රේල් හන්දිය !! අයි.එම් එස් .සත්යප්‍රසාද්

No Comment 32 Views

 

අපි හිටියේ රේල්පාරක පීලි උඩ ඇවිද ඇවිද. රේල් පාරෙ තියෙන හොඳම දේ තමයි පීලි අතර දුර වෙනස් නොවෙන එක. ඒ වගේම දරා ගන්ඩ බැරි කන්දක් වත් පල්ලමක් වත් රේල් පාරක හම්බවෙන්නෙ නෑ. අනික ඒක පටු දුම් රිය පාරක්. එහෙම නූන නම් අපිට පීලි දෙකේ ඉඳන් අත් අල්ලගෙන යන්ඩ බැරි වෙනව. අපිට අත් අතාරින්ඩ වෙන්නෙ කෝච්චියක් ආවොත් තමයි. හිනහත් යන්ඩ එනව කෝච්චි ගැන කිව්වම, හරියට අපි මහා නගරෙක හිටිය වගේ. මේ පාරෙ ඕන්නම් දවසකට කෝච්චි හතරක් යයි. උදේ කෝච්චිය යනව අපි දැක්කදත් කොහෙද. ආයි ඉතින් තව පැය ගානකට කොහෙ එන්ඩද? පාලමක් උඩින් යද්දි අපි බිම බැලුවෙනෑ. වැටෙන්නෙ නැති බව සහතික වුනත් හිතට පොඩි චකිතයක් එනව. අපි බිං ගේ ඇතුලෙන් යනකොට ඈ මගේ අත තදින් අල්ලගත්ත. විකාර, කළුවරට ඔය හැටි මොකට බයවෙන්නද? හිතට ආවට මම මොනවත් කිව්වෙ නෑ. බිං ගේ එහා පැත්තෙන් එන එළිය නිසා පීලි දිලිසුනා. එහෙම නූන නම් අපිට කකුල් පැටලෙන්ඩ ඉඩ තිබුණ. ඒත් ගමනක් යනකොට ඕව ඔක්කොම හිතන්ඩ කාටද පුලුවන්.

අපි යමින් හිටියෙ ගමනක්. ඒක චාරිකාවක්මත් නෙමේ. අපට ගමනාන්තයක් තිබුණෙ නෑ. තිබුණ නම් අපි යනවනෙ කෝච්චියක? අපට කෝච්චියෙ යන්ඩ සල්ලි තිබුන්නැති එක වෙනම කතාවක්. කතන්දර අහද්දි ප්‍රශ්න අහන්ඩ එපා. තර්කය කියන දේ කතාවල්ට අදාල නෑ, විශේෂයෙන්ම අපේ වගේ සුරංගනා කතාවල්ට. එහෙම කිව්වත් මේ කතාවෙ සුරංගනාවො හිටියෙ නෑ. ඔන්න ආයෙත් ප්‍රශ්න අහනව, මං ඈට සුරංගනාව කිව්ව එක මේ කතාවට අදාළ නෑනෙ. කමක් නෑ, ඇහුව හින්ද මං ඒකත් කියන්නම්. හැබැයි ඒක වෙනම කතාවක්. ඒ හින්ද අපි දැන් පොඩ්ඩකට යනව අතුරු කතාවකට.

ඇ හිටියෙ කැන්ටිමේ අල්ලපු මේසෙ ප්ලේන්ටියක් බිබී. මං දැන් ගොඩක් වෙලා ඉඳල ඈ දිහා බලාගෙන හිටියෙ. ඇගේ දෑස් යොමුවෙලා තිබුනෙ කැන්ටිමේ ඈත කෙළවරේ තිබුණු බාල්කෙ මධ්‍ය ලක්ෂ්‍යය දිහා. මං හැරිල බැලුවට එතන වෙනසක් තිබුනෙ නෑ. විතරක් නෙමේ ඒ බාල්කෙත් වෙන ඒවට වඩා වෙනසක් තිබුන් නෑ. මං කල්පයක් කල් බලන් හිටියෙ නෑ, කියන කොට අහ ගන්ඩකො, එයා ප්ලේන්ටිය බීල ඉවර වෙනකම් විතරයි. වෙලාව ද? වෙලාව හරියට විනාඩි දොළහයි තප්පර  දහයක් ගිහින් තිබුනා. නැතුව? නිමිල තියෙන්ඩ ඇති තමයි. එදා සෑහෙන්ඩ හීතල දවසක්. අනික මම රස්නෙ බලන්ඩ ගියෙත් නැනෙ, ඇයි ඉතින් මගෙන් අහන්නෙ? එතන තිබුනු විශේෂය තමයි ඒ මුළු විනාඩි දොළහටම එයා එක පාරක් වත් ඇහි පිය ගැහුවෙ නෑ. ඔය ගොල්ලො අහල තියෙනවනෙ සුරංගනාවො ඇහි පිය ගහන්නෑ කියල. ඉතින් මම ඇත්තටම හිතුව ඈ සුරංගනාවක් කියල. මට මේක හරියටම දැන ගන්ඩ ලොකු උවමනාවක් තිබුන. ආයි වෙන කාගෙන්වත් අහන්නෙ මොකටද කියල හිතල මම කෙළින් ම ගිහින් එයාගෙන් ම ඇහුව එයා සුරංගනාවක් ද කියල. තත්පර දෙකක් යනකම් මුකුත් වුනේ නෑ. ඒ මේසෙ හිටපු සේරම මගෙ දිහා පුදුමෙන් වගේ බලා හිටිය විතරයි. මුලින්ම හිනාව පටන්ගත්තෙ එයාමයි. ඊට පස්සෙ ඒ මේසෙ හිටපු එයාගෙ මිතුරියො. ඊටත් පස්සෙ කැන්ටිමේ හිටපු හැම දෙනෙක්ම. වෙන එකක් තියා කවදාවත් හිනා වෙන්නැති කැන්ටින් මුදලාලි පවා. එදායින් පස්සෙ ගොඩක් දේවල් වුනා. කොහොම වුනත් මේ වෙනකොට අපි රේල් පාර දිගේ ඇවිදිමින් හිටියෙ.

රේල් පීලි උඩ ඇවිදින එක ක්‍රීඩාවක් වත් තරගයක් වත් නෙමේ. අපි ඒක කලේ විනෝදටමත් නෙමේ. අපි දෙන්නට ම ගමනක් යන්ඩ ඕන වෙලා තිබුණ. මුලින් ඒ අදහස ආවෙ කාටද කියල අපි දැනගෙන හිටියෙ නෑ. කොහේ යනවද කියල අරමුණක් තිබුණෙත් නෑ, මම කිව්වනෙ අපට ගමනාන්තයක් තිබුණෙ නෑ කියල.  ගමනක් ඕන්නම් තනියෙන් යන්ඩත් පුලුවන්.  එහෙම යනකොට අපි රස විඳින්නෙ අපි දකින දේවල් එහෙම නැත්නම් අහන්න ලැබෙන දේවල්. ඒත් තව කෙනෙක් එක්ක ගමනක් යන එක එහෙම නෙමේ.එතකොට අපට සමහර විස්තර මග හැරෙනව. අපි වැඩියෙන් අවදානය යොමු කරන්නෙ එකිනෙකාට, කතා බහට. කතා නොකර ගොළුවො වගෙ යන්ඩත් පුළුවන් තමයි. ඒ ගියත් තව කෙනෙක් ඉන්නව කියන හැඟීමෙන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ.

අපි කතා කළේ මොනවද කියලද ඇහුවෙ? කතා නොකළ දෙයක් නැති තරම්. ගොඩක් වෙලාවට කවි ගැන ගීත ගැන. සමහර වෙලාවල්ට අපේ පරණ හිත් රිදීම් ගැන. ඒ ගැන කතා කරන්න නම් ඈ ගොඩක් කැමති වුණා. ඒ සමහර දේවල් මට තේරුණේ ෆැන්ටසි ඒකක් විදිහට වුණත් මම ඔහේ අහගෙන හිටියා. අපි චිත්‍රපටි ගැන කතා කෙළේ නැත්තෙ ඈ ඒවට රුචියක් නොදක්වපු නිසා. අපි එක මොහොතක් කතා නොකර හිටියෙ නෑ. මට මේ ගමනෙ තිබුණු වටිනම දේත් ඒකමයි. ඒත් අපි පහුකළ රේල් පාර අවට තිබුණු කිසි දෙයක් ගැන අපට නිනව්වක් තිබුණෙ නෑ.

ඈ මං ගැන ඕනවට වඩා සැලකිලිමත් වුණා. ‘ඔයාට මහන්සියි, දැන් ටිකක් නතරවෙමු’ ඈ කිව්ව. මට කිසිම මහන්සියක් තිබුණෙ නෑ. මම ඒ බව කිව්වට ඈ තදින්ම කියා හිටියා අපි නැවතිය යුතු බව, නැත්නම් ඈ ගමන යන්න එන්නැති බව. ඒක තර්ජනයක් නෙමේ, ඈ ඒක කිව්වෙ හිනා වෙවී. මට වෙන විකල්පයක් තිබුනෙ නෑ. පස්සෙ පස්සෙ මම ඒක ගණන් ගන්නෙ නැතුව හිටිය. ඒකත් මේ ක්‍රීඩාවෙ තවත් නීතියක් වගෙ වුනා. ඇත්තටම ඈ මා ගැන කරදර වුණා. ඇට ගොඩක් මාව ඕන වුණු බව මට තේරිලයි තිබුණෙ. ඈම කියපු විදියට ඈ මෙච්චර මුරණ්ඩු වෙන්න ඇත්තෙ පවුලෙ බඩපිස්සි වුණ නිසා වෙන්න ඇති කියල මටත් හිතුන.

තවත් පාලමක් සහ බිං ගෙයකට පස්සෙ අපි හිටියෙ රේල් පාරෙ ලොකු වංගුවක් ඇති තැනක. මේ පාර දිගේ අපි කලින් ඇවිදපු බවක් අපට මතක තිබුනෙ නෑ. වංගුවෙන් පස්සෙ කෙලින් ඇදුනු රේල් පාර ඈත ගස් වදුලක් ළඟ හැංගුනා. ඒ එක්කම පාලම පහු වුණාට පස්සෙ අපි වචනයක් වත් කතා නොකල බව මට මතක් වුණා.

ඈ හිටියෙ රේල්පාරෙ ඈත කෙළවර දිහා බලාගෙන. මා ඈ දිහා බලාගෙන ඉන්න බව දැනගත්තම ඈ හිනා වෙලා තොරතෝංචියක් නැති කතාව ආයෙමත් පටන් ගත්ත. පුදුමකට වගේ ටික වෙලාවකට කලින් අපි කල්පනාවල් දෙකක හිටපු එක ගැන කවුරුවත් කතා කලේ නෑ.

කතාව මැදින් අපි රේල් පාර කෙළවර වුන ගස් වදුල ළඟට කිට්ටු වුණා. ගස් වදුල පටන් ගන්න තැනම වගේ තිබුනෙ රේල් හන්දියක්. මේ හරියෙදි රේල් පාර බෙදී දෙපැත්තකට ඇදෙන බව අසා තිබුනු බව මට මතක් වුනා.

 

‘අපි යං දකුණු පැත්තට’ ඈ හදිස්සියෙන්ම කිව්ව. එහෙම කියන්න අවශ්‍යතාවයක් තියෙයි කියල මට කොහෙත්ම හිතිල තිබුණෙ නෑ. අපි යන්නෙ වම් පැත්තට හැරුනු රේල්පාරෙ කියල මං හිතාගෙන හිටිය. ඔන්න ආයෙමත් ප්‍රශ්න අහනව. මෙච්චර වෙලා හිටිය වගෙ සද්ද නැතුව අහගෙන ඉන්ඩකො! හොඳයි, මොකක්ද ඔයා ඇහුවෙ? එහෙම හිතාගෙන හිටියෙ ඇයි කියලද? ඉතින් මං හිටියෙ වම් පීල්ලෙනෙ? ඉතින් මම ඒ පීල්ල දිගේම ගියාම අපි යැවෙන්නෙ වමටනෙ? අනිත් එක ගමනාන්තයක් නැති ගමනක් යන අපි කොහාට ගියාම මොකද? ඇගේ කතාවට මගේ නුරුස්නා කමක් ඇතිවුනා කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ ගමන ආවෙලාවෙ ඉඳන් හැම එකකදිම මට ඇගේ යෝජනාවට එකඟ වෙන්න වුනා. ඇයි ඈට බැරි මෙතනදිවත් මා හිතපු විදිහට එකඟ වෙන්න?  මේ පාර නම් මං තදින් ම ඉන්නවා….

අවසානය එක

මේ වෙනකොට අපි රේල් හන්දියටම ඇවිල්ලයි තිබුණෙ. වචනෙන් නොකිව්වට කවුරුත් යන පාර වෙනස් කරන්නැති බව පේන්ඩ තිබුණා. හිතේ තිබුණේ කේන්තියක් ද දුකක් ද කියල හරියටම කියන්ඩ බැරි වුනත් හිතාගත්ත දේ වෙනස් කරන්ඩ බැරි මුරණ්ඩුකමත් ආඩම්බර කමත් ඇර වෙන යමක් එතන තිබුණෙ නෑ. මේ ගමනෙ ප්‍රථම වතාවට කෝච්චියක් එන්නෙ නැතුවම අපේ අත් අතෑරිලා තිබුණා. අඩියක් ඉස්සරහට තියලත් මා ආයෙත් ඈ දිහා හැරිල බැලුවා. මා දිහා බලාගෙන හිටි ඈ එක්වරම අහක බලා ගත්තා. බැහැගෙන යන ඉර එළියට ඇගේ ඇහේ කඳුළු බින්දුවක් දිලිසුනා. ‘හොඳ වැඩේ, ඔහොම හරි පාඩමක් ඉගෙන ගද්දෙන්’ කියා මා ආපහු හැරුණා. ඈ ආපහු හැරී බැලුවෙ නෑ ඉන් පස්සෙ.

අවසානය දෙක

මේ වෙනකොට අපි රේල් හන්දියටම ඇවිල්ලයි තිබුණෙ. වචනෙන් නොකිව්වට කවුරුත් යන පාර වෙනස් කරන්නැති බව පේන්ඩ තිබුණා. හිතේ තිබුණේ කේන්තියක් ද දුකක් ද කියල හරියටම කියන්ඩ බැරි වුනත් හිතාගත්ත දේ වෙනස් කරන්ඩ බැරි මුරණ්ඩුකමත් ආඩම්බර කමත් ඇර වෙන යමක් එතන තිබුණෙ නෑ. මේ ගමනෙ ප්‍රථම වතාවට කෝච්චියක් එන්නෙ නැතුවම අපේ අත් අතෑරිලා තිබුණා. අඩියක් ඉස්සරහට තියලත් මා ආයෙත් ඈ දිහා හැරිල බැලුවා. මා දිහා බලාගෙන හිටි ඈ එක්වරම අහක බලා ගත්තා. බැහැගෙන යන ඉර එළියට ඇගේ ඇහේ කඳුළු බින්දුවක් දිලිසුනා. එක පාරටම මට හීන් දුකක් දැනුනා. මොනව වුනත් අද දවස තිස්සෙ එකට ආපු ගමන මෙහෙම කෙළවර වෙන එක අපරාදයක් කියල හිතුන. ඈටත් එහෙම නොහිතුනා නම් කඳුළු එන්නෙ නෑනෙ ඇහැට? මං හැරිල රේල්පාරෙන් අයින් වෙලා ඇගේ නම කියා කෑගැහුව. හරියට මං කතා කරන කම් බලා හිටිය වගේ ඈ දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුනා.

අපි මේ ගමනෙ ප්‍රථම වතාවට රේල් පීල්ලක නො ඉඳ අත් අල්ලගෙන හිටිය.

(අයි.එම් එස් .සත්යප්‍රසාද්  මහතාගේ මුහුණු පොතින් උපුටා ගැනීමකි)

 

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)