ඇතැම් කවි ගුරුකුල හරිම කුහකයි – බුද්ධදාස ගලප්පත්ති

No Comment 1245 Views

බුද්ධදාස ගලප්පත්ති ‘වටමඬල’ සාහිත්‍ය අතිරේකයට සපයන ලද ‘කවි මිහිර’ දෙවැනි කොටස කෘතියක්‌ ලෙස එළිදැක්‌වීම ලබන 30 වැනිදා කොළඹ 07, ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මේ සංවාදය ඒ නිමිත්තෙනි.

‘කවි මිහිර’ සඳහා කවි තෝරාගැනීමේදී ඔබ භාවිත කරන මිනුම් දඬු මොනවාද?

ප්‍රධාන වශයෙන්ම මුද්‍රිත මාධ්‍යයකින් පළවූ කවියක්‌, ඒ කියන්නේ කවි කිවිඳියන් විසින් ප්‍රකාශයට පත්කරන ලද කාව්‍ය සංග්‍රහයකින්, එහෙමත් නැත්නම් පුවත්පත් කවි පිටුවක පළවූ කවියක්‌, මා වෙත කවි කිවිඳියන් එවන කවි පොතකින්, මා විසින් මිලට ගත් කවි පොතක පළවූ කවියක්‌, සයිබර් අවකාශයේ බූන්දි කවි අඩවියේ විශේෂයෙන්ම ඉරිදා ලංකා පත්‍රයේ ‘කව් මුතුමිණි’ පිටුවේ සංස්‌කාරක ලෙස සතිපතා එහි පළවන කවියක්‌ පිළිබඳ රස විඳීමකුයි, කවි මිහිරට එක්‌වන්නේ. ‘කවි මිහිර’ ආරම්භ කළ අවධියේ නම් බොහෝ විට අපේ කවියේ එක්‌ එක්‌ යුග නියෝජනය කළ ප්‍රවීනයන්ගේ රචනා තමයි තෝරාගත්තේ. ඒත් පසුකාලයේ තීරුව සඳහා බහුතරයක්‌ නවරැල්ලේ කවි කිවිඳියන්ගේ නිර්මාණ තෝරා ගැනීමට පෙළඹුණා. අලුත් කවි පොතකින් නම් සමහරවිට පොත දුර්වල වුණත් එහි ඇති හොඳ කවිත් මගේ තේරීමට හසුවෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ කුමන තැනකින් කවියක්‌ තෝරා ගත්තත් කවිය මුලින්ම මා රස වින්දොත් පමණයි කවි මිහිරට එක්‌ කරන්නේ. ඇතැම්විට මගේ රසවිඳීම දුර්වල නිර්මාණයක්‌ පිළිබඳවත් වෙන්න පුළුවන්. එහෙම අවස්‌ථාවනුත් තියෙනවා.

ශුද්ධ කවියක්‌ ලෙසින් ඔබ හඳුන්වන්නේ කුමක්‌ද?

ශුද්ධ කවි, අශුද්ධ කවි කියන වර්ගීකරණයට මා කැමති නෑ. මම හරි කැමතියි කවි, හොඳ කවි නරක කවි එහෙමත් නැත්නම් දුර්වල කවි කියල වර්ග කරනවට. එහෙම වුණත් හොඳ කවියක්‌ කියල මම කියන්නේ නිර්මාණයක්‌ හැටියට මගේ හිතට මොන යම් හෝ සසල කිරීමක්‌ තුළ රිදවීමක්‌ කරන්න පුළුවන්වන නිර්මාණයකට. කවියටත් එය පොදුයි. සසල කිරීමක්‌ කිව්වෙ කවියෙන් කියවෙන අත්දැකීම කොයි තරම් මගේ හිත කළඹන, හිතට සංවේදී වන එකක්‌ද යන්න මත එය සිදුවෙනවා. පුවත්පත් වාර්තාවක අපට කියවන්න ලැබෙන ඉතාම අනුවේදනීය සිදුවීමක්‌ වුණත් පුවත්පත කියවන විට ලැබෙන්නේ නැති, දැනෙන්නේ නැති කම්පනයක්‌ කවියකින් ඇති කරන්න පුළුවන්. එහිදී ඒ වෙනස දැනෙන කවියක්‌ හොඳ කවියක්‌ කියල මම හිතනවා. ඒක කවියේ අත්දැකීමෙන්ම විතරක්‌ සිද්ධවෙන කරුණක්‌ නොවේ. කවියක තිබිය යුතු මූලික ලක්‍ෂණ මතුවෙන විදියට භාෂාව, රූපක, වනිතාර්ථ ව්‍යංගය මතු කෙරෙන විදියේ නිර්මාණයක්‌ හොඳ කවියක්‌ වෙනවා. අපිට බොහෝ ජනකවි හොඳ කවි විදියට නම් කරන්න පුළුවන් වෙන්නෙ ඒ නිසයි.

කවියා ඇමතිය යුත්තේ සහෘදයාගේ බුද්ධියටද? හදවතටද?

කවියාගේ පාඨකයා කවුද? ඔහු කවියාට ඉදිරියෙන් සිටින්නෙක්‌ද පසුපසින් සිටින්නෙක්‌ද? සහෘද බුද්ධියට අමතන කවියක්‌, සාමාන්‍ය රසිකයකුට එක්‌වරම ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවද? මා නම් විශ්වාස කරන්නෙ කවියා පළමුවෙන් රසික හදවතයි අමතන්නේ. ඉන්පසු එය බුද්ධිය කරා මෙහෙය වෙන්න පුළුවන්. පළමුවෙන් හදවතට නොදැනෙන කවියක්‌ බුද්ධියට ළංවෙන්නෙ නෑ. රසිකයන්ගේ සිතුම් පැතුම්වල, හැඟීම්වල සමානකමක්‌ පොදු බවක්‌ තියෙනවා. ඒත් බුද්ධි මට්‌ටම වෙනස්‌. ඒනිසා බොහෝ වේලාවට හදවත අමතන කවියක්‌ බුද්ධියට ළං නොවන්න පුළුවන්. ටොම් සාර්ට්‌ (ඔදඅ ‘aරඑ) කියන කවියා ‘හොඳ කවි’ නමින් රචනා කළ කවියකදී කියනවා “හොඳ කවිත් ඔබේ හදවතටත් බුද්ධියටත් චිත්‍රයක්‌ පින්තාරු කරනවා කියලා. ඒ වගේ කවියක අරුත තේරුම් කරන්න දෙවැනි අවස්‌ථාවක්‌ අවශ්‍ය නෑ කියල.” කෙසේ වුවත් මා හිතන්නෙ හදවතට පළමුව ආමන්ත්‍රණය කළ කවීන් තමයි අපේ බුද්ධි මණ්‌ඩලය වෙත යන්නේ.

කාව්‍ය විචාරයේදී විචාරකයාගේ කාර්යභාරය කුමක්‌ද?

පළමුවෙන්ම විචාරකයා හොඳ රසිකයෙක්‌ විය යුතුයි. රසිකයෙක්‌ නොවන්නෙක්‌ විචාරකයෙක්‌ වෙන්නෙ කලාතුරකින්. කවිය විචාරයකදී කවියක හොඳ නරක තෝරා බේරා ගැනීමට විචාරකයකුට හැකි වෙන්නෙ ඔහු හොඳ කියවන්නකු රසවිඳින්නකු වුණොත් පමණයි. කවියකදී නම්, කවියක තිබිය යුතු මූලික අවශ්‍යතා පිළිබඳ ඔහුට වැටහීමක්‌ තිබිය යුතුයි. කවියක බස පිළිබඳ අදහසක්‌ පළකරනවා නම් කවි බස යනු කුමක්‌ ද කියා ඔහු තුළ හැදැරීමක්‌ තිබිය යුතුයි. අපේ කවිය ගත්තොත් අපේ සම්භාව්‍ය පැරැණි කවිය, ජන කවිය, නූතන කවිය දක්‌වා විකාශයට ඊට බලපෑ සමාජ දේශපාලන හේතු පරිවර්තන ඒ අනුව කවීන්ගේ අනුභූතීන් වෙනස්‌වීම වගේ කරුණු පිළිබඳ දැනුමක්‌ තිබීම වැදගත්. ලෝක සාහිත්‍යයේ ශේ්‍රෂ්ඨ කාව්‍ය නිර්මාණ පිළිබඳ කවියේ නව ප්‍රවණතා පිළිබඳ අවදි දැනුමක්‌ ඕන. විචාරකයා නිර්මාණකරුවාට මඟ පෙන්වන්නෙක්‌ මිසක්‌ ප්‍රහාරකයෙක්‌ විය යුතුයි කියා මා විශ්වාස කරන්නේ නෑ. ඔහුට පුළුවන් වෙන්න ඕන අනෙක්‌ පාඨකයන්ට පවසන්න, මෙන්න හොඳ නිර්මාණය පළවී තියෙනවා. මා එය රසවින්දා, ඔබත් එය රසවිඳ බලන්න කියලා.

ඔබ මෙරට පළවන බොහෝ පුවත්පත්වලට තීරු ලිපි සපයනවා. එලෙස කාර්යබහුලතා මැද්දේ කවි මිහිරේ රස විඳීමට ඔබ තෝරාගන්නා කවිය නිවැරැදි රස විඳීමකට ලක්‌වෙනවා යෑයි සිතනවාද?

ඔව්, පුවත්පත් කිහිපයකටම සතිපතා තීරූ ලිපි රචනා කරනවා තමයි. ඒවා අතර කවි මිහිර සඳහා සෑම සතියකම තෝරාගත් රස විඳීමත් ලියනවා. ඒක විචාරයක්‌ නොවේ. මොකද කවිමිහිරේ කවියක මා දකින අඩුපාඩු ගැන කතා කරල තියෙන්නේ හරිම අඩුවෙන්. මූලිකවම මගේ අරමුණ මගේ රසවිඳීම පාඨකයන් අතර බෙදා හදා ගන්න. එහිදී මගේ තීරු ලිපි රචනය, කවි මිහිර නිවැරදි රස විඳීමට බාධා වෙන්නෙ නෑ. තීරු ලිපියක්‌ රචනා කරන්න මම වෙහෙසෙන තරමටම කවිය රස විඳින්නත්, සතියට රස විඳීමට සුදුසු කවියක්‌ තෝරා ගන්නත් මා වෙහෙසෙනවා. එහිදී නැවත නැවත කියවා ඉන් මතුවන රසය, අර්ථය කුලු ගැන්වෙන ආකාරයෙන් පාඨකයාට ඉදිරිපත් කරන්න මා උත්සාහ ගන්නවා. ඒක හරිම වෙහෙසකර අත්දැකීමක්‌. ඇතැම් සතියක තෝරා ගන්නා හොඳ මට්‌ටමේ කවියක්‌ නැතුව අපහසුවට පත්වුණු අවස්‌ථාත් තියෙනවා. තීරු ලිපි රචනයට අවශ්‍ය වෙලාව හා කාල වකවානු මම හදාගෙන තියෙන්නේ. කවි මිහිර තීරුව සෑම සතියකම සිකුරාදා වෙද්දි අවශ්‍ය කරනවා. සතිය පුරාම මම කරන්නෙ කවි මිහිර රස විඳීමට සූදානම් කිරීම. තීරුවක්‌ රචනයට වඩා මේ කටයුත්ත අසීරුයි. දුෂ්කරයි.

වරක්‌ ඔබ කළ යමුනා මාලනිගේ කවියක්‌ රස විඳීම පිළිබඳ විවේචනයක්‌ එල්ල වුණා…

ඔව් මගේ රස විඳුමට එකඟ නැති, කිවිඳියගේ නිර්මාණය මා විසින් නිවැරදිව වටහාගෙන නොතිබුණා යෑයි අදහස්‌ පළවී තිබුණා. අවාසනාවට කිවිඳිය කිසිම අදහසක්‌ පළකොට තිබුණේ නෑ. මා රසවින්දේ මට දැනුණු දේ. මා අදත් විශ්වාස කරනවා ඒ නිර්මාණය මගේ කියවීම අනුව නිවැරදියි කියලා. කිවිඳිය අරමුණු කරගත් අදහස මගේ රස විඳුමත් සමඟ නොපෑහෙන්න පුළුවන්. එහෙම දේවල් ඕන තරම් සිදුවෙනවා. එනම් කෘතියක්‌ දෙස විවිධ දෘෂ්ටීන්ගෙන් දැකීම. එම නිර්මාණයේ මා දුටු ගෘහස්‌ථ ජීවිතයේ චරිත ලෙසයි එසේ කියවීමට හසු වූයේ.

අන්තර්ජාල කවිය පිsළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

බොහෝ කාලයක ඉඳලා අපේ කවිය සමාජ මාධ්‍ය ජාලා, බ්ලොග්ස්‌, වෙබ් අඩවිවල දකින්න පුළුවන්. ඊට අමතරම මුහුණු පොතේ. (Fඊ) අන්තර්ජාලයේ බොහෝ කවි ඊකදටිල ඇඉ අඩවි තියෙනවා. බූන්දිය විශේෂයි. බූන්දියේ බොහෝ වේලාවට පළවන කවිවල අගයක්‌ මම දකිනවා. ඔවුන්ට ලැබෙන හැම කවියක්‌ම ඔවුන් ඡදිඑ කරන්නේ නෑ කියල මට හිතෙනවා. ඒ නිසා සංස්‌කරණය වුණු, තේරීමකට ලක්‌වුණු කවි පළ වෙන නිසා හොඳ කවි කිවිඳියන්ගේ නිර්මාණ පළ වුණා පසුගිය කාලේ. දැනුත් පළවෙනවා. හැබැයි ඒ හැර වෙන කවි බ්ලොග්ස්‌වල හොඳ කවි පළවෙනවා මම දැක තියෙන්නෙ අඩුවෙන්. ලොකුම හානිය කරන්නෙ මූණු පොත. ඒකට කිසිම සීමාවක්‌ නෑ. මුහුණු පොතට එවන කවිවලින් සියයට අසූවක්‌ම කවි නොවේ. සිල්ලර වචන. එක රැයකින් ගායකයො ගීත රචකයෝ වෙනවා වගේ ලේසි පහසු වූවක්‌a කියල හිතාගෙන ලියන පල් හෑලි. ඒව දැම්මම ඒ ගොල්ලන්ගෙ ගිණුම්වල ඉන්න හිතවතුන්ගේ අදහස්‌වලට (ඤපපැබඑ) තමයි හිනා යන්නේ.

‘ලස්‌සනයි අක්‌කේ, මානව දයාව, හරිම ලස්‌සන අරුත්බර කවක්‌, මම හිතන්නේ මෑතකදී කාටවත් විෂය නොවුණු දෙයක්‌ මෙවර එයාගේ නිර්මාණය තෝරා ගෙන තියෙනවා. මේක නම් වැදුණා බොක්‌කටම පට්‌ටයි මචෝ කියලා වැඩක්‌ නෑ’. මේ ඊයේ පෙරේදා මූණු පොතේ මම දැකපු කවි කොමෙන්ට්‌ස්‌ කීපයක්‌. මේව කියවන කවි ලියන කවුරුත් හිතනවා ඒගොල්ලෝ මහා කවිකාරයෝ කවිකාරියෝ කියලා. එතන තමයි වැරැද්ද. මට දැනෙන විදියට කවි ලියන බොහෝ අයත් එය කොමෙන්ට්‌ස්‌ දාලා විචාරකයෝ වෙන කට්‌ටියත් අපේ කවිය මොකක්‌ද අපේ සැබෑ කවි කිවිඳියෝ කවුද? ඔවුන්ගේ නිර්මාණ මොන ශෛලියේ ඒවාද කියලවත් දන්නෙ නැතුව ඇති. උසස්‌ පෙළ විෂය නිර්දේශයේ කවිවලට එන කවියක්‌ ඔවුන් දන්නෙ නැතිපාටයි. ඒ නිසා මේ වර්ගයේ කවිවලින් සිංහල කවියට සිදුවන කිසිම සෙතක්‌ නෑ. හොඳ කවි කියවන්නේ නැතුව හොඳ කවි ලියන්නෙ කොහොමද?

නූතන කවි පරම්පරාව පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

නව තරුණ කවි පරම්පරාව මා කැමැතියි හඳුන්වන්න නවරැල්ලේ කවීන් ලෙස. පණහ හැට දශකවලදී ප්‍රංශ සිනමාවේ බිහිවූ නවරැල්ලේ සිනමාකරුවන් වගේ 90-2000 දශකයේ බිහිවී ඇති නව කවි පරපුර නියෝජනය කරන ඇතැම් කවි කිවිඳියන්ගේ කාව්‍ය නිර්මාණ බොහෝ අංශවලින් ඉදිරියට පැමිණි ඒවා විදියට මා දකිනවා. ඔවුන් තම කවිය තුළ ආකෘතිමය වශයෙන්, අන්තර්ගතය වශයෙන් එපමණක්‌ නොව භාෂාව අතින්ද යම් යම් අත්හදා බැලීම් කර තිබෙන බව පේනවා. කවි පොතක්‌ හොඳද නරකද යන්නට ලැබෙන එකම සහතිකය විධියට අපේ රටේ සාහිත්‍ය උළෙලක සම්මානයක්‌ හිsමිවීම සැලකීමට ගන්නෙ නැති වුණත් පසුගිය වර්ෂ කීපය පුරා අපි දකිනවා නවරැල්ලේ කවි කිවිඳියන්, එතෙක්‌ සම්මාන ආධිපත්‍යය දරා සිටි ප්‍රවීනයන් අභිබවා ඉදිරියට ඇවිත් ඉන්න බව.

මහින්ද ප්‍රසාද් මස්‌ඉඹුල, සුහර්ෂණී ධර්මරත්න, සුනන්ද කරුණාරත්න, රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන් ආදීන් ඇතුළු කවි කිවිඳියන් රැසක්‌ ඉන්න බව මා දකිනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, විෙද්‍යාදය සම්මාන, ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල සෑම එකකදීම නවරැල්ල ඉදිරියට ආවා. මම මෙහෙම සුබවාදීව ඔවුන්ගේ නිර්මාණ දැක්‌කත් බොහෝ දෙනා හිතනවා කවියෙක්‌ වෙන එක ඉතා සරල පහසු කටයුත්තක්‌ කියලා. පුවත්පතක කවි පිටුවක කවියක්‌ පළවූ පමණින් කවියෙක්‌ වෙන්නෙ නෑ. වෙන්න බෑ. ඒක හරි දුෂ්කර අභ්‍යාසයක්‌. කවිය වෙනුවෙන් විශාල කැපවීමක්‌, හැදැරීමක්‌, කවි කියවීමක්‌, නිරන්තරයෙන් කවි ලිවීමක්‌, විචාරයට ගරු කිරීමක්‌ අවශ්‍යයි හොඳ කවියෙක්‌ වෙන්න. මේ ලක්‌ෂණ අඩු වැඩි වශයෙන් තියෙන නවරැල්ලේ කවි කිවිඳියන් පිරිසක්‌ ඉන්නවා. අධිවේගයෙන් කවි ලිවීම පොත් පළකිරීම ගැන හරි මගේ ප්‍රසාදයක්‌ නෑ. අවුරුද්දට එක කවි පොත ගාණෙ පළකරන අයත් ඉන්නවා. ඒත්, ඒ පොත්වල තියෙන්නෙ කවිද කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ.

ඔවුන්ගේ කවිය විරෝධාකල්පයට වැඩි බර තැබීමක්‌ කරනවා යෑයි පැවැසුවොත්….

කවියෙන් මතු කෙරෙන විරෝධාකල්පය අපේ කවියට අලුත් දෙයක්‌ නොවේ. අපේ ජන කවියේ විරෝධාකල්ප කවියට සුදුසු තැන් බොහෝයි. ඒ වගේම නිදහස්‌ අරගලය සමයේ මහින්ද හාමුදුරුවො, පියදාස සිරිසේන වැනි කවීන් කවියෙන් තම විරෝධාකල්පය මුදාහැරියා. ලෝක සාහිත්‍යයේ මෙවැනි විරෝධාකල්ප කවීන් හමුවෙනවා. දකුණු අප්‍රිකාවෙ, ලතින් ඇමෙරිකානු රටවල කවීන්ගෙ නිර්මාණ තුළ විරෝධාකල්පය දකින්න පුළුවන්. ඒ අයගෙ විමුක්‌ති අරගලවලදී කවිය භාවිත කළා. 70 දශකයේදී අපේ කවියේ විරෝධාකල්ප ලක්‌ෂණ පැහැදිලිව දකින්න ලැබුණා. එතෙක්‌ පැවැති සෞන්දර්යවාදී කාව්‍ය සම්ප්‍රදායට එරෙහිව නැඟුණු හඬ ඒ කවිය නියෝජනය කළ කවීන්ගේ නිර්මාණවල තිබුණා. සඳළුතලයේ සිට ජීවිතය දුටු කවීන් වෙනුවට, ජනතාව සමග ජීවත් වන ජනතාව ගේ ජීවන අරගලය හඳුනාගත්, කවි පරපුරක්‌ බිහිවුණා. තරුණ වියේදීම එවකට මෙරට සිදුවූ දේශපාලන, සමාජයීය, ආර්ථික වෙනස්‌කම් ඔවුන්ගේ කවියේ විෂය වෙනස්‌ කිරීමට බලපෑවා.

විරෝධාකල්පය කොතරම් ප්‍රබල වුණාද කියල පේනවා, පරාක්‍රම කොඩිතුවක්‌කුගෙ කවිවලින් ‘පුරුෂ ලිංගය සේ කවි නැඟිටින්න ඉඩ දියෝෘ’ කියලයි ඔහු කිව්වෙ. මා කවි විරෝධාකල්පයට කැමැතියි, හැබැයි Rජු ප්‍රචාරකවාදියෙක්‌ නොවී. තරුණයන් ආවේගාත්මකයි. එවිට විරෝධය සෘජුව මතුවෙනවා. ඒක කවිය නොවේ. මගේ 70 දශකයේ මුල් භාගයේ කවිවල වුණත් සෘජු විරෝධාකල්ප ප්‍රකාශන තිබුණ කියල මට දැන් හිතෙනවා, පිළිගන්නවා. රත්නපුර නගර ශාලාවේදී කියන කවිය එහෙම එකක්‌. ඒ කවිය ගැන, ඒ ප්‍රශ්නය ගැන හෙන්රි ජයසේන කලාකරුවා ඒ දවස්‌වල මට ලියා එවා තිබුණා. මම ඒක එක සැණින් පිළිගත්ත.

කවි ගුරුකුල සිංහල කවියට කරන බලපෑම මොනවගේද?

අපේ රටේ කවි ගුරුකුල තිබුණා. මුල් කාලයේ කොළඹ කවිය, පේරාදෙණිය වගේ. ඒත් අද වෙනත් විදියේ ගුරුකුල, තම තමන්ගේ අනුගාමිකයෝ ටිකක්‌ එකතු කරගෙන ඔවුන් ඔවුන්ම තමන්ගෙ කවිය වර්ණනා කර ගන්නවා. ඔවුන්ගේ ගුරුකුලයට අයත් අය ඔසවා තබන්න උත්සාහ ගන්නවා. කවිය පිළිබඳ සම්මන්ත්‍රණ, සංවාද දේශනවලදී මේක අපි පැහැදිලිව දකිනවා. මේ ගුරුකුල නියෝජනය කරන ඇතැම් පිරිස්‌ අලුත් කවි කිවිඳියන්ගෙන් ගෞරව කිරීම් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුරුකුලවල සමහරු කුහකයි. ඔවුන් තුළ නිර්මාණ ඊර්ෂ්‍යාව තිබෙනවා. අලුත් කවියකුගේ කිවිඳියකගේ නිර්මාණ ගැන විවෘත මනසකින් අදහස්‌ දක්‌වන්න මැලිවෙනවා. කවිය තමන්ට පමණක්‌ අයිති නින්දගමක්‌ විදියට හිතන ගුරුකුලත් ඉන්න බව පේනවා. අලුත් කවියකුගේ ආගමනයත්, ඔවුන්ට ලැබෙන සම්මානයත් පිළිගැනීමට අකැමැති ගුරුකුලයි අපිට ඉන්නෙ. හැබැයි අලුත් පරම්පරාවෙ, නවරැල්ලෙ කවි කිවිඳියන්ගෙත් ගුරු කුල තිබුණත් ඔවුන්, ඇතැම් ජ්‍යෙෂ්ඨ ප්‍රවීන, ගුරුකුල සාමාජිකයෝ තරම් පටු නෑ. විවෘතයි. නිවැරැදිව දකිනවා. අදහස්‌ ප්‍රකාශ කරනවා. සංවාද විසංවාද කරනවා. ඒක යහපත් ලක්‌ෂණයක්‌. විශ්වවිද්‍යාල සිංහල අංශ ආචාර්යවරුන් මේ ගුරුකුල අතර සිටීම කනගාටුවට කරුණක්‌.

අද්‍යතන සාහිත්‍ය සමාජයේ කවියට ඇති අවධානය පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?

අද දවසේ අපේ සමාජයේ සාහිත්‍යය කියන්නේ නවකතාව විතරක්‌ වගේ කියන අදහසක්‌ නේ තියෙන්නෙ. මූලික වශයෙන් නවකතා වෙනුවෙන් පිරිනැමෙන සම්මාන, මුදල් ත්‍යාග, වසරකට නවකතා දොළහක දහසයකවත් කෘති සංඛ්‍යාවක්‌ එක්‌වර කෙටි ලැයිස්‌තුගත කරන ව්‍යාපාර නිසා නවකතාවට ආකර්ෂණයක්‌ ඇති කර තියෙනවා. ඒත් කවිය, නවකතතාව කෙටිකතාව වගේම ජන මනසට බලපෑම් කරන්න පුළුවන්, බුද්ධියට කතා කරන්න පුළුවන් සාහිත්‍ය මාධ්‍යයක්‌. ලෝක සාහිත්‍යය දිහා බැලුවම, බ්‍රෙෂ්ට්‌ පැබ්ලෝ නෙරූඩා, අන්තෝනියෝ මචාදෝගේ කාව්‍ය නිර්මාණ සඳහා සමාජයේ තිබුණු පිළිගැනීම කෙතරම්ද කියල අදටත් ඔවුන්ගෙ කාව්‍ය නිර්මාණවල වලංගුභාවය ගැන විමසද්දි පේනවා. සාහිත්‍ය සමාජයේ කවිය පිළිබඳ අවධානය අඩු තමයි, ඒaත් හොඳ කවිපොත් පාඨකයා කියවනවා. සමහර කවීන්ගේ අලුත් පොත් මුද්‍රණ කීපයක්‌ම පළවෙනවා. සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පැවැත්වෙන කැටපත් පවුර, එතකොට කවිපොත් අලෙවි සැල දිහා බැලුවම කවියට ආදරය කරන විශාල පිරිසක්‌ ඉන්න බව පේනවා. පාසලෙන් විශ්වවිද්‍යාලයෙන්, කවිය පිළිබඳ උනන්දුව ඇති කරවන වැඩසටහන් ඉගැන්වීම් ප්‍රාණවත් නෑ. සක්‍රීය නෑ. ඔවුන්ට මෙහිදී ලොකු කාර්යභාරයක්‌ තිබෙනවා. කවියත් නවකතාව, කෙටිකතාව වගේම ජන විඥනය අවදි කරන සාහිත්‍ය මාධ්‍යයක්‌ කියන එක පොදු ජනතාවට වගේම කවියෙහි නිරත තරුණ පරම්පරාවටත් කියල දෙන්න පාසලට, විශ්වවිද්‍යාලයට වගකීමක්‌ තියෙනවා. මුලින්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්‌ නව කවිය හෝ කවීන් ගැන දන්නෙ නෑ. එතැනයි ප්‍රශ්නය.

හැත්තෑව දශකයේ පුරෝගාමී කවියෙක්‌ ලෙස නිර්මාණකරණයට පිවිසෙන ඔබ වර්තමානයේ බොහෝ විට දකින්නේ තීරු ලිපි රචකයෙක්‌ ලෙස. ඔබ තුළ සිටින කවියා මියගොස්‌ ඇති බවද ඉන් හැඟෙන්නේ…

70 දශකයේ කවියට ආපු පරපුරේ තාමත් කවියේ නිතරම ඉන්නේ පරාක්‍රම, බර්ටි බී. කුඩාහෙට්‌ටි ආදී කීපදෙනෙක්‌ විතරයි. මගේ තීරුලිපි අගය කරන ඇතැමුන් කියනවා එහි මගේ කවි බස තියෙනව කියලා. ඒවා රසවත් වෙන්නේ ඒ නිසා කියලා. ඒත් එය මම උද්දාමයට පත් වෙන්නවත් මගේ කාව්‍ය නිර්මාණ සංග්‍රහයක්‌ පළනොකිරීමට හේතුවක්‌ විදියටවත් සලකන්නේ නෑ. 2008 ‘නිම් නැති තුන්යම’ පස්‌සෙ මගේ කවි පොතක්‌ ආවේ නෑ තමයි. සාමාන්‍යයෙන් මගේ කවි පොත් අතර විරාමය ටිකක්‌ දිගයි. තීරු ලිපි රචනා නිසා මා තුළ ඉන්න කවියා මිය ගිහින් නෑ. කවිය මගේ අංක එකේ ප්‍රකාශන මාධ්‍යයයි. සැප්තැම්බරය වෙනකොට මගේ කවි පොතක්‌ පාඨකයන් අතට පත්කිරීමේ අදහස දැනටමත් ක්‍රියාත්මක වෙමිනුයි තියෙන්නෙ. තීරු ලිපි රචනයෙන් ලැබෙන ආස්‌වාදයට වඩා දිගුකාලීන තෘප්තියක්‌, සතුටක්‌, කවියක්‌ ලිව්වම ලැබෙන බව මා හොඳින්ම දන්නවා. ඒ නිසා කවිය අදත් මගේ ප්‍රමුඛම තේරීම.

ඒ නිසානේ කවි මිහිර වගේ වෙනත් කවීන්ගේ නිර්මාණ රස විඳීම්වලින් වුවත් මා සතුටක්‌ ලබන්නෙ.

සංවාදය – ලක්‌මාල් බෝගහවත්ත
ඡායාරූපය – සුජාතා ජයරත්na
Divaina Watamadala 23.07.2015

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)