ඞී බී සන්නිවේදන සංක‍්‍රාන්තිය සමග

No Comment 41 Views
තම අත්දැකීම් පාදක කර ගනිමින් සමාජය දැනුම්වත් කිරීම කුමන අර්ථයෙන් ගත්තද සමාජ මෙහෙවරකි. සමාජයේ එක් එක් ක්ෂෙත‍්‍ර පිළිබඳ විශේෂඥ දැනුම් ඇති බුද්ධිමතුන් සිය දැනුම පොත පත හරහා සමාජය වෙත ප‍්‍රදානය කරන්නේ ඒ සමාජ මෙහෙවර වෙනුවෙනි. ඉතා පුළුල් ක්ෂෙත‍්‍රයක විහිදුණු දැණුම් සම්භාරයක බර දරා සිටින ඞී බී කුරුප්පු නම් වන ප‍්‍රවීණ ලේඛකයා ඒ සමාජ මෙහෙවරේ ඉදිරියෙන්ම සිටින්නෙකි. ඔහු විසින් මේ වන විට එළිදක්වනු ලැබ ඇති සමාජ ගවේශන පොත් සියල්ල එයට සාක්ෂි දරයි.
ඞීබී නිරතව සිටින්නේ ඉතා විශාල කාල පරාසයක් පුරා විහිදුණ සමාජ ගවේශනයකය. ඒ අධ්‍යයනයේ ප‍්‍රතිඵල ඔහු වරින් වර එළි දක්වන්නේ එයින් සමාජයට උකහා ගත හැකි දැනුම් සම්භාරය පිළිබඳ මනා වැටහීමකින් යුතුවය. තමා ශ‍්‍රී ලංකාවේදී ලද අත්දැකීම් මතු නොව සිය දෙවන දේශය කරගත්  ඕස්ටේ‍්‍රලියාව තුළදී අත්පත් කරගත් දැනුම ද ඔහුගේ පොත් හරහාත් පුවත්පත් ලිපි හරහාත් අපට කියවන්නට ලැබෙයි. මේ ලේඛණ ඉතිහාසය ඉතා දිග එකකි. ඔහුගේ නවතම කෘතිය වන සන්නිවේදන සංක‍්‍රාන්තිය ද මේ දීර්ඝ ගමනේ තවත් මාහැඟි ප‍්‍රතිඵලයකි.
සන්නිවේදන සංක‍්‍රාන්තිය විවිධ මාතෘකා 12 ක් යටතේ ලියන ලද ලිපි වලින් සමන්විතය. මේ ලිපි වලින් සමාජයේ අප අත්විඳින විවිධාකාර වූ සිදුවීම් සම්බන්ධයෙන් ඞීබී සිය සියුම් නිරීක්ෂණ සහ මත ඉදිරිපත් කරන්නේ ඒ තුළින් පාඨකයා ගේ බුදධියේ නිම්වළලූ පුළුල් කරමින්් ය.
බොහෝ බෞද්ධයෝ සහ යතිවරයෝ බුද්ධාගමේ හරය විනාශ කරමින් සිටින්නෝය යන කාරණය පිළිබඳව ඞීබී ලියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඔහු සන්නස පුවත්පතට ලියන කස්තිරම ලිපි මාලාවේ ලිපි විශාල ප‍්‍රමාණයක් වැය කළේ මේ කරුණ සාකච්ඡුා කරන්නටය. බුද්ධාගමේ මූලික ඉගැන්වීම වලින් බැහැරව යමින් විකාරරූපී බුදු දහමක් ස්ථාපනය කරන්නට වලිකන්නවුන් ඞීබී ගේ දැඩි විවේචනයට අසවූ වාර බොහෝ ය. සන්නිවේදන සංක‍්‍රාන්තියේ එන බුදු රැුස් විහිදෙන සිරි ලංකාව, බිත්තර භික්ඛවෙ හා ක‍්‍රිස්තියානි බෞද්ධයා යන ලිපි තුනේදීම ඔහු අඩු වැඩි වශයෙන් මෙම කාරණය කෙරෙහි පාඨක අවධානය යොමු කරවයි. ඒ සඳහා බුද්ධාගම පිලිබඳව ඔහුට ඇති විශිෂ්ට දැණුම ඔහු යොදා ගන්නා හැටි අපූරුය. එසේම කියන්නට ඇති දෙය නොසඟවා කීිමටද ඔහු පසුබට නොවෙයි.
”බුදුන් වෙනුවෙන් සල්ලි එකතු කිරීමද උන්වහන්සේ  (වල්පොල රාහුල හිමි – සංස්කාරක* අනුමත නොකරති. පින් කැටය ගැන කෙළින්ම කියති. මුදල් වුවමනා නම් ඒ සඳහා අවශ්‍ය ස්ථානයක වැඩ පිළිවෙලක් යොදනු විනා බණ කියන අතර සම්මාදම් කරන එක හෝ වෙන්දේසි පැවැත්වීම ආගම විකුණා ගෙන කෑමක් ලෙසිනි උන්වහන්සේ දකින්නේ. එය කොයි තරම් නම් සිද්ද වෙනවා ද?
මෙය කියවන විට මට මතක් වූයේ ප‍්‍රශ්නයක් ඇසූ දායකයකුට මෙල්බර්න් පන්සලක හාමුදුරු නමක් කියාපු වචන ය.
”ඔය මහත්තයා අහන්නේ අබෞද්ධ ප‍්‍රශ්නයක්නේ”
ප‍්‍රශ්න කිරීම තර්ක කිරීම වාගේ සුළු දෙයක් පවා නොඉවසන දේශකයෙක් කෙසේ නම් ධර්මය ශ‍්‍රාවකයනට අවබෝධ කරවන්නේද?”
24 වන පිට
බුද්ධාගමේ හර පද්ධතිය විනාශ කරමින් ශ‍්‍රි ලංකාව පුරා පැතිර යමින් තිබෙන බොදු බල සේනාව, රාවණා බලය වැනි සංවිධාන පවා ඞීබී ගේ පෑනට හසුවෙයි. සමහර ශ‍්‍රී ලාංකිකයනට මේ ව්‍යසනය නොපෙනී තිබියදී එසේත් නොවේ නම් අනුමත කරමින් තිබියදී විවිධ නම් වලින් පැන නගින මේ සංවිධාන විසින් කරනු ලැබෙමින් තිබෙන හානිය ඔහු අපට පෙන්වා දෙන්නේ තර්කානුකූලවය. ඒ සඳහා ඔහුට ඇති අයිතිය කිසිවකුට ප‍්‍රශ්න කළ හැකි නොවේ.
”ගිහියකු වන මා මේ වාගේ දේට කට නොදමා සිටිය යුතු යයි මට කියන අය සිටිය හැකිය. මම සාසනය සුද්ද කරන කොන්ත‍්‍රාත්තුවක් අරගත්තු පුද්ගලයෙක් නොවෙමි. මම සාසෙනය බාරව සිටින්නෙක්ද නොවෙමි. බුදුන් ව\ින – අදහන – පුද්ගලයකු හැටියට මට හිතෙන අදහස් කියා පෑමේ අයිතිය නම් මම අත් නොහරිමි. ”
59 වන පිට
සන්නිවේදන සංක‍්‍රාන්තිය නම් වන ලිපිය සන්නිවේදනය පිළිබඳව ලියැවුණ අගනා ලියවිල්ලකි. සන්නිවේදය පිළිබඳ කරුණු රැුසක් ඉතා සරළව ඉදිරිපත් කර ඇති ආකාරය සිත් ගන්නා සුළුය. සන්නිවේදනය හදාරන්නවුන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයාටද එයින් ගත හැකි දැණුම විශාලය. අධ්‍යයනයත් ඉතා දිග කාලයක් ශ‍්‍රී ලංකාවේ ආයතන රැුසක සේවය නිරීමෙන් ලේඛකයා ලබාගත්  අත්දැකීම් සම්භාරයත් මේ ලියවිල්ලට පාදක වී ඇති බව පෙනෙයි. වඩාත් වැදගත් වන්නේ තමා ඉදිරිපත් කරණ කාරණා රසවත් ලෙස ඉදිරිපත් කරන්නට ඔහුට ඇති හැකියාවයි.
”ඇඟිල්ල දිගු කළ පමණින් හිතූ දෙයක් කළ හැකි මිනිසකු තවෙකකුට හඳ අරන් දුන්නේ ඇඟිල්ල දිගු කොට එය රත්තරන් බවට හරවලාය. අර මනුස්සයා ඒක ගන්නේ නැතිව මේ මිනිහාගේ ඇඟිල්ල දිහා බලාගෙන ඉන්නවාය. මොකද තමුසෙට මගේ ඇඟිල්ලත්  ඕනෑ ද? පිලිතුර ඔව් යන්නය.”
81 පිට
ගලිපලි – ෆුටි – මේට්ෂිප් ලිපිය ඔස්ටේ‍්‍රලියාවේ අතිතයත් වර්තමානයත් පිළිබඳව කරුණු රැුසක් පාඨකයාට ගේ බුද්ධියට යොමු කරන වැදගත් ලිපියකි. පළමුවැනි ලෝක මහා යුද්ධයේදී  ඕස්ටේ‍්‍රලියානු හමුදාව මුහුණ දුන් අතිබිහිසුනු ගලිපලි සටනින් ආරම්භ වන ලේඛණය  ඕස්ටේ‍්‍රලියානු සාහිත්‍ය කෘති හරහා  සියවස් දෙකක ඉතිහාසයක් ඇති මේ රටේ ජන ජීවිතය හා සමාජය විශ්ලේෂණය කරන ආකාරය හරවත්ය. කතුවරයා විසින් සග – දම යනුවෙන් හඳුන්වනු ලබන ”මේට්ෂිප්” යන  ඕස්ටේ‍්‍රලියානු සංකල්පය ගොඩ නැගෙන ආකාරය ඔහු විස්තර කරන්නෙු මෙසේය.
”මේ සංකල්පය සැබැවින්ම මෙ රට නව දිවියට හුරු පුරුදු වන ආගන්තුකයන් වශයෙන් සුදු ජාතිකයෝ කටුක දිවියක් ගත කිරීමට සූදානම්ව සිටි අතර එසේ දුෂ්කර පෙදෙස්වල වාසය කිරීමේදී තනිකඩ පිරිමින් එකිනෙකා කෙරෙහි ඉමහත් බැඳීමක් හා සුහදතාවක්ද වර්ධනය කර ගත් බව පෙන්වයි. බැද්දේ ගොවිතැන් කරමින් හා් බැටලූවන් දක්කාගෙන තැන තැන යමින් ගත කළ දිවිය තරමක්වත් සැනසිලිදායක වූවක් කරන්නට මෙබඳු සමාගමය සහ බැදි ගී ගායනයද සමත් වූ බව පෙනෙයි. ”
100 වන පිට
පොතේ ඇතුළත්ව ඇති පාඨක ප‍්‍රතිචාර, පයින් එන්නෝ සහ කටින් එන්නෝ යන ලිපි දෙක මේ පොතට ඇතුළත් නොවුණා නම් සුදුසු යයි මම සිතමි. අතිශය පුද්ගලික කරුණා කාරණා සහිත ඒ ලිපි දෙකෙන් පොදු පාඨකයාට ලබාගත හැකි යමක් මට නොපෙනෙයි. ඪීබී ගේ හැම පොතකම පාහේ එන තමන් බලන්නට ආ අය, තෑගි බෝග ගෙන ආ අය ගැන විස්තරත් තමන්ගේ පොත් කියවූ අය ගැන විස්තරත් වැදගත් වන්නේ ඒ නම් සඳහන් අයට පමණකි. පාඨකයාට ඒ කතා වලින් ගත හැකි යමක් නැත.
ඞීබී හැම පොතකම පාහේ කරන මැසිවිල්ල – තමන් ගේ පොත් නොකියවූ අය පිළිබඳව කරන චෝදනාව, මේ පොතේද ඇත. තමාගේ පොත් කියවූ සියල්ලන් තමාට කතා කර ඒ බව ඔහුගේ මතක පොතේ තැන්පත් කළ යුතු යයි බලාපොරොත්තුවීම ඔහුට තරම් නොවේ යයි මම සිතමි.  අනෙක් අතින් තමන්ගේ පොත් කියවූ අය පිළිබඳ ඔහු දක්වන සංඛ්‍යාලේඛණද වැරදිය. උදාහරණයක් ලෙස ඔහුගේ ”අර්බත් දරුවෝ” කියැවූ පිරිස අතරට යටත් පිරිසෙයින් තව නම් දෙකක් වත් ඇතුළත් විය යුතු බව මම දනිමි. මේ දෙදෙනාම ඞීබීට කතා කර ඒ බව දන්වා නොසිටි බවද මම දනිමි.  එසේ නොකළේ එසේ කිරීමේ අවශ්‍යතාවක් නොවූ නිසා බවද මම දනිමි. පොත් කියැවිය යුත්තේ කතුවරයා සතුටු කරන්නට නොවේ.
සන්නිවේදන සංක‍්‍රාන්තියේ එන ක‍්‍රිස්තියානි බෞද්ධයා ලිපිය බොහෝ පාඨකයන්ගේ ඇස් අරවන ලිපියකි. ඔහු කියනා සේ ම මේ මාතෘකාව දෙපිට විලක්කුව වගේම ය. කතුවරයා උපුටා දක්වන වල්පොල රාහුල හාමුදුරුවන්ගේ ප‍්‍රකාශය යට ගසන්නට අපේ බොහෝ යතිවරු කැමැත්තෝය. නිවන් දකින්නට පවා බෞද්ධ ලේබලයක් අවශ්‍ය නොවේ. ප‍්‍රදර්ශනාත්මක බෞද්ධයන් වන අපේ සමාජයේ බහුතරයට මෙවැනි මාතෘකා නොරුස්සන්ට ඇති ඉඩ කඩ විශාලය. කණගාටුවට කාරණය බුදු දහමේ මූලිකව කියැවෙන විචාර බුද්ධ්ය අපේ බොහෝ බෞද්ධයන් තුළ නැති කමය. එක්තරා බණ දේශනාවක් පිලිබඳ උදාහරණ සහිත සඳහනක් කරමින් මේ ලිපියේ එක් තැනක ඞීබී මෙසේ ලියයි
”ඤාණානන්ද හිමියන් බණ කියන්නට සමත් බව ඇත්තය. එහෙත් මෙහෙම බණ කියලා රට රවටන්නේ ඇයි? ඔය බණ නම් බුදු බණ නොවෙයි. ඇයි දෙයියනේ කවුරුන්වත් ඒ ටික කටක් ඇරලා නොකියන්නේ? ”
148 වන පිට
ඞීබී ගේ ප‍්‍රශ්නයට පිලිතුර සරළය. කෙළින් කතා කරන මිනිසුන් ගේ දැඩි හිඟයක් දැන් පවතියි. දැන් සිටින්නේ අන්දන මිනිසුන්ය. ඒ අන්දන මිනිසුන් කපා මසා දෙන ශ්වේතාම්බර පට සළුවෙන් නිමවූ ඇඳුම් ඇඳගෙන සිටින්නට ලේඛකයෝ ගිහියෝ පමණක් නොව යතිවරුද කැමැතෝය. කෙළින් කතා කරන මිනිහා හැම තැනකදීම කැපී යයි.
මා ඞීබී බොහෝ තැන්වල හඳුන්වන්නේ කෙළින් කතා කරන පරපුරේ අවසන් පුරුකක් ලෙස ය. තවමත් ඒ හැඳින්වීම වළංගුය. හරි හෝ වැරදි හෝ ඞීබී තමන්ට හිතෙන දේ කෙළින් කියයි. එහෙත්  ඕපාදූප වලින් බැහැරව ශාස්ත‍්‍රීය ලේඛණය ගැන පමණක් සිත යොදවනවා නම් ඔහු දශක පහකටත් වැඩි කාලයක් තිස්සේ කරගෙන ආ මේ අමිල මෙහෙවරේ දීප්තිය තවත් බොහෝ වැඩිවෙනවා නිසැකය.
ජගත් ජේ එදිරිසිංහ

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)