කජු – ශක්තික සත් කුමාර

No Comment 285 Views

අද හදිසියේම ලොකු අයියා ඇවිත් ගියා.”

නිවසට ගොඩවත්ම මගේ කාර්යාල බෑගය අතට ගනිමින් පියුමි පැවසුවාය. සපත්තු ගලවා දමා කාමරයට යන ගමන වෙනස් කර මම සැටියට බර වුණෙමි.

“තාත්ත ගේ තුන්මාසේ දානෙ ගැන කතා කරගන්න වෙන්න ඇති?”

මම පියුමි දෙස බැලුවෙමි. ඇය මුළුතැන්ගේ දෙසට යන උළුඅස්සට හේත්තු වී සිටියාය. මගේ කාර්යාල බෑගය සාලයේ මේසය මත විය.

“නෑ… නෑ.. ලොකු අයියා ආවේ පහළ කජු වත්තේ පොල් දාමු කියන්න” පියුමිගේ හඬ වේගවත් විය. ඇය මගේ සහෝදරයාට ලොකු අයියා ලෙස ඇමතුව ද මට සහෝදර සහෝදරයින් කියා සිටියේ ඔහු පමණි.

“එයාට ඉතින් අප්පච්චි ජීවත් වෙනකනුත් ඕ‍ෙන් වෙලා තිබුණේ ඒකනේ…” මම සැටියෙන් නැඟී සිටියෙමි. පියුමි මුළුතැන්ගේ දෙසට යන්නට වූවාය.

“කෝ පොඩි දෙන්නා…”

“පහළ කජු වත්ත පැත්තට ගියා. සෙල්ලම් කරන්න…”

* * * *

“ලොකු අයියා නම් කීවේ ලබන සතිය දිහාටම කජු ගස් ටික ගලෝල දාමු කියලා. කජුවලින් ඉස්සර වගේ ආදායමකුත් නෑනේ දැන්” මගේ බත්පතට මාළු කෑල්ලක් දමන ගමන් පියුමි කීවාය.

“ඉරිදට පුළුවන් වු‍ණොත් මේ පැත්තේ එනව කියලත් කීවා”

“අම්මේ, මේකේ කටු ඇරල දෙන්නකෝ…” රූපවාහිනිය දෙස බලා ගත් වනම රාත්‍රී ආහාරය ගනිමින් සිටි පොඩි පුතා කෑම මේසය අසලට පැමිණියේ මුහුණ ද ඇඹුල් කරගෙනය.

“අප්පච්චිට කියලා කටු ඇරගන්නකෝ” පියුමි හිස් දීසියක් ගෙන මුළුතැන්ගේ දෙසට යන්නට වූවාය.

“අප්පච්චි; පහළ වත්තේ කජු ගස් ග‍ලෝලා පොල් දානවා කියලා අම්මා කීවා. ඇත්තද අප්පච්චි ඒක…”

උඩුකය නිරුවත් පොඩි පුතු ඉඳුල් අත උඩට ඔසවාගෙන ඔහුගේ පතෙහි මාළු කෑල්ලේ කටු ඉවත් කරන මා දෙස බලමින් අසයි. මම කිසිත් නොකියාම ඔහු අතට බත්පත ‍දෙමි.

“තාත්තේ; එහෙම වුණොත් අපිට කජු පුහුලන් කන්න වෙන්නෙත් නෑ. සෙල්ලම් කරන්න තැනකුත් නැතිව යනවා.”

රාත්‍රී කෑමෙන් පසුව සිගරැට්ටුවක් දල්වා ගත් මම මිදුලෙහි එහාටත් මෙහාටත් සක්මන් කරන්නට වීමි. වලව් වත්ත දෙසින් විටින් විට ඇසෙන නරියන්ගේ හූ හඬ හැරෙන්නට අවට පරිසරය නිහඬය.

“පොඩි පුතේ ; ඔය කජු තියෙන පහළ ඉඩම් කෑල්ල අපේ අප්පොච්චිට වලව්වේ හාමුගෙන් ලැබුණු තෑගි ඔප්පුවක්. ඒ කාලේ ඕකේ මහ කැලේ. ඕකේ කජු ඉන්දුවේ අපේ අප්පොච්චි.” අප්පච්චි නිතර කියන වැකිය මගේ දෙසවනෙහි දෝංකාර නැ‍ංවෙන්නට විය. මම අහස දෙස බැලුවෙමි. සඳ බොහෝ මහලු වී ඇතැයි මට සිතුණේ එයින් විහිදෙන මලානික එළිය නිසාය.

අප්පච්චි ජීවත්ව සිටියදී තම ඇස්දෙක මෙන් පහළ කජු වත්ත බලා කියා ගත්තේය. අක්කර පහක පමණ ප්‍රමාණයක විහිදී ඇති කජු වත්ත දකුණු පසෙන් වලව් වත්තටත් නැගෙනහිර පැත්තෙන් මඟුරු ඔයටත් මායිම්වී තිබුණු අතර බස්නාහිර සහ උතුරු පැත්ත මායිම්ව තිබුණේ පිළිවෙළින් ගමේ වෙල් යායට සහ ගම් සභා පාරටය. කජු කාලය නොවුව ද අප්පච්චි සෑම දිනකම උදයේ වත්තට යෑම පුරුද්දක් කරගෙන සිටියේය. කජු කාලයේදී ඔහු වැඩ කළේ නව පණක් ලද්දාක් මෙනි. දුරුතු සීතල සමඟ පොර බදිමින් කජු මල් හට ගන්නවාත් සමඟම අප්පච්චි කජු ගස් යට සුද්ද කිරීම අරඹයි. අපි ද සවස් වරුවේදී ඔහුගේ උදව්වට ගියෙමු. අප්පච්චි පහළ කජු වත්ත සමඟ කළ ගනුදෙනුවලට අම්මා හවුල් ‍නොවූවාය. කජු වාරය අවසන් වන විට අප්පච්චිගේ මඩිය ද තරව තිබුණි.

“පිට ගෑනු කුලියට දාලා කජු ඇහිදින්න වෙලා තියෙන්නේ ගෙදරවුන් ම‍ගේ උදව්වට එන් නැති හින්දනේ.” සමහර දිනවල කජු වත්තේ සිට වැනෙමින් පැමිණෙන අප්පච්චි ගෝරනාඩු කරයි.

“තමුසෙගේ මහලොකු කජු වත්ත මම නොදන්නෙවයැ ඕකේ වුණ දේවල්.” අම්මාද ඔහු සමඟ පැට‍ලේ.

“මොනවද? මොනවද? ඒකේ වුණේ.” අප්පච්චි වැනෙමින් කුස්සිය දෙසට යන්නට තනයි.

“මේ පොඩි උන් දෙන්නා ඉන්න හින්දා මට කියන….”

“ඔයා දැන්මම නිදාගන් නැද්ද? මා පියවි සිහිය ලද්දේ පියුමිගේ හඬිනි. සිගරැට්ටුව අවසන්ව එහි ෆිල්ටරය විසි කළේ කවර මොහොතේ දැයි මම කල්පනා කළෙමි.

“පොඩි දෙන්නා නිදිද?” මම පියුමි දෙසට හැරෙමි. ඈ නිදි ඇඳුමෙන් සැරසී සිටියාය.

“ඔව්; ඔයාටත් නිවාඩු නිසා පරණ ඉස්ටෝරු කාමරය අස්කරල දැම්මා නම් හොඳයි. ඒකේ මීයෝ දඟලනව ඊයෙත් මට ඇහුණා.”

* * * *

“අප්පච්චි…. මේ” පොඩිපුතා විසින් ඉස්ටෝරු කාමරයේ මුල්ලකට කර තිබූ පෙට්ටියක තිබී අතට ගත්තේ පැරණි දින පොත් කීපයකි. එහි මකුළු දැල් කඩමින් සිටි මම එම ‍පොත් කීපය අතට ගතිමි. දූවිලි බැඳී තිබූ ඒවා අප්පච්චිගේ දින පොත් බව හඳුනා ගැනීමට මට කාලයක් ගත නොවූ තරම්ය. ඒවා බොහෝමයක ලියවී තිබුණේ විවිධ ගනුදෙනුය.

“පොඩි පුතා……. මේ පොත් ටික ගෙනිහින් මගේ මේසෙ උඩින් තියන්න.” අප්පච්චිගේ දින පොත් කීපය පිස දැමූ මම ඒවා පොඩි පුතු අතට දුන්නෙමි.

ඉස්ටෝරු කාමරය අස්කර නා කර කියාගෙන දවල් කෑමෙන් පසු මා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට බර වූයේ අප්පච්චිගේ දින පොත් කීපය ද අතට ගෙනය.

* * * *

පෙර දින රාත්‍රියේ දුටු විකාර සිහිනය ගැන සිතමින් මම ඉදිරිපස මිදුල උදුලු ගාමින් සිටියෙමි. පුතුන් ‍දෙදෙනා දහම් පාසල් ගිය පසු පියුමි ද ඊට හවුල් වූවාය. පසුගිය දින කීපයේම කජු වත්තට යමින් දර සොයමින් ඈ, ළඟ එන අප්පච්චිගේ තුන් මාසයේ දානෙට බොහෝ වෙහෙසෙන බව මම දැන සිටියෙමි. මා තුළ ඈ කෙරෙහි අනුකම්පාවක් ඇති විය.

“ආන්! කුකුළා අතින් අරගෙනම ලොකු අයියා එනවා.” පියුමි කීවේ පාර දෙස බලා ගත්වනමය.

“කෝ කුකුළා…….. අතේ නෑනේ.”

“ඕං කීවා….. මම යනවා. ලොකු අයියට කෑම ටිකක් ලෑස්ති කරන්න.” ඈ අත තිබූ ඉදලද ගෙන සිනහ වෙමින් මිදුල දෙසින්ම මුළුතැන්ගේ දෙසට යන්නට වූවාය.

* * * *

උදේ ආහාරය සඳහා පියුමි කැකුළු බත් උයා සම්බෝලයක් සාදා පපඩම් බැද තිබුණි. අයියා කැකුළු බත් සමඟ සම්බෝල කෑමට පෙර සිටම ප්‍රිය කළේය.

“කෑම මේසේ දකිද්දි මට අම්මව මතක් වෙනවා.” අයියා කෑමට වාඩිවූයේ එසේ කියමිනි.

“මල්ලි අපේ අම්මා අකාලයේම මිය ඇදුණේ ඔය කජු වත්ත නිසා කියල මට හිතෙනවා….” අයියා කැකුළු බත් පතට සම්බෝල බෙදා ගනිමින් කීවේය. මම කිසිවක් නොකියා පපඩම් දීසිය ඔහු වෙතට ළං කළෙමි.

“මල්ලිගෙත් මුල ඉඳලම ඔය වත්තේ පොල් දාන්න කැමැත්තක් තිබුණ නේ, ඕක දැන් කල් දාන්න ඕනේ නෑ.. අපි ලබන සතියෙම පටන් ගමු.” අයියා බත් කටක් අනමින් මා දෙස බැලීය.

“නෑ. ඕකේ පොල් දානවට මම දැන් කැමති නෑ. අපි පරණ කජු ගස් ටික ගලෝල කජු පැළ දාමු.” මම තිර හඬින් කීවෙමි. අයියා මුවට ළං කරගත් බත් කට නැවතත් බත්පත මත තබමින් මහත් විස්මයකින් මෙන් මා දෙස බලා සිටින්නට විය.

 

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)