සිසිර රැය – සුනිල් විජේසිරිවර්ධන

No Comment 91 Views

පස්තර්නාක් කවියාගේ ‘සිසිර රැය’ නම් කවිය ( පරිවර්තනය ) ඔබ සමග බෙදා ගන්නෙ හසිත අබේවර්ධන මිතුරාගේ ඉල්ලීමටත් ප්‍රතිචාරයක් වශයෙන්. මෙය යූරි ශිවාගෝ ගේ කවි නමින් ශිවාගෝ නවකථාව කෙළවර පාඨකයාට හමුවන කාව්‍ය සමුච්චයට අයත් කවියක් . පස්තර්නාක් වැනි කලාකරුවෙක් ප්‍රකාශන නිදහස සම්බන්ධයෙන් මෙවක මුහුණ දෙන දුෂ්කරතා , අනතුරු , දඩයම් ගැන කරන ඉඟි පරිස්සමින් ඔබ කියෙව්වොත් මෙම කවියේ යටි තලයේ අඳුන ගන්නට පුළුවන්; රැය පුරා නොකඩවා දැවෙන ඉටිපහන නිර්මාණ ශ්‍රමයට සම්බන්ධයි . ‘සිසිර රැය’ යන රූපකය ම මේ සන්දර්භය තුළ අරුත් බරයි . තව ලොකු කතන්දරයක් මෙතන තියෙනවා ; කියවා බලන්න . ****
**

සිසිර රැය

බෙදුම් මායිම් මැකී හැම
සුදුය සුදුය මුළු පොළොවම
ඉටිපහන දැවුනි මේසය මත
ඉටිපහන දැවුනි

**
ගිමත් කල මෙරු රංචු
ඇදෙන මෙන් ගිනි දැල්ලට
හිම කැරලි ඇදෙයි මිදුලින්
කවුළු රාමුව මැද්දට

**
හිම සුළි කදා තල උඩ
අඹයි ඊතල හා කව
ඉටිපහන දැවුනි මේසය මත
ඉටිපහන දැවුනි

**
සුද දිළෙන සීලිම පිට
පතිත වෙයි දික් සෙවනැලි
බැඳි දෙඅත් , හරස් කළ දෙපා
ඉරණම හරස් පාරක

**
හිම පාවහන් යුගලක්
වැටෙයි බිම හඬ නගමින්
හැලෙයි කඳුලැලි ඇඳුමට
ඉටි පහන් සිරසින්

**
ධවල තුසර ඝන මිහිදුම්
අඳුර තුළ ගිලෙයි හැම දෙය
ඉටිපහන දැවුනි මේසය මත
ඉටිපහන දැවුනි

**
නල රොදක් පිඹියි දැල්ලට
සුරදුවක් දිගාරින මෙන් තටු
පෙළඹුමක තාපය විහිදෙයි
කුරුසාකර හැඩයෙන්

**
පෙබරවාරිය පුරා හිම වැහි
නොකඩවා එක දිගට,
ඉටිපහන දැවුනි මේසය මත
ඉටිපහන දැවුනි

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)