අමතකව ගිය කොතක් පාමුළ – ඉසුරි උදානි කරුණාතිලක

No Comment 25 Views

වන බිමක් මැද ගිරි කුලක් මත

පින් බිමක දසුනක් දෙකක් වෙද ,
පිපුණු වනපස මලින් පුද දෙන
පිළිම හිමි සැතපෙන ගැබක් අස,
නැඟෙන සූ විසි බුදු මතුරු මැද
අමතකව ගිය කොතක් පාමුළ ,
නෙලා පරසතු මලක් දෝතින
නැමැද හිඳිනට කරුණු කුමටද.

වග වලස් ගජ රංචු මැද උඩ
පහළ නිරතුරු නැග්ග සියවර ,
බුද්ධ පූජා ගිලන්පස ගෙන
වැන්ද දෝතම හොවා නළලත ,
පඩි පේලි අත් වැල් නොමැති වුව
තුංග බැතියෙන බින්ද වන පෙත ,
ඝණ්ටාර කුලුණටත් ඉහලින්
නැගුණු පිරිතකි අහස මැඩ ගෙන.

වනය සිඳගෙන මං තනාගෙන
පැමිණ රිය සක ගමට එක දෙක,
බැඳුනු පඩි පෙළ නැගුණු අත් වැට
නිවූවද සරතැස අතරමග ,
සැරූ පා යුග මුව කුරින් යුත්
ගිලන් මහලුව කුටියකට බට ,
පිළිම හිමි සැතපෙනා බුදු ගෙය
දෙසට අත් බැඳ මතුළ බුදු ගුණ .

යන්න එන්නැති උවැසියන් සිය
දහස් වර පඩි පේළි නැඟ ගෙන ,
හැරුණෙ කවුරුද නැවත රිසියෙන
මදක් ඔබ සැතපෙනා ගැබ වෙත ,
මැකුණු පා සටහන්ය තැන තැන
අතීතය තුළ තිබෙන සුරැකිව ,
මතකයද නියතයක් වනු නැත
කාලයේ මහ වැසි වැටුණු විට.

ස්වේත වියැකුණු සොහොන් කොත මත
මගේ නෙත් යුග සතපවමි මම ,
අහසෙ නිල බිඳ නැගෙන ඉඳහිට
මේඝ පතුරක් දකිමි ඉහළින,
පහත තැනි බිම් අතර සුපිපුණ
මලක් වනපස නෙළමි දෝතින,
තබා ඔබ සැතපෙනා බිම මත
නික්ම යමි ගිරි හිසින් පහතට.

බොහෝ කාලෙකට පෙර මුල්ගිරිගල ගියෙමි. දශක පහකටත් ඉහත විසු නායක හිමි නමකගේ ඉපැරණි සොහොන් කොතක් දුටිමි. පහන් සංවේගය පිණිසයි!!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)