කබරයා – රෝහිත භාෂණ අබේවර්ධන

No Comment 10 Views

එළියේ මිනිසුන් කෑ ගසන හඬ ඇසිණ. දහවල වාතය මධ්‍යහ්නයේ දී ගිනියම්ව කැකෑරෙයි. කිසිවෙකු ඇතුළු කාමරයෙන් හිස පොවා බැලීය. ඒ වනවිටත් කබරයා කාර්යාලය තුළට රිංගාගෙන අවසාන ය.

‘‘කබරයෙක්!’’ ඔහු පසුපසට පැන්නේ මාලූවෙකු සේය.

අපි කතාබහ නවතා ඇතුළු දොරින් කරපොවා බලන්නට පොර කෑවෙමු. කාර්යාලයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළුව බඩ ගා ඇදුණු කබරයා දූවිලි පිරීගත් ගෙබිමේ නැවතී හිඳියි. හරියටම ඒ මොහොතේ ඌ මෙන්ම අපි ද වික්‍ෂිප්ත බවින් සමානයන් වීමු. දීප්තියක් නොනඟින අඳුරු අළු-දුඹුරු පැහැයක් ගත් උගේ පිට මතට කවුළුවෙන් එන දහවල හිරු රැස් ඇලයකට පතිත වේ. වෙහෙස හා බිය පළකළ ඌ, මුළු සිරුරම උස් පහත් කරමින් සුසුම් හෙළීය. ‘‘හීස්- හීස්’’ හඬක් වරින් වර උගේ මුවින් පිටවිණ.

‘‘ඌ පිඹිනවා’’ නිවසින් පිටත මිදුලේ ළමයෙකු කෑ ගැසුවේය. ඌ නොනවත්වාම මුවින් ‘‘හීස්-හීස්’’ හඬ නැඟීය. ලූහුබැඳ ආවුන්ට ඇතුළුවිය නොහැකි සීමාවකට තමන් ඇතුළු වූ වගක් තේරුම් ගිය බැල්මකින් ඌ සුසුම් ලෑවේය. මිදුලේ අතුරා තිබූ බොරළු කැටයක් අහුලාගත්තෙකු එළියේ හිඳ, ගෙබිම මැද නැවතී ගත් කබරයාගේ පිට මැදට එල්ලය බලා ගැසීය. එල්ලය සහමුලින් වැරදිණ. මේස කකුලක වැදුණු බොරළු කැටය කැරකී අවුත් කබරයා ඉදිරිපිටට වැටිණ. හිටිහැටියේ උගේ දෑස් කුඩාවූවාක් මෙනි. මදක් සිතුවිල්ලේ නිමග්නවූ කබරයා කුඩා කරගත් දෑසින් තමන් ඉදිරියේ වට ආගන්තුක වස්තුව නීරීක්‍ෂණය කළේය. ඉක්බිතිව නැවතී හිඳි ඉරියව්ව වෙනස් කර මදක් ඉදිරියට බඩ ගා ඇදුණේය. බඩවත දූවිලි පිරීගත් ගෙබිමේ ඇතිල්ලීමෙන් ජුගුස්සා දනවන වියළි ‘‘බ‍්‍රාස්-බ‍්‍රාස්’’ හඬක් නැඟිණ.

‘‘ගල් ගහන්ඩ එපා ඕයි, ඌ ඇතුළට රිංගනවා’’ අප අතර සිටි අයෙකු මිදුලේ රැස්වූවන් අමතා බැණ වැදිණ. කිසිවෙකු පිළිවදන් නොදුන් අතර කිසිවකු පිළිවදන් අපේක්‍ෂා නොකළේය. කබරයා කාගෙත් අවධානය දිනාගෙන තිබිණ. ගිම්හාන දහවලක අනවසර කබරයෙක්!

ඌ විලියෙන් මෙන් තවත් පියවරක් ඉදිරියට ඇදුණේය. යළිත් අර ජුගුස්සාජනක හඬ! උගේ පිට මත ලේ පැහැගත් සළකුණු මුල්වරට අප දුටුවේ එවිට ය. ඒවා කෙවිටකින් හෝ මුගුරකින් හෝ මේ දැන් කළ පහරදීම්වලින් හටගත් කවාකාර රතු පැහැ කුඩා තුවාල ය. ඉන් දෙකක් උගේ පිට මැදට වන්නට ද, එකක් ඇළපත දෙසට වන්නට බඳෙහි වම් බෑවුමෙහි ද විය. තියුණු වල්ගය මැදට හා කෙළවරට වන්නට වූ සළකුණු ප‍්‍රමාණයෙන් කුඩා ය. සෙනඟකට මැදි වූ විට හටගන්නා හදිසි සබකෝලයෙන් ඌ සුසුම් ලෑවේය.

‘‘දැන් මොකද කරන්නේ?’’ කිසිවකු ඇසීය.

‘‘දැන් මොකද කරන්නේ?’’ අපි එකිනෙකාගෙන් ඇසීමු.

අනුමාන වශයෙන් සළකතොත් අප සිටි ඇතුළු කාමරයේ දොර හා කබරයා නැවතී ගත් ස්ථානය අතර දුර මීටරයකට මදක් වැඩිවීමට ඉඩක් තිබේ. අර පිළිකුල් සහගත හඬ නගා ඌ බකල පියවර දෙකකින් ඉදිරියට බඩ ගෑවේ නම් එම දුර තවත් ඇහිරී අඩුව යනු ඇත. අඩවල් කළ දොරත් – උළුවස්සත් අතර කපොල්ලෙන් ඌ දෙස යළිත් බලන්නට අපි තදබදව තෙරපුණෙමු. උගේ සවිමත් හණු එකට තද වී වැසී තිබේ. අඳුරු බොර පැහැ දෑස් පියාගන්නට අමතක වූ කලක මෙන් ඌ දොර කපොල්ල දෙස බලා හිඳියි. ගෙබිම බදා තදින් අල්ලා ගත් ඉදිරිපස දෑත් හා පසුපස ගාත් හතර අතට විහිදී ඇත්තේ බියජනක ලෙසිනි. මුවහත් කඩුපතක් බඳු උගේ වැඩුණු වල්ගාවෙන් මිනිස් ගාතයක් වුව ද වෙන්වී යන්නට පහරදි හැකියැයි අප කවුරුත් අසා තිබීම සියල්ලන්ගේ හදිසි කණස්සල්ලට හේතුවිණ.

‘‘හරියට වල්ගෙන් ගැහුවොත් මෙතැනින් වෙන් වෙන්ඩත් පුළුවන්’’ – එකෙකු සිය වලලූ කරේ වෙන්වීමේ සීමාව ඇඳ පෙන්වීය.

‘‘කබරයෙක් ගහලා කකුල් කැපිච්ච මිනිහක් මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා.’’ – පහර කෑ මිනිසාගේ නම මතක් කරගන්නට අයෙක් දොර අසළින් මෑත්විණ.

‘‘මමත් දන්නවා….’‘

‘‘ඇයි අපේ ගමෙත් මිනිහෙකුට….’’

කාමරයේ කාලගෝට්ටිය වැඩිවිය. සියල්ලන්ම තමන්ට කබරයන් සමඟ ඇති අතීත සබඳතා ගැන කියන්නට උත්සාහ කළහ. ඒ මොහොතේ අපේ ජීවිතවල සියළු හරයන් කබරයන් හා පවත්නා සම්බන්‍ධකම් කේන්‍ද්‍ර කරගෙන පැන නැඟිණ. ඇත්තෙන්ම කිවතොත් කබරයන් අපේ ජීවිතවලට හදිසි වටිනාකමක් එකතු කර දෙනු ඇතැයි අප කිසිවෙක් ඒ මොහොත වන තුරුම සිතා නොතිබිණ. නමුත් අපේ නොලියූ ජීවන චරිතාපදාන හරිමැද දැන් කබරයෙකි! මේ තාක් ගෙවා දැමූ ජීවිත සමග කබරයන් යා කරන අතීත අසව්වක් සොයා සියල්ලෝ හැඩි වූ මතක පිළිවෙලින් අමදින්නට පටන්ගත්හ. නමුත් ඒ අතරතුරදී කබරයා තවත් පියවරකින් දොර දෙසට බඩ ගා ඇදුණේය.

අර ජුගුස්සාජනක හඬ!

‘‘මළ සේක! ඌ ඇතුළටම එනවා’’ – දොර කපොල්ලට ඇස තබාගෙන සිටියෙකු කෑ ගැසීය. කාමරය තුළ කාලගෝට්ටිය නැවතිණ. හදිසි ආපදාවක දී අභ්‍යන්තර සමඟිය ඉමහත් වැදගත්කමක් ගනියි. කබරයන් සමඟ අප කිසිවෙකුට ඇති අතීත අත්දැකීම් ප‍්‍රමාණය මේ මොහොතේ ප‍්‍රයෝජනයට ගත හැකි කවර හෝ මඟක් කිසිවකුට කල්පනා නොවිණ.

කුඩා කාමරය තුළ ගිම්හාන ඌෂ්ණත්වය වේගයෙන් ඉහළ යමින් තිබිණ. ආරක්‍ෂක කම්බි ගාරාදිය රහිත මේස පංකාව කාමරයේ මුල්ලකට වී ඔහේ කරකැවුණේය. අගෝස්තුවේ ගිනියම් පිලූණු වාතය කාමරය තුළ කැකෑරෙමින් පිටවන්නට මඟක් නොමැතිව එහිම රැඳිණ.

‘‘අර එළියේ බූරුවෝ තමයි අහක ගිය එකෙක්ව මේක අස්සට එව්වේ’’ – එකෙක් කෝප විය. සැබැවින්ම කෝපවීම හැර කළ හැක්කක් කල්පනා නොවීම පුදුමයකි.

අපි අසල්වාසීන්ගේ තකතීරු උද්ධච්ඡකම ගැන දොස් පැවරීම ආරම්භ කළෙමු. අනපේක්‍ෂිත ආපදාවකදී දොස් පැවරීමට යමෙක් නොවුණහොත් අසරණභාවය වැඩි වේ. එහෙයින්ම දොස් පැවරීම හදිසි අස්වැසිල්ලක් ගෙන ආවේය.

කබරයාගේ ද, අපගේ ද නිදහස බින්දෝ අසල්වැසියෝ ය. ස්වර්ගීය පියා කීව ද, මුන් වැන්නන්ට කෙසේ නම් ප්‍රේම කරමුද?

‘‘ඌ නිකම් පාරේ යන්න ඇති. මේ මෝල්ලූ ඌව පන්නගෙන ආවේ නැත්නම් ඌ යන අතක යනවා. නැත්නම් ඌ මොන එහෙකට මේක අස්සේ රිංගයිද?’’

‘‘මහ කුපාඩි හැත්තක්….,’’

‘‘කණ පලන්න තියෙන්නේ…..’’

යළිත් ඇතුළු කාමරයේ සමගි සම්පන්න උද්වේගය ඉහළ නැංගේය. දොර අසළ කබරයා ලැග නොසිටින්නට අසල්වැසියන් සමඟ කෙලින්ම ගණුදෙනු බේරා ගැනීමේ සූදානමක් සියල්ලන් විසින් ඒ මොහොතේ පෙන්නුම් කරන ලදී.

නමුත් කබරයා ඇතුළු දොර දෙසට විදාගත් ඇසින් ගෙබිම මැද නිසොල්මනේ දපා හුන්නේය.

දහවල අව් රශ්මියේ උණුසුමින් උගේ ඇස් නිදිබරව පිය වේ. අලසව හිස ගසා ගත් ඌ ගෙළ දිගුකොට සාංකාවෙන් ඔහේ වැතිර හිඳියි. දවසේ ඉතිරි අඩ කෙසේ ගෙවී යනු ඇතිදැයි ඌ නොදනී. කවුළුවෙන් ඇලයට කපා හැලෙන හිරු රැස් තීරු දැන් උගේ වල්ගය මැදට වන්නට පතිත වේ. ඌ දිගින් අඩි පහකට කොහොමටත් නොඅඩු බව නම් සිකුරු ය. හිසේ සිට වල්ගය ආරම්භ වන තැනට පමණක් මැන බැළුව ද, අඩුම වශයෙන් අඩි තුන හමාරකට වැඩි ය. තියුණු මුවහත් බාව තවත් අඩි දෙකකටවත් වැඩි බවට සැක නැත.

‘‘හැබැයි මෙච්චර කබරයෝ ඉන්නවා, උන් කවදාවත් මේ ඔෆීස් එක ඇතුළට රිංගලා තියෙනවාද? මිනිස්සු ඉන්න ඔෆීස් එකක් ඇතුළට මූ මොකට රිංගුවද?’’

හිටි හැටියේ කෝපාග්නිය කබරයාට එරෙහිව ඇවිලිණ. ඇත්තකි! රාජකාරීමය හේතුවක් නැතිවම කබරයෙකු වශයෙන් කාර්යාලයක් තුළට රිංගා ගැනීමේ කිසිම යුතුකමක් ඌට තිබිය නොහැකි ය. මෙය ප‍්‍රවණතාවයක් බවට පත් වුවහොත් තත්ත්වය අන්තිම අවදානම් ය. මෙය ඉතාම නරක පූර්වාදර්ශයකි. අපේ අසල්වාසීන් හා අප කෙටවීමේ කූටෝපායක් මේ පිටුපස නැතැයි කාට නම් සහතික විය හැකිද?

‘‘කබරයෝ ගැනයි, ඔෆීස් ගැනයි මිනිස්සු හින විදියටම මිනිස්සු ගැනයි, ඔෆීස් ගැනයි කබරයෝ හිතන් නෑ ඕයි!’’ – යළිත් ප‍්‍රති තර්කයකි. නමුත් තර්කයට පදනමක් තිබිණ. සරලවම කිවතොත් ඌ කබරයෙකි. අයාලේ යන්නෙකු හෝ මඟ වැරදුණෙකු ලෙස ඉබාගාතේ ගිය කබරයෙකි. උගේ ගමනට කිසිදු පූර්ව සැලැස්මක් හෝ අභිලාෂයක් තිබිය නොහැකි ය. සිතා මතා ඌ කාර්යාලයක් තුළට රිංගන්නට කිසිසේත් ඉඩක් නැත. ඒ නිසා ප‍්‍රති තර්කයට පදනමක් තිබිණ.

නමුත් කබරයා ඇතුළු දොර දෙසට විදාගත් ඇසින් ගෙබිම මැද නිසොල්මනේ දපා හුන්නේය.

ඌ කෙසේ හෝ ආපසු හරවා ඉදිරිපස දොර දෙසටම යැවිය හැකිනම් වැඩේ පහසු ය. ඌ දැන් මුහුණ ලා සිටින දිශාවෙන් අංශක එකසිය අසූවකින්ම උගේ දිශාව වෙනස් කළ හැකි නම් ඌ ඇතුළු වූ ඉදිරි දොර දෙසටත්, එතැනින් මිදුලටත්, පලවා හැරිය හැකිව තිබිණ. මිදුලෙන් ඌ ඕනෑ දිල්ලියක ගියාදෙන්!

නමුත් කබරයා ඇතුළු දොර දෙසට විදාගත් ඇසින් ගෙබිම මැද නිසොල්මනේ දපා හුන්නේය.

අපි විපිළිසරව බලා හුන්නෙමු. දවස පිළිබඳ අපේ සියලූ ඉදිරි සැළසුම් හරහා දැන් කබරයෙකු දපා හිදියි. මධ්‍යහ්න උණුසුමින් සුධා ගිනි ඇවිලේ. දාහය සියොළඟින් වැගිරේ. නමුත් අපේ සිතුවිලි ද, හැඟීම් ද, සංවේදනා ද අවුරා අයාලේ යන කබරයෙක් දපා හිඳියි.

අපේ කාර්යාලය හරහා එළුවන් ද, කුකුළන් ද, බල්ලන් ද, බළලූන් ද ඕනෑ තරම් දිනපතා එහේ මෙහේ යති. ඒ සියල්ලන් අපගේ කුළුණුබර අසල්වාසීන්ට අයත් ය. මුහුණට මුහුණ ලා එක මණ්ඩියට පිහිටි නිවෙස් පෙළට අයත් පොදු ගෙමිදුල් තීරුවේ සිට පිටුපසින් දිවයන දුම්රිය මාර්ගය කරා යා හැකි කෙටිම මඟ වැටී ඇත්තේ අපේ කාර්යාලය හරහා ය. අපේ ආචාරශීලී අසල්වැසියෝ අප මාසිකව කුලී ගෙවන කාර්යාලය හරහා ඇති ඒ කෙටි මඟ ආචාර ධාර්මික හේතු මතම කිසිවිටක භාවිතා නොකළහ. නමුත් එළුවන් ද, කුකුළන් ද, බල්ලන් ද, බළලූන් ද ආචාර ධර්ම නොතකයි. ඉතිරි කරගන්නා කාලය රන් හා සමාන බැව් දත් උහු දුම්රිය මඟ දෙපස කසළ කඳු කරා ඇති ඉක්මන්ම මඟ හැමවිටම නොපැකිළව භාවිතා කරති. නමුත් ඒ සියල්ල ඉවසිය හැකි ය. ඒත් දැන් හිටිහැටියේම ගේ මැද කබරයෙකි!

මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවට සැක නැත.

ප‍්‍රාතිහාර්යයන් සිදුවන්නේ කලින් නොදන්වා ය. අහම්බයන් දෙකක් හෝ වැඩි ගණනක් එක මත සම්පාත වූ විට අපි ඊට ‘වෙලාව’ යැයි කියමු. ඒ අර්ථයෙන් අපේ වෙලාව හොඳ විය. කබරයෙකුගේ ප‍්‍රාණ ඇපකරුවන් වී ජීවිතයේ ඉතිරි අඩ ගෙවන්නට නියමිතව තිබූ අපේ දෛවය අහම්බයකින් වෙනස් විණ.

දුම්රිය එන හඬ ඇසිණ.

රේල් පීලි කම්පනය වනවිට කාර්යාලයේ කවුළු වීදුරු සිහින් හඬින් දෙදරුම් කයි. මුළුතැන් ගෙයි තේ වීදුරු සෙමින් සෙළවේ. අනතුරුව ‘හූ’ හඬ ය. භූ චලනයක් බඳු කම්පනයෙන් කබරයාගේ ධ්‍යානය බිඳ වැටිණ. පළමුව වික්‍ෂිප්තව නිසොල්මන් වී සිටි කබරයා දෙවනුව ඉදිරියට බඩ ගෑවේය. පළමුව පියවරක් ද, දෙවනුව පියවර දෙකක් ද ආදී වශයෙනි. හාස්කමකි ! දැන් ඌ ඇතුළු කාමරයේ දොර පසුකොට මුළුතැන් ගෙයි ආරුක්කු දොරටුවට මුහුණ ලා නැවතී හිඳියි. මෙවන් තීරණාත්මක අවස්ථාවල දී අවශ්‍ය වන්නේ නොපසුබස්නා ධෛර්යයයි. අපි එක්වරම සිරව සිටි කාමරයෙන් පිටතට පැන ගතිමු. එය විශාල කාලගෝට්ටියක් බඳු ය. කබරයා හිස කරකවා බලන විටත් අප සිටියේ ඉදිරිපස කාර්යාල මේස මත ය. අසල්වාසීන්ගේ විසුළු සිනා හඬට වඩා කබරයාගේ වල්ගය තියුණු බව අප දැන සිටියෙමු. අනෙක් අතින් ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය ද්විතියික ප‍්‍රතිවිරෝධයන් හා පටලවා ගැනීම උපායික වැරැද්දක් විය හැකියැයි මා ඕ කියා ඇති බව කවුරුන් හෝ කීවේය. එහෙයින් අපි අසල්වාසීන්ගේ සිනා හඬ නොතකා මේස මතට වී ඝෝෂා කරන්නට වීමු. එය එකම ගෝත්‍රික සැණකෙළියකි:

‘‘ෂෝ….ෂෝ…ෂ්….ෂෝ….’’

‘‘හොයි…. හෝ….හෝ….’’

‘‘දුහ්… කබරයා…. දුහ්…. ෂෝ… ෂෝ…’’

නොසන්සුන් කබරයා මුළුතැන් ගෙයින් පිළිකනු මිදුලට බසින්නට හැකි සේ හොඳින් විවර දොරටුව දෙස ද, මේස මතට වී වියරුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන අප දෙස ද වරක් – දෙවරක් බැලීය. අපගේ එඩිතර අසල්වාසී ගෝත්‍රිකයන් පොල්ලෙන් ද, කෙවිටෙන් ද, මුගුරෙන් ද සන්නද්ධව අප ගලවාගනු පිණිස ගෙතුළට කඩා වැදුණේ හරියටම ඒ මොහොතේ ය. හිතවත් ග්‍රෝසරි හිමිකරුවා ඔළු හතරේ මකරාට එරෙහිව යුදවන් සිංහගේ ‘ටෝගා’ වැනි ය. පිට මැදට එල්ල වන නොනවතින දඬු මුගුරු පහරින් කබරයා විසඥව නොගියා පමණි. ඌ අනුකම්පාව යදින්නා සේ වියරුවෙන් දැඟලීය. කුස්සියේ සිට මිදුලට විහිදෙන අඩි හය හතක දුර එක් පියවරක් වුණි නම් ඌ ඒ මොහොතේ කෙතරම් කැමති වන්නට ඉඩ තිබුණි ද?

ඌ වියරුවෙන් මෙන් පලා ගියේය. පහර පිට පහර කමින් එක වරක් හෝ හැරී නොබැලීය. කෙතරම් නම් වේදනාවක්ද? දයා විරහිත මුගුරු පහරින් පැලී පිපිරුණු සමින් ලේ පැහැව ඇදුම් කන කම්පිත ඇතුළු හම මතු වී පෙණින. කකියන මස් ගොබ වසාගත් රළු සම වේගයෙන් උස් පහත් විය.

කෙතරම් නම් වේදනාවක්ද?

අපි ගැළවුණෙමු.

මේස මතින් බිමට බැස සව්දිය පුරන්නටත්, එකිනෙකා වෙත උණුසුම පළකරන්නටත්, පළමු විනාඩි කිහිපය වැය කෙරිණ. ග්‍රෝසරි හිමිකරුවා ද, කුණුහරුප සහ කුඩු කේඩු කමින් සජ්ජිත විශ‍්‍රාමික රේල්ලූ කම්කරුවාද, ඔහුගේ වාචාල භාර්යාව සහ දරු මුණුපුරන් ද හිටිහැටියේ අපේ සමීපතමයන් වූ අරුමය!

කබරයකුට එරෙහි නිර්මල ජගත් සන්‍ධානය!!

නමුත් කබරයා වේදනාවෙන් මිදුලේ ලැග සිටිනු කී දෙනෙකු දුටුවේද? ගැඹුරු වේදනාවෙන් පිරී ගත් ඒ බොර පැහැ දෑස්! ලැජ්ජාවේත්, වේදනාවේත්, ආත්මානුකම්පාවේත් කදුළු එහි තිබෙන්නට ඇත. කෙතරම් නම් දරුණු වේදනාවක්ද? ඇතැම් විට ඌ අපහසුවෙන් හැරී ප්‍රීති ඝෝෂා දෙස බලා සිටියා වන්නට බැරිද? මේ කුමන ප්‍රීතියක්දැයි ඌ සිතන්නට ඇත. තැලූ පිටසම මත වැවිරි නැඟ ලේ පිරී තිබුණාට සැක නැත. ඌ අපහසුවෙන් රේල් පාරට ගොඩවනු යමෙකු විසින් දක්නා ලදී. ඉක්බිතිව මතකයෙන් මැකී ගියා සේ විය. කබරයකු සිය දිවි නසාගන්නට ඉඩක් ඇත්තේද?

දිවා භෝජනය ජය සැමරුමකි. අනතුරුව දවස ගෙවී යාම ඇරඹුණි. කබරයකු විසින් අවුරා සිටීමෙන් නාස්තිව ගිය කදිම දවස! අපේ මතකයේ කුණු කන්දල්වලින් කබරයා වැසී යනවාට සැක නැත. එහෙත් වේදනාවෙන් පිරීගත් ඒ බොර පැහැ දෑස්….!

ඒ් සන්‍ධ්‍යාවෙන් පසු ද සන්සුන් රාත්‍රී එළැඹේ. සෑම සන්‍ධ්‍යාවක්ම එක වැනි ය. සිහින නොදකින්නේ නම් රෑ කල ඉතා කෙටි වේ. බොහෝ රැයවල් නිසල අඳුරු දිය තලයක් බඳු ය. වේදනාවෙන් පිරුණු බොර පැහැ ඇස් ඇති සෝබර කබරයන් මැදියම් සිහිනවල ගැවසේ. උහු නිසල රාත්‍රී දිය තලය වටරැළි නංවා සෙමින් කළඹති. අපි කිසිවෙකු ඒ ගැන කතා නොකරමු. ඒ දෛවෝපගත සත්ත්‍වයා අපගේ සියලූ අතීත මතකයන් ද, සිහිනයන් ද, අපේක්‍ෂාවන් ද අවුරා වැද හිඳියි.

කෙතරම් නම් වේදනාවක්ද?☐

රෝහිත භාෂණ අබේවර්ධන

http://www.jdslanka.org/s/

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)