හරිත විලාපය … උදිත ගමගේ

No Comment 282 Views

සැඩ හිරු කිරණ නලියන ඝණ අවු රැල්ලේ

වැතිරී ඉරි අඳින ඒ මේ ඇත වැල්ලේ
ඇස නැගී කඳුළු පිසිමින් සිය පිටි අල්ලේ
දුටුවෙමි එක් ලියක් හිඳ සිටියා වැල්ලේ

කොයි දේශයක සිට නුඹ මෙහි ආවාද
නෑ සිය පිරිවරින් පිටමන් කෙරුවාද
නැතිනම් චපල සැමි නුඹ අත හැරියාද
මොන කරුණකට නුඹ මෙලෙසින් හැඬුවාද

එලෙසින් අසූ කළ ඇය මා දෙසට හැරී
නෙත් යුග විසල් කොට ඇය ගේ කඳුළු පිරී
හඬ දී සිනා සී ගෙන ඇය උමතු සිරී
බැන වැදුනේය වදනින් රෝෂයෙන් පිරී

ඇස හැර බලනු කොහිදැයි නිල් තුරු වියන
කන් දී අසනු කොයිබද සිටි විහඟ වන
ලකුණක් වත් තිබේදැයි දොළ තිබුණු තැන
ගිනිලෑවා නොවේද නුඹලා මගේ විමන

සිහිවේ මෙමා තනු ලිය වැල් තොටිල්ලේ
හොවමින් නැලවූ මගේ දරු කැල තුරුල්ලේ
මීමුත්තන් මරා බිම ලන ඇසිල්ලේ
උන් කොයි ගියාදැයි මා සිත තැවුල්ලේ

හිරු රැස් පෙරා දුන් තුරු හිස වැනසීය
උල්පත් සිඳී ඉන් ඇළ දොළ වියලීය
මරු කතරකට නුඹලා සැම ළංවීය
අප හට සාප කරමින් ඇය වැලපීය

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)