තල හේනේ යක්කු – උදිත ගමගේ

No Comment 113 Views

”දැන් වෙලාව කීයද? මහත්තයෝ ……….?
සිරිසේන ගමන් කරමින් සිටි වාට්ටුවක ලෙඩෙක් ඔහුගෙන් ඇසුවේය. ගමන මදක් බාල කරමින් ඔහු දෙසට හැරුනු සිරිසේන,
”මොකද කොහෙවත් යන්නද..? දැන් වෙලාව 6.45 යි”
සිරිසේන තම කමිස සාක්කුවේ තිබූ ඔරලෝසුවේ මුහුණත බලා ලෙඩා වාට්ටුවේ එළියේ වූ බැංකුවක වාඩිවූවේය.
‘එහාට මෙහාට ගිහින් කකුල් කඩෙත්තුව’ සිරිසේන තම දණ හිසත්, බත්කෙන්ඩත් අතගාමින් සිතුවේය. එවිටම තම බෑගයේ වූ යමක් පිළිබඳ ඔහුට සිහිවිය.
‘එක්කෝ ඕන නෑ…. බීලා කියල දැනගත්තොත් වස වැරැුද්ද…’ තවත් පැයක් හමාරක් වැඩකොට යා යුතුයැයි සිරිසේන සිතුවේය. සාමාන්‍ය රාජකාරිය තුළ හෙතෙම එතරම් උනන්දුවකින් වැඩ නොකලත් අතිකාලයේ දී හේ පෙරට වඩා මදක් උනන්දුවෙන් රාජකාරි කළේය. වසර පහළොවක තම රාජකාරි දිවියේ සිරිසේනගේ තුන්වන රැුකියා ස්ථානය වූයේ කුරුණෑගල මහ ඉස්පිරිතාලයයි. එයින්ද ඔහු වඩාත් අකමැතිම රාජකාරිය වූයේ මෝචරියේ කටයුතුවලට සහභාගි වීමය.
තවත් විනාඩියක් දෙකක් හුන් තැනම දණ හිස් අතගාමින් සිටි සිරිසේන යළිත් වාට්ටුව හරහා ආපසු ගියේය.වැඩ නිමවා නිවසට යාමට වෙලාව ළංවී තිබූහෙයින් තම බෑගය තබා ඇති කාමරයට ගිය සිරිසේන තම නිල ඇඳුමේ කොටසක් වූ ඒප‍්‍රණය ගලවා දැමුුවේය. එවිට එතුල සාක්කුවක තිබී රුපියල් විස්සක් බිමට වැටුණි. එසේ හතරට පහට නැවූ මුදල් නෝට්ටු කිහිපයක් ඔහුගේ සාක්කුවල, ඉනේ බැඳ තිබෙන බඳ පටියේ විය. ඒවා බොහොමයක් සන්තෝසම් ලෙස ලැබුණ මුදල් විය.බොහෝවිට වෛද්‍ය වරයකු මුනගැසීමට නොම්බරයක් ලබා ගැනීමට, ලෙඩෙකුට ඇඳක් ලබා ගැනීමට, නැත්නම් ලෙඩෙකු ගැන සලකා බලන්නයි කියා හෝ ඉස්පිරිතාලේ වියදමින් වලදැමූ අයෙකුගේ විස්තරයක් බලා ගැනීමට, යමෙකු විසින් මෙසේ කීයක් හෝ සිරිසේනලාට අතමිට මෙලවීම සාමාන්‍ය දෙයක් විය. ඇතැම්විට කෑම බීමද එසේ පැමිණි අයකු විසින් දෙන්නේ;
”ගන්ට මහත්තය, මුන්නැහේ මේ දවස්ටිකේ අපට කොච්චර පාසුවක් කලාද?… අයෙතේ ආගිය වෙලාවක මෙහෙම දැනකියා ගෙන ඉන්න එක කොච්චර එකක් ද? ..” යි පවසමිනි.
තැන් තැන්වල සඟවා ගත් මුදල් එක්කොට පසුමිබියේ ලා ගත් සිරිසේන ගෙදර යාමට පිටත්විය. බසයක නැගී ටවුමට පැමිණි ඔහු ගෙදර ගෙනයාමට පාන් රත්තලක් මිලට ගැනීම සඳහා රත්නගිරියට ගියේය. ඉන් එළියට එනවිට, ”සිරිසේන අයියේ” කියමින් කිසිවෙක් පිටට තට්ටු කලේය. තිගැස්සී හැරී බැලූ කළ දුටුවේ සිනා මුසු මුසුණින් තමා දෙස බලා සිටි පියසුමනයි.
”අඬේ, පියසුමන මලයා… කොහේදෑ මේ.”
”මං මේ මළගෙදරක ගියානේ, මීගොල්ලෙ… උඹව දැක්කෙත් අහම්බෙන් …”
පියසුමන සිරිසේනගේ ඇවැස්ස මස්සිනා වූ අතර ඔහුත් ගල්ගමුව රෝහලේ සේවය කළේය.
”ඒක නෙවේ මොනවා හරි කරමුද?.. යන්න හදිස්සියක් නෑනෙ,ගල්ගමුවෙද යන්නේ…?” සිරිසේන තම ඥාති සොයුරාට ආරාධනා කරමින් ඇසුවේය.
”අනුරාධපුර බස් එක නවයට… තව පැය එකහමාරක් ඇති.” හෙතෙම සාස්කුවේ තිබූ ඔරලෝසුව බලා කීවේය.
”ආ එහෙනම් යමං කෝ..”
අසල පිහිටි ”රියෝ” අවන්හලට ඇතුළු වූ දෙදෙන අසුන් ගැනීමට තැනක් පිරික්සුවේය.
”අතනින් වාඩිවෙමුකො..” පියසුමනට අසුනක් පෙන්වූ සිරිසේන කවුන්ටරය වෙත ගොස් ගල් බෝතලයක් ඇනවුම් කළේය.
”තව සෝඩ දෙකයි, ඌරු මස් දීසි දෙකයි…..” පියසුමන තමා අසලට පැමිණි සේවකයාට පැවසීය.
ආ ගිය තොරතුරු විමසීමෙන් පටන්ගත් අල්ලාප සල්ලාපය පැයක් පමණ ගිය තැන බෝලතයද, මස් දීසි දෙකද අවසන් වෙමින් තිබුණි.
”මොකක් වෙලාද එඋන්දැ මැරිල තියෙන්නෙ…..?” සිරිසේන පියසුමනගෙන් මළ ගෙදර විස්තර ඇසුවේ බොහෝ වේලාවකට පසුවය.
”ඒ මාමණ්ඩි නම් වයසයි. ඒත් උන්දැට යකෙක් ගහල තමයි කියන්නේ” පියසුමන කීවේය.
”යක්කු.. පුහුඃ … මොන බොරුද?” සිරිසේන අඩවන් නෙතින් සිනාසුනේය.
”ආ.. ඇයි උඹට මතක නැද්ද අපේ පොඩි නැන්දම්මටත් ලොකු තොයිලයක් කළා..”
”කළා තමයි.. ඒ පස්සෙන් ඇවිත් තියෙන්නේ මොකෙක් හරි මිනිහෙක් වෙන්නැති.” ”අපේ අපුච්ච නම් කීවෙ එඋන්දැගෙ වාහෙ කළු අප්පුහාමි වෙන්ඩැ කියල.”
අවතාර හොල්මන් ගැන ඇතුළු අනෙකුත් කතා අවසන් කොට බිල ගෙවා දෙදෙනාම ඉන් පිටතට පැමිණියෝය. සිරිසේන නාරම්මල බසයට ගොඩ කළ පියසුමන අනුරාධපුර බස් තැවතුම කරා නික්ම ගියේය. බසයේ අසුන්ගත් සිරිසේන ඔරලෝසුව පිටතට ඇද වෙලාව බැලූවේය.”නවයට පහයි…” නැවතත් ඔරලෝසුව සාක්කුවේ දමා ගත් සිරිසේන බස්රථයේ ජනේලයට හේත්තුවී කල්පනා කළේය. එකවරම අද දින මෝචරියට ගෙන ගිය මළමිනිසකු ඔහුට සිහිවිය. ගෙළ වැලලාගෙන මියගොස් සිටි ඔහුගේ දිව එළියට විත් තිබුණි. ඇස් ඇරී තිබුණි. සිරිසේනට එකවර තිගැස්මක් ඇතිවිය. තවද පියසුමන සහභාගිවූ මළගෙදර මියගොස් සිටි තැනැත්තාගේ පිටේමහසෝනාගේ අත්පාරක්ද තිබූ බව මළගෙදර සිටියවුන් කී කතාවක්ඔහු කී අයුරුද සිරිසේනට සිහිවිය.
සිරිසේන තම පිට අතගෑමට අත දිගු කළවිට සීතල අතකින් තම පිටට තට්ටුවක් දැම්මේය. සිරිසේන ගැස්සී ආපසු හැරුණු විට අතෙහි වූ බෑගය බිම වැටිණි.
”මොකෝ … බය උනාද? … කොහෙටද ටිකට්? .. මුව පුරා රැුවුල වවාගත්, නොසෑහෙන්න විට කා කට රතු කරගත් බඩ මහත එකෙකු තමා දෙස දත් විලිස්සා බලා උණි.
”කොහෙටද උන්නහේ..? ඔහු යළිත් ඇසූ කළ හේ බස් රථයේ කොන්දොස්තර තැන යැයි සිරිසේනට සිහිවිය.
”උහුමීයට…” සිරිසේන මුදල් කොන්දොස්තර තැන වෙත දිගු කරමින් කීවේය.
තිබ්බටුවැව පිහිටියේ උහුමීය හන්දියෙන් හැරී සැතපුම් තුනක් පමණ තාරපාර දිගේ ගොස් තලහේන හන්දියෙන් ද හැරී තවත් සැතපුම් බාගයක් ගිය තැන්ය. මෙකල ඒ මඟ දෙපස බෙහෙවින් අහීමාන විය. උහුමීය හන්දියේ සිට තිබ්බටුවැවට යන අයෙකුට පාර අයිනේ හමුවන්නේ පේළියට සිටවූ පොල් ගස් සහිත විශාල පොල් ඉඩම් සහ ඒවායේ කැලෑ වැටුණු ඇල්බීසියා වැටවල්ය.උස්ව වැඩුණ ගස් අතු මුදුන් මදුවැල් වලින් එකිනෙක සමග එතී වියනක් ලෙසින් දිස්විය. මේ මගෙහි කඩ දෙකක් තිබූ අතර තලහේනෙන් හැරී තිබ්බටුවැවේ කන්ද උඩ ගෙදරට ළංවන තුරුම නැවතත් වැඩුණු තුරු ගොමුවලින් යුත් නිවෙස්වලින් තොර පෙදෙසකි.ඒ අසල පාරට පෙනෙන තරමේ නුදුරින්, අවට ගම් කිහිපයක් වෙනුවෙන් වෙන්කල සොහොන් පිටියක් ද විය.එහි එක් පැත්තක මායිමේ සරුවට ඉතා සරුව වැවූ හේනක්ද විය.
විදුලි බලය ගැන සිහිනෙන්වත් නොපැතූ මෙම ඇතුළු ගම්වල සිටි බොහෝ ගැමියෝ, ඇහැකණ පෙනෙන යාමේ නිවෙස්වලට ගාල් වූහ. ඔවුහු කුප්පි ලාම්පුවේ, එළියෙන් කාබී වැඩ අවසන් කොට නිදාගත්තෝය. ඉඳහිට ගමේ යමක්කමක් තිබූ ගෙයක ගුවන්විදුලිය ලඟ වාඩිවූ පිරිසක් ”මුවන්පැලැස්ස”, ”කුරුළු බැද්ද” හෝ ”හන්දියෙ ගෙදර” ගුවන් විදුලි නාටකවලට සවන් දුන්නෝය.
උදේ පටන් රස්තියාදුවේ යමින් හිඳ සවස ඇළට බැස ඉබ්බන් අල්ලමින් සිටි යෞවනයන් දෙදෙනෙකි. ඔවුහු රාත‍්‍රියේ දී කළ යුතුවූ යමක් පිළීබඳ සාකච්ඡුා කරමින් උන්හ.
”මේ සේනයො වැඩක් නම් තියනව කරමුද?” එකෙක් අනෙකාගෙන් විමසුවේය.
”මොකක්ද?…”
”මුරකාරයගෙ හේනේ මඤ්ඤොක්කා වැවිලා සාරෙට”
”හම්.. මාත් දැක්කා.. ”
”දෙමුද වැඩක්… කරනවනම් අද තමයි දවස”
”අම්මෝ මුරකාරයට අහු උනොත් අපේ ඇට තලයි…’
”ඌට අහුවෙන්න නෙමෙයි ගොනෝ.. අද ?ට එගොඩහ තොවිලයක්නෙ, ඉතින් ඌත් යනවනෙ තොයිල් බලන්න… එන්න කලින් ගලෝමු..”
”ඈ තිලකයො හේන තියෙන්නෙ කැරකොප්පුව ලඟ නේද?” සේන ඇස් මහත් කොට ඇසුවේය.
”ඉතින් ඔබට බයද? … ඕකෙ ඇති යකෙක් නෑ බං..” ”මොකෝ කියන්නේ?” යි තිලක ඇසූවිට සේන ඔළුව කසමින් කල්පනා කළේය.
එදින සැලසුම් සිතූ ලෙස කි‍්‍රයාත්මක කළ හැකි විය. මුරකාරයා යන්තම් කළුවර වැටීගෙන එන විට තොවිල් පල වෙත ගියේ තවත් කිහිප දෙනෙකුද සමඟය. ඈතින් පදම් කරන යක්බෙරයේ හඬ විටින් විට ඇසුණි. අඳුර වටින් ගොඩින් පරිසරය ගිලගන්නා විට ඇඟපතෙහි අඟුරු තවරාගත් දෙදෙන සොරකම සඳහා හේනට රිංගුවෝය.
බසය උහුමීය හන්දියට ළඟාවෙනවිට නවස හමාර පමණ වී තිබුණි. බසයෙන් බැසගත් සිරිසේන විදුලි පන්දම දල්වා අතුරු පාරට පිවිසියේය. හේරත් මුදලාලිගේ කඩය පිටුපස නවතා තිබූ බසිසිකලය එළියට ගත් ඔහු ඊටඅමාරුවෙන් ගොඩවිය. වෙරිමත හේතුවෙන් ගිළිහුණු සමබරතාවය නිසා ඇතිවන අපහසුතා ආයාසයෙන් මඩිමින් , හේ බයිසිකලය පෑගුවේය. කණාමැදිරි එළියක් බදු බයිසිකලයේ ලාම්පුවේ එළිය තරමක් ඉදිරියට විහිදී තිබිණ. ඉඳහිට වල්බාවෙකු, වල්ඌරකු හෝ ඌරුමීයකු පාරේ නැවතී බලා, යළිත් දඩිබිඩියේ පාර අද්දර පඳුරුවල සැඟවී ගත්තේය. වැල්ලේ එරෙමින් කැරකෙන බයිසිකලයේ පිටුපස රෝදයේ හුළං මද ගතියක් වූයෙන් තලහේන හන්දිය ආසන්නයට පැමිණි සිරිසේන බයිසිකලයෙන් බැස්සේය.
හේනට රිංගූ තිලකේ සහ සේන එහි තිබූ හොඳින් වැඩුණු මඤ්ඤොක්කා පඳුරු තෝරමින් ගලවන්නට විය. තවද තැනින් තැන වැවුණු වැල්වල තිබූ මහත්වූ කැකිරි ගෙඩි, වට්ටක්කා ගෙඩිද කඩා ඔවුන් රැුගෙන ගිය ගෝණිවලට පිරෙව්වේය. පැයක් පමණ හේනේ රැුදුණ ඔවුන් දෙදෙනා ශක්තිමත් ලීයක දෙකොනේ ගෝනි දෙක එල්ලූවේය.
”හිටිං ටිකක් වෙලා ඉඳලයං..” මඳක් ගිමන් හැරීම සුදුසුයැයි සිතූ තිලකේ බිම ඈදි ගත්තේ පිපිඤ්ඤා ගෙඩියක් ද කමිනි.
” ඕං දැං බෙරේ ඇහෙනවා හරි හයියෙන්…” සේන ඈතින් අසෙන තොයිලෙට කන්දෙමින් කීවේය.
” ඕක ඉවරවෙනකොට එක දෙක වෙයි…”
”මේක මෙහෙමම පාළු වත්තෙ කමතට ගෙනියමු. හෙට උදේ පාන්දරම වීරඹුගෙදර පොළට ගෙනිහින් මිරිහංපිටියෙ තම්බි මුදලාලිට දෙමු” පිපිඤ්ඤා ගෙඩිය කා අවසන් වූ තිලකේ නැගී සිටිමින් කීවේය.
”එහෙනම් බයිසිකලේ බැඳං උදේම යමු…” සේනද නැගිට්ටේය.
තලහේනේ සිට අතුරු පාරට පැමිණි සිරිසේනගේ විදුලි පන්දම කනාමැදිරියෙකුට වඩා තරමක් එළිය දුන්නේය. මෙතෙක් ආ මග දිග එකදු මිනිස් පළුටක් හෝ නොවීය. අඩ සඳ එළියේ ඒමේ අත වැනෙන ගස් අතුවල සෙවනැලි අතර සැඟවී යමෙකු තමා දෙස බලා ඉන්නේ දැයි සිරිසේනට තිගැස්මක් ඇතිවිය.තවද ඉදිරියේ සොහොන් පිටියද හමුවන බව සිරිසේනට සිහිවිය. ඈතින් ඇසෙන තොවිල් පලේ යක්බෙරයත්, මායම්වන යකැදුරුගේ හූවත් සිරිසේන ගේ ගතෙහි හිරිගඩු නැංවිය. වෙල පාවුලින් නරි රංචුවකගේ මූසල හැ`ඞීමත්, කොස් ගස්වල වසා උන් වසා මා වවුලන්ගේ තටු ගැසීමේ හඬත් නිසා සිතට නැගුණු බිය තවත් වැඩිවිය. සිරිසේන නැවතී විදුලි පන්දමේ මුහුණතට එබුණි. එයින් ඉතා කුඩා එළියක් නැගිණ.
”ඉඳකිං මේකත් මෙතනම නිවුනනෙ ….”
අඩක් පෑයූ සඳ එළිය අතරින් එපිටින් පෙනෙන සොහොනේ සාදා තිබූ ගොක්කොල තොරණක කොටසක් සුළගේ ඒමේ අත වැනෙනු සිරිසේන දුටුවේ තමා දෙස බලා උන් කෙනෙකු තමන්ට අතවනන්නාක් ලෙසිනි. ඒ සමඟම දුටු දෙයින් හේ මහත් සේ තැතිගත්තේය.සොහොන් පිටිය දෙසින් අඩිපාරේ කදක් කරතියාගත් දෙදෙනෙකු තමා සිටි දෙසට එනු සිරිසේන දුටුවේය. ඔහුගේ අතපය වෙවුලා ගියේය. උගුරේ යමක් සිරවූ සේ දැනුණි.
‘මේ මහ ? වෙන ඉතින් මොක්කුද?… මළමිනී එක්ක ඉන්න යක්කු… අම්මෝ මිනියක්ද කොහෙද කර තියා ගෙන එනව බුදු අම්මෝ…’
දෑතින් අල්ලා තමා දෙසට වාරු කර සිටි බයිසිකලය අත ඇරිණ, උණු වූ දියරයකින් දෙකකුල් තෙමීයනු දැනිණ. සිරිසේන සිහිසුන්ව හුන්තැනම ඇඳවැටුණේය.
”මොකක්ද ඒ සද්දෙ.. තිලකයො..” සේන වේගය බාලකරමින් ඇසුවේය.
”මොකෙක් උණත් මෙතන තැක් ගැහෙක්ක බෑ යමං..” තිලකේ ගමන වේගවත් කළේය.
”ඔය බීපු එකෙක් බයිසිකලේඇවිල්ල පෙරළන්න ඇති… යමං … යමං…”
පසුදා වටින් ගොඩින් එළිය වැටෙන්නත් පෙර ගමේ බොහෝ දෙනෙක් සිරිසේනගේ නිවස දෙසට දිවුවෝය.
”සිරිසේන උන්නැහේට යකා ගහළ කනත්ත ගාවදි…? මුරකාරයා තමයි දැකල ගෙදෙට්ට ඇන්න ඇවිත් තියෙන්නේ”
කන්ද උඩ ගෙදරට ආප්ප රැුගෙන යාමට පැමිණි ගැහැනියක නැන්දා සමඟ කීවාය.
”යකෝ … ඉස්පිරිතාලෙ වැඩ කරන එකත් බලාගෙන ගියාම බය ගුල්ලෙක්ද? …” නැන්දා ආප්පයකට පිටි වත්කරමින් ඇසුවාය.
”ඒ උනාට හාමිනේ එගොඩහ තොයිලෙකුත් තිබ්බනෙ හිත බය වෙන්ට…, ඒ නැතත් ඉස්සර ඕක අමු සොහොනක්නෙ”
”මේ බින්න ඇද නොබා … උඹට ඔන ආප්ප ගාන කියහං…”
එදින දවස පුරාම සැමගේ මුවග රැුඳුනු මාතෘකාව සිරිසේන දුටු හොල්මන් පිළීබඳ විය. ඇතැමුන් තම නිවෙස්වල සිටි ඇට්ටර ළමුන් බයකිරීම සඳහා,
” ඕං කෑගහපල්ලකො… සිරිසේන මාම දැකපු යක්කුන්ගෙ දිවවල් දනිස්සට දිගයිලූ…” යැයි ඔවුන්ට කිවූහ.කුඩාවුන් ඇඟිලි මුවතුළ රුවාගෙන ඇස් මහත් කොට ඒ පුවත් ඇසුවේය.
වීරඹුගෙදර ගෙන ගිය මඤ්ඤොක්කා සහ අනෙකුත් දෑ කම්බි මුදලාලිගේ එළවළු බක්කියට විකුණූ තිලක සහ සේන තම බයිසිකල් හන්දියේ දමා කුරුණෑගල ගියෝය. එසේ ගිය දෙදෙනා යලි පැමිණියේ හොඳ හෝටලයකින් ”බුරියානි” ද කා ඉම්පීරියල් එකෙන් ‘ගාමිණී ෆොන්සේකා’ රඟන අලූත් චිත‍්‍රපටියකුත් නැරඹීමෙන් අනතුරුවය.
එදින රාත‍්‍රියේ සිරිසේනට තොවිලයක් නැටීමට සියල්ල ඉතා කඩින් සූදානම් විය.අවට නිවැසියන්,හිතවත්හුද අවශ්‍ය දෑ සෙවීමට යුහුසුළු වූහ.කල් ඇතිව ඉහුම් පිහුම් කර, දරුවන්ට කන්න බොන්න දුන් ඇතැම් ගැහැණු හුළු අතුත් බැඳන් තොවිල්පලට ගියෝය. තොවිල් බලන්න යන සෙස්සෝ සමඟ තිළකත් සේනත් සිටියෝය.
”ඈබං .. තිලකයෝසිරිසේන අයියා එදා බය වෙලා තියෙන්නෙ උඹටයි මටයිවත්ද දන්නෙ නෑ නේද?…” සේන තිලකෙට ළං වෙමින් ඇසුවේය.
”කට වහගෙන හිටු… කාටවත් ඇහුනොන් සුං…” තිලක රවමින් කීවේය.
”වැඩිවෙලා මෙතන ඉන්න බෑ බං… ඊයෙත් නිදා ගත්තෙ නැති තරමි… එළිවෙනකං ඇහැරල උන්නා”
බෙර හඬ දැඩිව ඇසුණි, පොල්මල අතින්ගත් යකදුරා විවිධ යකුන්ගේ නම් ගම් කියමින් පරළවී නටන්නට විය. හිස සිට පොරවාගත් සිරිසේන ඒ අසල පැදුරක වාඩිවී උන්නේය. තිලකත් සේනත් ඈනුම් අරිමින් හිඳ පාර පැත්තට ආවේය.
බෙර හඬ ඈත්වෙත්ම කාගෙදෝ බැණ වැදීමක් ඇසෙන්නට විය. ”පරබල්ලො…මගෙ හේන විනාස කරළා.. ඔය හු …… පුතාල අහුඋනොත් මං ඔවුන්ගේ ඇට තලනව….” ඒ මුරකාරයා විය.
පසු දින සිරිසේන අවදි වූයේ කෙඩෙත්තුවට පත් ගතින් යුතුවය.ඉස්තෝපපුවෙ දිග් බංකුවෙ හිඳ හේ ගුරුපාර දෙස බලා උන්නේය.
”ඉස්පිරිතාලෙට පණිවුඩයක් යැව්වා … ඔන්න ඔහේ මේ දවස් දෙකත් ඉඳල යනව…” සිරිසේනගේ අතට තේ කෝප්පය දෙමින් සුමනා කීවාය.
මුරකාරයා සිරිසේනගේ නිවසට එනවිට ඔහු තේ බොමින් සිටියේය.
”මොකෝ දැං සිරිසේන උන්නැහේට?…” දන්නවැයි උඹහැට පෙනිල තියෙන්නේ යක්කු නෙවෙයි මගේ හේන පාළු කරපු හොරුද කොහෙද, හප්පේ මගේ හේන…”
”අනේ අම්මප… ඔය පාහරයි අහුඋනොත් දනී කරනදේ…” මුරකාරයා විට වට්ටිය රැුගෙන පිලේ වාඩි විය.
ගතට සිහින් සීතලක් දැනුන හෙයින් සිරිසේන ගෙයි බෝල කූඩුවේ එල්ලා තිබූ බැනියම ඇඳගෙන යළිත් දිග් බංකුවෙ වාඩි වූවේය.
”ඔය විටේ පස්සෙ කාපං… තේකක් බීල ඉඳිමු” සිරිසේන මුරකරුට කීවේය.
හරකුන් දක්කාගෙන අල්ලපු වත්තට ඇතුළු වූ දෙදෙනා තිලක සහ සේන බව සිරිසේන ඈත දිම හැඳින්නේය.ඔවුන් දෙදෙනා තමන් දෙස ඕනෑකමින් බලමින් වත්තේ කෙළවර නොපෙනී ගියෝය. මුරකරු නික්ම ගිය පසු සිරිසේන යළිත් ගෙට ගොස් ඇඳෙහි දිගාවිය. ඇඳට ඉහළ පොල් අතුවහලයේ සිදුරු අතරින් නැගුණු එළියේ දුම්රොටු පාවෙන දෙස ඔහු බලා සිටියේය.සුමනා වැට අයිනේ කා සමඟ දෝ විස්තර කතාබහ කරණු ඇසේ.
”දැන්නම් ගුණයි තිලක මල්ලියේ… මං හිතන්නේ නිිදි වෙන්ටැ….”
ඒ හරක් බැඳ ආපසු පැමිනෙමින් උන් සේන සහ තිලකේ විය යුතු යැයි සිරිසේන සිතුවේය.
– නිමි. –

 

2015 කුරුණෑගල මහ නගරසභා සාහිත්‍ය උළෙලේ කෙටිකතා අංශයේ ප‍්‍රථම ස්ථානය දිනාගත් නිර්මාණය

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)

කැටපත්පවුරට ලියන්න