ප‍්‍රබන්ධයෙන් සත්‍යය දෙසට දඟ කැවුණු චයිනමන් – අශෝක හඳගම

No Comment 37 Views

මුම්බායි ඉන්දියන් ඉනිම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ ලසිත් මාලිංග 2015 අයිපීඑල් ශූරයින් වීමේ චෙන්නායි සුපර් කිංග්ස් බලාපොරොත්තුව තමන්ගේ පලවෙනි ඕවරය තුලදීම බිඳලා දැම්මා. ඊළඟ ඕවරය යවපු මිචෙල් චෙන්නායි චැම්පියන් සිහිනය බොඳ කරන මෙහෙයුම තහවුරු කළා. 2015 අයිපීඑල් ශූරයින් අතර අපෙත් එකෙක් ඉන්න එකේ සිහින් සතුට බොම්බේ සැෆයර් ජින් උගුරක දැවටිලා සිරුරම සලිත කරමින් උගුරෙන් පහලට බැස්සා.

අපේම කියල සතුටු වෙන්න දෙයක් නැති වෙනකොට, අපිට ගොඩක් දුරින් තියෙන දෙයක් උනත් අපේ කියලා හිතාගන සතුටු වෙන්න අපි පුරුදු වෙලා. 1996 න් පස්සේ ලංකාවේ අපිට ක‍්‍රිකට් කියන්නේ ළඟට යනකොට නැතිවී යන ක්ෂිතිජය වගේ දුර ඈත සතුටක්.

‘……..මං මෙහෙම ලියන්නේ ඔයාට තවමත් ආදරෙයි කියන්න. ඒ වුනාට මට ගොඩක් වටිනවා ඔයාට එපා උන ජීවිතේ. ඒ අපේ ජීවිතේ ගාමිණී. මට ඉතිරිවෙලා තියෙන්නේ එච්චරයි දැන්.

තව දෙයක් කියන්න තියෙනවා. එයාගේ නම ජෝර්ජ්. කාලෙකට ඉස්සර ඔයා නිසා නිව්ටන් ගෙන් වෙන් වුනාට පස්සේ මං පිරිමියෙක් ගැන හිතලා නැහැ. ජෝර්ජ් ගේත් වයිෆ් නැති වෙලා. එයා ආකිටෙක්ට් කෙනෙක්.අපේ පල්ලියේ මයි. වයිෆ් නැති වෙනකම් ඉඳලා තියෙන්නේ එංගලන්තේ. අපි එකිනෙකාට සහනයක්, සැහැල්ලූවක් වුනා. ගිය සතියේ එයා ඇහුවා මාව කසාද බඳින්න.

ගාෆීල්ඞ් නම් ලියන්නේ ඒක කරන්න කියලා. ඒත් ඔයාගෙනුත් අහන්න ඕන. ඔයා නැතුව මට පාලූයි. ඔයා කහින, නින්දෙන් බණින සද්දේ පවා මට මතක් වෙනවා. මං මොනවාද කරන්න ඕන ගාමිණී? මට කියන්න. ඔයා හැම වෙලාවෙම කරන්න ඕන මොනවාද කියලා දැනගන හිටියා. ඔයා ගැනම ඇරෙන්න.

ජෝර්ජ් එයත් එක්ක ඊජිප්ට් රටට යන්න මට කතා කළා. ඇත්තටම පිරමිඞ් බලන්න මං හිටියේ ආසාවෙන්. එත් මේ යෝජනාව පිළිගන්න මට හිත දෙන්නේ නැහැ. ඔයා බලන්නකෝ ඔහොම ගිහින් දවසක මාත් වෙන මිනිහෙක් එක්ක යනවා. ඒත් ඒ දවස තාම ඇවිල්ලා නෑ.

ඔයා ඉන්න තැනක ඉඳන් ලස්සන කවි ලියනවා ඇති කියලා මට හිතෙනවා.
මේ සදාදර ශීලා.’ (චයිනමන් පි.287)

ශීලා කියන්නේ ඩබ්ලිව්. ජී. කරුණාසේන ගේ බිරිඳ. කරුණාසේන කියන්නේ ඔබ්සර්වර් පත්තරේ ක‍්‍රීඩා විචාරකයෙක්. මේ ලිපිය ශීලා ලියන්නේ කරුණාසේන ට. ඒත් කරුණාසේන මැරිලා. කෙනෙක් තමන්ට සම්බන්ධව ඉඳලා මියැදුණු කෙනෙකු ගෙන් අවසර ගන්නවා කියන්නේ තමන්ගේම හෘදය සාක්ෂියෙන් අවසර ගන්නවා කියන එක. ශීල මොකක් දෝ සම්බන්දෙක පැටලෙන්න කරුණාසේන ගෙන් අවසර ගන්නවා. ගාෆීල්ඞ් කියන්නේ ශීලගෙයි කරුනාසේනගෙයි පුතා.

‘දුස්රාවේ නිර්මාතෘ’, ‘සිනාසෙන ඝාතකයා’ වැනි විරුදාවලී දිනා ගනිමින් ක‍්‍රිකට් ලෝකය තම ග‍්‍රහණයට ගත් ක‍්‍රීඩා තරුව ගැන ‘මුරලි’ කී පමණින් අපි දනිමු. එහෙත් ප‍්‍රදීප් මැතිව් නම් ක‍්‍රීඩකයෙකු ගැන කීවොත් ඔබ වික්ෂිප්ත වනු ඇත්තේය.

විශ්මයජනක මෙන්ම හිතුවක්කාර ක‍්‍රීඩා කුසලතාවකින් සමන්විත වූ දස වසරක් පමණ ශ‍්‍රී ලංකා පිලට උර දී පසුව ඉන් ඉවත් කරන්නට යෙදුනු මේ ක‍්‍රීඩකයා ඇතැම් මතයකට අනුව මෙතෙක් අපේ රටේ පහල වූ විශිෂ්ටතම ක‍්‍රිකට් තරුව ය. ඔබ්සවර් පත්තර යේ ක‍්‍රීඩා වාර්තාකරුවෙකු වූ මා මිත‍්‍ර නැසීගිය ඩබ්ලිව්. ජී. කරුණාසේන මහතා මැතව්ගේ ක‍්‍රීඩා ජීවිතය හා කෞශල්‍යය පිළිබඳ කෘතියක් සම්පාදනය කරමින් සිටියෙකි. එහෙත් ඔහුගේ අකල් මරණය නිසා අතරමග නැවතුනු මේ පොත මුද්‍රණද්වාරයෙන් නිකුත් කිරීමට පෙර සංස්කරණයට ලක් කළ යුතු බව පවුලේ හිතවතුන් ගේ අදහස වේ.
එල්මෝ තවුෆීක්/ඬේලි වීව්ස් 11/07/03 (චයිනමන් පි.286)

ඉහත උපුටා දැක්වුනේ එල්මෝ තවුෆීක්, දඟර පන්දුවේ දඩබ්බරයා කියලා 2003 ජූලි මාසේ 11 වෙනිදා ඬේලි වීව්ස් පත්තරේට ලියපු ලිපියක කොටසක්. එල්මෝ ගේ ලිපියේ සඳහන් වෙන ප‍්‍රදීප් මැතිව් ගේ ක‍්‍රීඩා ජීවිතය හා කෞශල්‍යය ගැන කරුණාසේන ලියපු, ඔහුගේ පුතා ගාෆීල්ඞ් විසින් ගාල්ලේ උණවටුනේ දී ‘පොතේ පරිච්චේද පිටින් කපලා‘ සංස්කරණය කළ පොත හෝ, ඒ පොතම නොවෙන එසේ නොවේද නොවන වෙනත් පොතක් හෝ ශෙහාන් කරුණාතිලක ‘Chinaman’ නමින් ඉංග‍්‍රීසියෙන් ලියා, ඉන්දියාවේ රැුන්ඩම් හවුස් ප‍්‍රකාශකයන් විසින් පල කර තිබුනා 2011 දී. ප්ලේන් එකේ දුර ගමනක් යනකොට මං ටිකක් බර නවකතාවක් කියවන්න කැමතියි. ෂෙහාන් ගේ මේ පොත ගැන බොහෝ හොඳ අසා තිබුණු නිසාත්, සම්මාන හිමිවෙලා තිබුණු නිසාත්, 2012 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ටොරොන්ටෝ චිත‍්‍රපට උළෙලට යන ගමන් කියවන්න හිතාගෙන බෙයාෆූට් එකෙන් පොත ගත්තා. පොත ඉංග‍්‍රීසි හින්දත්, පිටු 500 කටත් වඩා තිබුණු නිසාත් ටොරොන්ටෝ වලින් බහිනකොට කියවලා ඉවරකර ගන්න බැරි වුනා. ටොරොන්ටෝ වලදී මා වෙනුවෙන් තමන්ගේ දවසක් පාඩු කරගන මා එක්ක රස්තියාදු ගහන්න ඉදිරිපත් වුණ, ලංකාව ඇති වෙලා එහෙ ගිහින් ඉන්න මිතුරෙකුට දෙන්න තෑග්ගක් හිතා ගන්න බැරි තැන ඒක දුන්නා. ඒ නිසා ඒකේ ඉතුරු ටික කියවන්න වුනේ නැහැ. විවිධ කාරණා නිසා ආයෙත් ඒ පොත කියවන්න අවස්ථාවක් ක් යෙදුනේම නැහැ.

සංගක්කාර කොයි තරම් හොඳට බැට් කළත් අපි තවත් ලෝක කුසලානයක් පරාද වුනා. 1996 දී අපිට හිටියා ලෝකේ කිසි කණ්ඩායමකට නොසිටි ඇත්තටම ‘අවුට්ස්ටැන්ඩින්’ ක‍්‍රීඩක යෝ. මුරලි, ජයසුරිය වගේ. මේ සැරේ හොඳ දක්ෂ ක‍්‍රීඩකයන් හිටියත් එහෙම සුවිශේෂී ක‍්‍රීඩකයන් හිටියේ නැහැ. මාලිංග ඇරෙන්න. කකුලේ ඔපරේෂන් එකට පස්සේ මාලිංගත් තමන් ගේ විනාශකාරී රිද්මයට ඇවිත් තිබුනේ නැහැ. හරි හමන් දඟ පන්දු යවන්නෙක් නැති එක ලොකු අඩුවක්. මුත්තයියා මුරලිදරන්, ප‍්‍රදීප් මැ…..ඔන්න ආයෙත් ප‍්‍රදීප් මැතිව් ගේ මතකය අලූත් වුනා.

දිලීප (අබේසේකර ) දවසක් කතා කරලා කිවුවා ‘මම චයිනමන් ට්රාන්ස්ලේට් කළා. පොතක් එවන්නම්, වෙලාවක් තියෙන වෙලාවක රස විදින්න‘ කියලා. දිලීප පොත එවලා තිබුනා. ආයෙත් බෙයාෆුට් එකට ගිහින් ෂෙහාන් ගේ ඉංග‍්‍රීසි පොතත් ගත්තා. සිංහල පොත කියවන්න ඉස්සර ඉවර නොකරපු ඉංග්රීසි පොතත් කියවන්න ඕන කියල හිතලා. ඒ දිලීප ගේ පරිවර්තනයේ ඔරිජිනල් එක විඳලා තියෙන එක වැදගත් නිසා මිසක් පරිවර්තනයේ අඩු පාඩු හොයන්න නෙවෙයි.

අවුරුදු 3 කට පස්සේ ආයෙත් කියවන්න ගන්නකොට නවත්තපු තැනින් කියවන්න පටන් ගන්න එක තේරුමක් නැහැ. ඒ හින්ද ඉංග්රීසි ‘Chinaman’මුල ඉඳලා කියවගෙන ගියා. දෙවෙනි පාර කියවගෙන යන කොට තේරෙන්න ගත්තා මම කියවනවා නෙවෙයි. (ක‍්‍රිකට්) සාගරයක පීනනවා කියලා. ලංකාවට ක‍්‍රිකට් කියන්නේ ක‍්‍රීඩාවක් ම නෙවෙයි. විශේෂයෙන් 96 න් පස්සේ. පාරේ ඇවිදින ගමන් කොල්ලෝ (අභිනයෙන්) බැට් කරනවා. ස්ක්වෙයාර් කට් එකක්. එහෙම නැත්නම් බෝල් කරනවා. දුස්රාවක්.නැත්නම් චයිනමන් එකක්. ක‍්‍රිකට් කියන්නේ ලංකාවේ පොදු (ජන) ජීවිතේ.

‘Chinaman’ ක‍්‍රිකට් සාගරේ පීනන කොට අපට ලංකාවේ (නාගරික) ජීවිතේ හරස්කඩක් අහුවෙන්නේ ඒකයි. බේබදු කරුණාසේන ප‍්‍රදීප් මැතිව් හොයාගන යනකොට අපට මුණගැහෙන්නේ මැතිව් විතරක් නෙවෙයි. සමහර විට මැතිව් හමුවන්නේ වෙන්නේ නැහැ. හමුවෙන්නේ ඔහුගේ බොඳවී ගිය චිත‍්‍ර සැකිල්ලක් විතරයි. ඒත් අපට මැතිව් ඇර ලංකාවේ ක‍්‍රිකට් හා සම්බන්ධ සියලූ දේත් ජීවිත ටිකකුත් ඒ ජීවිත හා සම්බන්ධ රසවත් අත්දැකීම් ටිකකුත් හමු වෙනවා.
ඔහොම දිගටම ‘Chinaman’කියවගන යනකොට එක පාරටම මට මේ පද ටික හමුවුනා.

Sensual and soft

Heating the senses

Incredible Feminine

Rosy with radiant

Anger not urs

Luvly beauty

I will pursue

Suppoze u not care 4 me

Have my heart

In my eyes u

are womanhood

Rain wash over

Angwish and heartache

Love is the magic

Intentionz I have

(Chinaman – P.235 )

කබල් ඉංග‍්‍රීසියෙන් ලියවුනු මේ නිසඳැස් කවි දෙකේම පලවෙනි අකුරු උඩ ඉඳන් පහලට කියවගෙන ගියාම ‘Shirali’ කියල නමක් හමු වෙනවා. ශිරාලි කියන්නේ ප‍්‍රදීප් ගේ ආදරවන්තිය. ප‍්‍රදීප්, ශිරාලි ට ලියපු කවියක් ශිරාලි ගේ ස්ක‍්‍රැප් පොතකින් කෙනෙක් (ඩි මෙල්) හොරකම් කරගන ප‍්‍රදීප් ගේ ලෝකරයේ අලවලා. මේ අපූරු කවි දෙක දැක්කම මට හිතුනා ෂෙහාන් ගේ ඉංග‍්‍රීසි පොත පැත්තකින් තියලා දිලීප ගේ චයිනමන් ඇතුලේ මේ කවි ලියවිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න.

ශිකරයක පිපුණු
රාත්රියේ නොමැලවුනු
ලියතඹරාව හද දිනූ

ශිව දෙවි මැවුමක් දෝ
රාම දිනු වස්තුවක් දෝ
ලියන්නට බැරි
කවිය ඔබදෝ.
(චයිනමන් – 150 )

මේක කියවපුවාම මට එකපාරටම හිනා ගියා. ඉංග‍්‍රීසි කවි දෙකේ මුලකුරු වලින්’Shirali’ හැදෙනවා වගේ, සිංහල කවි දෙකක් මුලකුරු වලින් ‘ශිරාලි’ නම හැදෙන විදියට ලිවුවොත්, භාෂා දෙකෙන් ලියැවෙන කවි වල අදහස නම් කීයටවත් සමාන නොවිය හැකි බව මං දැනන් හිටියා. (මැතිව් ලියලා තියෙන කවියේ හැඟීමක් මිසක් තේරුමක් නම් නැහැ.* දිලීප ‘ලියාගන්න බැරි කවිය ඔබදෝ’ කියලා ලියන්නේ ඉංග‍්‍රීසි කවි දෙක සිංහලෙන් ඒ විදියට ලියාගන්න දඟලපු දැඟලිල්ල නිසා වෙන්න ඇති කියලා හිතුන නිසයි මට හිනා ගියේ. පරිවර්තනයේදී තමන් මුහුණ දුන්න අභියෝගය යටි අරුතක් විදියට මේ ආදර කවි ඇතුලේ සඟවන්න තරම් දිලීප උපහාසාත්මකයි කියන එක දිලීප ගැන දන්නා කවුරුත් දන්නවා. ෂෙහාන් මැතිව් වෙලා ලියන කවිය තරම්ම රසවත්, හැඟීම් බර කවියක් දිලීප සිංහලෙන් ලියනවා. දිලීප අභියෝගය ජය ගන්නවා. ඒක අපූරු අභ්‍යාසයක්.

දිලීප ඒ අභියෝගය ජයගන්න එක මට අරුමයක් නොවුනේ, ඔහු කරුණාරත්න අබේසේකර ගේ පුතා නිසයි. කරු අබේසේකර හින්දි ගී තනු වලට සිංහල වචන කවලා තියෙන්නේ අපූරු ප‍්‍රතිභාවකින්. මුල් හින්දි ගීතයේ තේරුම ට සමාන නැති උනත් හින්දි ගීතයේ තාලය නොමරා සිංහල චිත‍්‍රපටයට අදාළ අරුත් බර, ආදර හැඟුම් බර ගීතයක් ඔහු අපූරුවට සිංහලෙන් අමුණනවා.
එතන ඉඳන් ඉංග‍්‍රීසි පොත කියවන එක පොඞ්ඩක් නවත්තලා මං චයිනමන් සිංහලෙන් කියවගෙන යන්න ගන්නවා.

ඒක තවත් ‘ඔරිජිනල්’ එකක් කියලා හරියටම අහු වෙන්නේ එතකොට.  Chinaman සහ චයිනමන් දෙකම ‘ඔරිජිනල්’ දෙකක්. ෂෙහාන් ම කියනවා වගේ දිලීප ගේ ‘චයිනමන්’ තමන් ඉංග‍්‍රීසි යෙන් ලියලා කියන අදහසෙත් ඒකේ අනිත් පැත්තත් දෙකම ඇත්ත. පොත් දෙකටම වෙන වෙනම රසවත් අනන්‍ය තා දෙකක් තියෙනවා. පොත් දෙක වෙන වෙනම කියවන කොට වෙනම රස දෙකක්.

අපූරුම අත්දැකීම ඒක නෙවෙයි. මං පොත් දෙක මාරුවෙන් මාරුවට කියවගන ගියා. ටික දුරක් ඉංග‍්‍රීසි යෙන්. තව ටික දුරක් සිංහලෙන්. ආයෙත් ඉංග‍්‍රීසි යෙන්. සිංහලෙන්. ඉංග‍්‍රීසි යෙන්. ආදී වශයෙන්. රිලේ (සහාය) දිවීමක් වගේ. ඒක වෙනම ආස්වාදයක්. මගේ ජීවිත කාලෙටම, එකම කතාවක් භාෂා දෙකකින් එකවර කියවගෙන ගිහින් නැහැ කවදාවත්. අපේ කලාපයේ ඉංග‍්‍රීසි යෙන් ලියන අය ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ සුද්දන්ටත් වඩා හොඳ ඉංග‍්‍රීසි යෙන් ලියන්න. විශේෂයෙන් ලංකාවේ අය. දැන් දැන් (ඉන්දියානු)ලේඛකයින් ඒ සම්ප‍්‍රදාය කඩනවා. ඒ වෙනුවට අපේ ජීවිතේ අපේ අත්දැකීම්,අපේ ප‍්‍රර්ථනා ලියන්න වෙනම ඉංග‍්‍රීසි භාෂාවක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. චයිනමන් කියවන්න ඉස්සර දැනට ඉන්දියානු ලේඛකයින් අතරින් අතිශය ජනප‍්‍රිය ලේඛකයෙකු ලෙස ගැනෙන  Chetan Baghat ලියපු Half Girlfriendපොත කියෙවුවා. ජනප‍්‍රිය ආරක ලියවුනු ඒ පොත එක හුස්මට කියවාගන යා හැකි සුගම ඉන්දියානු ඉංග‍්‍රීසිය කින් ලියවුනු පොතක්. ලෝකය පුරා ලක්ෂ ගණනින් පිටපත් විකිණෙන මේ පොතෙහි ඉන්දියානු ඉංග‍්‍රීසිය කාටවත් ගැටලූවක් වෙලා නැහැ. ඒ වෙනුවට, ඒ (ඉන්දියානු) ඉංග‍්‍රීසි භාෂාව, ඉන්දියානු අත්දැකීමක් විශ්වීයව බෙදා ගන්න රුකුලක් වෙලා තියෙනවා.

ෂෙහාන් ගේ  Chinaman ලියැවෙන්නෙත් එවැනි ඉංග‍්‍රීසි බසකින්. ක‍්‍රිකට් දන්නෙත් නැති, ක‍්‍රිකට් හා බැඳුනු ලංකාවේ ජීවිත ගැන දන්නෙත් නැති රටවල කියවන්නොත් පොත ට අවධානය යොමු කරන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. දිලීප ගේ චයිනමන් සහ ෂෙහාන් ගේ Chinaman මාරුවෙන් මාරුවට කියවගෙන යාමේදී භාෂාමය වෙනසක් නොදැනී, තවත් අමුතු රසයක් ගෙනාවේ ඒ නිසා වෙන්න ත් ඇති.

‘දොස්තරලා ආවම බොක්සර් ල අතුරුදන් වුනා. ඊට පස්සේ මෙතන කෑ ගහගෙන ලොකු කලබලයක් කළා මගේ තැලීම් රතු පාටින් දම් පාටට හැරෙනකම්. මං ඇහැරෙද්දි තව බට ගොඩක් හයි කරලා මගේ ජීවිතේට. කාමරේ තිබුනා අමුතු එළියක් හතර හමාරට අත්තිඩිය පැත්ත වගේ. පසුබිමින් ඇහුනා සින්දුවක්. ‘කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ’. ඒකත් හොඳ ලකුණක් තමයි. ’
(චයිනමන් පි.280 )

(මෙතැනදී කරුණාසේනට අවසාන වතාවට ප‍්‍රදීප් මැතිව් හමු වෙනවා. එයාගේ දරු පැටියත් එක්ක. ඇත්තටම ද ඔලූව ඇතුළෙද කියන්න දන්නේ නැහැ. මැතිව් ඇත්තක් ද බොරුවක් ද කියලා අහන එක තරම් ම නොවැදගත් ප‍්‍රශ්නයක්. )

‘…….ඔන්න ආයෙත් උගුරට එනවා දැනෙනවා හරියට ඈත මුහුදෙන් එන ලොකු රැල්ලක් වගේ. අනේ එක හැප්පෙන්න කලින් එක ෙඡ්දයක් ලියා ගමු.’
ලේඛකයෙක් ක‍්‍රීඩා ලෝලියෙක් හැටියට මං මේ කියන්නේ නිකම් නෙවෙයි. එක්ස්ට්රා ටයිම් එකෙන් ගෝල් එකක් ගහන්න පුළුවන්. දොළොස්වෙනි වටයෙදිත් ප‍්‍රතිවාදියාට වැටෙන්න ගහන්න බැරි නෑ. අන්තිම බෝලෙටත් 6යේ පාරවල් වදිනවා..
ශීලා ගේ දයාබර ස්වාමියා වු ද, ගාෆීල්ඞ් ගේ දයාබර පියාණන් වූද, ප‍්‍රදීප් සිවනාදන් මැතිව් ගේ අතිජාත හිතෛෂියා වූද ඩබ්ලිව්. ජී කරුණාසේන එහෙව් මිනිහෙක්.’
(චයිනමන් පි.281 )

කරුණාසේන ඒ සටහනත් එක්ක මිය යනවා. එතෙක් වෙලා පොතේ ‘මම‘ හෙවත් උත්තම පුරුෂ කථකයා කරුණාසේන. කරුණාසේන මිය ගිහින් කියලා (පාඨකයා) දැනගන්නේ ඊට පස්සේ කියවන්න හමු වෙන ලියුම් සහ සටහන් වලින්.
ටිකකින් කථකයා මාරු වෙනවා.

‘..මගේ ඇඳේ ගුලි වෙලා හිටියේ ගිය සුමානේ  RB ක්ලබ් එකේ දී අඳුනාගත් කෙල්ලක්. එයා මාව මුලින්ම මුණ ගැහුනේ ‘කාඩිනල් සර්කල්’ එකට ප්ලේ කරද්දීලූ. ඒත් මං කවදාවත් ඒ බෑන්ඞ් එකට ප්ලේ කලේ නැහැ. ඕවා ගානක් නෑ මට. මේ කෙල්ල මට වඩා අවුරුදු දහයක් බාලයි. ඇඳ රෙදි අස්සෙන් එයාගේ නිරුවත පේනවා. එයා දන්නෙත් නැතුව ඇති නින්දෙන් ගොරවන විත්තිය. මං මැච් එක දිගටම බැලූවා.
ක‍්‍රිකට් පස්සේ මං එච්චර එළවන්නේ නැහැ. වර්ල්ඞ් කප් එකක් ආවොත් බලනවා. ….’
(චයිනමන් පි.288)

අලූත් කථකයා (‘මම’) බල බල ඉන්නේ 2007 වෙස්ට් ඉන්ඩිස් වල තිබුණු වර්ල්ඞ් කප් ෆයිනල් එක.
‘..ගිල්ක‍්‍රිස්ට් හා හේඩන් දෙනවා අපට දුවන්න. වොඞ්කා උගුරක් ගානේ මට බලන්න වුනේ උන් අපේ බෝලර්ස්ලව බිංදුවට බස්සන හැටි. සිංහයෙක් වගේ හිටිය මාලිංග දැන් බාල සර්කස් එකක ජෝකර් කෙනෙක් වෙලා. ‘ (චයිනමන් පි.288)
අපේ ඇත්ත සමාජ ජීවිතේ ගැටලූ විසඳා ගන්නවා වෙනුවට ක‍්‍රිකට් වගේ ෆැන්ටසි යක වීරයෝ වෙලා ‘ආතල්‘ එකක් ගන්න කවුරුත් පුරුදු වෙලා. යුද්ධය තමයි ඉඳලා හිටලා හරි ආයෙත් අපි අහසෙන් පොළොවට ඇදල දැම්මේ.

මැච් එක ඉවරවෙන්න ටික වෙලාවක් තියෙද්දී  LTTE කුරුම්බා ඇට්ටි යානා දෙකක් කොළඹ අහස උඩ යකා නැටූ හැටි අපට මතකයි. වර්ල්ඞ් චැම්පියන් සිහිනෙන් ඒ වෙනකොටත් අපි මිදිලා හිටියට, ක‍්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක‍්‍රීඩා වක්. පකිස්තානෙට හිටි ගමන් අල්ලා දෙවියන් සෙල්ලම් කරනවා වගේ අපේ ටීම් එකත් උඩ ඉන්න කවුරුහරි ගොඩ දායි කියලා හිත හිත හිටිය ලංකාවේ ක‍්‍රීඩා ලෝලීන්ට උඩින් පාත් වුනේ හෙණ ගෙඩි.
‘අර කෙල්ල ඇඳ රෙද්ද ඔතාගන ඇෙක්‍ෂන් පැන්නා. ඒත් ඔක්කොම එළියේ. මීට කලින් හිටිය කෙල්ලට වඩා මේකි කලූයි. ඒ තරම් හැඩත් නැහැ…’
(චයිනමන් පි. 289 )

අලූත් කථකයා මොන වගේ චරිත ලක්ෂණ තියෙන, මොන වගේ සමාජ හැසිරීමක් තියෙන කෙනෙක් ද කියලා දැන් අපට පැහැදිලි වෙනවා. මේ වෙන කවුරුත් නෙවෙයි ගාෆීල්ඞ් හෙවත් කරුණාසේන ගේ පුතා. එක පරම්පරාවකින් තව පරම්පරාවකට කථනය මාරු වෙලා. දෙවෙනි පරම්පරාව බොරුකාර රැවටිලිකාර එකක් ද ? .
‘තමුසේ පච හිලක්’ (චයිනමන් පි.289)

ගාෆීල්ඞ් එක්ක එදා ? ඇඳේ හිටිය කෙල්ල ගාෆීල්ඞ් ට එහෙම කියනවා. ඇත්ත. රැුවටිලිකාර ව්‍යාජ ලෝකයක විවිධ කතා කියමින් අප අපවම රවටා ගනිමින් ජීවත් වෙනවා.

කාලය ගෙවිලා ගිහින්. අප හරහාත්. පොත හරහාත්. 2009 දී යුද්ධය ඉවර වෙනවා. අප අපවම රවටා ගන්නා සිහින වලට තිබුණු බාධාවයි ඒ ඉවත් වෙන්නේ. දැන් අපට නිදහසේ සිහින දකින්න පුලූවන් . 2020 දී ඩොලර් 7000 ක ඒක පුද්ගල ආදායමක්. ලංකාව ආසියා වේ FINANCIAL hub එක කරන්න. වරාය නගරයේ නයිට් ක්ලබ් එකක රස්සාවක් හොයාගන්න. කෑන්ස් පරදා කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල දියුණු කරන්න. දුෂිත නොවන ක‍්‍රිකට් බෝඞ් එකක් යටතේ ආයෙත් වර්ල්ඞ් චැම්පියන් ලා වෙන්න වගේ.

‘තාත්තගේ පොත මං කියවලා ඉවර කළේ ඊයේ දවාලේ. කිසි කෙනෙකුට නොතේරුණත් ඒකෙ අන්තිමට මං ඉන්නවා. තාත්තගේ අන්තිම මොහොතේ පුතත් එක්ක එයා බලන්න ගියේ මං.’
(චයිනමන් පි.289)

කරුණාසේන ට තමන් ගේ අන්තිම මොහොතේ දීත් මුණගැහෙන්නේ මැතිව් නෙවෙයි. තමන්ගේම පුතා සහ මුනුබුරා. කරුණාසේන ලියුවේ ප‍්‍රදීප් මැතිව් කියලා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ගැන කතාවක්. කරුනාසේනගේ පුතා ගාෆීල්ඞ් මියුසික් කාරයෙක්. පුතාගේ පුතා හෙවත් මුනුබුරා කවදා හරි රෝයල්-තෝමියන් මැච් එකට සෙල්ලම් කරන්න පුළුවන් කියලා මුණුපුරාගේ තාත්තා ගාෆීල්ඞ් හිතනවා.
අපි හැමෝටම තමන් කියලා හිතාගන සිහින මවන්න තමන් නොවන තමන් නොවන්නේත් නොවන වීර ප‍්‍රතිබිම්භයක් තියෙනවා. අපට ලඟා විය නොහැකි ඉසවුවකට පිවිසෙන්න අපි ඒ සිහින වීරයා පාවිච්චි කරනවා.
‘..ඇත්තටම අලූත් තාලයක් ඈත මුහුදේ ඉඳන් එනවා වගේ මට දැනුනේ. ඒක වැල්ලේ වදින්න කලින් තව වචන කීපයක් ලියා ගත්තොත් ඇති.’ (චයිනමන් පි. 325 )

(කරුණාසේන ට මිය යන්න මොහොතකට කලින් පහල වුණෙත් එවැනි සිතුවිල්ලක්. රැුල්ල ඇවිත් වදින්න කලින් තව එක ෙඡ්දයක් ලියාගන්න. ඒත් ගාෆීල්ඞ් ලියමින් ඉන්නේ මොකක් ද ? පොතක් ද? ජීවිතයක් ද? )

‘පොඩි දේවල් ටිකක් තියෙනවා. ප‍්‍රධාන චරිතේ නම?’
‘විනෝදන් කර්නයින්’
‘එපා’
‘චාලි ජෙගනාදන් ?’
‘චී’
‘සංජීව අමරසිංහ.’
‘සිංහල නමක් වෙන්න බෑනේ.’
‘ජුරම්පති ජෙයරාජසිංහම් ?’
‘මෝඩයි’
‘ප‍්‍රදීප් මැතිව්.’
‘ඒ කවුද?’
‘මමත් දන්නේ නෑ’
‘එහෙනම් ඒ නම් දාමු’
(චයිනමන් පි. 325)

ඉවරයක් නොවී චයිනමන් පොත අවසන් වෙනවා. ඇත්තත් බොරුවත්, සත්‍යයත් පරිකල්පනයත්, හීනයත් සැබෑවත් වෙන් කරන බෙදුම් රේඛාවක් සලකුණු නොකරම.

පොත අවසන් වෙන්නේ ලංකාවේ මිනිස්සු එතෙක් දකිමින් හිටිය හීන කුඩු කරන් මෛත‍්‍රීපාල සිරිසේන කඩා පාත්වෙන්න ඉස්සර.
චයිනමන් කියන්නේ ප‍්‍රදීප් මැතිව් කියලා ක‍්‍රීඩකයෙකු පිළිබඳ ප‍්‍රවාදයක් ලෙසයි කර්තෘන් දෙන්නම හඳුන් වන්නේ. ඇත්ත කියන්නෙත් එක්තරා ප‍්‍රබන්ධයක්. ඒත් චයිනමන් ප‍්‍රබන්ධයක සිට සත්‍යය දෙසට දඟ කැවෙන වෘතාන්තයක්. චයිනමන් පන්දුවක් වගේ.එය ක‍්‍රිකට් විනෝදය හා අවියෝජනීය ලෙස බැඳුනු ලාංකීය සමාජ ජීවිතය හරහා චාරිකාවක අපව කැඳවා ගෙන යනවා.

මහින්ද එළවලා මෛත‍්‍රී පත් කරගත් අපි අලූත් ප‍්‍රබන්ධයක පැටලිලා. යහ පාලනය. එය ප‍්‍රබන්ධයෙන් සත්‍යය දෙසට දඟ කැවේ යැයි විශ්වාසයෙන් බලා ඉමුද ?.

ravaya.lk

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)