ඉදිරි වසර පහ ඇතු­ළත ග්‍රන්ථ ප්‍රකා­ශ­නයේ දැවැන්ත ‍ පරිව­ර්ත­න­යක් – ජනක ඉණිමංකඩ

No Comment 17 Views

ග්‍රන්ථ ප්‍රකාශකයා යනු කවරෙක්ද?

 

දැනුම සංවිධානගත වූ අවස්ථාවේ සිට එය බහුල කිරීම උදෙසා ද, ඉදිරියට පවත්වාගෙන යෑම උදෙසා ද අනුගමනය කළ විවිධ මාර්ග විය.

මුඛ පරම්පරාගතව ඒවා ඈත අතීතයේදී පවත්වාගෙන ආ අතර පසුව ග්‍රන්ථාරූඪ විය. ග්‍රන්ථාරූඪ වීමේ ඉතිහාසය ලාංකික අපට නම් ක්‍රි.පූ. පළමුවන සියවස තෙක් ම තරම් දුරට ඈතට යන්නකි. ඒ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීමයි.

කාර්මික විප්ලවයෙන් අනතුරුව මුද්‍රණ යන්ත්‍රය දියුණු දීමත්, අතිරික්ත ප්‍රාග්ධනය ගොඩනැගීම තුළ නව මධ්‍යම පන්ති‍යක් බිහිවීමත්, එම පන්තියෙහි පුරුෂාර්ථ නව කතිකාවන්ට භාජනය වීමත් නිසා ග්‍රන්ථ නිෂ්පාදනය ආරම්භ වීම හා බහුල වීම සිදුවිය. එහි අනිවාර්යයක් ලෙස එය කර්මාන්තයක් බවට පත් විය.

නූතන ප්‍රාග්ධනයේ උපරිම ව්‍යුහය තුළ එය අද වන විට ඉතා දියුණු කර්මාන්තයක් බවට පත් වී ඇත.

 

අන්තර්ජාතික ප්‍රකාශන කර්මාන්තය හා ශ්‍රී ලාංකික ප්‍රකාශන කර්මාන්තය

 

ලංකාවට මුද්‍රණ තාක්ෂණය ප්‍රාථමික මට්ටමින් පිවිසෙන්නේ මීට වසර තුන්සියයකට පමණ ඉහතදීය.

ලංකාව කුඩා ජනගහනයක් සහිත රටක් වීමත්, එහි බහුතරයකගේ භාෂාව වන සිංහල භාෂාව මෙම කුඩා දූපතට පමණක් ම අනන්‍ය භාෂාවක් වීමත් නිසා නූතන ප්‍රකාශන වෙ‍ෙළඳපළ තුළ ක්‍රියාත්මක නියාමන ධර්ම ඒ තුළ විධිමත්ව ක්‍රියාත්මක වීම අපේක්ෂා නොකළ හැකි තත්ත්වයකි.

යම් කර්මාන්තයක් නවීකාරක වීම උදෙසා පුළුල් වෙළෙඳපළක් ද, එහි භාවිතා කරන විශාල ජන පිරිසක් ද එහිම අනිවාර්යයක් ලෙස ලාභය උපරිම වීමක් ද සිදුවිය යුතු ය.

අතිරික්ත ප්‍රාග්ධනය විසින් කිසියම් භාණ්ඩයක නිෂ්පාදන ගුණාත්මක භාවය මෙන් ම එම නිෂ්පාදන භාණ්ඩය වටා ගොඩනැ‍ඟෙන දියුණු නිෂ්පාදන ක්‍රියාවලියක් හා සංස්කෘතියක් ද ගොඩනැඟෙයි.

ඉහතින් දැක්වූවා සේ ලංකාව ඉතා කුඩා රටක් වීමත්, එබැවින්ම එහි වෙළෙඳපළ කුඩා වීමත්, ග්‍රන්ථ නිෂ්පාදිත භාෂාව බහුල ජනකොටසක් භාවිතා නොකිරීම නිසා වෙළෙඳපළ කුඩා වීමත් හේතුකොට ගෙන එය ලාභ උපරිම කරන, දියුණු ප්‍රාග්ධන භාවිතාවක් ඇතුළු නොවන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. එහිම අනිවාර්යයක් ලෙස ලෝකයේ දියුණු ප්‍රකාශන සංස්කෘතියක් ඇති රටවල ප්‍රකාශන කර්මාන්තයේ ස්වභාවයට සාපේක්ෂව අප ඉතාම ප්‍රාථමික මට්ටමේ ප්‍රකාශන භාවිතාවකට හිමිකම් කියන අතර ප්‍රකාශන කර්මාන්තය හා බැඳී පවතින දැනුම් නිෂ්පාදන ක්‍රියාවලිය ද නොදියුණු තත්ත්වයක පැවතීම අනිවාර්යයක් බවට පත්ව ඇත.

දැනුම නිෂ්පාදනය හා ප්‍රකාශන කර්මාන්තය

 

දැනුම් නිෂ්පාදනය වීම තුළ ඒ තුළ විද්‍යාත්මක ක්‍රියාවලියෙන් බැහැර වීමට දියුණු ප්‍රකාශන සංස්කෘතියක් හිමි රටකට නොහැකිය. එබැවින් යුරෝපය ඇතුළු නූතන ප්‍රාග්ධනයේ කේන්ද්‍රයේ රටවල ප්‍රකාශන කර්මාන්තය තුළ අත්පිටපතක් මුද්‍රිත පොතක් දක්වා පැමිණීමේදී එය පසු කළ යුතු ස්ථාන ප්‍රමාණය හා ඒ සියලු ස්ථාන තුළදී අදාළ නිර්මිතය වඩාත් ඔප නැංවීම හා විධිමත් වීමද, අදාළ සංස්කෘතික තත්ත්වයේ ස්වභාවයේ හැඩය වෙත අනුගත වීම ද අපට දැකගත හැක.

ලංකාව තුළ ප්‍රකාශන කර්මාන්තය විසින් දියුණු කරගත් දියුණු සංස්කෘතික භාවිතාවක් අපට හඳුනාගත නොහැකි වන අතර එබැවින්ම මුද්‍රිත අකුරු තුළ දැනුම ස්ථාවර වීමට අදාළව එකී දැනුම නිෂ්පාදනය කරන්නාද, එය සමාජගත කර බහුල කරන්නා වන ප්‍රකාශකයා තුළ ද සමාජ වගකීමේ වගකීමෙන් බැහැරව සිටිනු අපට දැකගත හැක.

 

ලේඛකයා සහ ප්‍රකාශකයා අතර සබඳතාව

ඉහතදී සඳහන් කළ අයුරින් ම නූතන ප්‍රාග්ධන භාවිතාවන් විසින් එහි කේන්ද්‍රයේදී අත්පත් කරගන්නා ජයග්‍රහණයන් හා ශක්‍යතා අපට අත්පත් කරගත නොහැක. එබැවින් ශ්‍රී ලාංකික තත්ත්වය තුළ ලේඛකයා හා ප්‍රකාශකයා යනු නූතන ව්‍යාපාරික ගනුදෙනු රටාවකදී අපට හමුවන නිෂ්පාදකයෙකු හා ප්‍රාග්ධන හිමියෙකු නොව එකෙක් අනෙකා මත යැපෙන සාම්ප්‍රදායික ගනුදෙනු ස්වභාවයකදී අපට හමුවන ප්‍රාථමික නිෂ්පාදක‍ෙයකු හෝ ආයෝජකයෙක් පමණි.

එවැනි තත්ත්වයක් තුළ එකිනෙකා කෙරෙහි වන අවබෝධය වඩාත් දියුණු වීම තුළය ලේඛකයා හා ප්‍රකාශකයාගේ පැවැත්ම රඳා පැවතී ඇත්තේ.

 

ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ අනාගතය

ලංකාවේ ප්‍රකාශන කර්මාන්තය රඳා පැවතී ඇත්තේ ප්‍රාග්ධන කේන්ද්‍රීයව නොව පුද්ගල කේන්ද්‍රීයව ආයෝජකයා හෙවත් ප්‍රකාශකයාගේ තනි පුද්ගල ස්වභාවයේ සාරාර්ථයන්හී ස්වභාවය මත ප්‍රකාශකයෙකු ලෙස ඔහුගේ පැවැත්ම ගොඩනැංවී ඇත.

ලාංකික ලේඛකයා ප්‍රකාශකයාගෙන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ කෘතිය මුද්‍රණය කර බෙදාහැරීම පමණක් නොවේ. ඔහු ඉන් එපිටට ගිය මානුෂිකත්වයක් හා මිතුරු බැඳීමක් ප්‍රකාශකයාගෙන් අපේක්ෂා කර සිටී.

ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ මීළඟ පරපුර ප්‍රකාශක – ලේඛක සබඳතාවේ ස්වභාවය ප්‍රාග්ධන ආයෝජන සීමාවෙන් එපිටට ගෙනයෑමට අපේක්ෂා නොකරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

එලෙසින් ම ලාංකික පොත් ප්‍රකාශන කර්මාන්තයේ රඳා පැවැත්මට තීරණාත්මක සාධකයක් වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තුළ මෑත කාලීනව සිදුවූ වෙනස්කම් මේ තත්ත්වය තව තවත් තීව්‍ර කරනු ඇති බව මගේ නිරීක්ෂණයයි‍.

ඒ අනුව ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය ඉදිරි වසර පහක කාලයක් තුළ දැවැන්ත පරිවර්තනයකට ලක් වනු ඇතැයි මගේ නිගමනයයි.

 

උපුටාගැන්ම  Silumina.lk

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)