මට දේශපාලනය නොගැළපෙන බව තේරුම් ගන්න ටිකක් කල්ගියා – ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ

No Comment 997 Views

‘සත් කෝරලයේ ප්‍රාඥයා’ යන අභිනන්දනයෙන් හැඳින්වෙන ආචාර්ය ඩබ්ලිව්.ඒ අබේසිංහයන්ගේ සාහිත්‍ය කලා ජීවිතයට අඩ සියවසක් සපිරී ඇත. ඒ නිමිත්තෙන් සංවිධානය කරන ප්‍රණාම උලෙළක් මේ 12 – 13 දෙදින කුලියාපිටිය නගර ශාලාවේදී පැවැත්වෙයි. එහිදී ලේඛකයාගේ පතපොත, පුවත්පත්, සඟරාදියේ පළ වූ ලේඛන, අත්පිටපත්, ඔහුගේ ලේඛන ජීවිතයේ විවිධ අවස්ථාවන්ට අදාළ ඡායාරූප ආදිය අන්තර්ගත ප්‍රදර්ශනයක් 12 – 13 දෙදින පැවැත්වෙන අතර ‍අබේසිංහයන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ සම්මන්ත්‍රණයක් 13 වැනි දින පැවැත්වෙයි. මහාචාර්ය දර්ශන රත්නායක, කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මෙහිදී ප්‍රණාම දෙසුම් පවත්වති.


සාහිත්‍ය කලාව කෙරෙහි ඔබ තුළ කිසියම් උනන්දුවක්, උද්යෝගයක් ඇති වුණේ කෙබඳු පසුබිමකින් ද?

මුල් ම උනන්දුව ඇති වුණේ කවිකතා පොත් ඇසුරෙන් යැයි කියන්න පුළුවන්. මගේ මවගේ ගම දංකොටුව ඇටියාවල. ඇටියාවල පොළේ කවිකතා පොත් විකුණන්න තිබුණා. ඒ පොත් ලියලා තිබුණේ ජෝන් ප්‍රේරා කියලා කෙනෙක්. මං හිතන්නේ මට තිබුණේ කතන්දර ඇසීමේ හා කියැවීමේ බලවත් ආශාව. ඇටියාවල පිරිමි පාසලේ තමයි මං මුලින් ම ඉගෙන ගත්තේ. ඊට පස්සෙයි කුලියාපිටිය මහා විද්‍යාලයට ගියේ. සෙන්ට්‍රල් එක එහෙම පිටින් ම සාහිත්‍ය සම්ප්‍රදායයක් තිබුණු විදුහලක්. එහි මුල් ගුරුතුමත් ප්‍රකට ලේඛකයෙක්. ලයනල් ලොකුලියන. ඇත්ත වශයෙන්ම ඒ කාලේ පාසල් අධ්‍යාපනය සාහිත්‍යයට බරයි. ගැටවර වියට එළැඹෙන කොට අපි ගුත්තිලය, උම්මග්ග ජාතකය කියවලත් ඉවරයි.

ලේඛනයට ඔබ තුළ තිබුණු ප්‍රතිභාව හඳුනාගත්තේ කොයි විදියට ද?

ඒ කාලේ උඩකැන්දවල සිරිසරණංකර හාමුදුරුවෝ ‘නවලෝකය’ කියලා සඟරාවක් පළ කළා. මං මුලින් ම ලිව්වේ ඒකට‍. ඇත්තවශයෙන් ම කියනවා නම් මගේ ලේඛන අභ්‍යාස විද්‍යාලය බවට පත් වුණේ ‘නවලෝකය’ සඟරාව. ඒ කාලේ එහි සංස්කාරක සටහන පවා ලිව්වේ මම.

මා අසා කියවා ඇති ආකාරයට උඩකැන්දවල හාමුදුරුවෝ ‍උග්‍ර කොමියුනිස්ට් පාක්ෂිකයෙක්.

ඔව්. උන්වහන්සේ බොහෝම ප්‍රගතිශිලී භික්ෂුවක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සමාජවාදියෙක්. ගෝර්කිගේ ‘අම්මා’ නවකතාව පවා සිංහලට පරිවර්තනය කළානේ. අපිට වුණත් වමේ දේශපාලනයට යොමුවෙන්න බලපෑවේ උන්වහන්සේගේ ඇසුර. ඒත් උන්වහන්සේ කැමැතිවුණේ නැහැ, මං කොමියුනිස්ට් පක්ෂයට බැ‍ඳෙනවට. ඇත්තවශයෙන් ම කිව්වොත් මං පක්ෂයට බැඳුණේ උන්වහන්සේ අපවත් වුණායින් පස්සේ. උන්වහන්සේට ඕනෑ කළේ මාව ලේඛන කලාව වෙත යොමු කරවන්නයි. ඒ ඔස්සේ ඉදිරියට යනව දකින්නයි.

ඔබ ලියූ මුල් ම පොත මොකක්ද?

‘සරච්චන්ද්‍රගේ නවකතා’ කියලා විචාර පොතක්. විචාර පොතක් කියලා කිව්වට ඒක හොඳ විචාරයක් ය කියලා අද මම සලකන්නේ නැහැ. ඒක ලිව්වේ පොතක් පළකරන්න තිබුණු හුදු ආශාවට. අද සරච්චන්ද්‍රයන්ගේ නවකතා ගැන විචාර පොතක් ලියනව නම් ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කරන්න ඕනෑ. ඒ පොත්වල තියෙන ගැඹුර, ඒවගේ ම එහි සීමා අද මට තේරුම්ගන්න පුළුවන්.

ඔය කාලෙදිම වගේ ඔබේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය (නෙත් දෙකක්) පළ වෙනවා.

ඔව් කවිය තමයි මං මුලින් ම අතපත ගාපු කලා මාධ්‍යය. ඒ කාලේ කවුරුත් කවිවලට බොහෝම කැමැතියිනේ. නිසදැස් කවි වුණත් බොහෝම ජනප්‍රිය වෙලා තිබුණු කාලේ.

ඔබේ ප්‍රධාන ආත්ම ප්‍රකාශන මාධ්‍යය කවිය ද?

ඒක උත්තර දෙන්න බොහෝ ම අමාරු ප්‍රශ්නයක්. මොකද මම එක සමාන හුඟක් දේවල් වෙත ඇදිලා ගිහින් තියෙනවා. මම විටෙක පරිවර්තකයෙක්; තවත් විටෙක විචාරකයෙක්; කෙනකුට කියන්න පුළුවන් මං හොඳ පුවත්පත් තීරු ලිපි රචකයෙක් කියලා. මම දිගින් දිගටම කවි ලිව්වා. කවි පරිවර්තනය කළා. ඔය අතරේ ගීතත් ලිව්වා. ඒත් විශාල වශයෙන් මං ගීත ලියලා නැහැ. මෑතදි නම් කවි වුණත් ලියැවුණේ නැහැ.

ඔබ සාහිත්‍ය පරිවර්තනකරණයට යොමුවුණේ කොහොමද?

‘නවලෝකය’ සඟරාවට පවා මම පොඩි පොඩි පරිවර්තන කළා. ඔබ දන්නවා, මම කාලයක් පුවත්පත් කලාවේදියෙක් විදියට ‘ඇත්ත’, ‘දිනමිණ’, ‘සිරිලක’ වැනි පත්‍රවල වැඩ කළා. ඒවායේදීත් පරිවර්තන කරන්න සිදුවුණා. ඔය විදියට පරිවර්තන කරගෙන යද්දී මම හිතුවා මට සාහිත්‍ය පරිවර්තකයෙක් වෙන්න පුළුවන් කියලා. මම කියවලා රසවිඳපු දේවල් පාඨකයන්ටත් කියවා රස විඳින්න අවස්ථාවක් ලබාදීම තමයි මෙතැන ප්‍රධාන අරමුණ වුණේ.

ඔබ විවිධ පොත් පරිවර්තනය කර තිබෙන බව හැබෑව. ඒත් සෝවියට් පොත් කෙරෙහි ඔබ විශේෂත්වයක් දක්වපු බවක් ඒ අතර පේනවා.

ඇත්තටම ලේඛකයෙක් විදියට මට ආධ්‍යාත්මික ජීවයක් ලැබුණේ රුසියන් සම්භාව්‍ය සාහිත්‍යයෙන්. අදට වුණත් ලෝක සාහිත්‍යයේ ටෝල්ස්ටෝයිට ප්‍රමාණ කරන්න පුළුවන් ලේඛකයෙක් නැහැ. ඊළඟට සෝවියට් සාහිත්‍යයෙන් විශේෂයෙන් චිංගිස් ආයිත්මාතොව් වගේ ලේඛකයන්. ඉංග්‍රීසි දන්න කියන කාලයේ ඉඳන් ම මං බැරි බැරි ගානේ හරි මේ පොත් කියෙව්වා. අනිත් කාරණාව සෝවියට් දේශපාලනයට අපේ තිබුණු ළැදියාව. අපි කොහොමවත් කොමියුනිස්ට්කාරයෝනේ.

චිංගීස් ආයිත්මතොව් සිංහල පාඨකයන්ට හඳුන්වා දෙන්ට ඔබ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා?

ආයිත්මතොව් කීර්ගීසියානු ලේඛකයෙක්. විප්ලවයට පෙර කීර්ගිසියාවේ සාහිත්‍යයක් තියා හෝඩියක්වත් තිබුණේ නැහැ. නමුත් අද එහි උසස් මානවවාදී සාහිත්‍යයක් තියෙනවා. 1975 දී මම ආයිත්මතොව්ගේ කෙටිකතාවක් ‘පුංචි සොල්දාදු‍වා’ නමින් සිංහලට නැඟුවා. ඊළඟට ඔහුගේ ‘අර්ලි ක්‍රේන්ස්’ නවකතාව ‘වේලාසන කොක්කු ඇවිත්’ නමින් පරිවර්තනය කළා. ‘ලැබීම – නොලැබීම’ යන නමින් මා පරිවර්තනය කළෙත් ඔහුගේ නවකතාවක්.

ඔබේ තවත් නැඹුරුවක් තුන්වැනි ලෝකයේ සාහිත්‍යය වෙත තිබෙනු අප දකිනවා?

සංකල්පීය වශයෙන් තුන් වැනි ලෝකය අපිට පොදුයි. අත්දැකීම්, අභියෝග එක සමානයි. කවි ගත්තත්, නවකතා, කෙටි කතා ගත්තත් ඒ පොදු බව, සමානකම අපි දකිනවා. තුන් වැනි ලෝකයේ තියෙන්නේ ‘කැපවුණු සාහිත්‍යයක්’. ඒක දෘෂ්ටිවාදියි.

ඔබ ස්වතන්ත්‍ර නවකතා කෙටිකතා ලියලා නැද්ද?

එක නවකතාවකුත් (චන්ද්‍රෝ මා බිළිදේ) එක කෙටිකතා සංග්‍රහයකුත් (ආදම් සහ ඒව) ලියා පළකර තිබෙනවා. පරිවර්තනවලට හෝ වෙනත් ශාස්ත්‍රීය ලේඛනවලට හිරවුණා ම ස්වතන්ත්‍ර නිර්මාණයට තියෙන කාලය හා ඉඩ හසර අඩු වෙනවා. බාගෙට ලියා නවත්වපු නවකතා දෙක තුනක් දැනටත් මගෙ මේසය උඩ තියෙනවා. කොහොම වුණත් ඉදිරියේදී ස්වතන්ත්‍ර ප්‍රබන්ධකරණයට මීට වඩා කාලයක් මිඩංගු කරන්න මා අදහස් කරගෙන සිටිනවා.

ඔබ වරක් කියා තිබුණා පක්ෂ දේශපාලනය විසින් ඔබේ සාහිත්‍ය කලා ජීවිතය කොල්ලකනු ලැබූ බව.

ඔව්. ඒක ඇත්ත. අපි නිකරුණේ බොරුකාරයෝ පස්සේ ගියා. දේශපාලනය මගේ චරිතයට ගැළපෙන්නේ නැහැ. හැබැයි ඒක තේරුම්ගන්න මට ටිකක් කල් ගියා. ඒක මගේ මෝඩකම.

දේශපාලනය, මිනිසාගේ බුද්ධිමය ජීවිතය වඩාත් සාරගර්භ කරන විෂයක් බවයි මං අහලා තියෙන්නේ?

ඔව්. මෙතැනදී මං අදහස් කළේ බලලෝභී පක්ෂ දේශපාලනය. ඒකෙන් තමයි අපි විනාශ වුණේ. ගාන්ධිලගේ, නේරුලගේ දේශපාලන ජීවිත කියවනකොට එය ගැඹුරින් හදාරන කොට අපේ බුද්ධිමය ජීවිත තවත් පෘථුල වෙනවා. ගාන්ධි තමයි ලෝක දේශපාලනයේ එකම සාන්තුවරයා, ශාස්ත්‍රවන්තයා. ඔහු බලය ලබාගැනීම සඳහා දේශපාලනය කළේ නැහැ. ලෙනින් පවා දේශපාලනය කළේ බලය ලබාගන්න. ඒත් ගාන්ධිට වැදගත් වුණේ සමාජ ප්‍රතිසංස්කරණ. ඔහු හරිම ප්‍රායෝගිකයි. ඔහු ඉන්දියාව ඇතුළේ විතරක් කොච්චර ඇවිද්දද?

ගාන්ධිට ආදර්ශකයක් වුණේ ටෝල්ස්ටෝයි යැයි ඔබ කියා තිබෙනවා.?

ඔව්. ගාන්ධි – ටෝල්ස්ටෝයි ලියුම් පවා හුවමාරු කරගෙන තිබෙනවා. ගාන්ධි දකුණු අප්‍රිකාවේ ඉද්දී පටන්ගත්තු ගොවිපළ නම් කළේ ‘ටෝල්ස්ටෝයි ගොවිපළ’ කියලා. ඔවුන් එකම මාර්ගයේ විවිධ විදියට ගිය දෙන්නෙක් විදියට හඳුන්වන්න පුළුවන්.

ගාන්ධිට සාපේක්ෂ ව නේරු ඔබ කොහොමද දකින්නේ?

නේරු, දේශපාලනය ඉක්මවා ගිය මානව හිතවාදියෙක්. ඔහුගේ ග්‍රන්ථ තුන ගත්තොත් ඒවා සම්භාවනීයයි. ‘නේරු සාහිත්‍යය’ ලෙස ඒ පොත් තුන හඳුන්වන්න පුළුවන්. අනික නේරුගේ චින්තනය හරිම නවීනයි.

මේවගේ ප්‍රාමාණිකයෝ අපේ රටේ නැත්තේ ඇයි?

මේ හතර දෙනා (ටෝල්ස්ටෝයි, ගාන්ධි, නේරු, තාගෝර්) එක්ක එකට තියන්න පුළුවන් ප්‍රාඥයකුට ඉන්නේ මාර්ටින් වික්‍රමසිංහ පමණයි. පරණවිතාන හා කුමාරස්වාමි වුණත් කිසියම් මට්ටමක තියන්න පුළුවන්. වික්‍රමසිංහ මානව හිතවාදියෙක්. ජාතික වූත් නවීන වූත් චින්තනයක් ඔහුට තිබුණා. ඉහත හතර දෙනාට ම ඒක තියෙනවා.

ඔබ මාර්ටින් වික්‍රමසිංහගේ ජීවිත කතාව සම්පූර්ණ කළා. ගාන්ධිගේ අපදානය පරිවර්තනය කළා. පනස් වසරක සාහිත්‍ය කලා ජීවිතයක ඔබේ අත්දැකීම් පොතකට ගොනු කරන්න අදහසක් නැද්ද?

මගේ ජීවිතයෙන් අත්දැකීම් රාශියක් තිබෙනවා තමයි. නැති බැරිකම්, වින්ද දුක් පීඩා, කරපු මෝඩකම්, බලාපොරොත්තු සුන්වීම් ඒ වගේ ම බොහෝම රසාලිප්ත දේවල් මගේ ජීවිතයේ තියෙනවා. ඒත් ජීවන අත්දැකීම් පොතකට සංග්‍රහ කිරීම තවත් ටිකක් පමා කළාට කමක් නැහැ කියලා මට හිතෙනවා. මොකද තව කළ යුතු දේ බොහෝ තිබෙනවා.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)