පාඨකයා රාමු කරන්න කතා ලියන්නේ නැහැ – කාංචනා අමිලානි

No Comment 39 Views

ඇගේ කවි හී තුඩු මෙන් ප්‍රබල ය. ඒවා කියවන වාරයක්, වාරයක් පාසා අපේ හදවත් රිදවයි. මේ සංවේදීභාවයට අමතරව සියුම් සමාජ විචාරයක් හා උපහාසයක් ඇගේ කෙටිකතාවල ඇත. අප දකින, විඳින ලෝකය ඊට වඩා වෙනස් ලෙස ඈ අප වෙත සමීප කරන්නේ මායාව සැබෑව තරමටම සමීප කරවමිනි. මේ සියල්ල අදාළ වන්නේ ඇගේ නිර්මාණ ජීවිතයට ය. කාංචනා අමිලානි ‘දිනමිණ’ පුවත්පතෙහි විශේෂාංග ලේඛිකාවකි. එහි ඉතිහාසය12 වසරකට ආසන්න ය. ඇගේ ප්‍රථම නිර්මාණ ද්විත්වය වන “ගම්මිරිස් කුරුල්ලා” කෙටි කතා එකතුව හා “ප්‍රේමයේ කාර්තු” කාව්‍ය සංග්‍රහය මේ මස 23දා (හෙට) සවස 3.00 ට මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩියි. එහිදී කපිල කුමාර කාලිංග හා මාලින්ද සෙනෙවිරත්න දෙසුම් පවත්වති. මේ ඇගේ හඬයි.

* ඔබේ කෙටිකතා මායා යථාර්ථවාදයට සමීපයි. ඒ වගේම ඔබේ කවි ඒකට සම්පූර්ණයෙන්ම වෙනස්. රොමෑන්ටික්වාදයකටයි ඒවා ගමන් කරන්නේ. මේ වෙනස ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

මගේ කෙටිකතාවල ඉන්න සත්තු කතා කරන නිසා සහ ඒවායේ ජීවත් වන අනිත් චරිත මැජික් ගති ලක්ෂණවලින් යුක්ත හින්දා වෙන්න ඇති මේ සමීපකම දැනෙන්නේ. ඒක මං හිතාමතා කරපු දෙයක් නෙවෙයි. ඇත්ත ජීවිත කතා ලියන්න මට උනන්දුවක් ඇති වෙන්නෙ නෑ. මට ඒවා ඒ හැටි අපූරු බවක් පේන්නෙ නෑ. ඒවායෙන් මාව උද්දාමයට පත් වෙන්නෙ නෑ. මං හොයාගෙන ගියා මාව උද්දාමයට පත් වෙන ජාතියේ කතාන්දර කීමේ කලාවක්. මේවා ඇත්තවත්-බොරුවත් නෙවෙයි. හැම දේකම පොඩි ඇත්තක් වගේම පොඩි බොරුවක් තියෙනවා. මං වැඩිපුරම කැමැති අන්න ඒ ලක්ෂණයටයි. දෝලනය වෙමින් මට ඕන කතාව කීම තමයි මං ප්‍රිය කරන ශෛලිය. එහෙම බැලුවම මගේ කෙටි කතා මායා යථාර්ථවාදයට සමීප වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන විශේෂ තැකීමක් නෑ. මොකද ලිවීමේ ක්‍රමය ගැන හිතන්න ගියා නම් මට මේ ලිවීම තවත් අමාරු වේවි.

ඊළඟට මගේ කවි රොමෑන්ටික්වාදයකට ගමන් කිරීම ගැන මට සතු‍ටුයි. ඒක තමයි මං මගේ පළමු කවි පොතෙන් බලාපොරොත්තු වුණේ. සයුර ප්‍රකාශක, නිලන්ත ගමගේට වුවමනා වුණෙත් පෙම් කවි එකතුවක් ප්‍රකාශයට පත් කරන්න. කවි ‍තෝරද්දි අපි ප්‍රවේසම් වුණා, පෙම් කවි වැඩිපුර ‍තෝර ගන්න. වෙනත් මාතෘකා ගැන අතලොස්සක් කවි තමයි මගේ කවි පොතේ තියෙන්නේ.මේ වෙනස තමයි මට වුවමනා කළේ. ඒක වෙනසක් විදිහට ඔබට පේන එක ගැන මට සතු‍ටුයි.

* ඔබේ නිර්මාණ තුළ සංකේත ඉතාම ප්‍රබල විදිහට භාවිත වෙනවා. ඒ මඟින් සාමාන්‍ය පාඨකයාට ඇති කරන බලපෑම ගැන ඔබ සැලකිලිමත් වුණාද? ඔබ ලියන්නේ පොදු පාඨකයාටද? එහෙමත් නැත්නම් ‍තෝරාගත් පාඨක තීරුවකටද?

මං කැමැත්තෙන් සංකේත පාවිච්චි කරන කතාව ඇත්ත. හැබැයි සාමාන්‍ය පාඨකයාට මේ සංකේත හෝ සන්නම් තේරෙන්නෙ නෑ කියලා මං හිතන්නේ නෑ. අද ඉන්න පාඨක ප්‍රජාව, ලේඛක ප්‍රජාව, ලේඛකයාට වඩා ඉස්සරහින් ඉන්නවයි කියලයි මං හිතන්නේ. මං මේ කතා කරන්නේ සයිබර් සාහිත්‍ය ගැන විතරක් නෙවෙයි. දැනුම සහ කියැවීම විශාල වේගයකින් වර්තමාන සමාජයට කාන්දු වෙලා ඉවරයි. එහෙම වාතාවරණයක් තුළ පාඨකයා ගැන සුළුවෙන් තකන්න බෑ කියලයි මං හිතන්නේ.

‍තෝරාගත් පාඨක තීරුවකට මං ලියන්නේ නෑ. වෙන්නේ මගේ ලිවීම යම් පාඨක තීරුවක් විසින් ‍තෝරා ගැනීමයි. මං උත්සාහ කරන්නේ ඒක ප්‍රසාරණය කරගන්න. ‍තෝරා ගැනීමේ අවස්ථාව වැඩි කරවාගන්න.

* උපහාසයට අමතරව සමාජ විවේචනයක් ඔබේ නිර්මාණ තුළ තිබෙනවා. එවැනි ප්‍රවේශයක් යටතේ ලේඛකයා අදහස් කළ දෙයට වඩා වෙනස් කියැවීමකට පාඨකයා යොමුවීම ගැටලුවක් නෙමෙයිද?

පාඨකයා මගේ නිර්මාණවලින් කියැවීම් කිහිපයකට යනවා නම් මං වඩාත් කැමැතියි. මුලින් කිව්වා වගේ පාඨකයා ලේඛකයාට වඩා පසුගාමීයි කියන පූර්ව අදහසින් නෙවෙයි මං ඉන්නේ. මගේ නිර්මාණවල යටි පෙළක් කියවගන්න අපහසු පාඨකයෝ ඉන්න පුළුවන්. ඒත් බහුතරයට එහෙම අපහසුවක් නැතිව ඇති කියලා මං හිතනවා.

ඊළඟට සමාජ විවේචන ආදිය සෝපහාසයෙන් කීමෙන් තමන් විසින් තමන්ටම හිනාවෙන්න පුරුදු කිරීමත් වගේ දෙයක් මං බලාපොරොත්තු වෙනවා. පාඨකයා වෙනස් කියැවීමකට යන්න ලෑස්ති නම්, ඔහු ඒ කතාව ඇතුළෙන් තවත් අලුත් කතාවක් හෝ වෙනත් කතාවක් කියව ගන්න ලෑස්ති නම් මං ඒ ගැන සතුටු වෙනවා. මට අවශ්‍ය නැහැ මගේ කතාවලින් නිශ්චිතාර්ථ දීලා කියවන්නා කොටුවකට දාන්න. ඔහුට නිදහස දීලා මේ කතාව තමන්ට ඕනෑ හැටියකට කියවා ගන්න දෙන්නයි මට ඕනේ.

* ඔබේ නිර්මාණ තුළ ශ්‍රී ලාංකේය ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ලක්ෂණ දකින්න ලැබෙනවා කිව්වොත් ඔබ එය ප්‍රතික්ෂේප කරනවාද? ඊවා රණවීර, තිලිණා වීරසිංහ, සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක වගේ ලේඛිකාවන්ගේ ලිවීම්වලින් ඔබට යම් ආභාෂයක් ලැබුණද?

මගේ ලිවීම තුළ ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. මම ස්ත්‍රීයක් වීමම ඒකට හේතුවක් කියලා ඔබ හිතනවා නම් ඒක වැ‍රැදියි. මම සමාජය ප්‍රතිසංස්කරණය කරන්නවත්, උපදෙස් දෙන්නවත් ලියන කෙනෙක් නෙවෙයි. මුලින්ම කියන්න ඕනා මං ලියන්නේ මට. ඊට පස්සෙයි ඒවාට අනෙක් අය කැමැති වෙන්නේ. ඊවා රණවීරගේ ලිවීම හිතුවක්කාරයි. තිලිණා වීරසිංහගේ ලිවීම හරිම වේගවත්. නිකං සැඩ පාරක් වගෙයි. ඔය අතරේ සුනේත්‍රා රාජකරුණානායකගේ ලිවීම ඉතාම මෘදුයි. කතාවක් කීමේ කලාව ඈ හොඳටම දන්නවා. ඊළඟට සුමිත්‍රා රාහුබද්ධගේ ලිවීම තියුණුයි. මේ හැම කෙනෙකුටම මම කැමැතියි. ඒ අය කියැවීමෙන් ඔය කියන ගති ලක්ෂණ මං උරා ගන්න ඇති. ඒත් මගේ ලිවීමේ තියෙන්නේ සෝපාහාසයක් මිශ්‍ර වෙච්ච තමන්ටම හිනා වීමේ ගතියක්. එහෙම බැලුවම මට ලොකු බලපෑමක් කළේ ජෙරල් ඩරල්ගේ ‘මයි ෆැමිලි ඇන්ඩ් අදර් ඇනිමල්ස්’ වගේ පොත්. මං ප්‍රිය කළේ කාල් මලර්ගේ ‘ද ජෑම් ෆෘට් ට්‍රී’ වගේ පොත්. ලිවීමේ අලුත් ක්‍රමයක් අත්හදා බලන්නයි මට වුවමනා වුණේ.

* කිවිඳියක් හැටියට ඔබ ඉතාමත් වේගවත් ලිවීමක නිරතව සිටිනවා. ඒ වගේම ඔබට හොඳ පාඨක ප්‍රජාවක් ඉන්නවා. මෙසේ තිබියදී කවි පොතක් පළ කරන්න ප්‍රමාද වුණේ ඇයි?

වේගවත් ලිවීම සෘජුවම බලපෑවේ සයිබර් අවකාශයටයි. කාලයක් මුළුල්ලේම මම ‘හිතනලන්තය’ කියලා බ්ලොග් අඩවියක් ලියනවා. වසර හතරක් ඇතුළත මේ බ්ලොග් අඩවියට මිලියන දෙකක කියවන්නන් ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. දිනකට 2,000 – 3,000 ත් අතර නිශ්චිත කියවන්නන් ප්‍රමාණයක් පැමිණෙනවා. මේ හේතු නිසා දිනපතාම මගේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න මං පුරුදුවෙලා හිටියා. ෆේස්බුක් “වලාකුළු අතර” කියන කවි ෆෝරම් එකත් ඒකට ලොකු සහයක් දුන්නා.

කිවිඳියක් විදිහට මුල්ම කවි පොත නිකුත් කරන්න ප්‍රමාද වුණා කියලා නම් මං හිතන්නේ නෑ. මං සෑහීමකට පත් වුණ මොහොතේ තමයි “ප්‍රේමයේ කාර්තු” කවි පොතක් වුණේ. සමකාලීන සයිබර් කවි පරම්පරාව එක්ක බැලුවම මං පමාවෙලා පිපුණු කවියෙක් තමයි. ඒත් ඒ පමාව මං වුවමනාවෙන් කළ දෙයක්.

* නිර්මාණයක ප්‍රබන්ධමය ස්වභාවය අමතක කර එය නිර්මාණකරුවා නිශ්චය කරන්න මෙවලමක් ලෙස සමාජය භාවිත කරනවා. එවැනි තත්ත්වයකුත් තුළ මෙහෙම පොතක් ලියන්න බය හිතුණේ නැද්ද?

බය හිතුණොත් කවදාවත් තමන් කැමැති දෙයක් ලියන්න බැරි වෙයි. මේ සමාජ ක්‍රමය ඇතුළේ ලිවීම භයානක දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඒක ලේඛකයෙකුට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඔහු හෝ ඇය තමන් කියන්න යන කතාවට හැකිතාක් අවංක වෙන්න ඕනා. අනෙක් අය මගේ ගැන හිතන විදිහෙන් මගේ ලිවීම වෙනස් කරන්න මට ඕනා නෑ. මෙහෙම පොතක් ලියන්න බය වෙන්න ඕනත් නෑ.

 

dinamina.lk

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)