ආදරයේ රස පිරුණු වේදනා….! යසෝධා සම්මානි.

No Comment 83 Views

 

ඒ ඇස් යොමුව තියෙන්නේ ප්‍රේක්ෂකාගාරයේ ඈත කෙලවරකට. මම ඉන්නේ ඊට හුඟක් මෑත. ඔෆිස් බ්ලවුසයේ උඩ බොත්තම ගලවාගෙන. පෝනිටේලයෙන් මුදාහැරිය කෙස්ස උරහිස් දෙපසින් ලැම මතට විසුරවාගෙන. උල් පාවහන් යුගලයෙන් විළුඹ පමනක් මුදාගෙන. කැෂුවල් වෙන්නට උත්සාහ දරමින්.

ඒ කටහඬ මා වටා රැලි නංවමින් ගලා යනවා. රැලි සරැලි නංවමින් දඟපපා දෙපා මත හැපෙනවා. හිටිගමන් මා වසාගෙන උදම් රලක් මෙන් ඉහල නගිනවා. අන්න එතකොට මට හුස්ම ගන්න අමතක වෙනවා. අත්ලත්, දෙපතුලත් එක තරමටම සීතල වෙන්න ගන්නවා. මැරෙන්න මොහොතකට කලින් මම ඉක්මනට සීතල විලුඹ දෙක පාවහන් ඇතුලට ඔබා ගන්නවා.

මම, අවුරුදු පහළොවක දැරියක්ව, කුඩා කඳු ගැටිත්තක් මත උඩුබැලිව වැතිරී ගෙන. හිසට ඉහලින් සුපැහැදිලි නිල් ආකාශය එලා තියෙනවා. දණහිසට මදක් ඉහලින් නතර වුණු ගවොම් සායෙන් නො එක් පැහැ මල් කඩා හැලෙනවා. හුලඟ කරන්නේ ඒ මල්, පෙත්තෙන් පෙත්ත ඉරා දමන එක. ඔහේ විසුරුවන එක. සුදෝසුදු සුදු ගවොම උඩ පිපුණු මල් එකක් නෑරම ගිලිහෙන්න හැරලා, ඒ මතට දිරාගෙන යන තුරු පත්, බිඳුණු කුරුමිණි අඬු පඬු, මකුළු දැල් සහ මඩ බිඳිති ඉහින එක.

ගවොම් සායෙන් හැලෙන මැජෙන්ටා පැහැ සීනියා මලක්, සුලං අත්තල පහරකින් විසිවී වැටුනේ කඳු ගැටිත්තෙන් ඉපදිලා, දඟර ගැහෙමින් පහලට ගලන සිහින් දොළ පාරකට. සීනියා කියන්නේ රතු රෝස වගේ නිශ්චිත අරමුණක් සහිත මලක් නොවෙයි. මැජෙන්ටා කියන්නේ යොවුන් පැහැයක් මිසක තුරුණු පැහැයකුත් නොවෙයි. ඇරත්, ඒ වෙනකොට මගේ දෙපා තිබුණේ පටි සෙරෙප්පු දෙකක් ඇතුලේ. ඒකත් බොහොම නිදහස්ව. මහපට ඇඟිල්ලයි, දබරැඟිල්ලයි විතරමද මන්දා පටිවලට හිරවුණේ. හෙලන හෙලන හුස්මක් පාසා ගැබ්ව තිබුනේ සැහැල්ලුව. අන්න ඒ වගේ මොහොතක තමයි, දොළ පාරට වැටුණු සීනියා මල වරක් දෙවරක් සැන්ඩ්ල් සපත්තුවක හැපිලා නතර වුණේ.

රතු රෝස, කහ රෝස, එහෙමත් නැතිනම් කානේෂන්වලට වගේ නිශ්චිත රාජකාරියක් සීනියා මල්වලට පැවරිලා තිබුණෙ නැහැ. ඒ නිසාම එක වෙලාවකට ලඟම මිතුරෙක් වගේ අත්මිට මොලවලා උරහිසට මිටිගුලි පහරක් දෙන්නත්, සහෝදරයෙක් වගේ කොණ්ඩ කරල අගිස්සේ ගැටගහපු පීත්ත පටියකින් ඇදලා තරහ ඇවිස්සුන බව තහවුරු වුනාම තුරුළු කරගෙන හිස අතගාන්නත්, ආදරවන්තයෙක් වගේ මෘදු චුම්භනයකින් කොපුල් පිසදමන්නත් පුළුවන්කම තිබුණා. විශේෂම දේ තමයි, ඕනෑම වෙලාවක නාඳුනන කෙනෙක් වගේ අහක බලාගෙන මගහැර යාමේ නිදහස.

“මං කවුද? කවුරුවත් නෙමෙයිනේ!”
පෙණ බුබුල එකතැන රවුම් දෙකතුනක් කරකැවෙමින් එකෙල මෙකෙල වුනා. සැහැල්ලු පටි සෙරෙප්පුවක් ඇඟිලි කරුවේ ග්‍රහණයෙන් මිදිලා ‘ප්ලොප්’ හඬින් දිය මතට පැන්නේ ඒ වෙලාවෙ. සෙරෙප්පුව අහුලාගෙන ආපහු කඳු ගැටිත්තට නැගගන්නකොට පෙණ බුබුල කිසිම හෝඩුවාවක් නොතියා අතුරුදන් වෙලා හිටියා. අන්තිමට ඉතිරි වුනේ ගවොම් සායට දිය ඉහුණු තැන්වල තෙත පැල්ලම් කීපයක් විතරයි.

මෙතැන, වායුසමනය කල ප්‍රේක්ෂකාගාරය මැදදීත්, තවමත් මට ඒ දිය පැල්ලම්වල තෙත දැනෙනවා. ඒ දෙඇස තියෙන්නේ වේදිකාව මත නොවෙයි, මගේ උරහිසට ඉහලින්, මේ ලියන අකුරු කියවමින් යැයි දැනෙන්නට ගන්නේ දිය පැල්ලම් සිරුරට කාවදිනවාත් සමගයි.

.
ඔබ ගුම් සරින් අපැහැදිලි රහසක් කියන
මුදු කම්මුලක පියපත් බමන පහසක් දැනෙන
දෙබැම හැකිලෙන
කිතියකින් ඇස් වැසෙන

සබන් පෙණ බුබුළුය
වෛවර්ණ දේදුනු පිපෙන
‘ගලගල’ නදින් දිය පෙතක් හසරැලි නගන
සබන් පෙණ අතර මම අහසට නැගෙන

ඉනික්බිති බිඟු දල පහරක්
හාදු අහුරක් වැදෙන
‘සටසට’ නදින් පෙණ බුබුළු එක දෙක බිඳෙන
දිවා ස්වප්නය බිඳෙන

දුම් කැරලි මා වට බමන
කුඩා අළු පැහැ වළා මෙන් ඇහැ රවටන
හිරු රැසක් ඇහිපිය කොනිත්තන
ගවොම් සායෙහි කුඩා බිඟු පියපතකි – ඇස ගැටෙන – සිත නොගැටෙන
.

මගෙ හිතේ තුවාලයක් තියෙනවා. කාලෙන් කාලෙට ඒක පෑරෙනවා. අභ්‍යන්තර රුධිර වහනයෙන් හොඳටෝම අඩපණ වුනාට පස්සෙ මම වෙවුල වෙවුලා හඹායාම අරඹනවා. ඒත් ලේ ගැලීම නතරවෙන්නෙ බොහෝම ටික කාලෙකට. මේක ගොඩ වෙදකමක් තමයි. ඒත් මමයි කියලා වෙන මොනවා කරන්නද? මීටත් වඩා දරුණු තුවාල තියෙන මිනිස්සු ඉන්නව කියල මම දන්නවා. සමහරුන්ට ගොඩ වෙදකමක් කරන්නවත් අතපය වාරු නැති තරමට දුර්වල වෙලා ඇති කියල හිතෙන එකම ඇඟ කිලිපොලා යන හැඟීමක් නෙමෙයි ද?

“ආදරයේ රස පිරුණු වේදනා…..”
අවුරුදු දාසයක කොල්ලෙක්, බාගෙට බිඳුණු හඬකින් ගයනවා මට හීනෙන් වගේ ඇහෙනව.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)