පහුරුමුල්ලේ මුළු ගැන්නූ ඇල්බට් සිල්වාගේ කතාව – රේඛා නිලුක්ෂි හේරත්

No Comment 11 Views

බෙන්තොට පහුරුමුල්ලේ කෙළවරක පුංචි නිවෙසක් තියෙනවා. ගමේ පැරැුන්නන් බොහෝ දෙනෙකුට අනුව එතැන තමයි තැන. එතැන තමයි එක්දහස් අටසිය ගණන්වල ඇල්බට් සිල්වා මහත්තයා ජීවත්වුණේ. ඇල්බට් සිල්වා කියන්නේ කවුදැයි අප බොහෝදෙනෙකු දන්නේ නැහැ.
ලංකාවේ මුල්ම කාලීන ලේඛකයෙන්ගේ ජීවිත ගැන මඳක් සොයාබලා, ඔවුන්ගේ සාහිත්‍ය භාවිතාව ගැන සෙවීමේ ඉලක්කයක් සමඟ අප පහුරුමුල්ලට ගිය ගමනේදී තිබුණා. එවැනි සොයාබැලීමක් කරන්නේ ඇයි. විටෙක කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකියි.
පියදාස සිරිසේන ගැන අප දන්නවා. සිංහල නවකථාවේ පියා යන ගරු ගාම්භීර යෙදුම පාවිච්චි වෙන්නේ පියදාස සිරිසේන මහතාට අදාලවයි. පියදාස සිරිසේන මහතා නවකතා යැයි හැඳින්විය හැකි අන්දමේ කෘති මුලින්ම ලියා තිබෙන බව පසුකාලීනව බිහිවූ සිංහල විචාරකයන් හඳුන්වනවා. සිරිසේන මහතාගේ කෘතිවල මූලිකව ඇත්තේ සිංහල භාෂාව, සංස්කෘතිය හා බෞද්ධාගම උත්කර්ෂයට නැංවූ මාතෘකායි. පියදාස සිරිසේන මහතාගේ කතාන්දර ඒ කරුණු කාරණා වෙනුවෙන් ලියූ ප‍්‍රචාරක ව්‍යාපෘති වගෙයි. ප‍්‍රචාරක දැන්වීම් වගෙයි. නවකතාවක් ලියන නවකතාකරුවෙකුගේ අරමුණකට වඩා ධර්ම ප‍්‍රචාරක කතාවක් කියන කෙනෙකුගේ අරමුණුවලට පියදාස සිරිසේන මහතාගේ කතාන්දර සමීපයි. ඒ නිසාම ඇතැම් විචාරකයන් ඔහු සිංහල නවකතාවේ පියා ලෙස හඳුන්වන්නටත් අකැමතියි. සිරිසේන මහතා බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේද ප‍්‍රමුඛයෙක්.
පියදාස සිරිසේන මහතා සිය මුල්ම නවකතා කෘතිය වූ ජයතිස්ස හා රොසලින් පළ කර තිබුණේ 1906 දීයි. නවකතාවේ ප‍්‍රමුඛයා ලෙස පියදාස සිරිසේන මහතාගේ නම ඉදිරියට ආවත්, ඔහුට පෙර සිංහලෙන් කතා ලියූ ‘සිල්වා‘ යන වාසගම තිබුණු ලේඛකයන් තුන්දෙනෙක් ඉන්නවා. අයිසැක් ද සිල්වා, ඇල්බට් සිල්වා සහ සයිමන් ද සිල්වා.
ක‍්‍රිස්තියානි ධර්මයේ ප‍්‍රචාරය වෙනුවෙන් 1888 දී ‘වාසනාවන්ත පවුල හා කාලකණ්නි පවුල‘ නම් කෘතිය ලියා තිබුණේ අයිසැක් ද සිල්වා මහතා නම් ලේඛකයායි.
ඇල්බට් ද සිල්වා මහතා විසින් 1892දී පළකරන ලද ‘විමලා’ නම් කෘතියේ කතාන්දරය කීර්ති ශ‍්‍රී නිශ්ශංකමල්ල රාජ සමයට අයත් කතාවක් බව කියනවා. ඇල්බට් ද සිල්වා මහතාගේ විශේෂත්වය කුමක්ද? ‘නවල්‘ යන ඉංග‍්‍රීසි වචනයෙන් තමන්ගේ කතාන්දර කෘති හැඳින්වූ පළමු සිංහල ලේඛකයා ඇල්බට් ද සිල්වා මහතා වීමයි. එහෙත් ඔහු ඒ වචනය සිංහලයට නඟා තිබුණේ ‘අමුතු කතා‘ යන වචනයෙනුයි. අනෙක් අතට විචාරකයන් කියන්නේ ලොව එතෙක් ප‍්‍රකටව පැවති නවකතා ආකෘතියෙන් ඇල්බට් ද සිල්වා මහතා ආභාසය ලබා නැති බවයි. ඒ වෙනුවට පැරණි සිංහල සාහිත්‍ය කෘතිවලින් ආභාසය ලැබූ ගද්‍ය ආඛ්‍යානයක් ලෙස ඔහුගේ විමලා හඳුන්වනවා.
පියදාස සිරිසේන මහතාගේ කතාන්දර නවකතා ලෙස හැඳින්විය හැකිද නැද්ද යන්නත්, ඇල්බට් සිල්වා මහතාගේ කතාන්දර අයත් වන්නේ කුමන ශානරයටද යන්නත් අපට විග‍්‍රහ කළ නොහැකියි. දැනටමත් මාටින් වික‍්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ආරිය රාජකරුණා ආදි ලේඛකයන් ඒ නවකතා ගැන විග‍්‍රහ කර හමාරයි.
එහෙත් ඇල්බට් සිල්වා මහතා ලංකාවේ ලේඛකයන් අතර පුරෝගාමියෙකු බව පැහැදිලියි. ඉතින්, ඔහු දිවිගෙවූ පෙදෙසට ගොඩබහින්නට නොතිත් ආශාවක් අපේ හිත් තුළ තිබුණා.
පියදාස සිරිසේන මහතා මෙන්ම ඇල්බට් සිල්වා මහතා ජීවත්වුණේත් බෙන්තොට. අප වතාවක් බෙන්තොට පහුරුමුල්ලේ ඇල්බට් සිල්වා මහතා ජීවත්වූ ප‍්‍රදේශය සොයා ගියා. ඇල්බට් සිල්වා මහතා ජීවත්වූ නිවෙස තිබෙනවාද නැද්ද කියා සොයන්නට අපට සිතුණා. අප පහුරුමුල්ලට ගියේ ඒ වෙනුවෙනුයි.
බෙන්තොට තමයි බස්නාහිර පළාතේ දකුණු කෙළවර. බෙම් නදිය මුහුදට වැටෙන ඉසව්වේ, නදියට මායිම් වෙන්නට පහුරුමුල්ල පිහිටා තියෙනවා. බෙම් නදිය දිගේ පහළට ආ පහුරු නැවැත්වූ තැන පහුරුමුල්ල ලෙස හැඳින්වූ බව කියනවා. එසේ නැත්නම් බෙම් නදියේ ඇති කඩොලානවලින් පසුරු ලෙස එළියට නෙරා තිබෙන මුල් නිසා පහුරුමුල්ල යන නම වැටුණා වෙන්නටත් පුළුවන්. ඒ දෙකම මුල් කරගෙන කිසියම් වියතෙක් පහුරුමුල්ල යන නම යෙදුවා වෙන්නත් පුළුවන්.
මේ ඉසව්ව පරම්පරාවෙන්ම බුද්ධියට හා අධ්‍යාපනයට වටිනාකමක් දුන් මිනිසුන් පිරිසක් ජීවත්වූ පෙදෙසක් ලෙස හැඳින්විය හැකියි. ඇල්බට් සිල්වා මහතා ජීවත්වූ කාලයේදී ලංකාවේ පැරණි පුවත්පත් ආදිය බලද්දී මේ ප‍්‍රදේශයෙන් පුවත්පත්වලට ලිපි සැපයූ උගතුන් බොහෝ දෙනෙකුගේ නම් ගම් දැකගත හැකියි. පියදාස සිරිසේන හා ඇල්බට් සිල්වා යනු ඒ බොහෝදෙනා අතරින් දෙදෙනෙකු පමණයි. අලූත්ගමගේ සයිමන් ද සිල්වා මහත්තයාත් මේ ප‍්‍රදේශයේම අසල්වැසියෙක්.
පහුරුමුල්ලේ පැරැුන්නන් ඇල්බට් සිල්වා මහතා හඳුනන්නේ කවියෙකු ලෙසයි. නවකතාවට මුල් සැපයූ ලේඛකයෙකු ලෙස ගම්වාසීන් ඔහු හඳුනන්නේ නැහැ. තමන්ට පෙර පරම්පරාවේ උදවියගෙන් අසා දැනගත් කතාන්දර අනුව ඇල්බට් සිල්වා මහතා තලෙලූ පැහැ ඡුවි වර්ණයකින් යුක්ත ලේඛකයෙකු ලෙස ගම්වාසීන්ගේ සාමූහික මතකයේ බොඳවෙමින් පවතිනවා. උඩු රැුවුලක් සහ යටි රැුවුලක් ඔහු වවා සිටි බවත්, පෙනුමෙන් තේජාන්විත බවත් ගම්වාසීන් කියනවා.
ඔහු පහුරුමුල්ලේ, බෙම් ගඟ අසබඩ ඇති පුරාණ රජමහා විහාරයේ සීමාව අසල ජීවත්වූ බව කියනවා. ඔහු සිටියායැයි කියන පැරණි නිවෙසක්ද අද දකින්නට තියෙනවා. ඒත් ඇතැම් ගම්වාසීන් කියන්නේ එය ඔහුගේ නිවෙස නොවන බවයි. ඊට එහායින් ඇති නවීන මධ්‍යම පන්තික නිවාස කිහිපය හා හෝටල් තනා ඇත්තේ ඇල්බට් සිල්වා මහතාගේ නිවස තිබුණු තැන බව ඇතැමුන් කියනවා. කෙසේවෙතත් රජමහා විහාරයට පහළින් ඇති පුංචි නිවෙසේ ඡුායාරූපයක් අප ගත්තේ, එයද සියවසකට එහා පැරණි නිවෙසක් බව බැලූ බැල්මෙන්ම පෙනුණු නිසායි.
ඔහුගේ ළිඳ ගැන පැරණි ගම්වාසීන් අසා තිබෙනවා. පුරාණ රජමහා විහාරයට පහළින් ඇති ඒ ළිඳෙන් නියං කාලවල ගම්වාසීන් ජලය ලබාගත් බව පැරැුන්නන් කියනවා. එය කිසිම නියඟයකින් සිඳී නොගිය බව ඔවුන් කියනවා. අපේ ඡුායාරූපයට නැඟුණු නිවෙසට පසුපසින් ඇත්තටම ගැඹුරු ළිඳක් තියෙනවා.
ඇල්බට් සිල්වා මහතා ‘විමලා‘ නම් සිය පළමු නවකතාව ලියා තිබුණේ 1892 වර්ෂයේදීයි. ඔහුගේ පියා පහුරුමුල්ල වසමේ ගම්මුලාදැනි තනතුර ඉසිලූ කේ.පී. අරුනෝලිස් සිල්වා ගුණසේකර. මව අප්සාරච්චිලාගේ උන්ගෝ හාමිනේ. පහුරුමුල්ලේ ‘ලංසි පල්ලිය‘ යන නමින් ප‍්‍රකට වූ ද්විභාෂා පාසලේ ඇල්බට් සිල්වා මහතා අධ්‍යාපනය ලැබූ බව කියනවා. පාලි, සංස්කෘත හා ඉංග‍්‍රීසි භාෂාවලින් ඔහු විස්කම් දැක්වුවාලූ. පසුකාලීනව ඔහු කෝට්ටේ මිෂනාරී පාඨශාලාවට ඇතුළුවී ඉංග‍්‍රීසි හා ලතින් භාෂා වැඩිදුර හැදෑරුවාලූ. ඉන්පසුව බම්බලපිටිය උසාවියේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ බව සඳහන් වෙනවා. පුවත්පත් හා සඟරා ආදියට ඔහු ලිපි සපයා තියෙනවා.
පස්දුන්කෝරළයේ මුදලි (මුඞ්ලියර්* කාර්යාලයේ ඔහු රැුකියාවක් ලබා තියෙනවා. ඒ කාලයේදී පුවත්පත්වලට ලිපි සැපයූ ලේඛකයෙකු ලෙස ඔහු ප‍්‍රකටව සිටියාලූ. එලෙස පුවත්පත් කලාවේ මිතුරන් ආශ‍්‍රය කළ ඔහුට ‘දිනපතා ප‍්‍රවෘත්ති‘ පුවත්පතේ සහාය කතුවරයා ලෙස පත්වෙන්නට ආරාධනා ලැබී තිබුණා. ඔහු පුවත්පත් කලාවට ඇවිත් තිබුණේ ඒ ආකාරයටයි. ඒ කාලයේදී පරිවර්තන, සඟරා සංස්කරණය වගේම මුල්ම කාලයේ සිංහල සාහිත්‍ය සංවාද හා විවාදවලට ඔහු සක‍්‍රිය දායකත්වයක් දී තිබෙනවා. ඒ සියල්ල දෙස බලද්දී ඇල්බට් සිල්වාව අප අමතක කළත් නූතන සිංහල සාහිත්‍යය ගොඩනැඟීමෙහි ඔහු දැවැන්ත කාර්යභාරයක් කර තිබෙනවා.
මිනුවන්ගොඩ අඹගහවත්ත ප‍්‍රදේශයේ ඔහු පසුකාලීනව පදිංචිව සිටි බව කියනවා. 1888දී ඔහු ලියූ මුල්ම කෘතිය ‘පන්දු කෙළිය‘ නම් වුණා. 1892 වර්ෂයේදී ඔහු නවකතාමය ගුණාංග තියෙන ‘විමලා‘ නම් කෘතිය පළ කළා. පසුව වෙසක් ¥තයා, සිරිබරී ආදි නවකතාලීවා. අරාබි නිසොල්ලාසයේ පළමු කාණ්ඩය පරිවර්තනයක් ලෙස 1892 වර්ෂයේදීම පළ කළා. එය ඔහුගේ ප‍්‍රසිද්ධම කෘතියක් වුණා.
කව්මිණි කළඹ, වෙසක් කවි, සුභාෂිත දර්ශන, රසබස් කොරවක්, ආදර හසුන, කෙළිදෙවි මල්දම, ගණිත ගැටය, අනිත්‍ය දර්ශනය, සූකර ජාතක කාව්‍ය, ගණදෙවි හෑල්ල, වදන්කවි පොත, සුභාෂිතය ආදි කෘති ඔහු සංස්කරණය කර තිබෙනවා. ඔහු සංදේශ කාව්‍ය කෘති පහක් සංස්කරණය කර තියෙනවා. මලිති, රේරු, කොරවක්, වැහිලිහිණි හා බටකුරුලූ යන සංදේශ කාව්‍ය ඒවායි. ඒ සංදේශ කාව්‍යවල සිටින කුරුල්ලන් පහුරුමුල්ලේද නිතර දැකගත හැකියි.
ඇල්බට් සිල්වා 1919 වර්ෂයේදී මැලේරියා රෝගයට ගොදුරු වී මියගිය බව කියනවා. ඔහු විවාහ වී නැති නිසා ඔහුට දරුවන් නැති නමුත් ඥාති පරම්පරා අදටත් ජීවත්වෙන බව කියනවා. කොහොම වුණත් අප පහුරුමුල්ලට ගිය ගමනේදී ඔහුගේ ඥාතීන් සොයාගන්නට හැකිවුණේ නැහැ.
බි‍්‍රතාන්‍යයේ, ප‍්‍රංශයේ මෙන්ම රුසියාවේද සාහිත්‍ය පුරෝගාමීන් ලියන්නට, කියවන්නට පාවිච්චි කළ මේස ආදිය පවා සාහිත්‍යලෝලීන් සංරක්ෂණය කර තබා ඇති බව අප අසා තිබෙනවා. ලේඛනය වෘත්තියක් කරගත් අපට පවා නොදන්නා හුයකින් මේ පැරණි ලේඛකයන් හා සම්බන්ධයක් ඇතැයි හැෙඟන හින්දාම ඒ ලේඛකයන්ගේ මතකයන් කෞතුක වස්තූන් ලෙස දකින්නට නැතිවීම ගැන කනගාටුවක් තියෙනවා.
මීට කාලයකට පෙර ඇල්බට් සිල්වා මහතාගේ මතකයන් සොයායන්නට ඔත්තුව දුන් තොම්සන් වැන්දබෝනා නම් ප‍්‍රවීණ පරිවර්තකයා ජීවිතයෙන් සමුගත් බව අපට මෑතකදී අසන්නට ලැබුණා. පහුරුමුල්ලේදී අපට ඇල්බට් සිල්වා මහතා ගැන කතාන්දර කියූ ගම්වාසීන් බොහෝදෙනෙකු දැන් ඉතා වියපත් පුද්ගලයන්. ඔවුන්ගෙන් පසු පරම්පරාවට ඇල්බට් සිල්වා කෙනෙකු අදාල නැහැ. බෙන්තොට අද්දර තිබුණු බුද්ධිමය සම්ප‍්‍රදායන්ට අද වටිනාකමක් නැහැ. ඒ නිසා ඇල්බට් සිල්වා වැනි ලේඛකයන්ගේ කතාන්දර ආරිය රාජකරුණා, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ලේඛකයන්ගේ විචාර පොත්පත්වල සැඟවී තියේවි.
බෙන්තොට සංචාරක කර්මාන්තයට ඒ බුද්ධිමය සම්ප‍්‍රදායෙන් කිසිම වැදගම්මක් නැහැ. සුද්දෙකු අන්දා කීයක් හරි හොයාගැනීම සංචාරක කර්මාන්තයේ මූලික වුවමනාව බව අපට හැඟුණේ නැවත එන්නට බෙන්තොට දුම්රියපළට ගිය මොහොතේදී කෙටි ගමනක් ආ විදේශිකයෙකුගෙන් ත‍්‍රීවීල් රියැදුරෙකු ඉහළ මිලක් අයකරන්නට උත්සාහ කරද්දී විදේශිකයා ඒ මිල අධිකයැයි තර්ක කරන අන්දම දකිද්දීයි.

 

උපුටාගැනීම  www.anidda.lk

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)