නව කවි සයුරත නැගෙන තුරුණු තරංගය – තරංගා ලියනගේ

No Comment 34 Views

නව කවි සයුරත නැගෙන තුරුණු තරංගය -තරංගා ලියනගේ

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
ඉංග්රී සි සහ වාග්විද්යාග අධ්යෙනාංශය, ශ්රීව ජයවර්ධනපුර විශ්වවිද්යා ලය

 

“ඛේදවාචකය දකිමි. එහෙත් එහි ගැඹුරු සන්ත්රාෙසයෙන් කලබල නොවෙමි.”

වරෙක ඉන්දීය සිනමාවේදී සාජි එන් කරූන් එසේ ප්රදකාශ කළේ ය. තරංගා ලියනගේ නම් තුරුණු කිවිඳියගේ බොරපාට දේදුන්න කාව්යේ ග්රයන්ථය එකී ආලෝක ප්රතකාශය සිහිපත් කොට දෙයි. මන්ද තරංගා තමා අවට සිදු වන ඛේදයන් සුවිශිෂ්ට ලෙස කවියට නගන බැවිනි; ඉන් නොනැවත එකී ඛේදයන්ගෙන් මිදුණු වඩා යහපත් ලෝකයක් ප්රාකර්ථනා කරන බැවිනි.

තරංගාගේ කවියෙහි මධ්යව ලක්ෂය එකී අනවරත ඛේදයන් සිය කවියට හසු කරගැනීම ය. තමා ජීවත් වන සමාජ ක්රටමය තුළ පමණක් නොව ඉතිහාසය පුරා සිදු වෙමින් පැවත, වර්තමානය දක්වා නොනැවතී සිදු වන ඛේදයන් තරංගාගේ බොහෝ කවිවලින් අදිසි කටහඬක් ව මතු ව එයි.

බොරපාට දේදුන්නෙහි බොහෝ කවි හරහා තරංගා ප්රමබල ඓතිහාසික සංජානනයකින් යුතු ව ඉතිහාසය විනිවිද දකින්නී ය; අතීතයේ වැරදුණු තැන් ප්ර ශ්න කරන්නී ය. කුවේණි පිළිබඳ ව ඈ අතින් ලියැවෙන කවිය ඊට සනිදර්ශන ය. එය හුදෙක් කුවේණිය වෙත නැගෙන පැනයක් පමණක් නොවේ. ඉන්දීය සහ යුරෝපීය පුරුෂොත්තමාවාදී බලපෑමෙන් වැසී ගිය ලාංකික ස්ත්රීම ආත්මය විනිවිද දකින නිර්භය ප්රනකාශනයකි.

“සත්සියක් සිර කෙරූ කුමරිය
විජය දැක බිය වුණේ කුමටද?…
…නුඹේ යුතුකම් අතැර පැරදි
යක්ගලෙන් පැන මොකට මැරුණද?”

සත්සියයක් පුරුෂයන් සිරගත කරන්නට පමණ සවිමත් වූ කුවේණිය ඒ ශක්තිමත් ස්ත්රීැ ආත්මය පසු පරපුර වෙත ප්රමදානය කරනු වෙනුවට ස්වකැමැත්තෙන් පරාජය භාර ගැනීමේ ඛේදය මෙකවෙහි සමාප්ත පද පේළිවලින් දෝංකාර දී ඇසෙයි.

‘මම ජයම්පතී’ තරංගාගේ ඓතිහාසික සංජානනය හෙළි කරවන තවත් කවකි. කුස ජාතක පුවත තුළ පබාවතීට ද වඩා අසාධාරණයට ලක් වන්නේ පබාවතීගේ සැමියා ලෙස පෙනී සිටි මුත් ඈ අසළකටවත් ළං වනු නොහැකි වූ ජයම්පතී ය. මතු දැක්වෙන කවෙන් තරංගා හෙළි කරන්නේ කුස-පබා ප්රේිම වෘත්තාන්තය උත්කර්ෂයට නගන බොහෝ කවීන්ට මඟ හැරී ගිය ජයම්පතීගේ කටහඬ යි.

“රැයේ යහනත හිඳිනු ඇත නුඹ මවා මගෙ සිරුරත සිරී
ළයේ සෝකෙට නින්ද නොමැතිව දවාලයි මා හද ගිනී”

ප්ර ධාන ධාරාවෙන් අත්හැරෙන අවශේෂ චරිතවල සියුම් වේදනාවන් ස්පර්ශ කරන මෙකව සිද්ධාර්ථ නම් තරුණයාට දුරක සිට ආදරය කළ කිසාගෝතමී ගැන ලියැවුණු වින්ද්යාෂ ආරියරත්නගේ පහත කව සිහි ගන්වයි.

“ඈ ඔබේ අත අත්නෑර
සංසාරයක් දිග මාවතක පියනගන විට
ඇවිද ආවෙමි මම ද
එකදු කවියක් හෝ නොලියවෙන්නට නියමිත
ගොළුව ගිය ප්රේ මය දරා ගෙන
ඔබෙ පසුපසින් පියනැගුම නම් වන
සසර බිහිසුණු ගින්න
තවත් නම් ඉවසිය නොහැක!
හිමියනි
ඔබ සොයා ගිය ඒ නිවෙන මග
යම් දිනෙක මට ද පවසන්න!”

‘දිසාපාමොක් පසුතැවෙන්නැති’ කවිය ද ඉතිහාසය යළි කියැවීමෙහි ලා වන තරංගාගේ ශක්ය තාවට සනිදර්ශන ය. සිය ජීවන සහකරු තෝරා ගැනීමේ අයිතිය පවා අහිමි කරවන ලද මනමේ කුමරිය ව තරංගා සාධාරණීකරණයට ලක් කරන්නී ය. මනමේ කුමරුගේ බිරිඳ වූ නිසා ඈ මනමේ කුමරිය වූවා මිස මනමේ යන ආමන්ත්රවණයෙන් ඇයට නිවහල් අනන්යණතාවක් නොලැබෙන බව දන්නා තරංගා සමස්ත කවිය තුළ එක වරකුදු මනමේ යන වචනය භාවිත කොට නැත. ඈ දිසාපාමොක්ගේ දියණිය හෙවත් පුරුෂෝත්තමාවාදී සමාජ ක්රතමයේ නිෂ්පාදනය යි. නූතන ඉංග්රීනසි සාහිත්යඈ විචාරය තුළ අනවරතයෙන් සාකච්ඡාවට ලක් වන Objectification of Women නොහොත් ගැහැණිය වාස්තවීකරණයට ලක් කිරීමේ ඛේදය, “දුවණි දුනි තෑග්ගට” යන්නෙන් ගම්යcමාන ය. කවිය අවසානයේ පසුතැවෙන දිසාපාමොක් යනු සමස්ත පුරුෂෝත්තමවාදී පුරුෂාර්ථ කුලකය යි. පර වී වැටෙන වන මල්ද, ළය පැළී මියෙන හිමගිර ද සංකේතවත් කරන්නේ එකී පුරුෂාර්ථ විසින් පරම්පරා ගණනාවකට ඉතිරි කොට ගොස් ඇති ඛේදය යි.

එකවෙන් ම තරංගා තවත් බරපතළ ප්රිශ්නයක් නගන්නී ය
.
“යුධ සටන් ශිල්ප ක්රාම උගත මුත් නිසි ලෙසට
ඇත්තමයි ප්රේ මයට එය ම විතරක් ඇද්ද?”

ඒ ප්රයශ්නය යොමු වන්නේ දිසාපාමොක් විසූ සමාජයට පමණක් නොවේ. සික්ස්-පැක්ස්වලින් ද, රැකියාවෙන් ද, සමාජ ස්තරයෙන් ද මනාලයන් තීරණය කරනා වර්තමාන සමාජයට ද එය අදාළ ය. එසේ ම තරංගා ‘ඔහුගේ ඇය’ නම් කවියෙන් යාන-වාහන, ඉඩකඩම්, රුවගුණ සහ කුලගොත යන බාහිර සාධක මත මනාලියන් තෝරා ගන්නා තරුණයන්ට ද සෝපාහාසයෙන් සිනාසෙන්නී ය.

බොරපාට දේදුන්න ආකෘතිමය වශයෙන් වෙසෙසි වන්නේ තරංගා එක් ආකෘතියකට සීමා නොවී ආකෘතීන් රැසක් අත්හදා බලා ඇති බැවිනි. ‘තාත්තා’ නම් කවිය කෙටි කාව්යාකකෘතියක් තුළ මනරම් ව එළිසමය රකිමින් කළ නිර්මාණයකි. මතු දැක්වෙන කවිය ද එබඳු ය.

“කන්ද පසුකර ඇවිත්
හිතුමතේ ගැලුවාට
ගංගාව කියන්නෙ ම
දිය ඇල්ලෙ මළගමට”

විවිධ දේශපාලන – ආගමික – සංස්කෘතික ප්ර වාහයන් තුළ දිය වී යන පුද්ගල ස්වීයත්තය පිළිබඳ කියැවුමක් ලෙස එකව කියැවිය හැකි ය. තමා යම් දේශපාලන පක්ෂයකට – ආගමකට හෝ කුලයකට අයත් ලෙස හඳුන්වා ගැන්මෙන් බොහෝ දෙනා විසින් සිය චින්තනය ස්වයං මරණයකට පත් කර ගැනීමේ ඛේදය, ගංගාව තුළ සැඟව ගොස් තමා අහිමි කරගන්නා දිය ඇල්ලෙන් සංකේතවත් කොට ඇතැයි හැඟෙයි. තවත් කෝණයකින් බලන කල ප්රේ මය හෝ විවාහය තුළ තමාට තමා අහිමි කරගන්නා ලාංකේය ස්ත්රිඇයගේ කටහඬ ද මෙකවෙන් ම නිස්සරණය කරගැන්මට පිළිවන.

තවත් කෙටි කවක් වන ‘ඇස් – මස්’ හරහා තරංගා කතා කරන්නේ සම්මුඛ වූ ඇස්වලින් බුද්ධිමය සංවාදයක යෙදෙනු වෙනුවට පිටුපා යද්දී ඇඟ මසට ලොබ බඳින තරුණ පරපුරක ඛේදය යි. එකී කව ‘බොහීමියානුවා’, ‘සහෝදරයා’ ආදී විශිෂ්ට ටෙලි නිර්මාණ බිහි කළ නාමල් ජයසිංහ නම් ප්රපතිභාපූර්ණ නිර්මාණකරුවා විසින් වරෙක කරන ලද ප්‍රකාශයක් සිහිපත් කරවයි. ඔහු පවසන්නේ ශාරීරික වුවමනාවන් අභිභවා ආදරය කළ යුතු වග යි. සත්ත්ව ගුණය ඉක්මවා යන්නට නම් ලිංගිකත්වයෙන් එහා ගොස් අප අවට වෙසෙන ස්ත්රී් පුරුෂයන් දෙස දයාවෙන් ද, කරුණාවෙන් ද මිත්රනත්වයෙන් ද බැලිය හැකි දෑසක් අප සතු විය යුතු බව යි. එකී අදහස වඩා ප්රවබල ලෙස සමාජගත කරන තරංගා ශරීර අතර වන ගනුදෙනු වෙනුවට උසස් මානව සබඳතා වෙත විතැන් වීමේ අවැසිතාව අවධාරණය කරන්නී ය.‍

බොරපාට දේදුන්න ගෙනෙන තරංගා විදුදය සරසවියේ විද්යාවර්ථිනියකි. විදුදැයෙන් බිහි වූ ජගත් ගාමිණී මාවතගම, යසනාත් ධම්මික බණ්ඩාර, වසන්ත කුමාර කොබවක, සුමින්ද කිත්සිරි ගුණරත්න, ප්රබදීපා සේරසිංහ, රුවන් බන්දුජීව, සුධර්මා ජයසෝම, දමිත් නිරෝධ අත්තනායක, වින්ද්යාක ආරියරත්න ආදී සුවිශිෂ්ට නිර්මාණකරුවන් ඇවිද ගිය මාවතේ අලුත් පිය සටහන් තබන්නියකි. තමා විශ්වාස කරන යහපත උදෙසා පෙනී සිටින ආලෝකයේ රණකාමිණියකි. කොන්දේසි විරහිත ප්රේිමය ගැන විශ්වාසය තබන යෞවනියකි. වඩා හොඳ දේශයක් උදෙසා සිය පෑන මෙහෙයවන්නියකි.

ඉතින් තරංගා හෙට දවසේ සිය මග වඩාත් හෙළි පෙහෙළි කරගනිමින් වඩා උස් තරංගයක් ව නැගෙන තෙක් අපි බලාපොරොත්තු සහගත ව බලා හිඳිමු.
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
ඉංග්රී සි සහ වාග්විද්යාග අධ්යෙනාංශය, ශ්රීව ජයවර්ධනපුර විශ්වවිද්යා ලය

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)