බලාපොරොත්තුව – ශක්තික සත්කුමාර

No Comment 443 Views

බිරිය සමඟ වූ බහින්බස් වීමේ දී තමාගේ මුවින් නොකිව යුතු බොහෝ දේ එළියට ආ බැව් සිහි කරමින් තිවංක පසුතැවෙන්නට විය.

“තමුසෙ ඇක්සිඩන්ට් වෙලා සිහි නැතුව මාස ගානක් ඉද්දි තමුසෙගෙ අම්මලා ඔක්සිජන් ගලවන්න අත්සන් කළා. බඳින්න හිටපු මිනිහා විදිහට මමයි ඒක නතර කළේ.”

“එදා තමුසෙට මැරෙන්න දුන්න නම් මේ මොකුත් නැහැ.”

 

තිවංක තමන් පදවමින් සිටි කාරය බොරැල්ල මංසන්ධිය පසු කර ඇපෙක්ස් ආපන ශාලාව අසල නතර කළේ ය. එහි උඩුමහලට ගමන් කළ ඔහු බීර බෝතලයක් සහ තැම්බූ කඩල දීසියක් ඇණවුම් කර කෙළවරේ වූ මේසය වෙත ගියේ ය. ජංගම දුරකථනය ගත් ඔහු සුරංග ඇමතී ය.

“මචං මං බොරැල්ලෙ ඉන‍්නෙ… උඹ කොහේ ද?”

“…………”

“ඔය වැඩේ ඉවර වෙලා පුළුවන් නම් ඇපෙක්ස් එකට වරෙන්.”

කුමක්දෝ වරදකාරී හැඟීමක් තිවංකගේ හිත තුළ මෝදු වෙමින් තිබුණි. ඔහු බීර වීදුරුවෙන් උගුරු කීපයක් පානය කර තැම්බූ කඩල ඇට කීපයක් හපන්නට විය. නිෂාදි තමන්ගේ ජංගම දුරකථනයට එන කෙටි පණිවුඩ බලන්නට ඇත්තේ අදක ඊයෙක සිට නොවේ යැයි තිවංක කල්පනා කළේ ය.

“කවුද යමුනා කියන්නේ….”

නිෂාදි අසන විට තමා සිටියේ කණ්ණාඩි මේසය අසල අතරින් පතර ඉදී තිබූ කෙස් ගලවමින් බැව් තිවංකට මතක ය.

“යමුනා… මොන යමුන ද?…” යමුනා ගැන ඇසූ සැණින් ම තමන්ගේ ශරීරය පුරා විදුලි සැරක් දිව ගිය බැව් තිවංකට දැනුණ ද ඔහු ඒ බවක් පිටතට නොපෙන්වීමට වගබලා ගත්තේ ය.

“ෆෝන් එකෙන් ඔයා එස්.එම්.එස්. යවලා තියෙන යමුනා ගැන මං අහන්නේ?”

නිෂාදිගේ හ‍ඬෙහි සැර මෙන් ම වේගය ද වැඩි වී ඇත. තිවංක ඇගේ මුහුණ දෙස නොබලා ම පිළිතුරු සැපයී ය.

“ආ… ඒ අපේ ඔෆිස් එකේ වැඩ කරන ළමයෙක්…”

තමන්ගේ බිරිය තවත් ප්‍රශ්න අසතැයි තිවංක සිතූව ද සිදුවූයේ අනෙකකි.

තිවංකගේ ජංගම දුරකථනය ඔහු වෙතට විසි කළ නිෂාදි ඇ‍ඳෙහි ඉඳගෙන අඬන්නට වූවා ය.

‘ඇයි මට මෙහෙම කරන්නේ… ඔයා වෙනුවෙන් මට දරුවෙක් දෙන්න බැරි හින්ද ද? ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම බඳින්න කැමති නොවුණෙත් ඒ නිසා. ඔයත් ඉන්න තැනමයි ඩොක්ටර්ස්ලා ඒක කිව්වෙ…”

“සර්… තව මොනව හරි ඕනැ ද?” වේටර් කොලුවාගේ හඬින් තිවංක වර්තමානයට පැමිණියේ ය.

“ආ… මල්ලි… තව බියර් එකකුයි සිගරැට් තුනකුයි ගේන්න…”

තිවංක මේසය මත වූ දුරකථනය ගෙන වෙලාව බැලුවේ ය. එහි සවස හතර ලෙස සටහන් වී තිබුණි. තමන් උදයේ යමුනාට යැවූ කෙටි පණිවුඩය විවෘත කර ගත් ඔහු ඒ දෙස බලා සිටියේ ය.

Good morning. Ada niwadu dawase mokada karanne?

තමාගේ පණිවිඩයට ඇගෙන් ආ කෙටි පණිවිඩය මකා දැමුව ද තමා යැවූ පණිවිඩය මකා දැමීමට අමතක ව‍ූයේ මන්දැයි තිවංක කල්පනා කළේ ය. මෑතක සිට සිතෙහි පවතින හුදකලාව හා හිස් බව මකා ගන්නට කාර්යාලයේ දී ඈ සමඟ සුහද ව කතා කළ ද, ඉඳහිට කෙටි පණිවිඩයක් යැවූව ද තමා හා යමුනා අතර ඊට එහා ගිය සම්බන්ධයක් නැති බැව් තිවංක හදවතට එකඟ ව කල්පනා කළේ ය. ඒ බැව් නිෂාදි පිළිනොගත් නිසා රංඩුව දුර දිග ගියේ ය.

“මචං මං පරක්කු වුණා ද?” සුරංග මේසය අසලට එනතුරු ම තිවංක නොදුටුවේ ය.

“ආ… නෑ මචං, ඉඳගනින්” තිවංක සුරංගට අසුනක් පා වේටර් කොලුවා කොහේදැයි බැලුවේ ය.

“මල්ලි, තව ග්ලාස් එකකුයි, බෝතලයකුයි.”

“උඹ මොකක් හරි අවුලක වගේ” සුරංග තිවංක දෙස තීක්ෂණ බැල්මක් හෙළුවේ ය.

“මට තේරෙන්නෑ බං, මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ. මොකක්දෝ අවුලක් තියෙනවා මේ ජීවිතේ. මැරෙන්න හිතෙ වෙලාවල් තියෙනවා.”

“පිස්සු කෙළින්න එපා. මට නිෂාදි කතා කළා. අද වෙච්ච දේ ගැන කීවා. තරහට කෑ ගැහුවට නිෂාදි උඹව සැක කරන්නෑ.” සුරංගගේ කතාවට තිවංක කිසිවක් නොකියා නිහඬ විය. ඔහු සිගරැට්ටුවක් දල්වාගෙන එහි දුමින් පෙණහලු පුරවා ගත්තේ ය.

“ගල්ගමුවේ ඉඳලා පත්තරේක කුරුටු ගාන රස්සාවට ආපු උඹට, ගවර්න්මන්ට් ජොබ් එකක් හම්බ වුණේ… රාජගිරියෙන් ගේකුයි ඉඩමකුයි… තව කාරෙකකුයි හම්බ වුණේ කවුරු හින්ද ද?” සුරංගගේ බීර වීදුරුව පෙණ දමමින් ඇත. “උඹට ඔය ඔක්කොම හම්බ වෙලා තියෙන්නෙ නිෂාදි හින්දා. උඹ ඒ කෙල්ලගෙ හිත රිද්දනව නම් ඒක පාපයක්.”

“මම නිෂාදිව බැන්දේ ඔය කෙහෙල්මල් හින්ද නෙමේ. ඒකි මට අවංකව ආදරය කරපු හින්දා. අනික අද ඉන්න කෙල්ලො වගේ නිෂාදි කොල්ලොත් එක්ක හෝටල් කාමරවලයි චිත්‍රපට හෝල්වලටයි රිංගපු කෙල්ලෙක් නොවෙන නිසා… ඒත්… මොන දේ තිබුණත් ජීවිතේ කිසි සතුටක් නැතැ” යි කීමට සිත් වුව ද ඔහුගේ මුවින් ඒ වැකිය පිට වූයේ නැත. ඒ වෙනුවට ඔහු තවත් බීර බෝතලයක් සහ රයිස් එකක් ඇණවුම් කළේ ය.

“උඹ දවල්ට කෑවෙත් නෑ කියලා නිෂාදි කිව්වා.”

තිවංක අවදි වූයේ නිවසේ දුරකථනය නාද වන හඬිනි. ඔළුව උස්සා ඇඳ අසල ටීපෝව මත තිබූ ජංගම දුරකථනය ගත් ඔහු එහි වේලාව බැලී ය.

“නමයත් පහු වෙලා. කමක් නෑ, අද ඉරිදනේ… අම්මෝ ඔළුව රිදෙන තරම්” තමාට ම කියා ගත් ඔහු ඇ‍ඳෙහි අනිත් ඇලයට හැරුණි. ඔහුට නිෂාදිගේ දුරකථන සංවාදය ඇසෙන්නට විය.

“අපි එහෙනම් හවස් වෙලා ඔය පැත්තෙ එන්නම් අම්මෙ”

“හා හොඳයි”

“බුදු සරණයි”

දුරකථන සංවාදය අවසන් වූ පසු නිෂාදි මුළුතැන්ගෙය දෙසට යන්නට ඇතැයි තිවංක සිතුවේ ය. පසුදින රාත්‍රියේ බොරැල්ලේ සිට වාහනය පදවාගෙන පැමිණියේ සුරංග බැව් තිවංකට මතක ය. විවාහය නිසා තමන්ට හිමි වී ඇති දේපොළ සහ නිල බලය සුරංග සතු නොවුණ ද ඔහු දරු පවුල සමඟ සතුටින් ජීවත් වනවා නොවේදැයි තිවංක මෙනෙහි කළේ ය. නිෂාදි මෙන්ම සුරංගද කියන ආකාරයට දරුවකු හදා ගැනීම මගින් ජීවිතය වසාගෙන තිබෙන හුදකලාව සහ හිස් බව පලා යනු ඇතැයි සිතීමට තිවංකගේ සිත දැන් දැන් උත්සාහ ගනිමින් ඇත. පසුගිය දින කීපයේ මෙන් ඇ‍ඳෙන් බැසීමට පෙර යමුනාට උදේට සුබ පතා යවන කෙටි පණිවුඩය නොයවා ඔහු ඇ‍ඳෙන් බැස මුළුතැන්ගෙය දෙසට පිය මැන්නේ ය.

“ආ… ඔයා නැගිට්ට ද? මං ඔයා නැගිටිනකම් තේ හැදුවෙ නැහැ.” නිෂාදි තිවංකට වතුර වීදුරුවක් දෙමින් පැවසී ය. ඒ වන විටත් ඇය උදේ කෑමට ඉඳිආප්ප තම්බා තිබ්බටු මැල්ලුමක් සාදා තිබුණි.

“හවස් වෙලා මහගෙවල් පැත්තෙ ගිහින් එන්න යමු.” තිවංකට තේ කෝප්පය පිළිගන්වමින් නිෂාදි කීවා ය. තිවංක කිසිවක් නොපවසා තේ උගුරක් තොල ගෑවේ ය.

බටහිර අහස රත්පැහැ ගැන්වීමට පටන් ගත් පසු තිවංකත් නිෂාදිත් රාජගිරියේ සිට අතුරුගිරියට යෑමට පිටත් විය. ඉරිදා දිනයක් වූ නිසා පාරේ වාහන තදබදයක් නොවීය. පසුගිය දින කීපයේ සිතේ පැවති හුදකලා බව පහව ගොස් ඇතැයි තිවංකට කාරය පදවන අතර සිතුණි. ඔහු නිෂාදි දෙස බැලී ය. ඇගේ මුහුණේ ද වූයේ බලාපොරොත්තු සහගත බැල්මකි.

“ඒ මනුස්සයා එන්නෙ මොනරාගල ඉඳලා කියලා ද අම්මා කිව්වෙ” තිවංක ඔවුන් අතර තිබූ නිහැඬියාව බිඳ දැමීය.

“ඔව්… ඔව්… ඒ එන මනුස්සයාගේ දුවටලු ළමයා හම්බ වෙන්න ඉන්නෙ. දුව බැඳලත් නෑලු. ඒ ගෑනු ළමයා අනාථ කරලා තියෙන්නෙ බැඳපු හමුදාකාරයෙක්. සුරංග තමයි ඩැඩීට මේ පණිවිඩය දීලා තියෙන්නෙ. දරුවා ලැබුණාම දෙමවුපියො විදියට අපේ නම් ම දෙන්න පුළුවන් කියලා සුරංග කියලා තියෙනවා.”

සුරංග මෙවැනි කතාවක් ඊයේ සවස කී බැව් තිවංකගේ මතකයට ආවේ එවිට ය. සුරංගගේ මිත්‍රත්වය පිළිබඳව ඔහුගේ සිතට දැනුණේ සොම්නසකි.

“සුරංග කියන්නෙ ඔයාගෙ හොඳ යාළුවෙක්. එයාගේ වයිෆ් තමරත් හොඳ කෙනෙක්. ළඟදි අපට එහෙ යන්නත් බැරි වුණානෙ.” නිෂාදිගේ කතාව තිවංක අනුමත කළේ ය.

නිෂාදිගේ මහගෙදර වත්තට කාරය ඇතුළු කරන විට නිෂාදිගේ මව ඉදිරියට පැමිණ ඔවුන් පිළිගත්තා ය.

“පුතේ මොනරාගල ඉඳලා අර කියපු මනුස්සයා ඇවිත් ඉන්නවා. තාත්තා සාලයේ එයත් එක්ක කතාව.” නිෂාදිගේ මව තිවංකට පැවසී ය.

තම මාමණ්ඩිය සමඟ සිටි මැදිවියේ පුද්ගලයා දුටු තිවංකට ඔහුගේ පියාව සිහි විය. මාමණ්ඩිය ඔවුන් හඳුන්වා දීමටත් ප්‍රථම මැදිවියේ සිටි පුද්ගලයා තිවංක සහ නිෂාදි දුටු සැණින් පුටුවෙන් නැගිට බුලත් කහට බැඳුණු දත් පෙන්වමින් ඔහු ඉතා යටහත් පහත්ව සිනාසුණේ ය.

“සිරිදාස නම් තේ බීවා. මං ඔය දරුවන්ට බොන්න මොනව හරි හදාගෙන එන්නම්.” නිෂාදිගේ මව මුළුතැන්ගේ දෙසට යන්නට වූවා ය. නිෂාදි ද ඈ පසුපසින් ඇදෙන්නට වූවා ය.

“පුතේ අපි දැන් කතා වුණේ හෙට අනිද්දට සිරිදාසගෙ දුවව මෙහෙ ගෙනත් නවත්ත ගන්න. තව මාස තුනලු තියෙන්න දරුවව හම්බ වෙන්න.” තම මාමණ්ඩියට සවන් දෙමින් තිවංක ඒ අසල පුටුවකට බර විය. පුටුවෙහි හිඳගත් තිවංක නැවත නැඟී සිටියේ කතාවට සම්බන්ධ වීමට පෙර කැසිකිළියට යෑමට අවශ්‍ය වූ බැවිනි. ඔහු ඉක්මනින් ම නානකාමරයට පිය මනින්නට විය. මුළුතැන්ගෙයට යාබදව පිහිටි නාම කාමරයට ඇතුළු වන විට ම මුළුතැන්ගෙය දෙසින් ඔහුට ඇසුණේ ඉකිබිඳුම් හඬකි. ඒ නිෂාදිගේ බැව් තිවංක හඳුනා ගත්තේ ය.

“තිවංක නැත්නම් අම්මලා මගේ ඔක්සිජන් ගලවන්න අත්සන් කරනවා…”

“දුව… කෝමා තත්ත්වයෙ ඉද්දී ඩැඩී ප්‍රයිවට් හොස්පිටල් එකක වෙනම කාමරයක් අරන් නැවැත්තුවා. රජයේ ප්‍රයිවට් කියලා නෑ. මළමිනියකටවත් ඉන්න දෙන්නෙ නැති උන් තමයි ඕවගෙ ඉන්නෙ….”

“එතකොට උන් මාව…”

“ඕවා දැන් වැඩක් නැහැ දුවේ. දැන් ඒවා ඔක්කොම ඉවරයිනෙ…” පැමිණි ගමන යෑමට අමතක වූ තිවංක අසිහියෙන් මෙන් නැවත සාලය වෙත ගමන් කරන්නට විය. නිෂාදි සහ මවගේ දෙබස් ඔහුගේ දෙකන් තුළ දෝංකාර දෙමින් පැවතුණි. සාලය වෙත පැමිණි තිවංක කලින් සිටි පුටුව මත හිඳ ගත්තේ ය. මාමණ්ඩිත් සිරිසේනත් බොහෝ දේ සැලසුම් කරයි. තිවංකට ඒ කිසිවක් ඇසුණේ නැත.

 

silumina.lk

 

 

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)