කුමීගෙ උපන්දිනේ…. වීනාවී සුලක්ඛණා

No Comment 54 Views

ලස්සනම ලස්සන අලුත් දවසක්. ….. හිමීට ඇහැ ඇරපු පුංචි කහ පාට මල් සේරොගේම පිණි වැටිලා..මල් හීතලෙන් වෙවුලනවා… ඒ මල් බලාගෙන හිටියෙ ඉර මාමා එනකල් අවුව ටිකක් තපින්න.. කුමී මේ දිහා එයාගෙ ගෙදර කුස්සියේ ජනෙල් කවුලුවෙන් බලාගෙන ඉන්නවා….
කහ මල් ගමේ ඉන්න පුංචි හුරතල් ගෑණු ළමයෙක් මේ විදියට එයාල දිහා බලාගෙන ඉද්දි මල් වලට දැණුනෙ ලොකු ආඩම්බරයක්…
” කුමී…. මෙන්න කෑම එක ලෑස්තියි….. ගොවිපළට ගිහින් මේක තාත්තට දීල එන්න….”
කුමී මෙච්චර වෙලා බලාගෙන හිටියෙ අම්ම මේ වචන ටික කියනකල් තමයි… එයා බත් එක අරගෙන එක පිම්මෙ දුවන්න පටන් ගත්ත.. එයා කොයි තරම් වේගෙන් දිව්වද කිව්වොත් එයාගෙ කොන්ඩෙ බැදල තිබ්බ පීත්ත පටිය සුළගෙ පා වෙනවා හරියට සරුංගලයක් වගේ… එයාගෙ රෝස පාට කම්මුල් සෙළවනවා… හීතලම හීතල හුළඟ කපාගෙන දුවන මේ පුංචි කෙල්ලගෙ දිවිල්ල නතර වුණේ ගොවිපලේ දොර ගාවට ගිහිනුයි.
” අප්පච්චි … බත් එක….”
එහෙම කියපු කුමී ආයෙමත් හැරිලා දුවනවා. අප්පච්චි අහපු මොනවදෝ හුළඟෙ පාවෙලා ඇවිත් යාන්තමට කුමීට ඇහෙද්දිත් එයා සෑහෙන දුරක් දුවලා.
අලුත් ඉර මාමගෙ දිස්නෙ ගහන හිනාව , කහ මල් යායෙ දගලන පුංචි පුංචි සත්තුන්ගෙ කුරු කුරු සද්ද, විලේ නෙලුම් කොල අස්සෙ ඉන්න බක බක උන්නැහේලගෙ දගවැඩ
ඒ ඔක්කොම කුමීට අද මතක නෑ.
කුමී කුස්සියේ දොර ලඟ නතර වෙලා හති දමමින් මහන්සි අරිනවා.
“කුමී ඔය තරම් ඉක්මනට…. අප්පච්චිට බත් එක දීලද ආවේ… ”
“ඔවු ඔවු… අම්මේ අම්මේ කියන්නකෝ ඔයාට අද දවස මතකද…?”
කුමී කිසිම ඉවසිල්ලක් නැතිව මෙච්චර වෙලා අහන්න හිතාගෙන හිටපු එක අම්මගෙන් ඇහුවේ අද ලස්සනම ලස්සන දවසක් කරන්න පුළුවන් හොදම කෙනා අම්ම බව දන්න නිසයි
කුමී එහෙම කියද්දි අම්ම හිනාවෙලා කුමී දිහා බලාගෙන හිටියා. හරියට මෙහෙම කියනවා වගේ ” මුලු ලෝකෙටම අමතක වුණත් ඒ දවස මට අමතක වෙන්න නෑ දුවේ…”
ඒත් කුමීට හිතුනෙම අම්මට අදනම් කුමීගෙ උපන් දිනේ අමතක වෙලා කියලයි.
කුමීට මටක තියෙන හැම උපන්දිනයකම එයාගෙ පුංචි ගේ දිලිසෙන කඩදාසි වලින් , රතු පාටට , කහ පාටට , නිල් පාටට , තැඹිලි පාටට පිම්බුණු බලුම් බෝල වලින් සරසන්න අම්මට අමතක වුනේ නෑ…
ඒ විතරක් නෙවෙයි එයාගෙ යාලුවෝ ඔක්කොම උදේ පාන්දරම පුංචි පුංචි තෑගි ,කහ මල් අරගෙන කුමී බලන්න ආව ඒ හැම උපන්දිනේකම..
ඒත් අදනම් ඒ කිසිම දෙයක් නෑ
” අද අම්මට අමතක වෙලා වගේ මගේ උපන්දිනේ මතක් කරන්න යාලුවන්ට…”
කුමීගෙ පුංචි හිතට ලොකු දුකක් දැනුණා.. කුමීගෙ ලස්සන ඇස් දෙකේ පුංචි කදුළු බිංදු දෙකක් දිලිසෙනවා.
කුමී දුවගෙන ගිහින් කහ මල් යායේ වැතිරුණා. එයාට මතක් වුණා හැම උපන්දිනේකම එයාගෙ යාලුවො පිලිගන්න අම්ම කියන සිංදුව..
” දිලිසි දිලිසි හිනාවෙනා සුරන්ගනාවියෝ
බැබළි බැබළි පියාසලන රන් සමනලයෝ
මගෙ කුමීගෙ උපන්දිනේ සුභ පැතුම් අරන්
ඇවිදින් පිළිගනිමු සැම දෙනාම ආදරෙන්… ”

 

කුමී ඇස් දෙක වහගෙන ගොඩක් දුකින් එයාට මතක තියෙන හැම උපන්ඩිනයක් ගැනම කල්පනා කළා.
” මම දැන් ඉන්නේ හුගක්ම දුකින්.. අනේ හිම කුමාරිට වගේ මටත් සුරංගනාවියක් වත් ඇවිත් ලස්සන ඇදුමක් මවල දෙනවනම්…මටයි මගේ යාලුවන්ටයි සාදෙකුත් එක්ක….”
එයා එහෙම හිතමින් ඉද්දි තමයි කවුරුද ඇවිදින් එයාගෙ ඔලුව අත ගෑවේ. ඔයාල හිතන්නේ ඒ කවුරු කියලද?
කුමී නම් හිතුවෙම ඒ සුරංගනාවියක් කියලා. එයා ඉක්මනින් ඇස් දෙක ඇරලා බැලුවා.ආදෙරෙන් ඔලුව අතගාන්නේ කුමීගෙ අම්මා.
” මගෙ කුමී… ඔයාට සුභ උපන්දිනයක්!!…අද අපි යනවා ලොකු ගමනක්..ඔයාගෙ උපන්දිනේ වෙනුවෙන්…හුගක්ම වටින ගමනක්… අප්පච්චි අවම අපි ඒ ගමන යමු..”
අම්මා මේ උපන්දිනය ගැන හිතල නෑ කියල හිතුවට එයා ඒ ගැන ඕනවටත් වඩා හිතල තියෙනව කියල කුමීට හිතුණා.
“ඉතින් අපි කොහෙද යන්නෙ….”
කුමී එහෙම අහද්දි අම්ම හින වුණා විතරයි.
කුමීට දැන්නම් ඉවසුමක් නෑ මේ ගමන ගැන දැන ගන්නකල්.
එයා තණ පිට්ටනියේ එහාට මෙහාට ඇවිදිමින් ඒ ගැන කල්පනා කලා..
වෙලාවකට එයාට හිතුණේ ඒ සත්තු වත්ත වෙන්න ඇති කියලා
තව වෙලවක එය හිතුවෙ ඒ විනෝද උද්යානය වෙන්න ඇති කියලා..එයා ඒ වගේ ගොඩක් තැන් ගැන හිතුවා. අප්පච්චි ගෙදර එනකොට එයා ඒ ගැන හිතමින් දවසෙන් භාගයක්ම ඉවරකරලයි තිබ්බේ. පුංචි කුමී ඉක්මනින් ලෑස්ති වුණා. මේ ලස්සන විනෝද චාරිකාව යන්න.
කුමීල එක්ක ඒ ගමන යන්න සුදු මාමගෙ පුංචි අයිස් ක්රීම් කරත්තෙත් ඇවිත්.. කරත්තෙ උඩ තව ලොකු පෙට්ටියකුත් තිබුණා..
“මේකනම් හරිම අමුතු ගමනක්.. ” කුමී එහෙම හිතුවා.
“අම්මේ අපි කොහේද මේ යන්නේ… ” යන ගමන් කුමී නිතරම අම්මගෙන් මෙහෙම ඇහුවා.
“තව ටිකයිනෙ දුව ඉවසල ඉන්නකෝ…” ඒ හැම වෙලේම අම්ම කුමීගෙ ඔලුව අතගාල එහෙම කිව්වා.
“ඔන්න දැන් අපි ආවා එතැනට…”අම්ම ගොඩනැගිල්ලක් පෙන්නල එහෙම කියද්දි කුමීගෙ ලස්සන මූන ඉර මාමා හැන්ගෙද්දි පරවෙලා යන මලක් වගේ වුණා.
“අපෝ මම ආස නෑ මෙතනට..”
“මෙතන ඔයා වගේ යාලුවෝ ගොඩාක් ඉන්නවා..”
“ඒත් ඒ කවුරුත් මගේ යාලුවෝ නෙවෙයි..අපි යමු ගෙදර…”
“මගෙ දුවේ… මෙතන ඉන්න හැමෝම ඔයා එනකල් බලාගෙන ඉන්නවා.. ඒ අය ඔක්කොම බලාගෙන ඉන්නෙ ලස්සනම ලස්සන පුංචි කුමීව බලන්න..”
අම්ම එහෙම කියද්දි කුමී අකමැත්තෙන් වුණත් වහනයෙන් බැස්සා. අම්මගෙ අත අල්ලගෙන හිමින් හිමින් ඉස්සරහට ගියා.
කුමී දැක්ක හැමදාම උදේට හොරෙන් හොරෙන් එයා දිහා බලන කහ මල් වගේ හැංගි හැංගි මුවා වෙවී එයා දිහා බලන පුංචි ළමයි.
“අනේ අම්මේ …” කුමීට අකමැත්තෙන් කරන මේ වැඩේ ගැන තිබ්බෙ ලොකු තරහක්.
“මට ගෙදර යන්න ඕනෙ…”

 
එහෙම කියද්දිම එයාගෙ ඉස්සරහට ආපු ළමයි අත්පුඩි තලන්න පටන් ගත්තා.
ඊට පස්සෙත් ඉතින් වුණේ කුමී කැමති දේවල් නෙවෙයි.
එයාල සිංදු කිව්වා. නැටුවා. කතන්දර කිව්ව.
ඒ විතරද අප්පච්චි එයාලට අයිස් ක්රීම් දුන්නා.. අම්ම අර පෙට්ටියෙ බැදගෙන ආපු කෑම දුන්නා…කුමීට තිබ්බෙ මේ ඔක්කොම බලාගෙන ඉන්නයි තෑගි ටික බෙදල දෙන්නයි විතරයි.
“මගේ උප්පන්දිනේ දවසේ එයාල හැමෝම සතුටු වෙනවා… එයාලට තෑගිත් දෙනවා…කෑමත් දෙනවා…මේක නම් හරිම නරක උපන්දිනයක්… මට පොඩ්ඩක්වත් සතුටු වෙන්න බැරි වුණා….”
කුමී එහෙම හිතලා හිටපු තැනින් නැගිටලා තණ පියස්ස දිගේ ඇවිදගෙන ගියා.

 
“ෂ් ෂ් ෂ්”
කවුරු හරි එහෙම සද්ද කරපු නිසා කුමී හැරිල බැලුව. කවුරුවත්ම හිටියෙ නෑ..
ආයෙත් එයා ඇවිදගෙන ගියා. හරිම පාලුවෙන්. හරිම දුකෙන්.

 
” ෂ් ෂ් ෂ් කොහෙද යන්නේ…?”
කුමී ආයෙත් හැරිල බැලුවා. කුමීගෙ පිටිපස්සෙන් හිටගෙන හිටියෙ පුංචි පිරිමි ළමයෙක්. එයා අර ළමයි ගොඩේ හිටියා කුමීට මතකයි.
” ඔයා කවුද? ඇයි මගෙ පස්සෙන් ම ආවේ…? ”

 
කුමී ඇහුවේ කේන්තියෙන්. ළමයා ටික වෙලාවක් කුමී දිහා බලාගෙන හිටියා.
” මම කාල්.. මම ආවෙ ඔයාට ස්තූතියි කියන්න…”

 
” මොකටද?” කුමී ආයෙමත් කෙනිතියෙන් එහෙම ඇහුවා.
පුංචි කාල් බිම බලාගෙන අඩනවා. එයාගෙ කඳුලු තණකොල උඩට වැටෙනවා. ඒවා ඉර එළියට දිලිසෙනවා.
කුමී කාල් දිහා බැලුවේ නෑ. ඒත් කාල්ගෙ බිම වැටෙන කඳුලු දිහා බලාගෙන හිටියා.
කුමීට දුක හිතුණා මේ පුංච් පිරිමි ළමයා ගැන.

 
” ඇයි ඔයා අඩන්නේ…”
කුමී හිමීට කාල්ට ලන්වෙලා එහෙම ඇහුවා. කාල් එතන තිබ්බ ලී කොටයක් උඩ වාඩි වෙලා කුමී දිහා බැලුවෙ හරිම දුකින්.
” මම කවදාවත් මගේ අම්ම තාත්තා දැකලා නෑ.. උපන්දින සමරලත් නෑ… මම විතරක් නෙවෙයි මෙහෙ ඉන්න හැමෝම එහෙමයි…. ඔයා වගේ කරුණාවන්ත ළමයෙක්ගෙ උපන්දිනයක් කියන්නෙ අපිට ලොකූ උත්සවයක්…අපේ බඩ පිරෙන්න කන්න ලැබෙන දවසක්….”

 
කුමීට එහෙම කියද්දි ලොකු සතුටක් දැණුනා.. එයාගෙ අම්ම හරිම හොඳ කෙනෙක් කියලයි කුමීට හිතුණේ.

 
කුමී කාල් ළඟින් වාඩි වෙලා මෙහෙම කිව්වා
” අපි ලබන අවුරුද්දෙත් එනවා.. ඊලග අවුරුද්දෙත් එනවා..ඔව්…මගේ හැම උපන්දිනේකටම අපි මෙහෙ එනවා…”

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)