අම්බපාලි

Comment Off 83 Views
විශාලාවට ඉහල අහසේ පෑයූ ඇසළ  සඳ, තවත් සහසක් සී මැදුරු කවුලු තුලින් මෙන්ම මේ කවුලුව තුලින් ද සිය සිසිල් සඳරැස් විහිදුවා ලීය.
කොහේදෝ සිට පාව ආ වළාවකින් සඳ වැසී විශාලාව මොහොතකට දැඩි අඳුරක ගිලී ගියේය.නිමේශයකින් නැවත සඳ රැස් ගලා විත් මුලු ලොව සේම මේ කුටියද ආලෝකමත් විය.
ඒ ආලෝකයෙන් නැහැවුනු කුටිය මධ්‍යයේ වූයේ සුවපහසු සයනයෙකි. එහි වැතිරී ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියේ රූමත් කාන්තාවකි.සත්‍ය වශයෙන්ම ඇගේ වයස වසර හතළිහකට ආසන්න වූ නමුදු පෙනුමෙන් ඕ වසර තිහකට ද ලාබාල වූවාය.
ඇගේ වෘත්තිය අනුව එසේ රූප ලාවණ්‍යයෙන් අගතැන් පත් විම අත්‍යාවශ්‍ය වූවකි. ඒ කෙසේද යත් ඕ වනාහී විශාලාවෙහි නගර ශෝභිනිය වූ වාය. මුළු මහත් දඹදිව් තලයෙහිම අගතැන් පත් රූප සුන්දරිය වූවාය. නමින් අම්බපාලිය වූවාය.
වැඩිවිය පැමිණි දා සිටම පිරිමින් පිනවීම තම එකම කාර්ය භාරය කරගත් ඇගේ පහස සොයා පැමිණියන් අතර අභාවප්‍රාප්ත බිම්සර මහ රජතුමා මෙන්ම ඔහු පුත් විශාලාවෙහි වර්තමාන රාජ්‍යත්වය උසුලන අජාසත් ද විය.මතක ඇති කාලයක සිට සියලු සැප සම්පතින් අනූන දිවියක් ගත කල ද සියලු රූ සිරින් අගතැන් පත් වුව ද ඇය කලක සිට ගෙවූයේ බෙහෙවින් අතෘප්තිකර දිවියකි.
කුමක්දෝ හරිහැටි වටහාගත නොහෙන අඩුවක් තම ජීවිතය සමඟ බද්ධ වී ඇතැයි හැඟුන ද ඒ කුමක්දැයි වටහාගැනීමෙහිලා ඕ අපොහොසත් වූවාය.
ඒ අවිනිශ්චිතභාවය පැවතියේ පසුගිය පොහෝදින තෙක් පමණි.
එදින කිසිවෙකුටත් හඳුනාගත නොහැකි සේ වෙස් වලාගෙන, මතක ඇතිදා සිටම සේවිකාව, යෙහෙළිය, අනුශාසිකාව වූ පුණ්ණා ද සමඟ විශාලාවේ මහ වීදියෙහි සරන ඇගේ නෙත පැහැර ගත්තේ වැල නොකැඩී සුදු වතින් සැරසී එකම දිශාවකට සන්සුන් ගමනින් පිය නඟන දහස් සංඛ්‍යාත ජන ගඟ දෙසටය.
පුණ්ණා ද මේ දර්ශනයෙන් කුතුහලයට පත්වී ඇති බව අසලින් ගමන් ගන්නකු බණවා ඈ සෙමින් ඇසූ පැණයෙන් ස්ථිර විය.
” පින්වත, සුදු වතින් සැරසී ඔබ සැම මේ පා නඟන්නේ කොයිබටද? ” 
ගමන අඩාල නොකොටම ඈ දෙස හැරී බැලූ අමුත්තා පිළිවදන් දුන්නේ දෙබැම ද ඉහලට නඟා ගනිමිනි.
” නැඟනිය තොප මේ විශාලාවෙහි නම් විය නොහැක. ඇයි නොදන්නෙහිද?….බුදුන් වහන්සේ සතියකට පෙර විශාලාවට වැඩම කල බව. එතුමෝ පිටි නුවර අඹ වනයෙහි තැනූ විහාරාරාමයක වැඩ සිටිමින් සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පතල කරුණා පෙරදැරිවැ සද්ධර්මයක් දේශනා කරති. අප මේ උදක්ම පිය මනිනුයේ ඒ සද්ධර්ම ශ්‍රවණය උදෙසාමය.” 
පියවර කිහිපයක් පසුපසට වී පාලි හා එකතුවූ පුණ්ණා ඇගේ කණට කෙඳිරීය.
” ස්වාමීනී අප ද සද්ධර්මය ශ්‍රවණය කිරීමට යමු ද? ” 
 
” මම ද එසේ සිතුවා පමණයි පුණ්ණා…බුදුන් වහන්සේ ගැන මම පසුගිය දිනෙක මා වෙත පැමිණි වෙළඳ නායකයකුගෙන් තොරතුරු දැන ගතිමි.එතුමෝ ඉතා මධුර ධර්මයක් දේශනා කරන බවය මට දැන ගන්නට ලැබුණේ,” 
ආරාමයේ ඉදිරිපස සුවිසල් අඹ තුරක සෙවනේ පනවන ලඳ අසුනක වැඩ සිටි බුදුන් වහන්සේ පාලිට සහ පුණ්ණාට දර්ශනය වූයේ යන්තමිනි. සෙනඟ අතරින් ඉදිරියට යමු යයි පුණ්ණා ඇවිටිලි කල ද කිසිවෙකු තමන් හඳුනා ගනිතැයි බියෙන් පාලි ඒ ප්‍රතික්ෂේප කලාය.
ඔවුන් කොපමණ දුරින් සිටියද විශ්මයකට මෙන් බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීම ඇරඹූ පසු පාලීයට දැනුනේ එතුමෝ තමන් අරභයා ධර්මය දේශනා කරන බවෙකි. පුණ්ණාට හැඟුනේ බුදුන් වහන්සේ තමන් වෙනුවෙන්ම ධර්මය දේශනා කරන බවෙකි. එදින එහි රැස්ව හුන් සහස් සංඛ්‍යාත වී මිනිස් රාශියෙහි සියල්ලන්ටම හැඟුනේ බුදුන් වහන්සේ ආමන්ත්‍රණය කරනුයේ පෞද්ගලිකව තමන්ටම ලෙසය.
එදින ධර්ම දේශනය අවසන් වනතුරු පාලිය සිටියේ එකට බැඳ ගත් දෑත ළය මත තබාගෙන බුදුන් වහන්සේගේ අසිරිමත් වත මඬල දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටිමිනි.
ධර්ම දේශනය අවසන්ව නිවෙස් කරායන ජන සමූහය හා එක්ව පාලී ආපසු මැඳුරට පැමිණියේ සිහිනයෙන් ඇවිදින්නියක මෙනි. ස්වාමී දියණියට බාධා නොකල යුතු බව තම දීර්ඝ කාලීන පළපුරුද්දෙන් වටහාගත් පුණ්ණා ද මුවින් නොබැණ ඈ හා පැමිණියේ පියවර කීපයක් පසුපසිනි.
මන්දිරයට පැමිණ සුව පහසු ආසනයක වැතිර ගත් පාලීගේ දෙපා අසල හිඳගත් පුණ්ණා උණුසුම් ජලයෙන් තෙමාගත් රෙදිකඩකින් ඇගේ දෙපා සම්බාහනය ඇරඹුවාය.
” ඔය සම්බාහනයෙන් කමෙක් නෑ. පුණ්ණා එන්න මෙතනට මා අසලට මට ඔබත් සමඟ බොහෝ වැදගත් කරුණක් පිලිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍යයයි නොපමාව….” 
තම ආසනය දක්වමින් පාලී නොඉවසිල්ලෙන් පැවසුවාය.
උණුසුම් ජල බඳුන පසෙකට කල පුණ්ණා ස්වාමි දියණිය අසල අසුන් ගත්තේ ආසනයේ කෙලවර යන්තමිනි.
” ස්වාමීනී?……” 
පාලිය දෙසට හැරුනු පුණ්ණා විමසුවේ ප්‍රශ්නාර්ථයක් රැඳුනු ස්වරයකිනි.
” පුණ්ණා..මම ඔබට මීට පෙරත් කීප වරක් පවසා සිටියා ඔබට මතක ඇති මගේ ජීවිතයේ කුමක්දෝ අතෘප්තිකර ස්වභාවයක්, නොසන්සුන් ගතියක් මම අත්විඳිමින් සිටින බව, ” 
 
” එහෙමයි මට මතකයි…..” 
” අද තමයි මා හිතවත් පුණ්ණා…මම ඒ අතෘප්තිකර ස්වභාවය කිමෙක්ද යන්න නිවැරදිව හඳුනා ගත්තේ…එපමණක් නොව ඒ අතෘප්තිකර ස්වභාවයට කලයුතු ප්‍රතිකර්මය කුමක් ද යන්නත් මට අද ම කිසිදු සැකයෙකින් තොරව පසක් උනා පුණ්ණා…..මගේ හිත කියා නිම කල නොහැකි සතුටකින් පිරී ඉතිරිලා ගොසින් පුණ්ණා….. ”
පාලී පැවසූයේ මුව පුරා සිනා සෙමිනි.
පාලිය වෙත නැඹුරු වූ පුණ්ණා ඇගේ දෑත තරව ගෙන දෙනෙත වෙත එක එල්ලේ යොමු කොට ගත් බැල්මෙන් යුතුව සිනාසුනාය.
” මාගේ ස්වාමීනී…ඔබ තුමියගේ සිතට යම් සතුටක් එලඹියේ නම් ඒ මගේ සිතට ද මහත්ම සතුටක් බව උදක්ම පැවසිය යුත්තක් නොවන බව මට සහතිකය.” 
” ඒ ගැන මට සැකයෙක් කොහෙත්ම නෑ මගේ දයාබර පුණ්ණා….මගේ ජීවිතය ඉදිරියට ගෙවිය යුතු අන්දම අද මම හොඳින්ම වටහා ගත්තා ගෞතම බුදුන් වහන්සේගේ දේශනයෙන්….සිත නිවා ගන්නා අන්දම උන්වහන්සේ මොනවට පැහැදිලි කලා පුණ්ණා….ඒ පමණයි සිත දමනය කිරීමේ ඒකායන මාර්ගය. ” 
එදින සිටම බුදුන් වහන්සේ කෙරෙහි ඇතිකොටගත් මහත් බැතියෙන් ඔදවැඩුනු පාලිය මේ පසුගිය සතිය ගත කලේ කිසි දිනක අත් නොවිඳි නිරාමිස ප්‍රීතියකිනි.
ඇගේ දැහැන එක්වරම බිඳීගියේ කුටියෙහි ද්වාරයට තට්ටු කරමින් එහි ඇතුලුවූ පුණ්ණා කරණ කොටගෙනය.
” ස්වාමීනී,ප්‍රධාන සිටුතුමා ඔබතුමිය හමුවීමට පැමිණ සිටිනවා. ” 
 
” මට බැහැ පුණ්ණා…කියන්න මම අසනීපෙන්ය කියා, ” 
 
” එතුමා පසුගිය දින දෙකේමත් පැමිණියා…ඒ සැම දිනකම මම පැවසුවේ ඔබතුමිය අසනීපෙන්ය කියා…අදත් එසේ පැවසුවහොත් එතුමා කෝප වියහැකියි ”
පුණ්ණා පැවසුවේ මන්ද ස්වරයෙනි.
” කමෙක් නැහැ පුණ්ණා….එතුමාගේ කෝපය මම පයට යටිපහු වන දුහිවිලි බිඳක් තරමට හෝ සළකන්නේ නැහැ..මින්පසු සිටුතුමා නොව මහරජතුමා පැමිණිය ද මගේ පිළිතුර එයයි.” 
” එහෙත් ස්වාමීනී, ඔබ තවමත් නිල වශයෙන් නගර ශෝභිනිය. එසේ සිටුතුමා ප්‍රතික්ෂේප කිරීම ඔබට අනතුරුදායක වන බවක් සිතෙන්නේ නැද්ද? ” 
 
” ඔවුන් මට මොනවා කරන්නද පුණ්ණා…උපරිම වශයෙන් මගේ හිස ගසා දමාවි. මේ ගෙවන නිසරු ජීවිතයට වඩා ඒ දාහෙන් සම්පතකි.යන්න ගොස් සිටුතුමාට මා හමුවිය නොහැකි බව පවසා ආපසු එන්න. මට ඔබ හා සාකච්ඡාකිරීමට ඉතාම වැදගත් කරුණක් ඇත.” 
” එහෙමයි ඔබගේ කැමැත්ත එසේනම් මම ඒ ඉටු කරන්නම්, ” 
පුණ්ණා පිටව ගිය පසු නැවත ඇය කල්පනාවේ නිමග්න වූවාය.
මඳ වේලාවකට පසු ආපසු පැමිණි පුණ්ණා ඇගේ සයනය අසලම වූ මිටි අසුනකට බර දුන්නාය.
” සිටු තුමා කුමක්ද පැවසූයේ? ඔහු කෝප වූවාද? ” ඈ ඇසුවේ මුවට නැඟුනු මද සිනහවක්ද සහිතවය.
” කිසිවක්ම පැවසුවේ නැහැ. එහෙත් පිටව ගියේ කෝපයෙන් තමා. මොනවාදෝ තොල මතුරමින් පිටව ගිය අන්දමින් ඒ බව මට නිසැකවම හැඟීගියා. ” 
 
” ඒ කතාව ඇති. ඔවුන් කිසිවකුගේ කෝපයෙන් වත් සන්තුෂ්ඨියෙන්වත් මට මින්පසු කිසිම වැදගැම්මක් නැහැ. මින් පසු මට වැදගත් වන්නේ මගේ සිත දමනය සහ මගේ සිතේ සහනය පමණි.” 
 
” ඔබතුමිය මා හා වැදගත් කරුණක් සාකච්ඡා කිරීමට ඇතැයි පැවසූයේ? ” 
” ආ, හරි, පුණ්ණා මට අවශ්‍යයයි බුදුන් වහන්සේට දානයක් පිළිගැන්වීමට. ” 
 
” ස්වාමීනී?…..” 
පුණ්ණා විශ්මයට පත් වූ ස්වරකින් විමසූයේ වහා පාලීගේ වත දෙස ඉඳුරාම නෙත් යොමු කරමිණි.
” ඔව් මා හිතවත් පුණ්ණා කියන්න ඔබ නොකියූ දේ?….ස්වාමීනී ඔබ නගර ශෝභිනිය…එසේ වූ කල කෙසේද ඔබ බුදුන් වහන්සේට දානයක් පිළිගන්වන්නේ?….හැරත් එවන් උතුමකු රජුන්, දෙවියන් බඹුන් ගෙන් පවා වැඳුම් ලබන එවන් උතුමකු ඔබෙන් දානයක් පිළිගනීවියයි ඔබ සිතනවාද?….කියන්න පුණ්ණා ඔබේ සිතේ හටගත්තේ මෙවන් සිතුවිලි නොවේද?…”
පාලී ඇසුවේ සිනාසෙමින් සැහැල්ලු කෙලිලොල් ස්වරයකිනි.
පුණ්ණා බිමට හැරවූ නෙතින් යුතුව මුවින් නොබැන පසුවනු දුටු පාලී සයනයෙන් නැඟී සිට පුණ්ණා අසලින්ම අසුන්ගෙන තම දීර්ඝකාලීන මිතුරිය හිතවතිය වැළඳ ගත්තාය.
” පුණ්ණා, පුණ්ණා, ඔබ මා හා අමනාප වූවාද?….මගේ පුණ්ණා? ” 
 
” නැත ස්වාමීනී, මා නිහඬ වූයේ ඔබ පැවසූයේ පරම සත්‍යය බැවිනි.” 
 
” හරි එසේනම් මාගේ අභිලාෂය පිලිබඳව ඔබේ අදහස? ” 
” ස්වාමීනී…ඔබේ අදහස ඉෂ්ඨ වූවා නැතා ඒ අදහස මස්තක ප්‍රාප්ත කොට ගැනීමට මම මාගේ උපරිම උත්සාහය දිවි දෙවෙනි කොට යොදන්නට සපථ කරෙන්නෙමි.” 
 
” ඔබට ස්තූතියි මාගේ හිතවතිය එසේනම් අපි දැන්ම යමු බුදුන් වහන්සේ වැඩ වසන ආරාමය කරා….. ඔබ සූදානම්ද? ” 
 
” එසේය මාගේ ස්වාමීනී….මා සූදානම්…” 
රාත්‍රී අඳුර දුරු කොට  සඳ මඬල විශාලා නුවර ඒකාලෝක කල ඒ රාත්‍රියෙහි මඟට පිළිපන් පාලී සහ පුණ්ණා නොබෝ වේලාවකින් බුදුන් වහන්සේ වැඩ වසන අඹ වනයහි පිහිටි අරම කරා ළඟා වූවෝය.
සඳ රැස් ගලා විත් මුලු අඹ වනයම ඒකාලෝක කල ඒ රාත්‍රියෙහි පාලී සහ පුණ්ණා ඒ මේ අත සක්මන් කලේ සතර අත හමා එන මඳ සුලඟ විනා කිසිදු මිනිස් ප්‍රාණියකු ඔවුනට මුණ නොගැසුණු නිසාවෙනි.
අවසන අඹ වනයේ ඈත කෙළවරක සක්මන භාවනාවෙක යෙදී සිටි භික්ෂූන් වහන්සේ නමක ඇස ගැටුණු ඔවුහු එතුමා වෙත ආසන්නව පසඟ පිහිටුවා වැඳ වැටුණහ.
” නැඟී සිටින්න, නැඟනියනි, ඔබ සුවපත් වේවා, ඔබ මෙහි පැමිණියේ යම් අවශ්‍යතාවයක් උදෙසා නම් නොවලහා ඒ පවසන්න…” 
 
” එසේය ස්වාමීනි, බුදුන් වහන්සේට දානයක් පිළිගැන්වීමෙහි මාගේ බලවත් රුචියෙක් ඇත. ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවෙක් ලබා ගනු රිසියෙන් මෙහි පැමිණියෙමි….”
නැඟී සිට එකත්පස්ව සිටි පාලි පැවසුවාය.
” මොහොතක් රැඳී සිටින්න, මම ආනන්ද තෙරණුවන්හට මේ බව සැලකොට සිටින්නෙම්.එතුමා ඔබ හමුවීමට මෙහි නොපමාව එනු ඇති. මඳක් රැඳී සිටිනු මැන.” 
තෙරණුවන් සන්සුන් පියවරින් නික්ම ගිය පසු ඒ අසලම වූ ගලින් කල අසුනකට බර දුන් පාලී අවට සිරි නැරඹූයේ මහත් සේ උද්දාමයට පත් වූ සිතකිනි.
” බලන්න පුණ්ණා…මේ අරමෙහි පවතින ශාන්ත ස්වභාවය…අහා…කෙතරම් සිත නිවී සැනසෙන සුළුද? මට මගේ මුළු ජීවිත කාලයම මෙහි ගත කිරීමට ඇත්නම් ඊට වඩා වෙනත් යමක් මම ජීවිතයෙන් කොහෙත්ම බලාපොරොත්තු නොවෙමි.” 
ඔවුන් කරා එලඹෙන භික්ෂුවක දුටු පාලි නැඟීසිටියාය. ” මේ ආනන්ද තෙරණුවන් විය යුතුයි ” ඇය පුණ්ණා වෙත හැරී සෙමෙන් පැවසුවාය.
” මේ පින්වතිය ද බුදුන් වහන්සේට දානයක් පිළිගැන්වීමේ අපේක්ෂාවෙන් පසුවනුයේ?…” 
ඔවුන් අසලට ළඟාවූ ආනන්ද තෙරණුවෝ විමසූහ.
” එහෙමයි…..” 
 
” මේ පින්වතිය කවුද කියා කරුණාකර පවසනු මැන” 
” මම අම්බපාලි ” 
පාලි සිහින් හඬින් පැවසූයේ පහලට හරවාගත් දෙනෙතිනි. තම නම පැවසීමට මෙතරම් විළිබර වූ දිනයෙක් ඇගේ මතකයට කෙසේවත් නඟා ගත නොහැකි වූ බැවින් ඇගේ වත රත්පැහැ ගැන්වුනේ නිතැනිණි.
දෙනෙත් පහතට හරවාගෙන උන් බැවින් ආනන්ද තෙරණුවන්ගේ මුහුණෙහි වූ වෙනස ඈ නොදුටුවාය.
” මේ දිනවල දානයට නොයෙක් ගෘහපතීන්ගෙන ආරාධනා ලැබී ඇති බව සත්‍යයක්..එහෙත්….මඳක් පමා වන්න…මම බුදුන් වහන්සේ විමසා ඔබට ස්ථිර පිළිතුරක් ලබා දෙන්නම් නොපමාව.” 
” පුණ්ණා අපට සතුටුදායක පිළිතුරක් ලැබේවි කියා ඔබ සිතනවාද? ”
පිටුපා යන ආනන්ද තෙරුන් දෙස මඳ වේලාවක් බලා සිටි පාලි පුණ්ණා දෙසට හැරී විමසුවාය.
” සමාවෙන්න….ස්වාමීනී…මම එසේ නොසිතමි….” 
පුණ්ණා පැවසූයේ ගල් අසුනට බර දෙමිනි.
” මම ද එසේ නොසිතමි…” 
පාලී ද පුණ්ණා අසලම අසුන් ගත්තාය.
සමාපත්ති සුවයෙන් බොහෝ වෙලාවක් ගත කල බුදුන් වහන්සේ දෑස් විවර කළහ. ආනන්ද තෙරණුවන් තමා ඉදිරියේ සිටිනු දුටු එතුමෝ මඳ සිනහවක් නඟමින් ආනන්ද තෙරණුවන් ඇමතුවෝය.
” කිමෙක්ද ආනන්ද? ” 
 
” ස්වාමීනී, ඔබ වහන්සේට දානයකට ආරාධනා කිරීමට කාන්තාවක් පැමිණ සිටී.” 
 
” එසේනම් ඈ මෙහි කැඳවන්න ආනන්ද, ” 
 
” එහෙත් ….ස්වාමීනී…” 
” ඔව් කියන්න ආනන්ද….ඔබට යම් ගැටළුවක්ද?….නොවලහා පවසන්න.” 
 
” එසේය ස්වාමීනී.. ඒ කාන්තාව අම්බපාලියයි. ” 
 
” ඉතින් ආනන්ද ගැටළුව කුමක්ද? ” 
” ස්වාමීනී..ඇය වනාහී විශාලා නුවර නගර ශෝභිනියයි ” 
 
” ආනන්ද ඒ ගැටළුවක් වන්නේ කෙසේදැයි මට නොවැටහේ…මට එහි කිසිදු ගැටළුවෙක් ඇත්තෙන්ම නැත. ඔබ ද ඒ ගැටළුවක් කර නොගන්න. ” 
” එහෙත් ස්වාමීනී……..” 
 
” ආනන්ද…මගේ ධර්මය අග රජ තුමාගේ දේවියට මෙන්ම නගර ශෝභිනියට ද එක සේ අදාලය.අග සිටු තුමාගේ දියණියට මෙන්ම වසුරු කද කරින් ගත් චණ්ඩාලයාගේ බිරිඳට ද එකසේ අදාලය.මා ඉදිරියේ, මගේ ධර්මය ඉදිරියේ කිසිම මිනිසකු හෝ ගැහැණියක අනෙකෙකුට වඩා උසස් නොවන්නා සේම පහත් ද නොවේ.ඔබ මේ පිළිබඳව පැහැදිළිව අවබෝධයකින් පසුවෙතැයි මම මෙතෙක් සිතා සිටියෙමි. ” 
” එහෙමයි ස්වාමීනී…එහෙත් අම්බපාලියගේ දානය ඔබ වහන්සේ පිළිගත්තාය යනුවෙන් නුවර පුරා ප්‍රචාරය වූවාට පසු මහ ධන සිටුවරුන් සහ වෙළෙඳුන්ගෙන් ලැබෙන අනුග්‍රහය අඩු විය හැකියි. ” 
 
” ආනන්ද…මට හෝ මගේ ධර්මයට හෝ ධනවතුන්ගේ අනුග්‍රහයක් හෝ රාජ්‍ය අනුග්‍රහයක් කිසිසේත්ම අවශ්‍ය නොවේ.එවන් බාහිර අනුග්‍රහයන් ගෙන් තොරව දෙපයින් ස්වාධීනව නැඟී සිටීමේ ශක්තියක් මාගේ ධර්මයට ඇති බව මම නිසැකවම දනිමි. එසේම එවන් අනුග්‍රහයකින් තොරම පැවතිය නොහැකි තත්වයක් උදා වූ දිනෙක මාගේ ධර්මයද අභාවයට යනු ඇති. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයයි කියා මා දෙසූ බව ඔබට අමතකද? නිසැකවම මාගේ ධර්මය ද එයට අයත්ය. එබැවින් කණගාටු නොවන්න.වහා ගොස් අම්බපාලිය මෙහි කැඳවන්න. ” 
බුදුන් වහන්සේ අභිමුවට එලඹි අම්බපාලි පසඟ පිහිටුවා වැඳ වැටුණාය.
” සුවපත් වේවා නැඟනිය නැඟී සිටින්න. ” 
 
” ස්වාමීනී මම ඔබ වහන්සේට දානයක් පිළිගන්වනු කැමැත්තෙමි. ” 
 
” ඔබගේ කැමැත්ත ඉටු වේවා නැඟනිය. හෙට දහවල් දානය සඳහා මම ඔබ මැඳුර කරා පැමිණෙන්නෙමි.” 
” ඔබ මා මැදුර කරා පැමිණෙනවා?….ස්වාමීනී එසේ අවශ්‍ය නොවේ. මම දානය පිළියෙල කොට මෙහි රැගෙන එන්නෙමි ” 
 
” නැත නැඟනිය කිසිදු ගැටළුවෙක් කිසිසේත්ම නැත. මම හෙට ඔබේ මැඳුරට පැමිණෙන්නෙමි.” 
” ඒ මට මහත් ප්‍රීතියක් ස්වාමීනී, මම ජීවිතය කෙරේ බොහෝ සේ කලකිරී සිටින්නෙමි.මා සිතට වසර ගණනකට පසු යම් සහනයක් ලැබුණේ පසුගිය දා ඔබ වහන්සේගේ ධර්ම දේශනයට සවන් දුන් පසුවය.” 
” සිතෙහි සහනය ලඟා කර ගැනීම හෝ සිත අසහනයේම පවත්වා ගැනීම හුදෙක් පවත්නේ ඔබ අතේමයි නැඟනියනි, එහි වගකීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි. මට කලහැකි එකම කාර්යය මාර්ගය පෙන්වීම පමණකි. එම මාර්ගයේ ගමන් කොට සහනය සහ විමුක්තිය ළඟා කරගන්නවාද නැතහොත් සුපුරුදු පරිදි ජීවිතය අසහනයෙන් ගත කරනවාද යන්න ඔබම තීරණය කරන්න.” 
 
” එහෙමයි ස්වාමීනී….” 
” නැඟනිය ජීවිතය වනාහී උපතේ සිට මරණය දක්වාම නොනවතින දුක් සම්භාරයකි.ආශාවන් පසුපස නොනැවත දිව යාමෙන් අප තව තවත් ඒ දුකෙහිම ගැලෙනවා විනා ඉන් මිදීමක් නොවන්නේය.මෙතෙක් දුර ඔබ නොනැවත දිව ආ ජීවිතයට මොහොතකට සමු දෙන්න. නැවතී නැවත ආ මඟ දෙස ආපසු බලන්න, ඔබ පැමිණි මඟ දෙස ආපසු බලන්න. ඔබ කඳු මුදුනකට පැමිණ ඇත.කඳු මුදුනේ මඳක් ගිම් නිවාගෙන පැමිණි මඟ දෙස ආපසු බලා ඔබම තීරණයකට එලඹෙන්න ඉදිරියේ මවිසින් කුමක් කළ යුතුද කියා. තීරණය ඔබ අතේ. ජීවිතය ඔබේ සේම ජීවිතයට සහනය ළඟා කරගන්නේ කෙසේ ද යන තීරණය ද ඔබ සතුයි. ” 
” සාදු …සාදු…ස්වාමීනී, ඔබ වහන්සේගේ වදනින් පවා මසිත සිහිල් අඳුනක් ගැල්වූ කලෙක මෙන් සුවපත් වීයනු මට දැනෙයි….” 
 
” ස්වාමීනී…සමාවන්න……” 
දොරටුව දෙසින් ඇසුණු ආනන්ද තෙරුන්ගේ හඬින් පාලී ඒ දෙස නෙත් යොමු කලාය.
” ඔව් ආනන්ද, කියන්න….”
බුදුන් වහන්සේ තමන් ඉදිරියට පැමිණි ආනන්ද තෙරුන්ට පැවසූහ.
” ස්වාමීනී අජාසත් මහ රජතුමා ඔබ වහන්සේ බැහැදැකීමට පැමිණ සිටී.” 
 
” එසේනම් ස්වාමීනී මට අවසර…..” පාලී වහා නැඟී සිටියාය.
” නැත නැඟනිය….කිසිදු ගැටලුවෙක් නැත ඔබ රැඳී සිටින්න.ආනන්ද…රජතුමා මෙහි පැමිණෙන්නට දන්වන්න.” 
ඉක්මන් ගමනින් පැමිණ බුදුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණු අජාසත් නැඟී සිට පසෙකට වී හුන් පාලී දෙස බැල්මක් හෙලා නැවත බුදුන් වහන්සේ ඇමතුවේය.
” ස්වාමීනී…මේ දිනවල් මාගේ සිතෙහි කිසිදු සහනයක් නැහැ….මපියානන් පිළිබඳ බියකරු මතකය මා සිතට නිතර වද දෙනවා.සිතට යම් සහනයක් ලඟාකර ගනු වස් හෙට පොහෝ දින ඔබ වහන්සේට දානය පිළිගැන්වීමට රුචියක් ඇතිවිය. එබැවින් හෙට රජ මැඳුරේ දානයට වඩින ලෙස ඔබ වහන්සේට ආරාධනය කිරීමට කැමැත්තෙමි.” 
” රජතුමනි…ඔබ සිතට සහනයක් ගෙන දේනම් මම ඒ ඇරයුම පිළිගන්නෙමි. එහෙත් හෙට දින මේ අම්බපාලියගේ මැදුරට දාන උදෙසා පැමිණීමට මම ආරාධනය භාරගතිමි.”
බුදුන්වහන්සේ පැවසූයේ පසෙක හිස පහත් කොටගෙන හුන් පාලී සිය සුරතින් දක්වමිනි.
” එහෙමයි ස්වාමීනී. එසේනම් කමෙක් නැහැ…..ඔබ වහන්සේට මම වෙනත් දිනෙක දානයට ආරාධනය කරන්නෙමි…..එසේනම් මට අවසර….ඔබ වහන්සේ හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට මම ළඟදීම දිනෙක පැමිණෙන්නෙමි.මා සිතට සහනයක් ගෙන දිය හැක්කේ ඔබ වහන්සේට පමණි. ” 
 
” ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක මා හමුවිය හැකියි රජතුමනි……” 
” එසේනම් මට අවසර ස්වාමීනී….” 
බුදුන් වහන්සේට වැඳ නමස්කාර කොට රජු පිටත්ව ගිය පසු පාලී ද බුදුන් වහන්සේ අභිමුඛයට පැමිණ වැඳ වැටුණාය.
” මට ද අවසර ස්වාමීනී. ඔබ වහන්සේගේ වදනින් පවා මසිතට ලැබුණු සහනය ඉමහත්ය. ” 
 
” යහපතක්ම වේවා නැඟනිය…… එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කිරීම සිතේ සහනයට එකම හේතුවයි. ඒ මොහොතකට හෝ අමතක නොකරන්න.” 
අරමේ අංගනයට පිවිසි පාලී එතෙක් එහි රැඳී හුන් අජාසත් රජතුමා දුටුවේ විශ්මයට පත් විය.
” රජතුමනි ඔබ තුමා?….” 
 
” පාලී මම ඔබ පැමිණෙන තෙක් පොරොත්තු වුණෙමි. ඔබට මා සමඟ මාගේ අස් රියෙන් මැදුර බලා ගමන් කල හැකියි.” 
 
” ඒත් රජතුමනි ඒ ඔබට අනවශ්‍ය ගැටළුවෙක් නොවන්නේද? ” 
” මීටත් වඩා කුමන ගැටලු ද පාලී?…..අනෙක් කාරණය මම විශාලාවේ රජතුමා….එන්න මා හා…මම ඔබ ඔබේ මැදුර කරා රැගෙන යන්නම්….” 
අස් රියෙහි රියැදුරු අසුනෙහි පසෙක පුණ්ණා අසුන් ගත් අතර පාලී රජු සමඟ රිය තුල වූ සුව පහසු අසුනට බර දුන්නාය.
සඳ රැසින් නැහැවුනු විශාලා නුවර වීදී මේ මැදියම සහ අළුයම අතර කාලයෙහි පාළුවට ගොස් තිබිණි.සුදු අසුන් සිව් දෙනාගේ කුර ගැටෙන නාදය පමනක් වීදී සිසාරා විහිද ගිය ඒ රාත්‍රියෙහි රිය කවුළුවෙන් පිටත් බලා හුන් පාලීගේ සිතට පිවිසියේ අජාසත් හා ආලිංගනයෙහි වෙළෙමින් ගෙවුනු ඒ අතීතයයි.
එකල දුටු මතින් ඇගේ සිත රාගයෙන් අවදිකල ඔහුගේ කඩවසම් රුව වයස්ගතවී නමුදු තවමත් කිසිදු වෙනසක් නොවුනු නමුදු ඈ සිතෙහි අද ඔහු කෙරෙහි පිරී ඉතිරී ඇත්තේ කිසිසේත්ම රාගයක් නොව තමා මෙන්ම අපමණ දුක් කම්කටොලු රැසකින් පරිපීඩිත තවත් මනුෂ්‍යයෙකු කෙරේ උපදින උපේක්ෂා සහගත අනුකම්පාවෙක් පමණි.
” පාලී මට ඔබෙන් යමක් ඉල්ලීමට අවසරද? ” 
රජුගේ හඬින් දැහැන් බිඳුනු ඕ තොමෝ උදක්ම රජුගේ මුහුණ කෙරේ නෙත් යොමු කලේ ප්‍රශ්නාර්ථයෙනි
 
” අහෝ රජතුමනි…ඔබ මෙපුර මහරජතුමාය. ඔබට මගෙන් අවශ්‍ය කුමක්ද?….පවසන්න…..”
” මට අනෙක් හැම දෙයක්ම අඩු නැතිව තිබියද නැත්තේ අවශ්‍යම දෙයයි. එනම් හිතේ සහනයයි. මට හෙට ඔබේ මැදුරෙහි බුදුන් වහන්සේ උදෙසා පැවත්වන දානයට සහභාගි වීමට අවසරද?….මම ඔබෙන් ඉල්ලන්නේ එපමණයි.” 
 
” රජතුමනි…ඒ ඔබට ගැටළුවක් නොවේනම් මාගෙන් කිසිදු බාධාවෙක් උදක්ම නැත්තේමය.” 
 
” කුමන ගැටලුවක් ද පාලී….ඔබට බොහොම පිං…” 
දෑතම දිගුකොට පාලීගේ සුරත ගත් අජාසත් ඒ තම මුවට ලංකොට අපමණ බැතියෙන් සිප ගත්තේය.දෑසට නැඟුනු කඳුලු බිඳක් වමතින් පිසලූ පාලී සඳරැසින් බැබලෙනා පුරා සඳ වලාකුළු රහිත අහසෙහි දිලෙනයුරු නිවීපහන්වූ සිතින් යුතුව බලා සිටියාය.
http://ranrandil.blogspot.com.au/2014/10/285.html

About the author

කැටපත්පවුරට ලියන්න