කුක්කුර වත – සීතා මහේන්ද්‍ර

No Comment 182 Views

ඩියුක්ට සමු දී තෙමසක් ගත වූ පසු ද පබසරා ඩියුක් සිටි සිඟිති නිවහන දෙස බලා සිටියේ නිම නොවන ශෝකයකිනි. සෙනහසින් ඇය වෙත ළං වූ භානුක “සරා ඔයා කොච්චර දවසක් ඔය විදියට දුකින් ඉන්ඩ ද බලාගන ඉන්නෙ? අපි ජිවිතයට මූණ දෙන්ඩ ඕනෑ. ඩියුක් හිටියා. ඩියුක් ගියා. ඒත් අපි තාම ඉන්නවනෙ.”

“ඒ වුණාට භානු ඔයා දන්නවනෙ ඩියුක් මගෙ හතරවෙනි පුතා කියලා. මගේ කුසින් ඉපදුණේ නැති උණාට කකුල් හතරක් තිබුණට එයා මගෙම පුතෙක්. අනිත් ඒ ගොල්ලන්ට තේරුණේ නැති වුණාට ඩියුක් කරපු හැම දෙයක්ම මට තේරුණා. අපේ ළමයි ලොකු වෙලා අපිව දාල රට රටවල්වලට ගිහිල්ල. ඩියුක් විතරයි මොන විදිහකින් වත් වෙනස් නොවී අපි ළඟ හැමදාම හිටියෙ. ඔයාට මතක නෙ හැමදාම උදේට ඩියුක් හිනාවෙන විදිහ. කෙනෙක් කිව්වට ඕක විශ්වාස කරන්නෙ නෑ ඇහින්ම දකින කල්. ඩියුක් කකුල් හතරක් ඇතුව අපි ළඟට ආපු පුංචි දරුවෙක්” කියූ පබසරාගේ දෙනෙත් කඳුළින් පෙඟී තිබුණ දුටු භානු ඇය වෙත ළංව ඇය සනසා ලන්ට උත්සහ කළේ මුදු සරකින්.

“සරා මට ඔයා කියන දේ තේරෙනවා. ඒ වුණාට අපි දැන් මොකද කරන්නෙ? ඩියුක් ගිහිල්ල ඉවරයි. අපි සල්ලි කියල බලන්නෙ නැතුව ඒ ජාතියෙම අලුත් ඩොබමන් කුක්කෙක්ව අර ගම්මු. එහෙම අරගන මුල ඉඳලම ඌව ආදරෙන් හදන්ඩ පටන් ගනිමු”

“ඔයාට තේරෙන්නෙ නෑ භානු. හොඳයි අපි හිතමු අපිට පුත්තු හතර දෙනෙක් හිටියයි කියල; පුත්තු තුන් දෙනා වෙනුවට. ඉන් එක් කෙනෙක් මේ විදිහට අපිව දාල ගියා නං අපි කොහොමද අලුත් පුතෙක්ව හොයන්නෙ?”

“නෑ සරා මං ඔයාට අලුත් පුතෙක්ව හොයන්ඩ කිව්ව නෙමෙයි නෙ. ඔයා ඔහොම දුකින් ඉන්න කොට මටත් හරි දුකයි. මාස තුනක් ගිහිල්ලත් ඔයාගෙ මූණ එදා ඩියුක්ට සමු දීපු දවසෙ මූණ වගේමයි.”

“භානු ඔයාට හිතෙන්නෙ නැද්ද අපි හුඟක් පිං කරල තිබුණ කියල ඩියුක් වගේ කෙනෙක් අපි ළඟට එන්ඩ.” එවිට භානුක ඇය වෙත පිළිතුරු දුන්නේ මඳ සිනාවකින් මුව සරසා ගෙනය.

“මං හිතන්නෙ ඔයා විතරක් නෙවෙයි ඩියුකුත් හුඟක් පිං කරලා තිබෙන්ඩ ඇති. නැත්තං සරා මේ මනුස්ස ලෝකෙ මනුස්ස ආත්ම ලබාපු අයගෙන් කීයෙන් කී දෙනෙක් ද පිං කරල තියෙන්නෙ ඔය විදියට සැලකිලි ලබල ලබල අන්තිමේදී පාංශු කූලෙකුත් එක්කලා අවසන් ගමන් යන්ඩ. දැන් ඉතින් ඔයා ඩියුක්ට යන්ඩ දෙන්ඩ. අවුරුදු පහළොවක් තිස්සෙ ඔයා ඩියුක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරීම දේ කෙරුවනෙ.”

දින කිහිපයකට පසු සිරිමල් පබසරාගේ නිවසට පැමිණියේ ගෙමිදුලේ තණකොළ කැපීමටය.

“සිරිමල් අද තණකොළ කපන එක පැත්තකින් තියල මට ලොකු උදව්වක් කරන්ඩ ඕනෑ. හොඳ දරුව වගේ ඩියුක්ගෙ ගේ ඔතනින් අයින් කරල දාන්ඩ.”

පබසරාගේ වදන් ඇසූ සිරිමල් ඈ දෙස බැලුවේ පුදුමයකිනි. “ඇත්තටම මැඩම් මේ තරම් වියදම් කරල හදපු බලු කූඩුවක් මං කොහේවත් දැකල නෑ. ඉතින් මැඩම් ඕක ගලවල දානව කියන එක අපරාදයක්නෙ. මැඩම්ගෙ ඇත්තටම බලාපොරොත්තුවක් නැද්ද ඩියුක්ගෙ ජාතියෙම අලුත් කුක්කෙක්ව හදන්ඩ.”

“සිරිමල් ඒ කතාව එතනින් ඉවරයි. සිරිමල් දන්නවනෙ ඩියුක්ට මම මොන තරං ආදරේ කළාද කියල. මං මැරෙන කල් මං ඩියුක්ගෙ තැන වෙන කාටවත් දෙන්නෙ නෑ. ඒ හින්ද මට ඔය කූඩුවෙන් දැන් පලක් නෑ. ඕක දකින වාරයක් වාරයක් පාසාම මගේ හිත පත්තු වෙනවා. ඒ හන්ද මං හිතුව ඕක ඔතනින් අයින් කරන්ඩ ඕනැ කියල. මං දන්නව දැන් ඩියුක් හොඳ ලෝකෙක ඇති කියල.

“හරි… ඔන්න එහෙනං මැඩම් මං මේක ගලවනවා. හැබැයි මේ වැඩේට දවසම යයි.”

“ඒකට කමක් නෑ සිරිමල්. සිරිමල් මේ සතියෙ වැඩ මොනව හරි කරනව ද?”

“නෑ. මැඩම් ඇයි?”

“මට මෙතන නෙලුම් පොකුණක් හදා ගන්ඩ ඕනෑ. ඒක වටේට මෙන්න මේ විදියට මල් පැළ වර්ග හිටවන්ඩ ඕනෑ” යැයි කියූ පබසරා ඇය සිතෙහි සැලසුම් කර තිබූ උද්‍යාන නිර්මාණ සැලසුම සිරිමල් වෙත පහදා දුන්නේ ඉතාම සැකසුරුවමිනි.

ඩියුක්ගේ අභාවයෙන් වසරක් පිරුණ තැන ඇයගේ බාල පුතු සංඛ ලේලිය ද කැටුව පැමිණියේ සුබ ආරංචියක් රැගෙනය.

“අම්ම දන්නව ද? අම්මගෙ මල් වත්ත ගැන ගෙවතු සංවර්ධන මණ්ඩලයටත් ආරංචි වෙලා තියෙන්නෙ කියල. ඒ අයට ඕනැ කරල තියෙනව අම්මගෙ මේ මල් වත්ත ගෙවතු වගා තරගයට ඇතුළු කරන්ඩ.”

“පුතා දන්නවනෙ මං මේ ගිය අවුරුද්ද පුරාම හැම දවසක්ම අතපත ගාල ඩියුක් හිටපු තැන මේ විදියට හැදුවෙ තරගෙකට ඇතුළු කරන්ඩ නෙමෙයි කියල. මේක ඩියුක්ගෙ මල් වත්ත.”

තවත් දිනෙක සංඛ තකහනියක්ම සිය මව වෙත සැල කර සිටියේ අලුත්ම පුවතක්.

“අම්මෙ ඔයා එනවද අපිත් එක්කල ගෙවතු වගා සම්මාන උත්සවේට.”

“අනේ! පුතේ මට කම්මැලියි.”

“එහෙම කියන්ඩ එපා අම්මෙ. ඔයාට ඔයාගෙ මල් වත්තෙ හිටවන්ඩ අලුත් මල් පැළ ජාති හුඟක් එහෙ ඇති.”

අලුත් මල් පැළ ගන්න අරමුණින් ගෙවතු වගා සම්මාන උලෙළට ගිය පබසරාට මුහුණ දෙන්නට සිදු වූයේ කිසිඳු අයුරකින් නොසිතූ අවස්ථාවකටය.

“අන්න. අන්න. අම්මට ඇහුණ ද?”

“ඔව්. ඔව් මගේ නම නේද කිව්වෙ?”

“අම්මට තමයි ඔන්න මේ පාර හොඳම ගෙවතු වගා තරග සම්මානෙ හම්බ වෙලා තියෙන්නෙ.”

“ඒක වෙන්නෙ කොහොම ද? ඒ ගොල්ල මගෙ වත්ත බලන්ඩවත් ආවෙ නැතිකොට.”

“අනේ අම්මෙ තරහ වෙන්ඩ එපා මං තමයි අම්ම නැති වේලාවක් බලල අම්මට හොරෙන් මේ මල් වත්ත බලන්ඩ ගෙවතු සංවර්ධන මණ්ඩලේ අයට ඉඩ සැලැස්සුවෙ. අම්මට දැන් ඉතින් තියෙන්නෙ ගිහිල්ල ඒ සම්මානෙ ගන්න එක විතරයිනෙ.”

“අනේ! මට බෑ පුතේ පුතා ගිහිං ගන්ඩ ඕක.”

මඳ වේලාවකින් සම්මානය සමඟ කුඩා පෙට්ටියක් ද අතැතිව පැමිණි සංඛ එය ඇය වෙත පිළි ගැන්වූයේ උතුරා ගිය සෙනහසිනි.

“අම්ම ඕක ඇරල බලන්ඩකො.”

“අනේ! පුංචි ඩොබමන් කුක්කෙක්. පුතේ, ඔයාට මතක ද අපි ඩියුක්ව ගේනකොටත් ඩියුක් ඔය වගේ තමයි හිටියේ. ඒත් මං හොඳටම දන්නවා සම්මානෙ නං මට හම්බ උනේ ගෙවතු සංවර්ධන මණ්ඩලෙන් කියල. ඒ උණාට ඔයා මේ වැඩේ කළේ තාත්තයි අයියල දෙන්නයි එක්කහු කරගෙන නේද? අනේ! පුතේ හරිම හුරතල් කුක්ක. ඒ උණාට මට නං බෑ ඌව හදන්ඩ ගන්ඩ. ඔයයි මදුයි එක්කහුවෙලා ඌව ආදරෙන් හදන්ඩ.” කියූ පබසරා සිය වාහනයට ගොඩ වෙන මොහොතේදී ඇය පසුපස හැරී බැලුවේ කිසිවෙකු අසුනේ ඔසරි පොට අදිනු දැකීමෙනි.

“අනේ, මේ බලන්ඩකො පුතේ මේක මගෙ ඔසරිපටේ එල්ලිලා ඉන්න හැටි” කියූ ඇයගේ කන වැකුණේ ඇය සමඟම වාහනයට ගොඩ වදින්නට පොර බදන බලු කුක්කාගේ කෙඳිරිලි හඬය.

“මෙයාට ගැළපෙන නම තමයි ‘බ්ලූම්’ ඒ කියන්නෙ කාලෙ ආවහම පීදෙන මල්වලට කියන නමනෙ.”

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)