ශරදාකාසයේ සඳ දැකීම හෙවත් ආදරයේ සංගායනාව! – තුෂාරි ප්‍රියංගිකා

No Comment 17 Views

මස්තිෂ්කය පුරා දුවන රුධිර ධාතුව
පේ‍්‍රමයෙන් නහවමි
සැවැන්දරා සුවඳැයි සිතා
ලැවැන්ඩර් සුවඳ මුහු කරමි
නැහැපුඬු කිතිකවා හමන
බතලේගොඩ වැව් සුළඟින්
අතීතෙට පාලම සාදමි

ඉලුක් අතු අතුරා සඳයහන සැදූ බැව්
ඉනිඳු නොනැවතී,
උඳුපියළිය සඳනිල්ලේ වැතිර
වැළඳ උන් – නින්ද නැති සියොතුන්ට
පිනි වරුසාවක් වෙමි
උන් ගෙල බදා වැළඳ ගමි

අතීතාරම්මණ ලියවැල් ඇදි මඟ දිග
පේ‍්‍රමණීය සිපගැනුම්
එලෙසම විඳ ගනිමි
සෙවණැළි බැඳුණු පා යුග දෙස බලා
යළි යළිත් මඳහස තවරමි
කිසිවිට ඔබට නොදැණුනු සුවඳක
වතුසුද්ද මල් සේ මතක හුයකට අමුණමි
වප් මහේ සඳ අහක බැලූව ද
ඉකිලන නොවැම්බර් ආකහේ
මන්දාරම් අඳුර යට දිලෙන නවසඳ දකිමි
එහෙත් ඒ
හුදු අහම්බයකැයි ඔබ කියනු ඇති

බිගෝනියා පත‍්‍ර එකින් එක දිගෑරෙයි
ශරදාකාසය තාරකා රාශියක් කැන්ඳයි
ශිශිරයේ මුත් වස්සාන වැහි වස්සයි
යළිත් ඔබ තරිඳු පෑ සේ හිනැහෙයි
සියවස් ගණනක ඇවෑමෙන්
පෙර පසු සියලු කල්හි පේ‍්‍රමය කැටි කොට
ඔබේ ළමැද්දේ හිස තියා සැතපෙමි
මගෑරුණු ජීවිතයක අහුමුළු අතු ගා
පේ‍්‍රමයේ පන්හිඳෙන් – නැවුම් ළිං පතුළත
ආදරය පමණක්ම කණින්නට සැරසෙමි
ගිලී මියෙන්නේ නම් – ආත්මය ඔබට ම පවරමි!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)