එදා මම ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් කරපු කැපකිරීම අපරාධයක් – ලූෂන් බුලත්සිංහල

No Comment 52 Views

පසුගිය මාසයේදී අනේ පුංචි කාලිදාස නම් උපහාර උලෙළේදී උපහාර ලද, මෙවර රයිගම් සම්මාන උලෙළේදීද හොඳම ටෙලිනාට්‍ය තේමා ගී පද රචනයට හිමි සම්මානයට හිමිකම් කී ලූෂන් බුලත්සිංහලයෝ ප්‍රවීණ වේදිකා නාට්‍යකරුවෙකි. තාරාවෝ ඉගිලෙති, රතු හැට්ටකාරී ආදී නාට්‍ය තුළින් ජනප්‍රිය වූ ඔහු, රූපවාහිනිය පැමිණි මුල් සමයේ ශ්‍රී ලාංකීය රූපවාහිනිය තුළ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් ඇති කරනු වස් ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉෂ්ට කළ රූපවාහිනී ප්‍රධානීන්ගෙන් කෙනෙකි. එහෙත් වත්මන් ටෙලිනාට්‍ය කලාව ගමන් කරන දිශාව සම්බන්ධයෙන් සැලකීමේදී ඔහු දරන්නේ වෙනස්ම මතයකි. මේ ඒ පිළිබඳ ඔහු සමග කළ කතාබහකි.

 

“අද මට හිතෙනවා ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් එදා මම කරපු කැප කිරීම අපරාධයක් කියලා. ඵල දරන්න ලැබුණෙ නැහැ ඒවට. ගුවන් විදුලිය වගේ ඊටම අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගෙන්න ඉඩක් ලැබුණෙ නැහැ. ඒත් ඕනෑම වෘත්තියක මෙවැනි සංස්කෘතියක් තිබෙනවා. උදාහරණයක් විදිහට පත්වීම් සිදුවන ආකාරය, උසස්වීම් සිදුවන ආකාරය, සේවකයන් අගය කරන්නේ කොහොමද ආදී වශයෙන් සංස්කෘතිකාංග එහි පවතිනවා. ඒත් ලංකාවේ මේ සියල්ල සිදුවෙන්නෙ එක්කෝ දේශපාලන බලපෑම් මත. එක්කෝ පෞද්ගලික කල්ලිවාදය මත. එක්කෝ හුදු පෞද්ගලික සම්බන්ධකම් මත* ඔහු කතාව ඇරඹුවේය.

එදා තමන් ලද රූපවාහිනී සංස්ථා පත්වීම ගැනද ඔහු සිහිපත් කළේය.

“1971 වසරේ තමයි මම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ. මම ඊට අවතීර්ණ වෙන්නේ ස්ථිර නිවේදකයෙක් හැටියට. ප්‍රේමකීර්ති ද අල්විස්, නිව්ටන් ගුණරත්න, කේ.ඩී.කේ. ධර්මවර්ධන ආදී ශිල්පීන් තමයි ඒ කාලෙ මාත් සමග පැමිණියේ. එතැනදි අපි උපාධිධාරීන් හැටියට පිටින් ඇවිත් තමයි මෙහි ස්ථිර පත්වීම් ලැබුවේ. මොකද ඒ කාලෙ උපාධියක් තිබීම නිවේදකයෙකු වීමට සුදුසුකමක් වී තිබුණා. කොහොම වුණත් මුල් කාලෙදි නම් යම් යම් අකරතැබ්බවලට මුහුණදෙන්න සිද්ධ වුණා. එක් වතාවක් පෞද්ගලික හේතුවක් මත තේවිස් ගුරුගේ මහත්මයා මාව නිවේදක තනතුරින් පවා ඉවත් කළා.

ඒත් පසුව එතුමාම මගේ නිර්දෝෂී බව තේරුම්ගත්තා. ඒ නිසා තමයි තමන්ට බලය ලැබුණු වෙලාවෙ රූපවාහිනී ප්‍රධාන නිලධාරීන් විදිහට ඉදිරියේදී කටයුතු කිරීමට අපිව මැලේසියාවට යැව්වෙ. මම එක්ක ප්‍රවිණ නාට්‍යවේදී බන්දුල විතානගේ ඇතුළු තවත් කීප දෙනෙක්ම ඒ පුහුණුව සඳහා ගියා. අනික ඒ වෙද්දි මම ගීත සහ නාට්‍ය හරහා නමක් දිනාගෙන සිටි නිර්මාණකරුවෙක්. හැබැයි අපට ඒ ගමනට සූදානම් වෙන්න ලැබුණෙ එක දවසක දැනුම්දීමක් පමණයි. යන්න කලින් දවසෙයි ඒ ගැන අපට කිව්වෙ.

ඒත් ගිහින් එද්දි එතුමා අපිව රූපවාහිනී සංස්ථාවට මුදාහරිනු ලැබේ යනුවෙන් ලියුම් ගහලත් ඉවරයි. අනික තේවිස් ගුරුගේ මහත්මයත් සංස්ථා සභාපතිවරයා විදිහට අපිත් එක්ක එන්නයි හිටියේ. ඒත් අපේ අවාසනාවකට ගුරුගේ මහත්මයට එන්න ලැබුණේ නැහැ.

 

ඔහු රූපවාහිනිය වෙනුවෙන් කළ තාරා දේවි නිෂ්පාදනය පිළිබඳවද මතකය අවදි කළේය.

“අපි එතැන තනිවුණා. එනිසා අපට එතැන සැලකුවේ අලුතින්ම එතැනට ආපු පිරිසක් හැටියට. අපේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ පරිණත බවට එතැන සැලකිල්ලක් ලැබුණෙ නැහැ. එහෙමයි පසුව පැමිණි පරිපාලන අධිකාරිය කටයුතු කළේ. ඒ නිසා ධම්ම ජාගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් රූපවාහිනී නාට්‍ය අංශයෙන් අපට ඕනෑ දේ ලබාගන්න විශාල දුකක් විඳින්න වුණා. එම්.ජේ. පෙරේරා තමයි ඒ කාලේ සභාපතිවරයා. එතුමා හිටපු කාලෙත් යම් යම් අසාධාරණකම් සිදුවුණා. ඒත් අපි යන්තම් හරි ඔළුව උස්සන් ඒ දවස්වල හිටියා.

ඒත් එතුමාටත් අවසානයේදී එම තනතුරින් ඉවත්වෙන්න සිදුවුණා. අපි කබලෙන් ලිපට වැටුණා. මම එතකොට තාරා දේවි^ නිෂ්පාදනය කරමින් හිටියේ. කොහොම වුණත් ඒ කාලෙ පැවැති එකම සම්මාන උලෙළ වුණේ විජය-රූපවාහිනී සම්මාන උලෙළ. එම සම්මාන උලෙළේ පැවැති සම්මාන එකොළහෙන් නවයක්ම හිමිවුණේ තාරාදේවි නාට්‍යයට. ඒත් අවාසනාව කියන්නෙ හොඳම අධ්‍යක්ෂවරයා ඇතුළු සම්මාන දිනාගත් ඒ ටෙලිනාට්‍යය තමයි මම රූපවාහිනිය වෙනුවෙන් කළ අවසන් ටෙලි නාට්‍යයත්. 1986 තමයි මම ඒ ටෙලිනාට්‍යය නිර්මාණය කළේ. නමුත් 1996 වසර තෙක් මම රූපවාහිනියේ හිටියත් නැවතත් ටෙලි නාට්‍යයක් කරන්න රූපවාහිනිය ඉඩදුන්නේ නැහැ.

රූපවාහිනී සංස්ථාව අසාර්ථක ආයතනයක් වී ඇති බවද ලූෂන් බුලත්සිංහල මහතා මෙහිදී පැවසුවේය.

මම ඒ කාලෙ රූපවාහිනියට ගෙනා බොහෝ යෝජනා ප්‍රතික්ෂේප වෙනවා. මේ නිසා වරක් මාවයි, බන්දුලවයි අනිවාර්ය නිවාඩු යවනවා. ඒ ප්‍රේමදාස ආණ්ඩු සමයේදී. තවත් වරක් චන්ද්‍රිකා ආණ්ඩු සමයේදීත් ඒ දේම සිදුවෙනවා. ඒත් අපි වැරැද්දක් නොකර තමයි මේ සියලු අවස්ථාවලදී අසාධාරණවලට ලක්වුණේ. ඒත් ඇයි අපට මෙහෙම කළේ. ඒක අපට අදටත් ප්‍රශ්නයක්. හැබැයි පසුකාලීනව රූපවාහිනියට ඇතුළුවෙන්නෙ පුහු මිනිස්සු ටිකක් බව අපි දැන් දකිනවා. අද එය අසාර්ථක ආයතනයක් වෙලා තියෙන්නේ ඒකයි.

රංගන ශිල්පීන් කුලීකාරයන් වී ඇති බවටත්, රංගනය තුළ නිර්මාණයක් කළ හැකි අය නොමැති බවටත් ඔහු චෝදනාවක්ද කරයි.
ඩබ්ලිව්. ජයසිරි අද ඉන්නේ සඟ, වෙද, ගුරු, ටෙලි කම්කරු පිරිසක් කිව්වා. අද නළුවා වෙනුවෙන් සංස්කෘතියක් බිහිවෙලා නැහැ. ඒත් නළුවාට අදාළ වෘත්තීය ව්‍යුහයක් තියෙනවා. ඒ බව අපි දැනගත යුතුයි. ඒ වගේම ඊටම අනන්‍ය වූ ආචාරධර්ම පද්ධතියකුත් තියෙනවා. මේවා නළුවා වගේම නළුවා වටා බැඳුණු වෘත්තීය ක්ෂේත්‍රය විසින් ආරක්ෂා කරන්න ඕන. ඒත් ලංකාවෙ එහෙම තත්ත්වයක් නැහැ.

හිටපු ගමන් නළුවෙක් වෙන්න බැහැ. යම් යම් සුදුසුකම් සපුරාලන්න ඕනි. ඒත් ලංකාවේ දේශපාලඥයන් පවා පහුගිය කාලෙ නළුවන් වුණා. ඒක තමයි ලංකාවේ තත්ත්වය. වෘත්තිය බල්ලට ගිය බව ඒකෙන්ම පැහැදිලියි. සල්ලි, බලයයි තියෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වුණත් නළුවෙක් වෙන්න අද පුළුවන්. ඒක පැහැදිලියි, එහෙනම් මෙවැනි තත්ත්වයක් තිබියදී තමන්ගේ ශිල්පීය රංගන නිපුණත්වයෙන් අපූර්වත්වයක් ඇති කරන්න නළුවන්ට පුළුවන්ද? එවැනි නළුවන් බිහිවෙයිද ?

කෙසේවෙතත් තමන්ද මේ මොහොතේ බාල මට්ටමෙහිලා සැලකෙන ටෙලි නාට්‍යවලට දායක වීම පිළිබඳවද ඔහු කියා සිටියේය.
ලූෂන් බුලත්සිංහල කියන නළුවාට මේක තනියෙන් හදන්න බැහැ. ඒක මම පැහැදිලිවම තේරුම් අරන් ඉවරයි. ඒ නිසා මට ලැබෙන චරිතයකදි දෙගොල්ලන්ටම සම්මුතියකට එන්න පුළුවන් නම් අන්න එතැන ඉඳන් මම කටයුතු කරනවා.

අනික අද නළු නිළියන්ට වෘත්තීයමය තත්ත්වයක් තියෙනවා නම් ඔවුන්ට වෘත්තීය සංස්කෘතියක් තියෙන්න ඕනි. නවාතැන් පහසුකම් ව්‍යුහය, ප්‍රවාහන පහසුකම් ව්‍යුහය, දිනකට සේවය කරන පැය ගණන ආදිය මීට ඇතුළත් වෙන්න ඕනි. විශේෂයෙන්ම අද සිටින කිසිම නළු නිළියෙක් රක්ෂණය කරලා නැහැ. ඒක බරපතළ තත්ත්වයක්. ඒත් වෙන රටවල එහෙම නැහැ. ලංකාවේ මේවට කතා කරන්නවත් කෙනෙක් නැහැ. ඉල්ලීමක් කරන්න විදිහකුත් නැහැ. මොකද අද හැමෝම බෙදිලා, එකමුතුවක් නැහැ. සංගීත ක්ෂේත්‍රය වුණත් එහෙමයි. වටු වැද්දාගේ කතාව තමයි කියන්න තියෙන්නෙ. මේ නිසා දැල දාන මනුස්සයට අද හුඟක් පහසුයි. දැල ඔසවාගෙන යා හැකි කලාකරුවන් පිරිසක් බිහිවෙන්නෙ නැතුව කොහොමද කලාව දියුණු කරන්නෙ?

ඒත් දැන් අවශ්‍ය වෙන්නෙ එකමුතුවක් නේද?

මේ මොහොතේදිත් අපි, පරාක්‍රම නිරිඇල්ල, සුනිල් විජේසිරිවර්ධන, ධර්මසිරි බණ්ඩාරනායක සමග ජාතික රංග ශිල්පීන්ගේ එකමුතුවක් හදන්න මහන්සි ගන්නවා. දැනට නම් ඊට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි මීට ඊටම අනන්‍ය වූ සංස්කෘතියකුත් නිර්මාණය විය යුතුයි. ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියකුත් තිබිය යුතුයි. ගෙවීම් සිදුවෙන්නේ කොහොමද? වැඩ කළ යුත්තේ කොහොමද ආදී වශයෙන් පැවැත්මක් ඇතිවන රැකවරණයක් ඇති වියයුතුයි. ඒත් කලාකරුවන්ගෙන් යමක් බලාපොරොත්තු වෙනවා මිසක් මෙවැනි තත්ත්වයක් ලබාදෙන්න කවුරුත් සූදානම් නැහැ.

ලාංකේය අධ්‍යාපනයද මීට බලපා ඇති බවක්ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ලංකාවේ අධ්‍යාපනයත් මීට වගකිව යුතුයි. ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරුන් තමන්ගේ ළමයින්ට ලංකාවේ උගන්වනවද? පිටරට යවලයි හුඟක් ඇමැතිවරු ළමයින්ට උගන්වන්නේ. එහෙනම් මොකක්ද අපේ අධ්‍යාපන ඇමැතිවරු කරන අධ්‍යාපන ඇමැතිකම. ඔවුන්ටවත් ලංකාවේ අධ්‍යාපනය ගැන විශ්වාසයක් නැහැ. එහෙම් පිටින්ම කපටිකමක් ඔවුන් කරන්නේ.

මිනිස්සුන්ව මුළාකිරීමක් කරන්නේ. ඒ නිසා අද පවතින්නේ විභාග පවත්වන අධ්‍යාපන ක්‍රමයක් පමණයි. ඒත් විභාග පවත්වන එකද අධ්‍යාපනය කියන්නේ? දරුවෙකුට අධ්‍යාපනය ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් වෘත්තීයමය නිපුණත්වයක් සමග අත්දැකීමෙන් ලැබෙන දැනුම. අනික තමයි විෂයානුබද්ධව ලැබෙන දැනුම. මේ දෙකම අද නිසියාකාරව ලැබෙන්නේ නැහැ. මීට නිසි යාන්ත්‍රණයක් නැහැ. එවැනි අඩිතාලමක් සකස් නොවී කොහොමද රටක් ඉදිරියට යන්නේ ?

 

අද

 

 

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)