ව්මලරත්න කුමාරගම කවියාගේ “අවුරුදු නිවාඩුව “කවි පංතියේ කවි 61සිට 80 දක්වා

No Comment 431 Views

අවුරුදු නිවාඩුව

61:
කලබල යකුදු නොමැති ව වැඩි මහළු පුතා
මුල්ලට වෙලා ඇත අමතක වෙමින් කතා
වෙන්වුණු පුතා ගේ කෑ කෝ ගෑම පතා
අම්මා කෙනෙක් වැළපේ නිදි නැතිව ඉතා
62:
මිදුලේ තිබෙන හණ ගස් වල පතු දිගට
මුතුගේ අතින් නිමවුණු රූපය විකට
බිත්තියෙ ඇඳුණු අලි පෙරහැර එක දිගට
කෞතුක වස්තු වේ දැන් මේ දේ මවට
63:
කඩ මංඩියෙන් ගත් ලොකු හුණ්ඩුව නාන
කුඹුරේ තිබී පාදා ගත් තඹ පාන
උණ බට වලින් කළ බෝනික්කගෙ යාන
පොල් පිති වලින් නිම කළ මිව්වන් බාන
64:

බෝතල පිඟන් ඇත කුස්සිය අවට කැඩී
ගෙමිදුල ගහේ හිල්වී ගිය පැපොල් ගෙඩී
වියැලුනු කොහිල ගාලේ ඇති ළපටි අඩී
මේ හැම තුළින් මුතු මව හද තුළට වඩී
65:
සංවේගය මඳව රෑ යළි යළි ද මතූ
වීමෙන් තැවෙන විට මව සී කරම පුතූ
කිමිදී හය වසක් පිරි දරුවෙකුගෙ සිතූ
විමසා බලමු සතුටින් පසු වෙයිද මුතූ
66:
කොකු නැඟ ගන්න හැටි ඉපණැළි අතර මඬින්
සුදු පෑ වළා ඉගිළෙන හැටි ඉසට උඩින්
ඇකිළෙන හැටිය ගොළු බෙල්ලන් ගමන හඬින්
මේවා බලයි මුතු දැන් හිත ඇතුළෙ ලෙඩින්
67:
තණ ගිරවුන් ගෙ ගී මැඬි හඬ අසල දියේ
වැහි පොද දුවන පියවර නද අඳුරු රැයේ
මේවා අසා පසුවන විට බොළඳ වියේ
යට ගිය දවස තතු මතු වෙයි මුතුගෙ ළයේ
68:
කිසිවෙකු හටද නොපෙනී කඳුළැලි වම්මා
බලවත් සෙනෙහසින් මෙතෙකැයි නැත නිම්මා
නින්දෙන් අවදි වී නිති සොයමින් අම්මා
ඝණඳුර මැදින් ඔහු සිය අත් පොඩි දැම්මා
69:
මව් පිය දෙදෙන ගෙන් වෙන්වී ළදරු වෙලේ
දරුවෙක් නොයේවා බලනට ලොවක බලේ
ආදර දියෙන් දැඩි විය යුතු ළදරු පැලේ
දුප්පත් කම නිසයි දළු සහ රිකිළි මළේ
70:
වැඩි වශයෙන් ම ආදර සිත පතන පැටී
වයසේ සිටිය දරුවෙක් දුක් විඳපු හැටී
මව් පිය දෙන්නගෙන් වෙන්වී තනිව වැටී
ආදර අහර වෙනුවට ඔහු ලැබුවෙ ගුටී
71:
සුරතල් කළොත් දරුවෙක් සය විය පිරුණූ
ඒ හුරතලය ගැන දොස් දක්වති දරුණු
කිසි විට මුහුකුරා ගිය වදනක් ඇසුණූ
ලෝකය කියයි කොල්ලෙකි ඔහු හැට පිරුණූ
72:
නැණ බල ආයු බල පොඩි දරුවෙක් දරණ
රිදවා ටිකින් ටික රළු වදනින් මරණ
කරුණා රහිත ලෝකය නොම වන පරණ
අම්මා තමයි ඔවුනට ඇති පිළි සරණ
73:
පොත් පත් ඉරා ගෙන දැළි කුණු මඩ ගාවා
පාසැල් ගිහින් ඉඳ හිට ගෙදරට ආවා
නැඳි ගෙන් නිතර මුතු මේ ගැන ගුටි කෑවා
අම්මා කෙනෙකු හට නම් සුරතල් මේවා
74:
කමිසය ඉරා ගෙන ආ විට දිනෙක ගෙට
හැමදා මේක බෑ දරුවන් නැතිද මට
කියමින් නැඳි අතින් ලැබුණා මුතුට බැට
ඉන් රිදවුණේ ඔහුගේ පොඩි පපුව යට
75:
හැන්දෑ වරුවෙ එන ගඟ වෙත නැතිව තනී
මුතු ගේ සිරුර කළු උණ ගස් වැළඳ ගනී
හැමදා එගොඩ මෙගොඩට යන විට දි පෙනී
ඔරු කාරයා දැන් මුතු ගැන හොඳට දනී
76:
මිනිසුන් ඇදෙන තුරු මෙගොඩට ඔරුව ගෙන
නතර ව සිටින විට ඉවුරෙන් ළඟට පැන
ඔරු කාරයා ගෙන් නොයෙකුත් කරුණු ගැන
නිතරම අසා දැන ගයි මුතු සතුට දෙන
77:
“මේ ගඟ ගලන්නේ මොන කන්දක සිටද
මේ දිය හිඳී යන්නේ මොන දවසේ ද
එගොඩින් එහා ඇති මොන වාගේ රටද
මෙගොඩම වගේ එගොඩත් හරියට යටද”
78:
මුල අග දෙකම මේ ගංඟාවේ අඳුරුයි
මැද ඇති සලා ගල් පර ආදිය රුදුරුයි
එගොඩින් එහා සැනසිළි ඇති රට සොඳුරුයි
මෙගොඩට වඩා එගොඩේ තොට ළඟ ගැඹුරුයි
79:
හැම ගංඟාවක් ම මහ මූදට යේද
මූදට යන්ට කෙතරම් කල් ගත වේද
මූදට වැටෙන තැන නම් බියකරු නේද
එතැන ට ගියොත් මේ ඔරුවත් පෙරළේ ද
80:
ලොකු වුණු පසුව යන එන අය ගෙන යන්ට
කැමතියි මේ වගේ ඔරුවක් පද වන්ට
ඔරුව ට නැඟී ගෙන අර එගොඩ ට යන්ට
සල්ලිත් දෙන්ට ඕනැ ද පොඩි දරුවන්ට

 

Manike Eknag

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)