නිසි ඇගැයුමට ලක් නොවුණු සාහිත්‍යකරුවා – සෝමසිරි කස්තුරිආරච්චි

No Comment 47 Views

තමනට පාලි, සංස්කෘත පිළිබඳ මනා දැනීමක් ලබාගත යුතු යැයි ඩබ්ල්යු. ඒ. සිල්වා ගැටවරයා වජිරඤාණ නාහිමියන් වෙත සැල කළ කල්හි උන් වහන්සේ කළේ පාලි මුල්පොත ගැටවරයා අතට පත් කිරීමය. දෙවැනි දවසේ ගැටවරයා නාහිමියන් වෙත පැමිණ පාලි මුල්පොත සම්පූර්ණයේම කියැවූ බව කියා සිටියේය. මින් පෙර පාලි පිළිබඳව දැනුමක් ලබා නොසිටිය ද ගැටවරයා කළ මේ ප්‍රකාශය නිසා නාහිමියෝ විස්මයට පත් වූහ. ඒ ගැන සතුටට පත් උන්වහන්සේ දින දෙකකට පසුව සිල්වා ගැටවරයාට කියා සිටියේ,

“එහෙම නෙවෙයි, අපි දැන් සිංහල ටිකක් ඉගෙන ගනිමු.” කියාය. ගැටවරයා ඉන් විස්මයට පත් වුණත් ඒ ගැන නාහිමියනට ඇඟවූයේ නැත.

“මම සිංහල නවකතාවකුත් ලියපු කතුවරයෙක්. නායක හාමුදුරුවො මොකද මට සිංහල ඉගෙන ගනිමු කියල කියන්නෙ?” කියා ඔහුට සිතුණු නමුදු එය කීවේ නැත.

“මම වැසිකිළිය පැත්තෙ ගිහිල්ලා එන්නම්. එතකන් මේ ලක්මිණි පහණ පත්තරේ කතුවැකියෙ තියෙන සිංහල ව්‍යාකරණ වැරදි ලකුණු කරලා තියන්න” කී නාහිමියෝ සිල්වා ගැටවරයාට කොළයකුත් පැන්සලකුත් දී වැඩියහ.

පැයකට පමණ පසුව නාහිමියන් වැසිකිළියේ සිට ආපසු වඩින විට ද සිල්වා ගැටවරයාට ඒ කතුවැකියේ වැරැදි එකක්වත් අල්ලා ගන්නට ඉඩ ලැබී නොතිබිණ.

“වැරදි අල්ලාගන්නට ලැබුණේ නැහැ නේද? මේ බලන්න, මේ බලන්න” යැයි කියමින් උන්වහන්සේ ඒ සා ප්‍රකට කීර්තියකට පත්වී සිටි පහන් කතු තුමාගේ කතු වැකියෙහි වූ ව්‍යාකරණ වැරදි මේ මේ යැයි නියමාර්ථ වශයෙන්ම දක්වා ලු කලදි සිල්වා ගැටවරයාට සිතුණේ “මේ අනුව මම දන්නේ මොන සිංහල ද?” කියා ය.

තමන් සිංහල රටෙහි, සිංහලයකුව ඉපිද, සිංහල භාෂා ශාස්ත්‍රය උපයෝගී කරගෙන නිවැරැදි සිංහලෙන් ලිවිය යුතු බවත්, එයට මූලාශ්‍රය වූ පාලි, සංස්කෘත භාෂා පිළිබඳ ව ද ලේඛනයෙහි යෙදෙන විට හැඟීමකින් ලිවිය යුතු බවත් සිල්වා තරුණයා සිතට ගත්තේ එකල පටන්මය. එසේ ම තම ලේඛනයෙහි යෙදෙන විට පාඨකයනට දුරවබෝධව හැඟේ යැයි සැලකෙන සමහර වචනවලට අර්ථය ගෙන දෙන ඉංග්‍රීසි වචනයක් ද යොදන්නට ද සිල්වා මහතා කටයුතු කළේ එයින් ද පාඨක මනසට මනා අධ්‍යයනයක් ලැබෙන බව සිතීමෙන් පසුව ය.

තමන් විසින් ලියන හැම දෙයක් ම නිවැරැදි ව පාඨක මනසට ගෝචර වන අන්දමින් ලිවීමත්, නවකතාවක චරිත නිරූපණය කරන විට හෝ ඔහු විසින් ම ‘කොටකතාව’ යැයි නම් කරන ලද කෙටිකතා ලිවීමෙහිදී ද ඒවා පාඨක මනස තුළ මනෝ චිත්‍ර නැ‍ඟෙන ලෙස ලිවීමටත් ඔහු හුරු වූයේ තමන් තම මනෝ භවයන්ගේ ආශ්‍රයෙන් මවන චරිතාංග එසේම පාඨක මනසේ ද මැවීමේ අදහසිනි. සිල්වා මහතාණන් විසින් නිර්මාණය කරන ලද චරිත මෑත යුගයේ සමාජය අතර වඩාත්ම ජනප්‍රිය වූයේ ඒ ස්වාභාවික චරිතාංග මැවීමේ දක්ෂතාව නිසා ම ය.

ඒ වන විට සිල්වා තරුණයා දෙවෙනි වරට නවකතාවක් ලියනු පිණිස පැරැණි පුස්කොළ පොත්වලින් ද මුද්‍රිත දුර්ලභ පොත්වලින් ද මනා දැනුම් සම්භාරයක් උපුටාගෙන තිබිණ. එය ලේඛනගත කරමින් තම ප්‍රථම නිබන්ධනයට වර්ෂ දොළහකට පසුව ‘ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිනිය’ නම් වූ මහා නවකතාව මුද්‍රණයෙන් නිකුත් කරන්නට සිල්වා මහත්මාණෝ කටයුතු කළහ.

siriyalathaමෙම ‘ලක්ෂ්මී’ නවකතාව ලංකාවෙන් පටන්ගෙන අවකන් දේශයේ ද හපන්කම් දක්වන සිංහල තරුණයකු පිළිබඳව ලියැවුණු මනස්කාන්ත ප්‍රබන්ධයකි. එහෙත් එය මුද්‍රණයෙන් නිකුත් වූ විගසම පාහේ යමක අර්ථවත් බවක් දකිනවාට වඩා එහි සිදුරු සොයන්නටම බලන්නට පෙලඹෙන සමහර විචාරකයෝ “හා, මෙයනම් රයිඩර් හැගාර්ඩ් නම් ලේඛකයාගේ ‘ෂි’ නවකතාවේ කොපියක්” යැයි ද පළ කළහ. එහෙත් එම අවිචාර විචාරය දුටු සමහර විද්වත්හු මෙය එම පොතින් ඡායානුවාදය ගත්තත් එයට ද වඩා උසස් කෘතියකැයි ද පළ කළහ.

ප්‍රමාණයෙන් විශාල වීම ද, සාමාන්‍ය පාඨකයාට වඩා එය පණ්ඩිතයනට ප්‍රිය වන අන්දමින් සංස්කෘත වචන බහුල ලේඛන විලාසයකින් ලියැවී තිබෙන නිසා ද එහි අලෙවිය එතරම් ඉහළ ගියේ නැත. මෙසමයෙහි සිල්වා මහතාණන් වෙතින් පළ වෙමින් තිබුණු ‘සිරිසර’ නම් වූ සඟරාවේ දෙවැනි කලාපයේ සිට මේ ‘ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනිය’ කතාව කොටස් වශයෙන් පළවූයේය. එහෙයින් එය ද සිංහල පාඨකයනට නවමු අත්දැකීමක් ද විය.

සමහරුන් විසින් මෙය රයිඩර් හැගාර්ඩ් ඉංග්‍රිසි ලේඛකයාණන්ගේ ‘ෂී’ නම් වූ නවකතාවේ කොපි කිරීමක් ලෙස හැඳින්වුව ද වැදගත් විචාරකයන් විසින් එය විවරණය කරනු ලැබුවේ එයින් ඡායානුවාදයක් සිතට ගෙන අමුතුවෙන්ම ලියන ලද නව ප්‍රබන්ධයක් ලෙසිනි. එය පිළිබඳව පසු කලෙක විසූ විශිෂ්ට ලේඛකයකු වූ හේමපාල මුනිදාස සූරින් එක් තැනෙක ‘ලක්ෂ්මිය’ පිළිබඳව සඳහන් කර තිබුණේ මෙසේ ය.

“ලක්ෂ්මියේ දක්නා ප්‍රෞඪ, පරිසමාප්ත, සර්වාංග ශෝභන කථා ශරීරයක්, එහි දක්නා ගැඹුරු ධර්මෝපදේශත්, එයින් මතුවන නව නාට්‍ය රසයත් එයින් පාඨකයා තුළ පහළ වන වශීකරණයක් ඇති පොතක් ලිවීමට නම් රයිඩර් හැගාර්ඩ් තව ආත්ම භාව හත අටක් මැරී ඉපදිය යුතුය.”

මෙහිදී දක්නට ලැබුණු තවත් පුදුමයක් නම් සිල්වා මහතාණන් මින් දොළොස් වසරකට පෙරදී සිය කුලුඳුල් නිර්මාණය ලෙස පළ කළ ‘සිරියාලතා’ නවකතාව ඔහු විසින් ලියන ලද්දක් නොව අනෙක් පඬිවරයකු විසින් ලියන ලද්දක් බව ප්‍රචාරය කෙරුණා ලෙසින් ම මෙය ද සිල්වා මහතාණන්ගේ නිබන්ධයක් නොව පැළෑණේ වජිරඤාණ නාහිමියන් විසින් ලියා සිල්වා මහතාගේ නමින් පළ කරන ලද්දක් බව බොහෝ හාමුදුරුවන් අතර ද, පඬිවරුන් අතර ද ප්‍රචාරයකට ලක්වීමය.

“මේ උන්නාන්සේලාට පිස්සු වෙන්න ඕනැ. ඔවුන් මහත්මයා ගැන නොදන්නා එක වෙනම කාරණයක්. පුදුමය ඔවුන් මා ගැන නොදන්නා එක ගැනයි.” යනු ඒ ගැන නාහිමියන් කී වදන්ය.

තම ‘සිරිසර’ සඟ රාව පාඨක ප්‍රසාදය පිණිස සෑහෙන කලක් පවත්වාගෙන යන ගමන්ම සිල්වා මහතා තම තුන්වැනි ප්‍රබන්ධය වශයෙන් ‘හිඟන කොල්ලා’ නවකතාව ලියා පළ කරවූයේය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු එක් ප්‍රධාන කාරණයක් වෙයි. එනම් මුල් ‘සිරියාලතා’ නවකතාව මෙන්ම ‘ලක්ෂ්මිය’ ද සිල්වා මහතා ලියන්නට ගත්තේ කිසියම් සුබ දිනයක සුබ මූර්තියක් අනුව නොවන බව එතුමාගේ මුවින්ම දැනගත් වැල්ලවත්තේ ජේ. ඩී. කන්නන්ගර වෙද රාලහාමි සිල්වා මහතා නව ප්‍රබන්ධයක් ලියන්නට සිතේ තබාගෙන සිටින බව දැන තමන් විසින් මනා ලෙස ගැන සකස් කරන ලද සුබ දිනයක් සහ සුබ මූර්තියක් අනුව එතුමාට ‘හිඟන කොල්ලා’ පටන් ගන්නට අවස්ථාව සලසා දුන්නේය. වෙද රාලහාමි විසින්ම ගෙන එන ලද සරසවි ගණදෙවි රූප දෙකක් ද සමඟම පූජාවකට සුදුසු කිරිබත්, කැවිලි පෙවිලි ද සමඟ වැල්ලවත්තේ ‘සිල්වර් මියර්’ මන්දිරයේදී ‘හිඟන කොල්ලා’ නමෝ විත්තියෙන්ම ආරම්භ කෙරුණේය.

කඳපොළ, ජාඇළ, රක්වාන, අරනායක, බණ්ඩාරවෙල, දියතලාව වැනි පහතරට හා උඩරට ප්‍රදේශවල එතුමන් මෙසේ පදිංචි වී සිටිමින් ලේඛනයෙහි යෙදුණු බව වාර්තා ගතව තිබේ. එම චිත්ත විවේකයත්, පරිසරයෙන් ලබාගන්නා තන්වැසි නුවණත් දක්ෂ ලේඛකයකුට නවමු සංකල්පනා ඇතිකර ගැනීමට කොතරම් තරම් වේදැයි කිව හැක. සිල්වා මහතාගේ සමහර නවකතාවල පාත්‍ර වර්ගයා හා ඔවුන් ජීවත් වූ පරිසරයේ වර්ණනා කියැවීමෙන් පාඨකයකුට ඒ ගැන මනා සේ සිතා ගත හැකි කරුණකි.

සිල්වා මහත්මාගේ ප්‍රහසන නවකතාව වූ ‘රදළ පිළිරුව’ කතාව ගොඩනඟා ගන්නට මූලික බීජය ලැබුණේ නාවලපිටියේ වේළුවනාරාමයේ දී ය. එහි නායක ඇම්. යූ. කවීශ්වර පඬි හිමියන් සිල්වා මහතාගේ සුවිශේෂ ගෞරවාදරයට ලක්වූ හිමිනමකි. එහෙයින් එම පළාතේ සංචාරය කරනවානම් සිල්වා මහතා කවීශ්වර නාහිමියන් ද හමු වෙති.

එසේ නාහිමියන් හමුවී සුහද සාකච්ඡාවෙක යෙදී සිටින අතර එතැනට පැමිණියේ යුරෝපීය ඇඳුමින් සැරසුණු කඩවසම් තරුණයෙකි. මනා ඇවතුම් පැවතුම් ඇතියකු බව එක බැල්මෙන් ම වටහා ගත හැකි මෙම තරුණයා දුටු විගස නාහිමියෝ ඔහු සිල්වා මහතාට හඳුන්වා දුන්හ.

“ආ… එන්න පින්ගෝටර් මහත්මයා. මේ හඳුනාගත යුතු මහත්මයෙක්. ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයා… නවකතා ගණනාවක්ම ලියලා තියෙන වැදගත් කර්තෘ මහත්මයෙක්.” යනුවෙනි උන් වහන්සේ ආගන්තුක තරුණයාට සිල්වා මහතා හඳුන්වා දුන්නේ.

“බොහොම සන්තෝෂයි මහත්මයා හඳුනාගන්න ලැබීම. මට තව වැදගත් ගමනක් යන්න තියෙනවා. අපි ආපහු හමුවෙමුකො” යනුවෙන් කියා සිල්වා මහතාට අතට අත දී ආචාර කළ තරුණයා සුළු වේලාවකින් එතැනින් නික්ම ගියේය. ඔහු ගියාට පසුව සිල්වා මහතා නායක හාමුදුරුවන් ඔහු තමනට හඳුන්වා දුන් නම ගැන යළි මෙනෙහි කරන්නට විය. අන්තිමේ එතුමාට තේරුණේ එය පද පෙරළියක් බවය.

“පින් ගෝටර් මහත්තයා කියල ඒ තරුණයට ඔබවහන්සේ කීවෙ කුමක් නිසාදෝයි ඉන් අනතුරුව සිල්වා මහතා නාහිමියන්ගෙන් විමසා සිටියේ එහි මුල් අදහස ගැන සෙවීමටය.

“මහත්තයෝ, ඔය හාදයා ගමේ වැදගත් පවුලක කෙනෙක්. ඒත් කුඩා කාලෙ ඉඳලම ටිකක් මොෙළ් අවුල් වෙලා තියෙන්නෙ. මිනිහගෙ නම පීටර්. හැබැයි කරන්නෙම ගොන් වැඩ. වෙනත් කරදරයක් හිරිහැරයක් නැහැ. ඉතින් මම පින්ගෝටර් මහත්තය කියල කතා කළහම මේ යෝදයට හරි ඉහළයි” යනුවෙනි.

නාහිමියන් එම තරුණයා පිළිබඳ ජාතක කතාව සිල්වා මහතා සමඟ කියා සිටියේ, එදා ආපසු එන ගමන් සිල්වා මහතාට හැඟුණේ නාහිමියන්ගේ ඒ කෙටි වචන දෙක තමන්ට හොඳ නවකතාවකට සරිලන හොඳ බීජයක් ලෙසටය. “පින්ගෝටර් මහත්තයා” නම් වූ වචන තුන යහපත් අස්ථි පංජරයකින් යුතු ඇට මස් ලේ නහර ඇතිකර මුද්‍රණයෙන් පිටු තුන්සිය ගණනකට කිට්ටු ප්‍රමාණයේ මහ දිග නවකතාවක් වන පරිද්දෙන් මුළු සමාජයට උපහාස රසයෙන් පිනවන අන්දමේ කතා ශරීරයක් රැගත් ‘රදළ පිළිරුව’ නවකතාව නිර්මාණය වුණේ ඉන් පසුව මතුගම වත්තක බංගලාවක කාමරයක් කුලියට ගෙන ගත කළ දෙමාසයක පමණ කාලයකින් පසුවය. එයින් ‘බන්ගෝස්’ පීඩ මොස්සා’ ‘බන්දානනී’ වැනි දෙපිට කියැවෙන පද පෙරළිවලින් යුතු නව ප්‍රබන්ධයකින් සිංහල සාහිත්‍යය එළිය කෙරිණ. පසු කලෙක එය නාට්‍යයක් බවටත්, සිනමාවට නැඟි ප්‍රේක්ෂකයන් උපහාස රසයෙන් කුල්මත් කළ චිත්‍රපටයක් බවටත් පත් වූයේය. නාහිමිනමකගේ කෙටි උපහාස පදයක් දුරදිග ගිය තරම!

තම යෙහෙළියගේ අල්මාරියේ යතුරු කටේ නිතරම එල්ලී තිබෙන යතුරු කැරැල්ල මුල් බීජය වශයෙන් ගෙන සිල්වා මහතා විසින් ‘රිදී හවඩිය’ නමින් නිර්මාණය කරන ලද්දේ එම දර්ශනය තම සොර සිතට ගෙන ඉන් අල්මාරිය හැර ගෙහිමි කාන්තාවගේ රිදී හවඩියක් සොරා ගන්නා මෙහෙකාරියක එය සිය පෙම්වතාට දී එය හොර රහසේ අලෙවි කරන්නට මග පාදා ගැනීමක් පසුව මෙම සොරකම අසුවීමත් පිළිබඳව වූ කතා පුවතය.

waSilva wijayabaගත අසාධ්‍ය ලෙස ලෙඩ වුවද මනා ලෙස සකස් කර ගන්නා ලද මනස ඇතිව වෙවුලන ඇඟිලි තුඩුවල ආධාරයෙන් වුවද දක්ෂ රචකයකුට නිබන්ධනයක් කළ හැකි බව මූර්තිමත් කර පෙන්වා දුන් ජීවමාන සාධකයක් බඳු ය මේ ‘රිදී හවඩිය’ කෙටි නවකතාව.

මෙසේ රෝගෝපගතව සිටිමින් වුවද තමන් අතින් මෙවන් ප්‍රබන්ධයක් කරන්නට ලැබීම පිළිබඳව සිල්වා මහතාට ඇති වුණේ බලවත් සතුටකි. එහෙයින් එතුමෝ එය මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කරවීම උදෙසා කටයුතු කරන්නට සූදානම් වූයේ මේ යුගයේ වුවද ග්‍රන්ථයක් පළවීම දැකීම තමන්ගේ සිතට සැනසිල්ලක් ද වන හෙයිනි.

‘රිදී හවඩිය’ නවකතාව එසේ පළ කරවන්නට යොමු කෙරෙන පුද්ගලයා පැමිණෙන්නට ප්‍රතිඥා දී තිබුණු දිනට පෙර දින සිල්වා මහතා ගිලන්ව සිටින නිසා දුක සැප බලන්නට පැමිණියේ ලේක්හවුසියේ පැරැණි පත්තර මිත්‍රයෙකි. එතුමා නම් සෑහෙන කලක්ම ලේක්හවුස්හී පත්තරවල ප්‍රධාන කතුවරයකුව සේවය කළ ශ්‍රීලාල් හික්කඩුවේ ලියනගේ මහතා ය.

මෙසමය ‘ලෙඩා සමඟ වැඩිපුර කතා කිරිම නොමැනවැ’යි සාමාන්‍ය නීතියක් පැනවී තිබුණ ද ඔවුන් දෙදෙනා අතර ඇති වූයේ පසුගිය දශක ගණනාවක තොරතුරු හා සිද්ධීන් මතකයට නංවා ගනිමින් සිදු කෙරුණු මහා අල්ලාප සල්ලාපයෙකි.

පොතක් වශයෙන් පළ කරවීම යට ගොස් මෙසේ මේ අලුතෙන් පටන් ගන්නා ‘නවයුගය’ සඟරාවේ මුල් කලාපයේ සිට කොටස් වශයෙන් පළ කිරීමට ‘රිදී හවඩිය’ නවකතාව පිරිනැමුණේ ඒ සාකච්ඡාව අනු ව ය.

වර්ෂ 1956 ජුලි 26 වැනිදා සිට ලේක්හවුසියේ අලුත්ම ප්‍රකාශනය වූ ‘නවයුගය’ දෙසති සඟරාවේ ‘රිදී හවඩිය’ නවකතාව පළ වූයෙන් එයින් ද ඩබ්ල්යු. ඒ. සිල්වා මහතාට සෑහෙන කීර්තියක් අත්වුණේය. ‘රිදී හවඩියෙන්’ එසේ සිල්වා මහතාගේ අවසාන ප්‍රයත්නය වශයෙන් කීර්තියක් ලද නමුදු එය ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ එතුමන්ගේ අභාවයෙන් ද වසර පහකට පසුව වර්ෂ 1962 දීය.

ප්‍රථමයෙන් වර්ෂ 1919 දී ‘සිරිසර’ සඟරාව සම්පාදනය කරමින් සඟරා සම්පාදකයකු වූ සිල්වා මහතා දෙවනුව හතළිස් ගණන්වල ‘නුවණ’ සඟරාව ද ඉන් අනතුරුව කෙටි කලක් ‘තිලක’ සඟරාව ද සම්පාදනය කරමින් පාඨක ප්‍රසාදය දිනාගත්තේය. එතුමාගේ කර්තෘත්වයෙන් නිකුත් වූ ‘ලංකා සමය’ පුවත්පත ද වසර ගණනාවක්ම පළ කෙරුණේය.

නවකතා කතුවරයකු, කෙටිකතා කරුවකු, සඟරා සංස්කාරකවරයකු, පත්‍ර කලාවේදියකු, පරිවර්තකයකු වශයෙන් ද පමණක් නොව ගුවන් විදුලි විචාරකයකු වශයෙන් ද සිල්වා මහතා ජනප්‍රියත්වය දිනා ගත්තේ ය. එහෙත් කනගාටුවෙන් කිය යුතු එක් කාරණයක් නම් හිට්ලර්, මුසෝලිනි, චර්චිල් ආදින්ගේ කටහඬ පවා ආරක්ෂා කර ඇති ගුවන්විදුලියේ ඩබ්ල්යු. ඒ. සිල්වා, කුමාරතුංග මුනිදාස, හේමපාල මුනිදාස ලේඛකයන්ගේ කටහඬ ආරක්ෂා කර නොමැති බවයි. එය ජාතික අපරාධයක් වශයෙන් ද සඳහන් කළ යුත්තේය.

මෙවන් විශිෂ්ට ලේඛකයකුගේ අගය දන්නා වියත් පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාල මහත්මාගේ ප්‍රමුඛත්වයෙන් ‘ලංකාදීප’ පත්තර මඬුල්ල වැජඹෙන සමයේදී ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන් ‘සාහිත්‍ය කීර්ති’ සම්මානයෙන් පුදනු ලැබීම එකල එතුමන් වෙනුවෙන් සිදු කෙරුණු අතිශය උදාර කටයුත්ත ලෙස සඳහන් කළ හැක්කේය.

එකල මෙන්ම මෙකල ද සිංහල සාහිත්‍යය සුරකින දැවැන්තයන් ලෙස තමන් විසින්ම හඳුන්වා ගනිමින් බස වනසන සමහර ලේඛකයන් මෙන් නොව ජාතියේ රටේ ඉදිරි පරපුරේ බුද්ධියේ ගුණාත්මක බව වෙනුවෙන් සාහිත්‍ය කීර්ති ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මාණන් සිය දිවියම කැප කළ බව පළ කර සිටිම අතිශයෝක්තියක් නොවේ.

ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මාණන් එසේ ජීවමානව සිටි යුගයේදී පේරාදෙණි සාහිත්‍ය කල්ලිය වශයෙන් කල්ලි වාදයක් අටවා ගත් ඉංග්‍රීසියට ආවැඩු ආචාර්ය මහාචාර්ය පිරිසක් සිල්වා මහතාණන් ලියු හා ලියන දේ පොල්කුඩු වශයෙන් පහත් කර සලකමින් මාර්ටින් වික්‍රමසිංහ මහත්මාණන් හා අනුගාමික කල්ලි පිරිස විසින් ලියන දේවල් දේවභාෂිත ලෙස හුවා දක්වමින් සිදු කරන ලද මහා සාහිත්‍ය විනාශය නිසා එකල ද, පසුව ද සිල්වා මහතාණන්ට සිදුවූයේ බලවත්ම අකටයුත්තක් බව නිදහස් කළ හැක්කේය.

එතුමෝ වර්ෂ 1957 දී මිය යන්නට සුළු කලකට පෙර නිමා කළ ‘වාල්මීකි රාමායණය’ ග්‍රන්ථයට සිය අත්අකුරින් ලියුවේ ‘මා සිය බසට පනස් වසක් කළ මෙහෙය මෙයින් සපිරෙයි. – 1907 – 1957” යන්න ය.

වර්ෂ 1890 ජනවාරි 16 වැනිදා වැල්ලවත්තේදී උපත ලත් ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මාණෝ හැටහත් වසරක් ආයු විඳ 1957 මැයි 31 වැනි සිකුරාදා උදේ 10 ට අභාවයට පත් වූයේය.

සිල්වා මහත්මාණන් සමඟ සමකාලීන ව ලේඛනයෙහි යෙදුණු හේමපාල මුනිදාස මහත්මාණන් වරෙක ලියා තැබු සටහනකින් මේ ලිපිය සමාප්ත කළහොත් මැනවැයි අපට හැ‍ඟේ.

“මා අනුත්තර ගුරුත්වයකින් හා ගරුත්වයකින් සලකන කිසියම් ලේඛකයෙක් ඇත්නම් ඒ ඩබ්ල්යු. ඒ. සිල්වාය. තිස් අවුරුද්දක් පිරී ඇති මගේ ලේඛක ජීවිතයේදී උපහාසයටත්, නර්මාලාපයටත්, සරදමටත් ලක් නොවූ ලේඛකයෙක් ඇත්නම් ඒත් ඩබ්ල්යු. ඒ. සිල්වාය. ඔහු සතළොස් හැවිරිදි වියේදී සිංහල, නවකතා කලාව විධිමත් බවට පත්කරමින් ලියු ‘සිරියාලතා’ නිසා මා නවකතා කලාව කෙරෙහි පෙළඹුණේය. ඒ සමඟම ලියූ ඉෂ්ටාර්ථ සිද්ධියේ රහස නිසා මගේ ආත්ම ගරුත්වය ඔප් නැඟුණේය. මෙසමයේ ඔහු කෙරෙන් පළ වුණු ‘සිරිසර’ සඟරා නිසා මා ප්‍රවෘත්ති පත්‍ර කලාව කෙරෙහි යොමු වුණේය. තිස් හැවිරිදි ව‍යසේදී පමණ ලියූ ‘ලක්ෂ්මී’ ය නිසා හේමපාල මුනිදාස නිර්මාණය වුණේය. අසාධ්‍ය ලෙස රෝගෝපගත වී අප දෙදෙනාට එකම දවසේ ආරෝග්‍ය ශාලා දෙකකට ඇතුළත් වී එකම දවසේ පැය ගණනක් තිස්සේ පණ අදිමින් සිට මා යළිත් ජිවිතය බදා ගැනීමෙන් පසු මා ළග සිටි කේ. බී. සුගතදාස මහතා ‘ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයා මළා – අද ආදාහනේ’ යයි කිව් කල ‘අනේ මා මැරී ඩබ්ල්යු. ඒ. ජීවත් වුණානම්’ යයි හුම් ලෑවේ මේ නිසා ය.”

– හේමපාල මුනිදාස

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)