ආවෝ ,ගියෝ…! අරුණ වික්‍රමාරච්චි

No Comment 39 Views

එයා ආවෙ හරියට ගං වතුරක් වගේ.

ගං වතුරක් වගේ??

නෑ නෑ එයා ආවෙ හරියට අහස කඩන් වැටුණ වගේ.
මම කොහොමටත් හිතපු නැති වෙලාවක.
පිස්සුනෙ…
මට තිබුණෙ අර හාව වගේ පණ එපා කියල දුවන්න.
කොහෙද? මම මොකවත් හිතාගන්නවත් බැරි උනානෙ. ඇත්තටම මම ඒකට කැමති උනා. පපුව කඩාගෙන යනවට.
ආදරේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල හිතා ගන්නවත් හරි හැටි වැටහීමක් නැති වෙලාවක ඔය ඔක්කොම උනෙ. මම පපුව දුන්න. මැරෙන්න උනත්. මට හිතුන මම කොච්චර කාලයක් අහස දිහා බලන් හිටියද කියල. මම කොච්චර අහසට ආස උනාද කියල. ඒ වගේ වෙලාවක අහස කඩන් වැටුණහම මම මොකටද අකමැති වෙන්නෙ. ඔව් මම පපුව දුන්න පපුව කඩාගෙනම යන්න.

ඉතින්…

ඉතින් මොකෝ. හැමදේම වෙන්න ගත්තෙ එතන ඉඳන්.

ඒ කිව්වෙ?

ඒ කිව්වෙ අහස ඇත්තටම උඩ තියෙනව තරම් ළඟට ලස්සන නෑ. අඩු ගානෙ හරියට තරු රටාවත් පේන්නෙවත් නෑ. හරි පටුයි. මේ සඳ මේ සිකුරු තරුව මේ ඉර මේ අර තරුව මේ තරුව කියල වෙන වෙනම අඳුන ගන්න බෑ හරිම අපැහැදිලියි. මට බැරි උන ඒ වෙනසට හුරු වෙන්න. ඔව් මගෙ අතේ තමා වරද. වේදනයි. ඔව් ළං නොවෙන තරමටයි ලස්සන.
ඒත් මම ආදරේ කරා කවි ලිව්ව සිය ගනන්. පොත් පිරෙනකම්.
ඒත් එන්න එන්නම් තත්වය දරුණු උනා.
නොගැලපෙන දෙන්නෙක් ළං වෙන්න ළං වෙන්න ළං වෙන ප්‍රමාණය මෙන් සිය දහස් ගුණයක් දුරස් වෙනව. මම ඒක තේරුම් ගත්ත. ඒත් ඒ තරමටම ආදරේ උනා

ඉතින් ඇයි නොගැලපෙන්නෙ??

ඇයි බං, ඒ අහස, එතකොට මම. අඩු ගානෙ නිකම්ම නිකම් තරුවක්වත් නෙමෙයි අහසක රැදෙන්න තරම්. මම පොළවෙ තියෙන පුංචි වැලි කැටයක් විතරයි. අපි කොච්චර ගැට ගැහුවත් අහසයි පොළවයි ළං වෙන්නෙ නෑ.

ඉතින් දැන් මොකද කරන්නෙ.

ඉතින් දැන් මම තාමත් කවි ලියනව.
මට දැන් ආයිත් අහස ලස්සනට පේනව. සමපූර්ණයෙන්ම අඳුරෙන් වැහිල තිබුණ මට දැන් ආයෙ දවාල රෑ වෙන වෙනම අඳුන ගන්න පුලුවන් වෙල තියෙනව. ලස්සන තරු රටා පේනව. සඳ පායනව ආයි බැහැල යනව. සියුම් ආවාට පවා පේන්න ගන්නව.
වළාකුළු වෙනස් වෙන විදිහ හරියට ජීවිතේ වගේ තප්පරෙන් තප්පරේට වෙනස් වෙනව. ඔව් ජීවිතේ එහෙමයි වෙලාවකට හරි රස්නෙයි. වෙලාවකට හරි සෞම්‍යයි. එතකොට තමා ආදරේ දැනෙන්න ගන්නෙ. දැන් තමා මම ආදරේ කරන්නෙ කියල මට හිතෙන්නෙ ඒකයි.

ඔව්
එයා ගියෙ හරියටම මට ආදරේ කියල දීල

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)