් වීමට හේතුව යැයි වෛද්‍යවරුන්ගේ මතය විය.
” ඕනැවට වඩා කල්පනා කරන එකත් මේ ලෙඩේට හොඳ නෑ.. ටිකක් සැහැල්ලූවෙන් ඉන්න බලන්න.. ”
හන්දියේ දොස්තර සිල්වා උපදෙස් දුන්නේ සිරිසුමනට කල්පනා කරන්නට බොහෝ දේවල් තිඛෙන බව හොඳින් ම දන්නා නිසා ය.
” මෙයාට මොනා කල්පනා කරන්නද ඩොක්ටර්… නිකං විහිං ලෙඩ වෙනවා.. ”
මද්දු පුතාගේ පිළිතුරත් සමගම සිරිසුමන ගේ සිත මහත් කම්පාවට පත් විය. තමන්ගේ පිට උඩ මතට ගොඩ වී අස්ස ගුඩුං කළ , කර උඩට ගොඩ වී ලූණු .. ලූණූ ..යැයි කෑ ගසමින් ලූණු විකිණූ , ඇඳේ මෙට්ටයට ත් පපුවට ත් අතර තීරුවට රිංගමින් තමන්ගේ උණුහුම සෙවූ කොළු පැටියා ට දැන් තාත්තා ව ‘මෙයා’ වෙලා නොවෙදැ යි සිහිපත් වී සිරිසුමන ගේ හදවත කඩා කැටුනි. පපුව ඇතුලේ කුඩා ඇණයක් හිරවූවා සේ හිත කැවෙන්නට පටන් ගත් බැවින් කිසිවක් නොකියා සිරිසුමන බිම බලාගත් වනම සිටියේය.
” දැන් නත්තලත් එන හංදා ගෙදර ක්ලීන් කරලා තියන්න ඕනෙ ජයන්ත … අපි මෙයාව හෝම් එකකට දාමුකො.. ”

 

ලේලිය කළ යෝජනාව සිරිසුමන ගේ කණ වැටෙන තරම් ම උස් හඞකි. එය ඉල්ලීමකට වඩා නියෝගයක් වැනි යැයි සිරිසුමන ට දැනින. ඔහුගේ මුළු සිරුරම අඩපනව හිරිවැටී යනු දැනෙනවාත් සමගම මුළු සිරුරම වෙළී ගියේ මර බියකිනි. ජීවිත කාලයෙන් අඩක්ම හරි හම්බ කරගත් සියළු මුදල් යොදවා ඉදි කළ තම නිවස තුළ අවසන් හුස්ම හෙලන්නට තමාට නොලැඛෙන බව සිරිසුමන ට දැනින.
නන්නාඳුනන , පාළු නවාතැනක මුහුන දෙන්නට සිදුවන අවසන් හුස්ම හෙලන මොහොත ඔහුට සිහිපත් විය. මර බිය දැනෙන අවසන් මොහොතේ දී නැවත මළපහ කිරීමේ උවමනාව සිරිසුමනට දැනින. තමා තනා ගත් යාබද නාන කාමරයට යනවා වෙනුවට සිව් මසක් තිස්සේ එක එල්ලේ සිවිලිම දෙස යොමා ගත් දෙනෙතින් එකතැන්ව වෙසෙන තමාට මෙවැනි මොහොතක උඩුබැලි අතට හිඳිමින්ම මළ පහ වීම සාමාන්‍ය සිදුවීමකි.
ඇඳි වත මොහොතක් උණුසුම් වී නැවත සිසිල් වී තමා කිරිමැටි ගොඩක වැතිරී සිටිනවාක් මෙන් සිරිසුමන ට දැනින. ඒ සමගම හමා ආවේ දරන්නට බැරි තරම් දුගඳකි. මොහොතක් ගෙවුනි.
” ජයන්ත… ජයන්ත…. අයියෝ ආයෙත් දාලා… ගේ ම ඉවරයි.. අනේ ගිහින් ඉක්මනට සුද්ද කරන්නකො.. ”
ලේලියගේ හඞ නිවස දෙදරවා ගියේ සැනෙකිනි . සුපුරුදු ගෝරානාඩුවෙන්ම මද්දුම පුතා එනු ඇත. එහෙත් අද හිතුවාටත් වඩා හඞ දරුණු බවක් ගනු ඇතැයි සිරිසුමන ගේ සිත බියෙන් සැලී ගියේය .
” මොන වදයක් ද අප්පා…. එක පාර දාන එකක් දාලා ඉවර කරන්න එපායැ… දැන් ටිකකට කලින් නේද මං සුද්ද කළේ… වද විඳිනවා කියලා මෙහෙමත් කරතෑකිද.. ෂිහ්.. ”
කිසිදු ලෙන්ගතු කමක් නැති හැරවිලි, පෙරලිලි, ඉස්සිලි, නැවත ඇඳට අත හැරිලි කිහිපයකට පසුව කුටු.. කුටු.. ගගා මොනවාදෝ කියවමින් මද්දුමයා ඉවත්ව යනු සිරිසුමන ට දැනින.
” සුමනේ … මොකද පුතා කෙඳිරි ගගා අඞන්නෙ .. ”
” අනේ ජයවතී .. මද්දුමයා ආයෙත් කක්කා දාලා … ”
” ඉන්න මං ඉක්මණට එන්නං.. ”
” නෑ .. නෑ.. ඔයා ඔය වැඩේ කරන්න … මං සුද්ද කළා..”
මද්දුමයා ට දරුණු පාචන රෝගයක් වැළැඳී මාසයකට ත් වැඩි කාලයක් දුක් විඳි මොහොත සිරිසුමන ට සිහිපත් විය. සැබැවින්ම එය අසාධ්‍ය රෝගී තත්වයක් විය. ඒ වන විට ඔහුට යන්තම් වයස අවුරුදු හතර පිරුණා පමණි. රෝගය වැළැඳුනු පළමු දිනයේ සිරිසුමන ත් , ජයවතී ත් සිතා සිටියේ අජීර්ණ තත්වයක් කියා ය. ඒ තරමටම දරුවාගේ මළ අප්‍රසන්න දුගඳකින් යුතු විය. තුන්වන හතරවන වාරයේ මළ පහ වන විට දරුවාට ඒ ගැන කියාගන්නට හැකියාවක් නොමැති තත්වයක් විය. තාත්තෙ .. මට කක්කා බරයි .. යනුවෙන් කියන්නටත් කලින් මළ පහ විය.
” අනේ සුමනෙ .. ඔයාගෙ සරමෙ ත් ගෑවිලා නේද .. ඕක ගලවලා අළුත් එකක් ඇඳගන්න .. හප්පා … මේකාගෙ කක්ක වල ගඳ .. ”
ජයවතී එසේ දුගඳ ගැන කතා කරන්නේ පිළිකුලෙන් නොවන බව සුමනසිරි දනී.
” අනේ ජයේ … මට මේකා ගෙ කක්කා සුවඳයි .. මගෙ එකම කොළු පැටියා නෙව … කවද හරි මං වයසට ගිහින් එක තැන් වුනොත් මේකා නෙව මගෙ කක්කා හෝදන්න ඉන්නෙ .. ”
” දැන් කී පාරක් ගියා ද සුමනෙ ..”
” මං හිතන්නෙ හය පාරක් විතර .. ”
” අනේ සුමනෙ … අපි ඉස්පිරිතාලෙ අරන් යන් .. මෙහෙම ගියොත් පුතා ට අමාරු වෙයි.. ”
” මටත් හිතෙනවා .. එහෙනං අක්කවයි .. නංගිවයි .. එහා ගෙදර විජේලා ට ඩිංගක් බලා ගන්න කියලා අපි යං..”
මද්දුමයා රෝහලට රැගෙන යන විටත් අත පය පණ නැතිව තිබූ අයුරුත්, රෝහලට ගිය සැනෙන් වාට්ටුවට ඇතුළත් කොට සේලයින් දෙන්නට පටන් ගත් අයුරුත් සිරිසුමන ට සිහිපත් විය.
” ඔයා පරක්කු වෙන්නෙ නැතුව ගෙදර යන්න .. කෙල්ලො දෙන්නා පිට ගෙදරකනෙ .. ”
” එතකොට ඔයා .. ”
” දරුවා ළග කවුරු හරි ඉන්න එපායැ .. මං ඉන්නං .. ඔයා උදේට එන්නකො .. ”
” අනේ සුමනෙ පුතාව බලාගන්න .. මං එහෙනං යනවා .”
” මං නාකි වුනාම බලාගන්න ඉන්න එකා නෙව … මගෙ පණ.. ”
සතියක පමණ කාලයක් එක දිගටම රාත්‍රී නිදි වැරීම නිසා සිරිසුමන ගේ සිරුර කෘෂ වී ගිය බව ඔහු දැන ගත්තේ මද්දුමයා ගේ සුව දුක් බලන්නට ආ පාසැලේ මිතුරු ගුරුවර ගුරුවරියන් ගෙනි.
සිරිසුමන ට අතීතය සිහිපත් වුව ද මෙතරම් ම දරුවනට කරදරයක් වන ලෙසින් තමා කිසි දිනක හෝ රෝගී වෙනු ඇතැයි කිසි විටෙකත් බලාපොරොත්තු වී සිටියේ නැත. මේ වන විට තමා මද්දුමයා ට කරදරයක්ව සිටියත් මද්දුමයා කුඩා කල කටයුතු කිසි ලෙසකින් තමාට කරදරයක් සේ නොසිතූ බව ද ඒ සමගින් ම සිහිපත් විය.
මද්දුමයා බහ තෝරන වියේ සිටම සෑම දෙයක් ගැනම විමසිල්ලෙන් හා විමසීමෙන් සිටි දරුවකු විය. යමක් දුටු විටෙක හෝ ඇසුනු විටෙක මද්දුමයා ගේ ප්‍රශ්න වැලකි. ප්‍රශ්න කෙතරම් ඇසුවත් තරහා ගන්නේ නැතිව සිරිසුමන ඒ සියල්ලටම පිළිතුරු දුන්නේ ඒ ගැන විස්තර ද කරමිනි.
” තාත්තෙ .. අර ගහක් උඩ ඉඳන් පූසෙක් කෑ ගහනවා ඇහෙනවද .. ”
” ඒ පූසෙක් නෙවෙයි පුතා … කුරුල්ලෙක් .. ”
” කුරුල්ලෙක් වෙන්නෙ කොහොමද .. අර ඤාව් .. ඤාව් ගාන්නෙ ..”
” ඔවු පුතා.. ඤාව් ඤාව් ගාලා සද්දෙ කළාට ඌ කුරුල්ලෙක් .. ”
” තාත්තා බොරු කියනවා .. කුරුල්ලො කොහොමද ඤාව් .. ඤාව් .. ගාන්නෙ.. ”
” ඉන්නකො මං ඌව හොයලා පෙන්නන්න .. ආන්න .. ආන්න .. අර වෙරළු අත්තෙ ඉන්නෙ .. අර .. අර.. ආං බලන්න .. ඌ ඔළුව පාත් කර කර ඤාව්.. කියනවා .. ඔය කුරුල්ලට තමා කියන්නෙ කවුඩා කියලා ”
” ඉතිං ඌ ඤාව් කියන්නෙ ඇයි තාත්තෙ .. ”
” ඌ ඔය අත්ත මුදුනෙ ඉන්නකොට කොහේ හරි තැනක පූසෙක් ඉන්නවා දකින්න ඇති .. එතකොට ඌ ඤාව් .. ඤාව් .. කියලා කෑ ගහලා පූසාව රවට්ටනවා .. ”
” ඇයි ඒ රවට්ටන්නෙ .. ”
” එතකොට පූසා හිතන්නෙ තවත් පූසෙක් කියලා .. ඌ ඉන්න තැනින් එළියට එනවා … එතකොට කවුඩා මොකද කරන්නෙ … ඊතලයක් වගේ පාතට පියාඹගෙන ඇවිත් පූසාට හොටෙන් කොටා ගෙන ඈතට පියාඹනවා .. ”
මද්දුමයා ගේ ප්‍රශ්න වැල එතැනින් අවසන් වේ යැයි සිතූ නමුදු සිරිසුමන ට නිදහස ක් නොලැබේ.
” ඉතිං .. ඇයි තාත්තෙ ඌ පූසන් ට කොටන්නෙ .. ”
” අනේ මන්දා පුතේ .. මොකක් හරි තරහක් ඇති .. ”
එතැනින් ප්‍රශ්න වැල අවසන් විය යුතුය. එහෙත් එය එසේ නොවේ.
” එතකොට ඒ කුරුල්ලා බල්ලොන්ව දැක්කාම බව් .. බව්.. කියනව ද.. ”
ඒ වන විට ඇත්තටම සිරිසුමන ට මද්දුමයා ගේ ප්‍රශ්න කරදරයකි . එහෙත් ඔහු සියල්ල ආදරයෙන් ඉවසා දරා ගනී.
” මාත් ඒකනං අහලා නෑ පුතේ .. කවුඩා ඤාව් .. ඤාව් .. කියනවා විතරයි අහලා තියෙන්නෙ .. ”
” මං දන්නවා ඇයි කියන්න .. ”
” පුතා හපනා නෙ .. කියන්න බලන්න .. ”
” ඇයි ඉතිං ඌ බව් .. බව් .. කියලා .. බල්ලා එළියට ආවහම බල්ලට කොටන්න ගියොත් බල්ලා ඌව හව් .. කියලා එක කටට අල්ලා ගනී ..”
” ඇත්ත නේන්නං .. පුතා ට තේරුනා .. අපි යං ගේ ඇතුළට ”
සිරිසුමන මද්දුමයා ගෙතුළ ට කැඳවා ගෙන ගියේ ඔහු ගේ කුඩා සිත නොරිදෙන පරිදිය . කුඩා කල මද්දුමයා තමා එක්තැන් වූවොත් බලාගන්නට ඉන්නා පුතා යැයි ජයවතී සමග කීවේ ආදරයට මිස එවැනි සැළකීම් බලාපොරොත්තු වෙමින් නොවන බව සිරිසුමන ට සිහිපත් විය.
අක්කාත් නංගීත් විවාහයන් කර ගත්තායින් පසු මද්දුමයා ට ගැළපෙන තැනකින් යහපත් ගතිගුණ ඇති ගැහැණු ළමයෙකු සොයා දෙන්නට සිරිසුමන ත් ජයවතී ත් උත්සාහ කළ ද ඒ වන විට මද්දුමයා ගැහැණු ළමයෙකු ට පැටලී අවසන් ව තිබින.
” අනේ මන්දා සුමනෙ .. මට නං ඒ ළමයගෙ ඒ තරං ගැලපීමක් පේන්නෙ නෑ .. ටිකක් සංකරයි වගේ නේද .. ”
” අනේ ඕවා ගැන කම්පා වෙන්න එපා ජයවතී .. මොකද අපි දෙන්න හැමදාම ජීවත් වෙනවෑ .. අපි මැරිලා ගියා ම ඒ දෙන්නා එකට ජීවත් වෙන්න නං ඒ දෙන්නට දෙන්නා කැමති වෙන්න එපායැ ..”
” ඒ උනාට .. අපේ මද්දුමයට ඉහ ගහලා ඉන්න බැරි වෙයි ”
” අනේ මේ ඉන්න ටික දොහ අපේ පාඩුවෙ ඉමු .. මද්දුමයගෙ කැමැත්ත නෙව .. ”
අනාගතය ගැන තමන්ට වඩා හොඳින් දුටු ජයවතී මේ සියළු දුකින් නිදහස් ව වේලාසනින් ම යන්නට ගියා ය. ජයවතී පිළිබඳ මතකය අළුත් වත්ම සිරිසුමන ගේ පපුවෙන් සිහින් වේදනාවක් මතු විය. එක් අතක් හෝ ඔසවා එය පිරිමැද ගන්නට නොහැකි වන පරිදි සිරිසුමන ගේ දෑතම අක්‍රියව දැන් මාස ගණනකි.
” ඇයි මගෙ වස්තුවෙ කෙඳිරි ගාන්නෙ .. බඩ රිදෙනවද .. ඉන්නකො මං ටිකක් අත ගාන්න .. ”
මද්දුමයා රෝගී වූ මොහොතේ ඔහුට නින්ද යන තුරුම කැක්කුම ගත් කුස සෙමින් අතගාමින් සිටි අයුරු සිරිසුමනට සිහිපත් විය. පපුවේ වේදනාව තවත් වැඩි වනු ඔහු ට දැනින . කෙඳිරියක් නැගීමට හෝ කෑ ගැසීමට ගත් අසාර්ථක උත්සාහය වූයේ තදින් තැටමීමක් ඇති කිරීම පමණි. මහ හඞක් ද නගමින් යළි මළ පහ වන බවක් සිරිසුමන ට දැනින .
” මොකද්ද ඒ සද්දෙ ජයන්ත .. බලන්න .. ආයෙත් දැම්මද කියලා .. අයියෝ … ආයෙත් දැම්මා නේද .. ඔය ගඳ එන්නෙ .. මේක නං කරුමයක් ජයන්ත … ”
” අනේ ඇත්තට .. දැං නං මේක කරුමයක් ම තමා .. මං මොන පවක් කරලද මන්දා .. අරුන් දෙන්නා .. කසාද බැඳගෙන පාඩුවෙ ඉන්නවා .. මං ම එපායැ මේ පව ට කර ගහන්න .. ”
කාමරයට ඇතුළු වන මද්දුමයා ගේ කෝපයෙන් පිපිරී ගිය හඞ සිරිසුමනට ඇසුනේ යන්තමිනි . නිදිමතක ස්වරූපයක් ඔහු ගේ දෑසට දැනින .
” මොන කරුමයක් ද මන්දා .. ”
මද්දුමයා තමා ව පැත්තට පෙරළනු සිරිසුමනට දැනින .
” අනේ පුතේ මගෙ පපුව දැවිල්ලයි .. කැක්කුමයි .. ඒක කියන්නයි කෑ ගහන්න හැදුවෙ .. අනේ මට සමාවෙයන් කොළුවො .. ”
සිරිසුමන එලෙස කීවේ මුවින් නොව ඇස් දෙකිනි. එහෙත් ඒ වදන් පෙළ මද්දුමයා ට නෑසුනේ ඔහු තමා ගේ දෑස දෙසවත් නොබලා තමාව පසෙකට පෙරලා ඇඳ සිටි සරම ඉවත් කළ බැවිනි.
” අයියෝ .. මයුරි .. සරනුත් ඉවර යි.. පිහදාපු කඩමාලූ ත් ඔන්න ඉවරයි .. ”
තිබුනු කුමක් හෝ රෙදි කැබැල්ලකින් තමා ව පිස දා දැමූ මද්දුමයා ගෙතුල දෙස බලා මොර දෙනු සිරිසුමන ට ඇසුනේ ද යන්තමිනි .
” හෙට රොසලින් එනකල් මට ඕවා හෝදන්න බෑ .. ඔන්න ඕවා සේරම පිළිකන්නෙ න් දාන්න .. ඔන්න ඔගෙ නිකන් ඉන්න ඇරලා ඛෙඩ් ෂීට් එක ඇඟ වැහෙන්න දාන්න .. රෙක්සින් එක යටින් තියෙනවනෙ ..”
” දැන්නං ඇත්තටම කරුමයක් තමා ගෙවන්නෙ .. ෂිහ් .. තව කොච්චර කාලයක් මෙහෙම ගඳ ගගහා ඉන්න වෙයිද මන්දා .. ෂික් .. මේ කරුමෙ ඉවරයක් වෙන්නෙවත් නෑනෙ හැබෑට .. ”
ජරාව තැවරුණු සරම ත්, පිස දැමූ රෙදි ත් රැගෙන මද්දුමයා කුස්සිය දෙසින් එළියට යන ගමන් කෑ ගසා කීවේ මාස ගණනාවක් තිස්සේ සම්පූර්ණයෙන් අක්‍රිය වූ තමාගේ සිරුරේ කර්ණ ඉන්ද්‍රිය ද මුළුමණින් ම අක්‍රීය වී ඇතැයි විශ්වාස කරමින් විය යුතුය. එහෙත් මේ වන තුරුම ඔවුන් කී දෑ සියල්ල තමාට ඇසුනු බවත් ඒවාට පිළිතුරු දී ගත නොහැකි වූයේ මුව අප්‍රාණිකව ගොළු වී සිටි නිසා ත් බව දැන සිටියේ සිරිසුමන පමණි.
ඇඳි වතක් හෝ නොමැතිව වැතිරී සිටින සිරිසුමන ගේ දෑසම කඳුළින් වැසී යනු දැනින. පිස දා ගත නොහැකි වූ එම කඳුළු දෑස් කෙවෙනි තුළ එකතු වීමෙන් දෑස වේදනාවට පත් විය. සිරිසුමන ගේ නිදි බර ගතිය ටිකෙන් ටික වැඩි වනු දැනුනත් මාස ගණනක් බලා සිටි සිවිලිම දෙසම බලා ඉන්නට සිරිසුමනට සිත් විය.
” සුමනේ .. සුමනෙ .. ඔයාට තනි ද ..”
ජයවතී ගේ හඞ ඇසුනේ කොතැනින්දැ යි සිරිසුමන ගේ දෑස් විමසිලිමත් විය. තම දෑසට ඉහලින් ජයවතී තමා දෙස බලා සිටිනු දුටු සිරිසුමන සිහින් සිනාවක් නගන්නට තැත් කළේය.
” ඔව් ජයේ … මට තනි යි … ”
” ඔයා ට පාළුයි නේද … ”
” මට නිදිමතයි ජයේ .. ”
සිරිසුමන ගේ සිතුවිලි හඞ ජයවතී ට ඇසෙන්නට ඇත.
” ඔව් .. ඔයාට නිදි මතයි නේද .. ඔයා ඩිංගක් නිදා ගන්නකො .. මං ළගට වෙලා ඉන්නං .. ”
ජයවතී ගේ හඞ කෙතරම් ලෙන්ගතු වීද කිවහොත් සිරිසුමන ගේ පපුව තද හිරි වැටීමකින් කීරි ගැසී යනු දැනින. තද නිදි මතකින් දෑස වෙලී යන්නට විය. සිරිසුමන ට දැනුනේ සුවය කි. නින්ද තදින් වැළඳගනු පිණිස මුළු සිරුර ම පිම්බී පිපිරී යන තරම් තද හුස්මක් ඉහලට ඇදගත් සිරිසුමන වේගයෙන් එය පහතට හෙළා තද නින්දකට වැටී නිහඞ විය.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)